වෙනස වූකලී එක දෙයකි, අභිවෘද්ධිය වූ කලී තවත්දෙයකි. වෙනස විද්‍යාත්මකය.අභිවෘද්ධිය ආචාධාර්මීය. – රසල් – අන්පොපියුලර් එසේස්
බොහෝ දෙනෙක් බොදුබල සේනාව සහ එය මෙහයවන භික්ෂුව අරම්භයා බරපතල විවේචන එල්ල කරමින් සිටිති. ඇතමෙකුට හෙතම බුදු දහමට නිගාදෙන බික්ෂුවක් වන අතර තවකෙකුට මචං කෙනෙකි. කෙනෙකුගේ ජීවිතය ගැන ප්‍රශ්න කිරීම හෝ හෙතමගේ පෞද්ගලික ජීවිතයේ ඇති කුණු ප්‍රසිද්ධ වේදිකාවලට ගෙන ඒම 70 දශකයේ අගභාගයේ සිට ඉදිරියට ආ කදිම දේශපාලන මෙන්ම වෙළඳ භාන්ඩයක් විය. මෙය වඩාත් මැනවින් අලෙවි කිරීමට ෆේස් බුක් වැනි සමාජ ජාලයන් පසුව මනාව සමත් විය. එහි කුඩා හෝ මහා පරිමාන ගොදුරු බවට දැනුවත්ව හෝ නොදැනුවත්ව සියල්ලෝම පත් වී සිටිති. ලංකාවේ පවතින වියරුකාරී ස්වරූපය අරම්භයා එහි අනුගමිකයෙකුට හෝ ඊට එරෙහිව කටයුතු කරන්නෙකුට බුද්ධිගෝචරව පිළිතුරු ලබාදීමට හැකියාවක් පවතින බවක් පෙනෙන තෙක් මානයකවත් නැත. බැලු බැල්මට සමස්ථ රටම රෝගාතුර වී ඇති බව පෙනී යන්නේ 2012 දී පමණක් සිදු වූ ස්ත්‍රී දුෂණ සංඛ්‍යාව 3850 ඉක්මවා ගොස් තිබීමෙනි. එය වාර්තා වූ සංඛ්‍යාව පමණි. වාර්තා නොවූ දෑ ඉතා විශාල විය හැකිය. බොදු බල සේනාවේ මෙන්ම අන්තවාදී සංවිධාන වල නැගීම මෙම සමාජ විෂමතාව හමුවේ තේරුම් ගත යුත්තේ කෙසේද?
ආගම මත පදනම් කරගත් අන්තවාදය ලෝකයට මෙන්ම ලංකාවට අලුත් දෙයක් නොවේ. එය පිළිකාවක් මෙන් අභ්‍යන්තරයෙන් වර්ධනය වෙමින් පැවති සමාජ විෂමතාවක් ලෙස ස්පුඨ වූයේ හන්දියක් හන්දියක් ගානේ එක එක ආගම් වලට අයත් පිළිම නිර්මාණය කිරීමට පටන් ගැනීමත් සමඟය. එය මඟින් එකිනෙකා අතර තිබු භිය ප්‍රකාශ වූ අතර පෘතුල වශයෙන් පැවති සමගිය ද හැකිලීමට පත් විය. එය අන්තවාදය තුළ අන්තවාදය දක්වා වර්ධනය වූ අතර එම සමීකරණයේ වර්තාමානයේ ඉහලින්ම සිටින්නා අදාළ බොදුබල සේනාව විය හැකිය. නමුත් එය නිශ්චිත නොවන්නා සේම සමාජ සිද්ධි අනුව ඊට හිමි තැන පැවතීමේ හෝ නැතිවීමේ තත්වයට මුහුණ දීමට සිදු වේ. මේ ආකාරයෙන් රට තුළ මෝදු වූ අන්තවාදය විසින් දායාද කරනු ලැබූ තවත් බිහිසුණු මනෝභාවයක් විය. එනම් අභ්‍යන්තරයෙන් විකුර්ති වූ රෝගීභාවය මතුපිටට පෙන්වීම සඟවා තබා ගැනීමට දැරූ අරගලයයි. ඊට වැඩිදුර යාමට නොහැකි වූවා පමණක් නොව අභන්තර රෝගීභාවය පුපුරා සමාජ ව්‍යුහය කුණු වීමට පටන් ගත්තේය. මේ තුළ වගකීමට වඩා අයිතිය, රැකගැනීමට වඩා පැහැර ගැනීමය, ආදරයට වඩා වෛරය, විශ්වාසයට වඩා වංචාව, මතුපිටට ගෙන ඒමත් එම වැරදි භාවිතයන් භාෂාවේ සුමට සහ ගැඹුරු වචන වලින් වසා දමනු ලැබීමත් දක්නට ලැබුණු ප්‍රමුඛ කාරණය විය. එබැවින් වෛරය ආදරය ලෙසත්, වංචාව විශ්වාසය ලෙසත්, ප්‍රතික්ෂේපය පිළිගැනීම ලෙසත්, අයිතිය දේශප්‍රේමය ලෙසත් හැඩගන්වා භාෂාවේ අර්ථරූපයට ඇති හරය විනාශ කොට මව්බස ඛේදජනක විහිළුවක් බවට පත් කරනු ලැබීය. එය සමාජ ව්‍යකූලත්වයේ මූලික හැරවුම් ලක්ෂයක් බවට පත් විය.
