Democracy, Features, Governance, Human Rights, Matale, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance

මාතලේ සමූළ ඝාතනයෙන් එපිටට මානව හිමිකම් සංස්කාතියක් කරා

vbk-sri_lanka_mass_1410089f

ඔවුන් වැළලෙන්නට ඇත්තේ කෙඳිරියකටවත් ඉඩක් නැතිව ය. මහා ඝනාන්ධකාරයේ විය යුතු ය. දැන් විසිපස් වසරකට පසු ඔව්හු මිහිමතට ආහ. හරියට පෙර නිමිති බලා කැරුණූ ආගමනයක් වැන්න. සළකුණක් හෝ නොතබා අතුරුදහන් වූ බවට ඉතිහාසයෙන් මැකී යනු ඇතැයි ඝාතකයින් සිතන්නට ඇති දෙවැනි ජවිපෙ පරම්පාරාව දැන් ශ‍්‍රී ලංකාවේ දේශපාලන වගවීම පිළිබඳ කතිකාවතෙහි නව දෝංකාරයක් ලෙස මාතලෙන් මතුව තිබේ.

දස දහස් ගණනාවක සිට හැත්තෑ දහස දක්වා දෙමළ ජන සමූළ ඝාතනයක් යුද්ධයේ අවසන් සමයේ සිදුව ඇතැයි සතරවටින් ලංකාණ්ඩුවට චෝදනා එල්ල වන සහ ඒ පිළිබඳ පිළිගත හැකි ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා එක්සත් ජාතීන්ගේ සංවිධානය යෝජනා සම්මත කරන මෙවැනි සමයක් හැර අන් යෝග්‍ය සමයක් මෙම සිංහල තරුණ ඝාතනය ගැන කතා කිරීමට තිබිය හැකි ද?

එපමණක්ම ද? මෙම සිංහල තරුණ සමූළ ඝාතනය සිදු කෙරුණූ මාතලයේ දිසාවේ රජයේ හමුදා ප‍්‍රධානීන් වූ එවකට අණදෙන නිලධාරී ලූතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ, අණදෙන නිලධාරී සහායක(ඇජුටන්ට්) ශවේන්ද්‍ර සිල්වා, කපිතාන් ජගත් ඩයස් සහ කපිතාන් සුමේධ පෙරේරා යන නිලධාරීන් යුද්ධයේ අවසන් සමයේ සෙන්පතියන් වූ අතර එම කාල පරිච්ජේදයෙහි ජන ඝාතනයන් සම්බන්ධයෙන් ද දැන් වෝදනා ලබමින් සිටීමද පුදුමාකර සහසම්බන්ධයකි. මෙම සියළු නිලධාරීන් ගජබා රෙජ්මේන්තුවට අයත් වූ අතර එහි පසුමුණ මූලස්ථානය පිහිටා තිබුනේ ද තිබෙන්නේ ද මාතලේ ය.

