‘‘අත්තනෝමතික ආණ්ඩු… සියල්ල අනුගමනය කරන්නේ එකම තර්කනයකි’’ උම්බෙර්තෝ ඉකෝ (ප‍්‍රාග් සුසානය)
ආර්ථික හැලහැප්පිලි අස්සේ සංවර්ධනය පිළිබඳ දරා සිටි බලාපොරොත්තු කඩවීම්, සිංහල ජනයා අතරේ මහින්ද රාජපක්ෂට කලක් තිබූ යෝධ ජනප‍්‍රියත්වය තලා පොඩි කොට තිබේ. එහෙත් තවමත් යම් ජනප‍්‍රියත්වයක් නොනැසී පවතී. එය අරුමයට කාරණයක් නොවේ. අත්තනෝමතික පාලකයෝ සාමාන්‍යයෙන්, යම් කාලයකට, ජනප‍්‍රියත්වයක් උසුලති. ඔවුන්ගේ පාලනයේ විනාශකාරී ප‍්‍රතිඵල දැනෙන්ට පටන්ගන්නේ කලකට පසුව ය. වේලූපිල්ලේ ප‍්‍රභාකරන් එකල ජනප‍්‍රිය විය. ජරමානු නගර මහ දවල් බිමට සමතලා කළ ඇමරිකානු ගුවන් බෝම්බ වරුසාවල් සමග ජරමානු සහස‍්‍ර රාජ්‍යයේ දේශසීමාවට රුසියානු රතු හමුදාව අවතීර්ණ වීම තුළ අනිවාර්ය කෙරුණු ඉරණම් පරාජය සාමාන්‍ය ජරමානු ජනයාට අවබෝධ වන තෙක්, ඇඩොල්ෆ් හිට්ලර් ද එවැනිම ජනප‍්‍රිය චරිතයකි.
සිංහල ජනයා අතරේ මහින්ද රාජපක්ෂ ජනප‍්‍රිය වන්නේ, ‘ෂන්ග‍්‍රි ලා’ මාදිලියේ සංවර්ධනය පිළිබඳ සිහිනය තවමත් මිනිසුන් විශ්වාස කරන නිසා ය. 30 අවුරුදු යුද්ධයක් ඔහුගේ නායකත්වය යටතේ ජයග‍්‍රාහී අවසානයකට පත්වූ නිසා ඔහු පිළිබඳ විශ්වාසයක් මිනිසුන්ට ඇත. එහෙත් එළැඹුණු සාමයෙන් අත්වෙතැ යි සිතූ ප‍්‍රතිලාභ පේන තෙක් මානයක නොමැති කම සහ ආර්ථික දුෂ්කරතා එක පිට එක ගොඩගැසීම තුළ, සෞභාග්‍යමත් හෙටක් පිළිබඳ බලාපොරොත්තුව ඉරිතලා තිබේ.
කෙසේ වෙතත්, ඉතිරිව ඇති විශ්වාසයේ ශේෂය දල්වා තබා ගැනීමේ වැදගත්කම රාජපක්ෂ සහෝදරයෝ දනිති. විදුලි බිල ඉහළ දැමීම වැනි සාහසික ප‍්‍රහාරයන් නිසා එකී ශේෂයට විය හැකි බරපතල හානියත් ඔවුන් නොදන්නවා නොවේ.
රාජපක්ෂලාගේ ආර්ථික සංවර්ධන උපායමාර්ගය, ආර්ථික නවලිබරල්වාදය සහ රාජ්‍ය ධනවාදයේ සංයෝගයකි. ජනතාව ආලෝලනය කරන ඔවුන්ගේ ජනප‍්‍රිය වාගාලංකාරය, එකී දුෂ්ට ප‍්‍රතිපත්ති මාලාව වසංගන මන්ත‍්‍රයක් වැන්න. ඔවුන් අනුයන, බදු-ණය-වැය ප‍්‍රතිපත්තිය, ඔවුන් නිතර දොඩවන ජනතාවාදයට පටහැනි ය. උදාහරණයක් වශයෙන්, ඔවුන්ගේ බදු ප‍්‍රතිපත්තිය රැඳෙන්නේ, අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ සේවාවන් ඉලක්ක කරගත්, වක‍්‍ර බදු ගනයට යි. ඒ හේතුවෙන්, බදු බරෙන් විශාල කොටසක් පැටවෙන්නේ ධනපතියන්ගේ කරට නොව, ආදායම් කුඹගසේ පහළම කෑල්ලේ එල්ලී සිටින දිළින්දන්ගේ කරට යි. අනිත් අතට, පොදු අවශ්‍යතා සඳහා වන වියපැහැදම්වල දී මේ සහෝදරයෝ කප්පාදුවටම කැසකවති. එහෙත් ජනතාවට මෙලෝ වැඩක් නැති, පොදු ආර්ථිකයට සම්මාදමක් නැති යෝධ ව්‍යාපෘති සඳහා නම්, රාජපක්ෂ නාමය ඉදිරියෙන් දාගෙන අතොරක් නැතිව වියදම් කරති.