බොදුබල සේනාව වූ කලී මෙකි ප්‍රවණතාවයේ පරිධියේ එකතරා අවකාශයක් තුළ නාඩගම් නටන කල්ලියකි . ඉහත සඳහන් කළ ආකාරයේ විකුර්තිභාවයන් හටගත් සමාජ සංස්ථාවක බොදුබල සංවිධානය වැනි කල්ලි බිහිවීම ලංකාවේ දේශපාලනය තුළ මහින්ද රාජපක්ෂගේ නැගීම හා සමරූපීවේ. මහින්ද රාජපක්ෂ වූ කලී රටේ අහඹුවක් නොවේ. එය කාලාන්තරයක් තිස්සේ දිරාගිය විනාශ කරනු ලැබූ මහත්මා දේශපාලනයේ අස්වැන්න ලෙස ලැබූ දායාදයකි. සැබවින්ම එය තවදුරටත් දෙමළ ජනතාවගේ දේශපාලන විමුක්තිය වෙනුවෙන් බිහි වූ සංවිධාන වල අවසාන බලාත්මක නිෂ්පන්නය වූ කොටි සංවිධානය සමඟද ගැලපීමේ වරදක් නැත. එබැවින් මෙවැනි දෑ පුදුම විය යුතු නැතිවාසේම, තේරුම් ගත යුත්තේ බොදුබල සේනාව නැති වූ පමණින් එවැනි සංවිධාන හටගැනීම සඳහා ඇති පරිසරය නැති වී නැති බවයි. එබැවින් බොදුබල සංවිධානය වූ කලී රෝග ලක්ෂණය මිස රටේ පැලපදියම් වී ඇති රෝගය නොවේ. එහි සිටින භික්ෂුන් විවේචනය කොට ඔවුන්ගේ ජීවිතවල කුණු වලින් මාධ්‍ය පිරවීම වූ කලී අසුචි යැයි දැන දැන එය අනුභව කොට ඒ අසුචියයි ස්ථීර කරගැනීමක් හා සමානය.
රටක් හෝ සමාජයක් රෝගීන් කිරීමේ උපායන් තේරුම් ගැනීම අපහසු නැත. ඇමරිකානුවන් ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කරන විට ගැහැණුන්ගේ යටඇඳුම් සහ නොයෙක් මාදිලියේ ලිංගික දර්ශන ඇතුලත් ප්‍රකාශන තෝරාගනු ලැබුවේ ආයුධවලින් කිරීමට නොහැකි දෑ ඒවා මඟින් කළ හැකි නිසාය. එසේම සී.අයි. ඒ. සංවිධානය විසින් අත්අඩංගුවට ගත් ඇතැම් අල් කයිඩා සැකකරුවන්ට ශුද්ධ වූ කුරානය මතට මුත්‍රා කිරීමට යැයි අණ කරනු ලැබුවේ ඔවුන් තුළ පැවති මුලික විශ්වාසයන් කඩා බිඳ හෙලීමට මිස ත්‍රස්තවාදය තුරන් කිරීමට නොවේ. මන්ද ත්‍රස්තවාදය වූ කලී රෝගය නොව රෝග ලක්ෂණය බව බොහෝ දෙනෙක් දන්නා සරල සත්‍යක් වනහෙයින් සේම සතුරෙකු සම්පූරණයෙන් විනාශ කිරීම අවාසිසහගත වන නිසාය. මෙවැනි ආකාරයෙන් රටක් වෙනත් රටක දේශපාලන අවශ්‍යතාවයන් සඳහා එම රටේ වෙසෙන ජනතාව රෝගීන් කිරීම දේශපාලන සහ යුධමය ක්‍රමෝපායක් ලෙස භාවිතා කරනු ලැබූ ආකාරය ඉතිහාසයේ නොයෙක් ආකාරයෙන් ලියවී ඇත. අරමුණ එක වුවද භාවිතා කළ ක්‍රමෝපායන් විවිධාකාරය.