අතුරුදහන් වූ 18 හැවිරිදි සුසන්ත ජනක සහ 17 හැවිරිදි රෝහන නිශාන්ත යන සිය දරුවන් දෙදෙනා සොයා එවකට මාතලේ අණ දෙන සෙන්පති වූ ගෝඨාභය රාජපක්ෂ හමුවීමට ගිය තමාට ඔහු හමුවීමට අවස්ථාවක් ලබා නොදුන්නේ යැයි ඔවුන්ගේ මව වූ කමලාවතී පසුගිය සති අන්ත පුවත්පතකට කියා තිබුණි. රවටනු පිණිස සොල්දාදුවන් විසින් මාතලේ දිසාව පුරා වූ කඳවුරු කරා යවන ලද කමලාවතිට පසුව සිය දරු දෙදෙනා පිළිබඳ බලාපොරොත්තු අතහැරීමට සිදු විය. එවකට මාතලේ දිසාවේ මව් පෙරමුණේ සංවිධායක වූයේ එහි ශ‍්‍රිලනිප මංත‍්‍රීවරයා වූ නන්දිමිත‍්‍ර ඒකනායක ය. අතුරුදහන්වීම් වලට එරෙහිව සටන් කළ මව් පෙරමුණේ නායකයා වූ මහින්ද රාජපක්ෂගේ සහෝදරයා වූ බැවින් ලූතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ සමඟ ඔහුට හොඳ සබඳතාවයක් තිබුණි. වධහිංසා පමුණුවා මරා දැමීමට නියමිතව සිටි කිසිසේත්ම ජවිපෙට සම්බන්ධයක් නොතිබූ, පසුව කදුරුවෙළ ගොවි නායකයකු බවට පත් 1971 කැරලිකරුවකු එමගින් බේරා දීමට පා.ම. නන්දිමිත‍්‍ර සමත් වූ බව මේ ලියම්කරු පුද්ගලිකවම දනී. නමුත් තමා හමුවට පැමිණ ආයාචනා කළ කමලාවතීගේ දරුවන් දෙදෙනා බේරා දීමට රාජපක්ෂ මහතා හරහා ඔහුට බැරි විය.

මාතලේ සමූළ ඝාතනය පිළිබඳ විපක්ෂ දේශපාලන උනන්දුව ගොඨාභය රාජපක්ෂ මහතා කොටු කිරීමේ වෑයමක් ලෙස අයෙක් හදුන්වා තිබුණි. මෙම අපරාධය සම්බන්ධයෙන් ඊට අදාළ සියළු බලධාරීන් අධිකරණයට කැඳවිය යුතුයැයි ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් ද කර තිබුණි. එසේ නමුත් මාතලේ ප‍්‍රදේශයේ අතුරුදහන්වීම් සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ කොට කිසිදු සාක්ෂියක් මධ්‍යම පළාතෙහි අතුරුදහන්වීම් සොයා බැලූ සුන්දරලිංගම් කොමිෂම හමූයේ ඉදිරිපත් වූයේ නැත. මන්ද යත් ඔහු ගමින් ගම යමින් ජවිපෙ සමඟ සටන් කළේ හෝ අත් අඩංඟුවට ගන්නා කණ්ඩායම් බාරව හෝ ගමන් නොකළ නිසා ය. එසේ නමුත් දෙසියයක් පමණ වන මෙම තරුණ සමූළ ඝාතනය ඔහු විසින් මාතලේ දිසාවෙහි යුද්ධ හමුදා පාලනය කළ කාලයෙහි සිදුව ඇති බව දැන් අධිකරණය විසින් තීරණය කර තිබේ. ඒ අනුව අණදීමේ දාමයෙහි වගකීම යන න්‍යාය මත ඔහු ද මෙම ඝාතනයන්ට වගකිව යුතුය යන ප‍්‍රවාදය බැහැර කිරීම දුෂ්කරය.

එකළ දරුවන් අතුරුදහන් වූ මාපියෝ සරණක් පතා මාතලේ වැසියකු වූ ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිවෙසට ඒමට පටන් ගත් බැවින් ඔහුගේ ප‍්‍රධානියා වූ ගෝඨාභය රාජපක්ෂ විසින් ඔහු අනුරාධපුරයට මාරු කරන ලදැයි ද කියනු ලැබේ.

අන්තර් ජාතික නීතිය අණදීමේ දාමයෙහි වගකීම පැහැදිළිව දක්වා ඇතත් ශ‍්‍රී ලංකාවෙහි නීතිය හෝ ලබා දී ඇති ශ්‍රේෂ්ඨාධිකරන තීන්දු මගින් එය එළෙසම පිළිගැනේනේ නැත. එබැවින් ම 1994 අතුරුදහන්වීම් පිළිබඳ කොමිෂන් සභා මෙසේ නිර්දේශ කලේ ය. ‘‘අණදීමේ දාමයෙහි වගකීම’’ පිළිබඳ නීතිමය තත්ත්වය, ශ‍්‍රී ලංකා ව්‍යවස්ථාවේ 126 වගන්තිය විසින් එයට පවරා ඇති අධිකරණ බලය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පැහැදිළි කළ යුතු ය.’’