‘මිහින් ලංකා’ ගුවන් සමාගම සිය සමස්ත පැවැත්ම තුළ එක සතයකවත් ලාභයක් ලබා නැති කම, රාජපක්ෂ සංවර්ධන මාදිලියේ රුදුරු ප‍්‍රතිවිපාක පෙන්නුම් කරන විශිෂ්ට සංකේතයකි. අධිවේගී මාර්ග උන්මාදය තවත් එකකි. ඒ වෙනුවෙන් ජාතියට පැටවෙන වාර්ෂික පාඩුව රුපියල් බිලියන 5.5 කි. මොරටුව විශ්ව විද්‍යාලයේ ප‍්‍රවාහණ සහ ප‍්‍රවර්ධන කළමනාකරණ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය අමල් කුමාරගේට අනුව: ‘‘අධිවේගී මාර්ගයෙන් උපයා ගන්නා වාර්ෂික ආදායම රුපියල් බිලියනයකට ආසන්න වන අතර, එහි නඩත්තුව සහ ඒ සඳහා ගත් ණය මුදලේ පොලී ගෙවීම සඳහා වන වාර්ෂික වියදම, රුපියල් බිලියන 6.5 ක් පමණ වේ.(සිලෝන් ටුඬේ- 29 මාර්තු 2013). මේ බිලියන 5.5 ක නාස්තිකාර මුදල, රටේ ප‍්‍රධාන පාරවල්, ග‍්‍රාමීය පාරවල් සහ පොදු ප‍්‍රවාහණය ප‍්‍රවර්ධනය කිරීම සඳහා යොදාගත හැකිව තිබුණි. එහෙත් රාජපක්ෂ සහෝදරවරු, ඔවුන්ගේම ආර්ථික තර්කණයෙන් සෑහීමට පත්වන තරමටම, පොදු ජන අවශ්‍යතා ගැන ද මායිම් නොකරති. ඔවුන්ගේ එකම සැලකිල්ල රැඳෙන්නේ, ස්වකීය බලයත්, පුද්ගල කීර්තියත් මත්තේ ය.
මත්තල පිස්සුව
මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපොළ, රාජපක්ෂ සංවර්ධනය පමණක් නොව, රාජපක්ෂ පාලනය ද විදහාපාන අගනා රූපකයකි. මත්තල ගුවන් තොටුපොළ ගොඩනැගුවේ ජාතික හෝ ප‍්‍රාදේශීය අවශ්‍යතාවක්වත්, සංවර්ධන අවශ්‍යතාවක්වත් පෙරදැරිව නොව, රාජපක්ෂ ආශාවක් සන්තර්පණය කර ගැනීම සඳහා ය. රාජපක්ෂලාගේ ශ‍්‍රී ලංකාව තුළ, රටේ ප‍්‍රධාන ගුවන් තොටුපොළ යටගියාවේ පාලකයෙකුගේ නාමයෙන් හැඳින්වීම, කනට යවුලකින් ඇනීමකි. විශේෂයෙන් එකී නාමධාරියාගේ දියණියත් තරමක හිසරදයක්ව ඇති අවස්ථාවක, එය තවත් බරකි. ඉතිං, කටුනායක ගුවන් තොටුපොල බණ්ඩාරනායකගෙන් රාජපක්ෂට මාරු කිරීම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් අවුලකට හේතු විය හැකි නිසා, තිබෙන එකම විකල්පය වන්නේ, නව පාලකයන්ගේ නමින් නව ගුවන් තොටුපොලක් ගොඩනැගීමයි. රාජපක්ෂගේ දීර්ඝ කාලීන සැලසුම් තුළ, ලංකාවේ පරිපාලන අගනගරය හම්බන්තොට බවට පත්කිරීමේ ඉලක්කයක් ද තිබිය හැකිය. එවිට එය, ‘ශ‍්‍රී රාජපක්ෂ පුරය’ වේවි. ජාතික ලොතරැයි මණ්ඩලය හම්බන්තොටට ගෙන යාමේ වර්තමනා සැලැස්ම, යම් දවසක මේ නව කේන්ද්‍රය වෙතට පොදුවේ රාජ්‍ය ආයතන මාරු කිරීමේ සමාරම්භයක් විය හැකියි.