මේ ආකාරයෙන් රාජ්‍යන් තුළද එවැනිම ආකාරයේ දෑ සිදු වී තිබේ. රාජ්‍යක ජනතාවක් කුමන හෝ මාර්ගයෙන් රෝගීන් කිරීම දුෂිත බලය පවත්වා ගැනීමේදී අතිශය වැදගත් වන්නේ එවැනි රෝගී මනසක් බලයේ ඇති ගතික බව තේරුම් ගැනීමට දක්වන මැලිකම නිසා මෙන්ම, එය බලයේ අගති භාවිතාව නිසා ගොදුරට පත්වෙන අයවලුන් එකතු නොකරනු ලබයි. එය එකිනෙක අතර වියුක්තියක් නිර්මාණය කරනු ලබන අතර ආණ්ඩු පාක්ෂිකද, නිර්පාක්ෂිකද, විරුද්ධ පාක්ෂිකද යන්නට වඩා අවසාන පිළිඹිබුවෙදී ගූඪ පුද්ගලිකත්වය කේන්ද්‍රකරගත් කුහකත්වයක් වෙතට තල්ලු කරනු ලබයි. මේ නිසා තවෙකෙක් වෙනුවෙන් තවත් කෙනෙකු කරන කැපකිරීම අතිශය සීමා වූ අතර සමාජ ව්‍යාපාරයන් වෙනුවෙන් එක්ව සටන් කිරීම නොකළ යුතු දෙයක් බවටට පත් විය. මෙවැනි තත්වයක් යටතේ සමාජ ප්‍රතිසංස්කරණය යන්න දවල් හීනයක් පමණක් වන අතර එය සමාජ ව්‍යාකූලත්වය සඳහා හේතු වේ. ලංකාවේ බිහි වූ බොහොමයක් දේශපාලන ව්‍යාපාර මෙම මුලික ලක්ෂණය හදුනා නොගත්තා පමණක් නොව කිසිම සංවිධානයක් තම පුද්ගලික බලය කෙන්ද්‍රකරගෙන “කුහකත්වය” මත පදනම් කරගත් ධූරාවලියක් නිර්මාණය කරගැනීමට උත්සහ කළා මිස ඉන් ඔබ්බට ගිය වැඩපිළිවෙලක් ගැන සිහිනෙන්වත් නොසිතූහ.
රාජපක්ෂ විසින්ද සිදුකරමින් සිටින්නේ එයයි. මෙවැනි ගමනක් රටක අනාගතය පැත්තෙන් අනිවාර්ය ඛේදජනක දෙයක්බව අමුතුවෙන් කිව යුතු නොවේ. රාජපක්ෂ මෙහිදී අනෙක් නායකයින්ට වඩා සිදුකල තවත් එක ක්‍රමෝපායක් විය. එනම් පුද්ගලයාට හිමි අනන්‍යතාවය අහිමි කිරීමයි. නිළිය දේශපාලනඥයෙක් කළේය. දේශපාලනඥයා උඩබලාගෙන සිටින ජෙය්ෂ්ඨ ඇමතියෙක් කළේය. භික්ෂුව පොලිසිය කළේය. ආදී ලෙස සෑම ක්ෂේත්‍රයකටම හිමි තැන විනාශ කළේය. සැබවින්ම මෙය 80 දශකයේ සිටම දක්නට ලැබුණු නමුත් රාජපක්ෂ එය වඩාත් දරුණු ලෙස සිදුකළේය. මේ හරහා රාජපක්ෂ තම හෝ තම පවුලේ සභිකයින් හැර කිසිවෙකු විස්වාශ කිරීම වූකලී තම අවශ්‍යතාව ඉටුකර ගැනීම නොවන තැනට තල්ලු කරනු ලැබීය. මචං ඥණසාරගෙන් ඔබ්බට ඇති කතාන්තරය වන්නේ එයයි. මෙය තේරුම් නොගෙන මචං ඥාණසාරගේ හෝ මචි ඥාණසාරගේ කුණු ඇවිස්සීම තාවකාලික ප්‍රමෝදය සඳහා පමණක් හේතු වේ. මෙය දේශපාලන න්‍යායක වශයෙන් ගත් කළ ” බුද්ධිමතා විසින් හිතාමතාම සිදුකරන ස්වයං-වින්ධනය” ලෙස හැදින්විය හැකිය. රටේ ජනතාවට අවබෝධ කරදිය යුත්තේ මෙය නොවන බව තේරුම් ගැනීමට ගතවන කාලය ගෙවන තාක් රාජපක්ෂ විසින් බිහිකොට ඇති සංස්කෘතිය නිශ්චිතයක් වනු ඇත.
@Image Credit: www.dailymirror.lk
නිලන්ත ඉලංගමුව | Nilantha Illangamuwa