එකී නිර්දේශය ඉදිරිපත් කරනු ලැබුනේ ඒ හා සබැඳි තවත් නිර්දේශ ගණනනාවක් සමඟ ය.

‘‘(අතුරුදහන්වීම්වලට අදාළව) දරුණූ මානව හිමිකම් කෙළසීම් විශේෂ පොලිස් ඒකකයක් විසින් පරීක්ෂා කළ යුතු අතර එය අවම වශයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරයකගේ ඍජු සුපරීක්ෂාකාරිත්වය යටතේ සිදුකළ යුතු ය.

‘‘මැතිවරණ කොමසාරිස්වරයා හෝ විඝනකාධිපති හෝ වැනි පාර්ලිමේන්තුවෙන් මුදල් අනුමත වන ස්වාධීන මානව හිමිකම් නඩු පැවැරීමේ ආයතනයක්/අභියෝජකයෙකු මෙම අතුරුදහන්වීම් සම්බන්ධයෙන් පිහිටවිය යුතු ය.

‘‘පැහැදිළිවම බලහත්කාර අතුරුදහන්කිරීම් සහ අනීතික ඝාතනයන් සම්බන්ධ නීතිය විය යුත්තේ සාමන්‍ය නීතිය යි. එසේ වුවද රඳවා තබා ගත් බව තහවුරු වූ පසු ඉන් අනතුරුව සිදුවූයේ කුමක්දැයි පැහැදිළි කිරීමක් නැත්නම් නිර්දෝශීත්වය සනාථ කිරීමේ වගකීම චෝදනා ලබන පුද්ගලයාට පැවැරෙයි’’

සමස්ත ලංකාව ම ආවරණය කළ 1998 මනෝරී මුත්තෙට්ටුවගම කොමිසම ද 2001 දී ඉදිරිපත් කල සිය නිර්දේශයන්හි ලා ‘අණදීමේ දාමයේ වගකීම’ පිළිබඳ සංකල්පය පිහිටුවන ලෙස නිර්දේශ කළා ය.

1994 සාම ගිවිසුම බිඳවැටී, බලහත්කාර අතුරුදහන් කිරීම් අනීවාර්ය අංගයක් බවට පත්ව තිබූ යුද්ධය කරා ආපසු ගිය කුමාරතුංග ආන්ඩුවට එම නිර්දේශ හමස් පෙට්ටියට යැවීම හැර අන් විකල්පයක් තිබුනේ නැත. අධිකරණය හමුවට පමුණුවන ලද්දේ ඇඹිළපිටිය පාසැල් සිසුන් 21 දෙනා පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම පිළිබඳ නඩුව වැනි කැපී පෙනෙන සිදුවීම් කිහිපයක් පමණකි. එසේ වුවද අතුරුදහන්වීම් සම්බන්ධයෙන් නඩු පැවැරීම සඳහා ස්වාධීන ආයතනයක් පිහිටුවීම, අණදීමේ දාමයේ වගකීම යනාදී තීරණාත්මක නිර්දේශ ඇයගේ ආන්ඩුව නොසළකා හැරියා ය.

ඇත්ත වශයෙන්ම නම් උගත් පාඩම් කොමිෂම විසින් 2011 දී ද, එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා නියෝජනය වන අන්තර් ජාතික රාජ්‍ය ප‍්‍රජාව විසින් 2012 සහ 2013 දී ද අතුරුදහන්වීම් සමබන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනා සහ නිර්දේශ 1994 කොමිෂන් සභා නිර්දේශ සමඟ සමානත්වයක් දක්වයි.