අළුත් අගනුවරකට අළුත් ගුවන් තොටුපොළක් අවශ්‍ය කෙරේ.
ගුවන් මගීන් සහ ගුවන් සේවාවන් රොද බැඳගෙන මත්තලට යන්නේ නැත. එහෙත්, කුරුල්ලෝ එහි යති. මත්තල ඇත්තේ, සංක‍්‍රමණික කුරුල්ලන්ගේ අනාදිමත් මාර්ග පථයකට යාබදවයි. ඊට අමතරව, කතරගම/ස්කන්ධ දෙවියන්ගේ වාහන සංකේතය වන, එසේ හෙයින් සිංහල-බෞද්ධයන්ට සේම දෙමළ-හින්දූන්ට ද පූජණීය වන, මොණරු ද එහි වෙසෙති. ඒ, තවත් වන සතුන්ට සහ අලි ඇතුන්ට අමතරවයි.
දැනටත්, ගුවන් සමාගම් දෙකක් කුරුළු උවදුරුවලට ගොදුරු වී ඇත. ඒ ආරංචිය පැතිරුණොත්, උපරිම වරදාන පිදුවත් මත්තලට ගුවන් යානා එන එකක් නැත. ඉතිං, ඒ ප‍්‍රශ්නයට රාජපක්ෂවරුන්ගේ පිළිතුර කුමක් ද? කුරුල්ලන්ගෙන් සහ වන සතුන්ගෙන් තොර කලාපයක් බවට මත්තල පත්කිරීමේ අළුත් ‘මානුෂීය කි‍්‍රයාන්විතයක්’ දියත් කිරීමයි. වසර දහස් ගණනක් තිස්සේ කුරුළු සහ වෙනත් සත්ව කොටස් නඩත්තු කළ පෝෂිත බිම් සහ ජල සම්පත් වසා දැමීමේ සැලසුම් ඊට අන්තර්ගතයි.
සාගතය සහ පිපාසයෙන් පිස්සු වැටෙන සත්ත්ව වර්ගයා එවිට ජනාවාසවලට පැමිණෙනු ඇත. අලි-මිනිස් ගැටුම (අලි මිනිස් ජීවිත බොහෝ ගණනක් විනාශ කරමින්, අලිගහනය සදහට අතුගා දැමීමේ අනතුරට දැනටමත් මුහුණදී ඇති තත්වයෙන්) ඊළඟ අදියරට ගොස්, මිනිස්-සත්ත්ව ගැටුමකට ඒ මගින් මග පෑදෙනු ඇත. ජලය හිඟකම ඇතුළු අනේක ගැටළු අත්විඳින සිංහල ගොවියන්ට තවත් උවදුරක් එළැඹෙනු ඇත. සාමාන්‍ය මිනිස් ජීවීන් සහ වන සතුන් මොන තරම් විඳෙව්වත්, මියගියත්, රාජපක්ෂලාට තම නමින් ගොඩනැගෙන අළුත් ගුවන් තොටුපොළකින් ගොඩ බැසීමට සහ ගුවන්ගත වීමට හැකි වනු ඇත.
රාජපක්ෂ ආර්ථික ප‍්‍රතිපත්තිය තුළ මොනම විදිහකවත් ජනතාවාදී සංයුතියක් නැත. එය හැඳින්විය හැක්කේ, රොබින්හුඞ්-විරෝධී ප‍්‍රතිපත්තියක් වශයෙනි. එනම්, දිළිඳු/මැද පංතිකයන්ගෙන් පැහැරගෙන ධනපතියන්ට පැවරීමක් වශයෙනි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ධනපතියා තවත් ධනවත් වෙමින් දිළින්දා අන්ත දිළිඳු භාවයට පත්වෙද්දී, මැද පංතිකයා ස්වකීය ජීවන තත්වය රැක ගැනීමට ණය ගොහොරුවක ගිල්වනු ලැබේ. 2012 වසර සඳහා වන මානව සංවර්ධන දර්ශකය තුළ ශ‍්‍රී ලංකාව දරණ අගය, 0.715 සිට 0.607 දක්වා පල්ලම් බැස තිබීමෙන් පෙන්නුම් කරන්නේ එයයි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩපිළිවෙලට අනුව, මේ පරිහානිය, ‘පරිමාණ සූචියේ ව්‍යාප්තිය තුළ පවතින විෂමතාව’ නිසා සිදුවූවකි. (ශ‍්‍රී ලංකාවේ දිළිඳු භාවය/ආදායම් විෂමතාව පිළිබඳ සංඛ්‍යා දත්ත නොමැති කම අහම්බයක් නොවේ).
