එකම දවසක, ‘ඬේලි මිරර්’ වෙබ් පුවත්පත වාර්තා කළ සිදුවීම් හතරක් මෙසේ ය:
(1) මුස්ලිම් ජාතිකයන්ට අයත් යැයි කියන ‘ෆැෂන් බග්’ ඇතුළු පැපිලියානේ ව්‍යාපාරික ආයතන දෙකකට පසු ගිය සතියේ මහ දවල් පහරදුනි. විශාල පිරිසක් ඊට සහභාගී වූහ. ඒ අතරේ භික්ෂූන් වහන්සේලා ද සිටියහ.(අද පන්සල්වල ඉන්නවාට වඩා භික්ෂූන් වහන්සේලා ඉන්නේ පාරතොටේම නිසා එහි විශේෂත්වයක් තිබුණේ නැත). වාර්තා වන අන්දමට, ජනතාවට සහ දේපළවලට ආරක්ෂාව සැපයිය යුතු පොලීසිය ඇතුළු වෙනත් ආරක්ෂක අංශ මේ වෙලාවේ එතැන සිටියත් කිසිවක් නොකළහ.(මෙය, මෑතක සිට ලංකාවේ පොලීසියේ සම්මත සම්ප‍්‍රදාය බවට පත්ව ඇති බව කවුරුත් දනිති). සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවේ පසුවූ 17 දෙනෙකු ගෝනි බිල්ලන් මෙන් මුහුණු වසාගෙන උසාවියට ගෙන එන ලදි. ඒ ඇයි දැ යි පැහැදිළි නැත. හදිසි කෝපය මත අපරාධවලට යොමු වූ පුද්ගලයන් ඒ ගැන පසුව කම්පා වීම සහ ගිය නුවණ ඇතුන් ලවා හෝ අද්දවා ගැනීමට තතනමින් ලජ්ජාවට පත්වීම ස්වභාවික යි. එහෙත්, කල් තියා මනාව සංවිධානගතව මහ දවල් මහ පාරේම සාමූහිකව අපරාධයක නියුක්ත වූ තැනැත්තෙකුට මුහුණ වසා ගැනීමට තරම් එවැනි ලැජ්ජාවක් කොහෙන් එන්නේ දැ යි සිතාගත නොහැක. කෙසේ වෙතත්, මේ පිරිස සහ අදාළ ව්‍යාපාරික ආයතන අතර උසාවියේ දී සමාදානයකට/සමථයකට එකඟ වූ බව දැන් වාර්තා වෙයි.
(පැහැදිළි කිරීම: සමාදානය හෙවත් සමථයකට පත්වීම යනු, වර්තමාන ලංකාවේ දී තවත් විදිහක බලහත්කාරයක් බව මතක තබාගත යුතුය. මර්වින් සිල්වා විසින් ගහේ බැන්ද රජයේ නිලධාරියා, තමා විසින්ම ගහේ බැඳගත් බව කියමින් ‘සමාදානයකට’ ගියේ, භීතිය මුල් කරගෙන ය. කොළඹ හිල්ටන් හෝටලයේ දී මර්වින් සිල්වාගේ පුතාගෙන් ගුටිකෑ හමුදා මේජර්වරයා, විත්තිකරුවන් තමාට හඳුනාගත නොහැකි බව පසුව ප‍්‍රකාශ කෙළේ භීතිය නිසා ය).
(2) කැලණිය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී හසිත මඩවල ඝාතනය කළ අවස්ථාවේ එම ප‍්‍රදේශය කෝපයෙන් ඇළලී ගිය සැටි එදා මාධ්‍ය වාර්තා කෙළේය. ඊට සැක කෙරුණේ මර්වින් සිල්වාගේ සම්බන්ධීකරණ ලේකම්වරු දෙන්නෙකි. පොලීසියේ ‘කාර්යක්ෂමතාව’ නිසා, රටින් පැන යාමට ඔන්න මෙන්න කියා සිටි මේ සැකකරුවන්ව කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට පත් වූ සැටි ද ‘ලොමු දැහැගැන්වෙන’ පරිදි එදා මාධ්‍ය වාර්තා කෙළේය. එන්.ජී. ඕ. කාරයන් මොන තරම් කෑගැහැව්වත්, නීතිය කියා දෙයක් මේ රටේ තවමත් ඉතිරිව ඇති බවට එය ‘සාක්ෂියක්’ විය. දැන්, පෙරෙයි දා(2) ඒ සැකකරුවන්ව රුපියල් 30,000 ක් වූ ඇප මත අත්අඩංගුවෙන් මුදාහරින ලදි.