එසේ නමුත් විශේෂයෙන්ම යුද්ධයේ අවසන් සමය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉදිරිපත් කරන ලද සෑම වාර්තාවක්ම සහ නිර්දේශයක්ම එක් කරුණක් සම්බන්ධයෙන් 1994/1998 නිර්දේශ ඉක්මවා යයි. එනම් යුද වැදුණූ අනෙක් පාර්ශවය (එනම් එල්ටීටීඊ ය) විසින් කරන ලද මානව හිමිකම් කෙළෙසීම් ද පරීක්ෂා කළ යුතු බවට වන නිර්දේශය යි.

1994 කුමාරතුංග ආන්ඩුව 1988 – 1990 භිෂණ යුගය සම්බන්ධයෙන් දක්වන ලද ආකල්පය දේශපාලනමය හේතූන් මත ඒක පාර්ශවීය එකක් විය. එය දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරය නමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් කරන ලද මානව හිමිකම් කෙළෙසීම් පරීක්ෂා කිරීමට කටයුතු නොකළේ ය. එපමණක් නොව විජය කුමාරතුංග ඝාතනය කළේ එජාපය යැයි කියා ජවිපෙ ඝාතනයන්ට සුදුහුණු ගෑම ද කළේ ය. එබැවින්ම භීෂණ සමයෙහි ජවිපෙ විසින් ඝාතනය කළ දහස් ගණනාවක් වන දේශපාලන ක‍්‍රියාකාරීන් පිළිබඳ ඉතිහාසීය වාර්තාවක් අද ශ‍්‍රී ලංකාවේ නැත.

අනෙක් අතට තමන්ගේ නායකත්වය යටතේ ක‍්‍රියාත්මක වූ සන්නද්ධ කණ්ඩායම් විසින් ඝාතනය කරන ලද නිරායුද සාමකාමී සමාජ දේශපාලන ක‍්‍රියාකාරීන් සම්බන්ධයෙන් ජවිපෙ කිසිවිටෙක ප‍්‍රසිද්ධ සමාව ඉල්ලීමක් කළේ ද නැත. එසේ නොකොට එකල ඝාතනය වූ සිය සාමාජිකයින් ගේ අයිතීන් ගැන පමණක් කතා කිරීමෙහි ඇති දේශපාලන සදාචාරය ප‍්‍රශ්ණකාරී ය.

රනිල් වික‍්‍රමසිංහ පැටලැවීමේ අරමුණින් පසුකාලීනව ‘බටලන්ද කොමිසම’ පත් කළ නමුත් කුමාරතුංග ආන්ඩුව තවත් වැදගත් ක්ෂේත‍්‍රයක් නොසළකා හැරියා ය. එනම් එකී භීෂණ සමයෙහි පාලක දේශපාලනඥයින් විසින් කරන කරන ලද මානව හිමිකම් කෙළසීම් ය.

මෙම කොමිසන් සභාව හමූයේ සාක්ෂි දුන් එකළ යුද හමුදාපති වූ රොහාන් දලූවත්ත මහතා ඝාතනය කළයුතු පුද්ගලයින්ගේ ලැයිස්තු දේශපාලන ප‍්‍රධානීන් විසින් තමාට ලබාදුන් බවත් ඒ ලැයිස්තුවල අහිංසක ශ‍්‍රීලනිප පාක්ෂිකයන් වූ බවත් කියා සිටියේ ය. ‘‘එවැනි ලැයිස්තුවක් දුන් දේශපාලනඥයෙක් ඔවුන් සුද්දකර දාන්න යැයි මට කිව්වා’’ යැයි ඔහු සාක්ෂි දුන්නේ ය.

එවකට පොලිස්පති වූ සිරිල් හේරත් මහතා සිය සාක්ෂියෙහි කියා සිටියේ ජේෂ්ඨ පොලිස් අධිකාරින් 15 දෙනෙකුට පසු පසින් සිටි උඩුගම්පොළ නියෝජ්‍ය පොලිස්පතිවරයකු බවට පත් කිරීම මගින් පොලීසිය දේශපාලන උවමනාවන්ට යොදා ගන්නා සැළැස්මක් ඇති බව තමා දුටු බවයි. ‘‘පොලීසිය තුළ වෙනම අණදීමේ ක‍්‍රමයක් ඒ සඳහා සකස් කර තිබුණි’’ යැයි ඔහු කීය. නමුත් එවැනි කරුණූ කිසිදු වැඩිදුර පරීක්ෂනයකට ලක් නොවිනි.

මාතලේ සමූළ ඝාතනයේ දේශපාලන අවතාරය අද බලවතුන් පසු පස හොල්මන් කරන පරිදි රට පුරාම සිදු වූ එවැනි ඝාතනයන් (නැගෙනහිර පළාතේ අතුරුදහන් වූ බවට මිලර් පියතුමන් විසින් සපයන ලද 7000ක තරම් නම් ලැයිස්තුවක් තවමත් කිසිදු පරීක්ෂනයට ලක් නොවී කොමිෂන් ලිපි ගොනු අතර තිබේ) යම් දිනෙක මිහිමතට පැමිනෙනු සහතික ය. එබැවින් සමාජයක් වශයෙන් අප මුහුණ දෙන්නේ සියළු භිෂණ සමයන්හි විපතට පත් සෑම පාර්ශවය ම හැමට ම යුක්තිය සහ සාධාරණය ඉෂ්ඨ කර පිළිබඳ එම බියජනක මතකය ඉතිහාසයට තබා මානව හිමිකම් සංස්කෘතියක් කරා ගමන් කිරීම පිළිබඳ අභියෝගයට ය.

1988 – 1990 භිෂන සමය අරභයා යුක්තිය මත පදනම් වූ සංහිදියා ව්‍යායමයකට මුල පිරුනේ නැත. එල්ටීටීඊ ය සමඟ වූ යුද්ධයේ අවසන් සමයට අදාළව උගත් පාඩම් කොමිසම පිහිටුවන ලද්දේ යම් දුරකට එවැනි අදහසක් ගම්‍ය වන පරිදි ය. එනමුත් එය විසින් ඉදිරිපත් කරන ලද යම් හෝ වෙනසකට මඟ පෑදිය හැකිව තිබූ යෝජනා රජය නොසළකා හැරියේ ය.

මාතලේ සමූහ ඝාතනය සම්බන්ධයෙන් පත් කැරෙන බවට ප‍්‍රකාශිත ජනාධිපති කොමිසමෙන් සිදුවනු ඇත්තේ ඒ අඩුව පිරවීම යැයි සිතීම ඉතා දුෂ්කර වන්නේ ඒ නිසා ය. මරා දැමුනේ මාතලේදී ද මුල්ලෙවයික්කාල්හි දී ද ඔවුන් දෙමළ ද සිංහල ද යන්න හෝ හෝ ඝාතකයින් රජයේ ද සන්නද්ධ කණ්ඩායම් වලද යන්න හෝ පිළිබඳ වෙනසක් නැතිව අප මෙම අපරාධයන් පිළිබඳ යථාර්තයට මුහුණ දිය යුතුය. ඊට පිළියම් සෙවිය යුතු ය. නොඑසේනම් අපේ දරුවන් හෝ දරුවන්ගේ දරුවන් හෝ මෙවන් ඉරණමකට මුහුණ දීම වැළැක්විය නොහැකි ය.

[@Image Credit: www.thehindu.com | In this Jan. 2, 2013 photo, a police officer walks past a partially excavated skeleton, at a mass grave found inside the premises of a government hospital in Matale, about 140 kilometers (about 88 miles) north-east of Colombo.]

Sunanda Deshpriya
සුනන්ද දේශප‍්‍රිය | Sunanda Deshapriya