විදුලිය පරිභෝජනයේ පහළ සහ මැද තීරුව මත උපරිම මිල පටවමින් ඉහළ පරිභෝජකයන් ආරක්ෂා කරගැනීමක් පෙන්වන වර්තමාන විදුලි බිලේ මහා ප‍්‍රහාරය සිංහල ජනතාවට පෙන්නුම් කරන්නේ වෙන කිසිවක් නොව, සෞභාග්‍යමත් හෙට දවසක් පිළිබඳ ඔවුන්ගේ අපේක්ෂාව රාජපක්ෂ ආර්ථිකය තුළ සිහිනයක්ම වන බවයි.
රාජපක්ෂවරුන්ට වර්තමානයේ සිංහල ජන පදනම රැක ගැනීමට නම්, එම ජනතාවගේ අවධානය ආර්ථිකය වෙත යොමුවීමෙන් ඔවුන් තාර්කික නිගමනවලට බැසීම වැළැක්විය යුතුව තිබේ. ඒ ජන පදනම රැක ගැනීමට හැකි වන තාක් කල්, මැතිවරණ දිනීම සඳහා පොදුවේ හිංසනය පාවිච්චි කිරීමටවත්, සමාජයේ ක‍්‍රමවත් භාවය පවත්වා ගැනීමට පොදුවේ මර්දන අවිය යොදා ගැනීමටවත් අවශ්‍ය නොවේ. හිංසනය සහ මර්දනය, ඉලක්කගත සීමාවක පවත්වාගත හැකි වන තාක්, ප‍්‍රජාතන්ත‍්‍රීය මුහුණුවරේ යම් පරාසයක් බේරා ගැනීමට ඔවුන්ට හැකි වන්නේය.
පොදුවේ ගත් කල, සුළු-ජාතික බිල්ලාත්, විශේෂයන් ගත් කල, මුස්ලිම් බිල්ලාත් රාජපක්ෂවරුන්ට අත්‍යාවශ්‍ය වන්නේ මෙහි දී ය. අවවරප‍්‍රසාදිත සිංහල පවුල්වල තරුණ තරුණියන් රැකියා විරහිතව සිටිය දී, වරප‍්‍රසාදිත දෙමළ ශිෂ්‍යයන්ගෙන් විශ්ව විද්‍යාල සහ උසස් වෘත්තීන් පිරී ගියේ යැයි කී පරණ තැටිය, දැන් අළුතෙන් හදාගන්නා මුස්ලිම් බිල්ලෙකුට ආරෝපණය කළ හැකි වෙයි: ඒ අනුව, සිංහලයාගේ සෞභාග්‍යය වළකාලන ‘කෛරාටික මුස්ලිම්’ ජාතිකයෙකු හඳුන්වා දෙනු ලැබේ. සිංහල ඉඩම්වල පදිංචි වීමට කැසකවන, සිංහල සම්පත් ඒකාධිකාරී සන්තකයට ගැනීමට මානබලන, ‘ලොකු දරුපවුල් සහිත සාරවත් මුස්ලිම්’ ජාතිකයෙකු හඳුන්වා දෙනු ලැබේ. සිංහල ජාතිය නියාලූ සුළුතරයක් කිරීමට සැදීපැහැදී සිටින ‘ප‍්‍රචණ්ඩ මුස්ලිම්’ ජාතිකයෙකු හඳුන්වා දෙනු ලැබේ.
සුළුජාතික බිල්ලන් මැවීම, අත්තනෝමතික පාලනයක සුපුරුදු ප‍්‍රයෝගයකි. එහි පරමාර්ථය වන්නේ, දිනෙන් දින අර්බුදයේ ගිලෙන ආර්ථික වින්නැහියට එරෙහිව ස්වාභාවිකව මෝදු වෙන මහජන කෝපය හරවා යැවිය හැකි වෙනත් ඉල්ලක්කයක් සිංහලයාට සම්පාදනය කර දීමයි. වෙනත් විදිහකින් කිවහොත්, තමන්ගේ විඳවීමේ සැබෑ කර්තෘකාරකයන් අමතක කොට, මුස්ලිම් දඩමීමෙකු වෙත කෝපය පහ කිරීමට සිංහල ජනයාව මෙහෙයැවීමයි.
ඒ බොරුවට නැවතත් හසුවීමට තරම් අපි මෝඩ වම් ද? අපේ ජාතික ගමන් මග සදහටම නිර්ණය විය යුත්තේ, මුග්ධ ජානයකින් ද?
තිසරණී ගුණසේකර | Thisarane Gunasekara
_________________________________________________________________________________________
2013 අපේ‍්‍රල් 21 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ The Idiotic Jene නමින් පළවූ ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්