(පැහැදිළි කිරීම: යම් වරදක් සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගන්නා අයවළුන් නඩු විභාගය අවසන් වන තෙක් රිමාන්ඞ් භාරයේ තබාගත යුතු නැතැ යි විවිධ තර්ක ගෙනහැරපාමින් කෙනෙකු කිව හැකිය. එම අදහස සාධාරණ වන්නේ, රටේ සෑම පුරවැසියෙකු සම්බන්ධයෙන්ම එය ක‍්‍රියාත්මක වන්නේ නම් පමණි).
(3) කහවත්තේ ප‍්‍රදේශයේ ඝාතන රැලක් එක පිට එක ආවේය. ඒ අතරින්, 51 හැවිරිදි මවක් සහ 18 හැවිරිදි ඇගේ දියණිය ඝාතනය කිරීමේ සිද්ධිය වඩාත් ප‍්‍රසිද්ධියටත්, රටේ කම්පාවටත් හේතු විය. එසේ වුණේ, නන්නාඳුනන ඝාතකයන් වෙනුවට මේ අවස්ථාවේ දී හඳුනාගත හැකි සැකකරුවන් පිරිසක් සිටීමයි. මේ දියණිය රවටා, බත් පාර්සලයක මුවාවෙන් මත්ද්‍රව්‍ය පාර්සලයක් ඇගේ අතේ ප‍්‍රවාහණය කිරීමේ රහස හෙළිදරව් වීම සහ එම මත්ද්‍රව්‍ය සිද්ධියට සම්බන්ධ යැයි කී පුද්ගලයන් මෙකී ඝාතනයට ද සම්බන්ධ බවට චෝදනා ලැබීම නිසා, මෙම සිද්ධිය වඩාත් ප‍්‍රචලිත විය. සැකකරුවන්, දේශපාලඥයන් ය. විරුද්ධ පක්ෂයේ නිකම්ම දේශපාලඥයන් නොව, ආණ්ඩු පක්ෂයේ දේශපාලඥයන් ය. ඉන් කෙනෙකු, ගොඩකවෙල ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයෙකි. දැන් මේ පිරිස, උසාවියෙන් නිදහස් වී ගෙදර ගොස් තිබේ.
(4) හමුදාවේ මේජර්වරයෙකුට කොළඹ හිල්ටන් හෝටලයේ දී මර්වින් සිල්වාගේ පුතා ඇතුළු පිරිසක් පහර දුන්හ. හමුදා මේජර්වරයෙකු සැළකෙන්නේ ‘රණවිරුවකු’ වශයෙන් නිසා, මෙදා පාර නම් මර්වින් ගස් යනු ඇතැ යි පුහුදුන් ජනයා කීහ. ඊයේ(3) එම පිරිස ද එකී චෝදනාවෙන් නිදහස් කොට ගෙදර පිටත් කර හැරුණි.
මේ කියන දවසේ ඉහත පුවත්පත වාර්තා කෙළේ නැතත්, මීට සමාන සිදුවීම් දාමයක් දුමින්ද සිල්වා සම්බන්ධයෙන් මෑතක දී දිගහැරුණි. ඔහුට එරෙහිව නඩු පැවරීමට සහ ඔහුව අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා දුන් ‘නිර්භීත’ උපදේශය ගැන පස්වනක් ප‍්‍රීතියෙන් පිනා ගිය හිරුනිකා නමින් හැඳින්වෙන, තමාට ස්ථානගත වීමට සුදුසු ස්ථානයක් (සමහර විට පාර්ලිමේන්තු ආසනයක්) සොයා ගැනීම සඳහා මියගිය පියා වෙනුවෙන් තවමත් මාධ්‍ය සංදර්ශන පවත්වන රූමත් තරුණිය, නීතිපතිවරයාට එදා මුව නොසෑහෙන සේ ප‍්‍රශංසා කෙළේය. දුමින්ද ලංකාවට ආවේය. අත්අඩංගුවට ගියේය. (පත්වූයේය නොවේ_. සියලූ ආරක්ෂකයන් මධ්‍යයේ රෝහලකට ගියේය.(රෝහල්ගත වුණා නොවේ). පාර්ලිමේන්තුවේ නිවාඩු දිග් කර ගත්තේය. ඔහුගේ සහකාර සැකකරුවන් කිහිප දෙනා ද, පසු ගිය දා උසාවියෙන් ගෙදර ගියෝය.
මේ සියළු සිදුවීම් මෙයාකාරයට සැහැල්ලූවෙන් විසඳුණේ නීතිපතිවරයාගේ උපදෙස් මතයි. නීතිපතිවරයාගේ එකී උපදෙස් පදනම් වන්නේ, ඒ සෑම සිදුවීමකම විත්තිකරුවන් රජයට සම්බන්ධ හෝ පක්ෂපාත අයවළුන් නිසා බව අමුතුවෙන් කිව යුතු නැත. නන්නාඳුනන අපරාධකරුවන් විසින් සිදුකරනු ලබන අපරාධ පැත්තකින් තිබ්බොත්, හඳුනා ගැනීමට බල කෙරෙන ඕනෑම සිදුවීමක දී ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සහ යම් කාලයක් අත්අඩංගුවේ තබා ගැනීම සිදුවෙයි. එසේ කෙරෙන්නේ පසුව මුදා හැරීම සඳහා මිස වෙන කිසිවක් සඳහා නොවේ.
ආණ්ඩුවේ මර්දන යාන්ත‍්‍රණයේ මේ කොටසට නීතිමය මුහුණුවර සැපයෙන්නේ, පොලීසිය හැරුණු කොට, නීතිපති දෙපාර්තමේන්තුවෙනි. ‘රජයේ’ නීතිපති දෙපාර්තමේන්තුවක් විය යුතු එම ආයතනය, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් සමග ‘ආණ්ඩුවේ’ නීතිපති දෙපාර්තමේන්තුවක් බවට පත්ව ඇති ආකාරය ඒ හරහා දැන් අපට දැකගන්නට තිබේ. රජයේ ආයතනයක් යනු මහජන ආයතනයකි. සමාජයේ සුභසිද්ධිය සඳහා පවතින ආයතනයකි. නීතිපති දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ගත් විට, ඊටත් වඩා, නීතිය හා සාමය රැකීමේ දී පුරෝගාමීත්වය ගන්නා ප‍්‍රබල ආයතනයකි. එහෙත් එය ‘ආණ්ඩුවේ’ නීතිපති දෙපාර්තමේන්තුවක් වූ විට ඉහත කී කිසි ගුණාංගයක් ආරක්ෂා කර ගැනීමට ඊට නොහැකි වන්නේය.
ආණ්ඩුවක් යනු තාවකාලික භාරකාරත්වයක් බව අපි දනිමු. එය, රාජ්‍යයක එක් අංගයක් පමණි. ඉතිරි අංග තාවකාලික නැත, සාපේක්ෂ අර්ථයකින් ගත් විට, ස්ථාවර ය. නිශ්චිත ය. එනම්, භූමි ප‍්‍රදේශයක්, ජනතාවක් සහ ස්වෛරීත්වයක් ආදී වශයෙනි. නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයන් හැඳින්වෙන්නේ ‘රජයේ නීතිඥයන්’ වශයෙන් මිස ආණ්ඩුවේ නීතිඥයන් වශයෙන් නොවීම, මේ වෙනස, එනම්, ආණ්ඩුව සහ රජය අතර ඇති වෙනස, සරළව තේරුම්ගත හැකි මනා නිදසුනකි.
වර්තමාන ආණ්ඩුව, න්‍යායික වශයෙන් මෙන්ම ප‍්‍රායෝගික අර්ථයෙන් ද, ප‍්‍රජාතන්ත‍්‍රීය ආණ්ඩුවක් නොවේ. හේතුව, එවැනි ආණ්ඩුවක් තුළ තිබිය යුතු අත්‍යාවශ්‍ය බල විභේදනය මේ වර්තමාන ආණ්ඩු ව්‍යුහය තුළ නොමැති වීමයි. උදාහරණයක් වශයෙන්, අධිකරණ බලය අපක්ෂපාතීව අභ්‍යාස කිරීම සඳහා අවශ්‍ය කරන අධිකරණයේ ස්වාධීනත්වය අද ඊට නැත. නීතියට ආධිපත්‍යයක් නැත. පාර්ලිමේන්තුවට මහජන නියෝජනයක් නැත. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට උත්තරීතරත්වයක් නැත. කොටින්ම, මහජනතාවට ස්වෛරීත්වයක් නැත.
ඒ සියල්ල වෙනුවට අද ආදේශ වන ‘ආයතනය’ මහින්ද රාජපක්ෂ නම් වෙයි.
ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda