Colombo, Democracy, Features, Governance, Life quips

අපේ කාලයේ අලූත් මිනිසෙක්: ජේ.ආර්. – ගෙරිල්ලා බිත්ති ජයාරුපකරු

image001

කිසිවකු ඔහුගේ ඇත්ත නම නොදනී. එහෙයින් අපිදු ඔහුට ජේ.ආර්. ම යැයි කියමු. ඔහුගේ ජිවිත තොරතුරක් වශයෙන් දන්නේ ජේ.ආර්. ටියුනීසියානු මවකට සහ නැගෙනහිර යුරෝපීය පියෙකුට දාව ප‍්‍රංශයෙහි දී 1983 දී මෙලොව එලිය දුටු බව පමණි. ඔහුගේ සම්පූර්ණ නම කුමක්දැයි ඇසූ මාධ්‍යවේදිනියකට ඔහු කීයේ එය අනවශ්‍ය බවත් නමින් නොදන්නා බැවින් ලොව පුරා ඕනෑම තැනකට යෑමට තමාට හැකි වී තිබෙන බවත් ය.
වසය 15වන විට ජේ.ආර්. ද අනෙක් කොල්ලන් සමඟ එක්ව පැරිසියේ තාප්ප සහ බිත්ති මත කුරුටු ගෑම පටන් ගත්තේ ය. අනෙක් බොහෝ කොල්ලන් කෙල්ලන් මෙන්ම ඔහුද කළේ සිය නමේ මුලකුරු බිත්ති, තාප්ප, බිංගෙවල්, වහළවල් යනාදී තැන් තැන්වල කුරුටු ගෑමයි. අයෙක් එවායේ විවිධාකාර විත‍්‍රද සිතුවම් කළහ.

උමං දුම්රියක කව්රුන් හෝ දමා ගොස් තිබූ කුඩා කැමරාවක් හමුවීමෙන් පසු ජේ.ආර්. තාප්ප, බිත්ති, උමං දුම්රිය පොළහි, වහළවල් යන කවර හෝ තැනෙක හෝ බිත්ති කුරුටුගාමින් සිටින සිය සගයින්ගේ ජායාරුප ගෙන ඒවා ඒ 4 ප‍්‍රමාණයට ජායා පිටපත් ගෙන රතු සායමින් රාමු කර තැන තැන ඇලවීමට පටන් ගත්තේ ඒවාට ‘පදික වේදිකා විත‍්‍රාගාරය’ යැයි නම් කරමිනි. ප‍්‍රංශය පුරා බොහෝ බිත්ති විත‍්‍ර සිතුවම් වී තිබු එකළ ආන්ඩුව කුරුටුගාන්නන්ට විරුද්ධව තද නීති පැනවීය. එම අවස්ථාවේ දී ම ජේ.ආර්. ඒ සෑම තැනක්ම සිය ‘පදික වේදිකා විත‍්‍රාගාරය’ බවට පත් කළේ වෙළද දැන්වීම් පුවරු පමණක් ඉතිරිව තිබූ වීදි සිය ඒ 4 ප‍්‍රමානයේ ආලේඛ එනම් සමීප මුහුණවර ජායාරූප වලින් සරසමිනි.

ජේ.ආර්. තමා ජායාරූප ශිලිපියෙකු යැයි හදුන්වා ගන්නේ නැත. ඔහු තමා හැදින්වීමට ඔහුගේම යෙදුමක් වන ‘බිත්ති-ජයාරුපකරු’ ^”photograffeur”, ජායාරූප බිත්තියේ අදින්නා ) යන්න යොදා ගනියි. ඔහු ගෙරිල්ලා ජායාරුපකරුවකු ලෙස හැදින්වෙන්නේ සම්ප‍්‍රදායෙන් සහ ආයතනික රාමුවෙන් බැහැර ඔහු ක‍්‍රියාත්මක වන නිසා ය. සිය වීදි ප‍්‍රදර්ශන සඳහා ඔහු කිසිවිටෙකත් බලධාරීන්ගෙන් අවසර ගන්නේ නැත. එමෙන්ම ජේ.ආර්. සමාජ මෙහෙවරක් සිය අරමුණ සේ තබා ගන්නා නිසා ය. ඔහු සිය බිත්ති ජායාරූප සළකුණ, පලස්තීන – ඊශ‍්‍රාල දේශසීමායෙහි, අප‍්‍රිකාවේ දුගී ජනාවාසයන්හි මෙන්ම බිය ජනක ප‍්‍රචන්ඩ ගැටුමින් පිරි සමාජයන්හි සටහන් කිරීමට සමත් වී තිබේ.

2004 වර්ශයේ දී පැරිසිය අවට සංක්‍රමනිකයන් පිරි උප නගර, ඒවා අරක්ගෙන තිබූ සමාජීය ද්‍රරිද්‍රතාවය සහ සමාජීය හුදකලාබාවය තරුන විරෝධතාවයක් බවට පුපුරා ගොස්, ගිනි ගත්තේ ය. කලහකාරී තරුණ පිරිස් එක් මාසයක් තුලදී මහ මඟ නතර කොට තිබූ රථවාහන 10,000කට වැඩි ප‍්‍රමාණයකෙ ගිනි තිබ්බෝ ය. විරෝධතාකාර තරුණ පිරිස් අධිපති ජනමාධ්‍යයේ දුර සිට ගන්නා ලද ජායාරූප විසින් සංකේතවත් කරන ලද පරිදි හදුවන්වන ලද්දේ බිය ජනක, අපරාධකාරී, සංක‍්‍රමණික, උමතු වූ තරුණ පිරිස් ලෙස ය. ඊට වෙනස්ව ජේ.ආර්. ඔවුන් හමුවී ඔවුන් රුස් කොට ඔවුන්ගේ දෑස් දෙස බලා විවිධ ඉරියව් දැක්වෙන ළග සිට ආලේඛ ජායාරූප ගැනීමට පටන් ගත්තේ ය. එළෙස ගත් ජායාරූප විශාල ප‍්‍රමාණයට මුද්‍රණය කර පැරිසියේ ධනවතුන් ජිවත්වන මාරේ පෙදෙසෙහි බිත්ති පුරා ඇලවන්නට පටන් ගත්තේ ය. කැරලිකාර තරුණයින්ගේ විකාර සහ විහිළුකාර මුහුණූ ඉරියව් ද ඇතුළත් එම ජායාරූප කියා සිටියේ එම තරුණ පිරිස් ද මිනිස් වගටම අයත් බව ය. එම තරුණ පිරිස් පිළිබඳ පැරිසියානුවන්ට යළි සිතා බැලීමට බල කෙරෙන නිමිත්තක් බවට පත් ‘පරම්පරාවක මුහුණවර’ යනුවෙන් ජේ.ආර්. විසින් නම් කරන ලද එම ආලේඛ්‍ය පෙළ, නීති විරෝධි ක‍්‍රියාවක් ලෙස සැළකිය හැකි නමුත් එහි කාලීන වටිනාකම නිසාම එම බිත්ති ජායාරුප අවසානයේ දී සංස්කෘතික මනසැති පැරිස් නගර සභාව සිය ජායාරූප ප‍්‍රදර්ශනාගාරයක් කරා ගෙන්වා ගත්තේ ය. ජේ. ආර්. පළමු රවුමෙන් දිනුවේ ය.

‘බොහෝ ජනමාධ්‍යය කැරලිකරුවන්ගේ ජායාරුප ගත්තේ දුර කාච මගින්. ඒත් මම මගේ මිමි 28 කැමරාවෙන් ඔවුන්ගේ සමීප ජායාරුප ගත්තා’ යැයි 2004 තරුණ විරෝධතාවයන්හි සිය මැදිහත්වීම ගැන කතා කරන ජේ.ආර්. කිය යි. ආලේඛ එනම් සමීප මුහුණුවර ජායාරූප ජේ.ආර්.ගේ ලකුණ ය.

2005 දී ජේ.ආර්. තවත් මිතුරකු සමඟ පලස්තීනයේ සහ ඊශ‍්‍රාලයේ සංචාරයකට ගියේ ය. දෙරට පුරා ඇවිද ගිය තමාට ආරක්ෂක තාප්පවලින් වෙන් වී ජිවත්වන නමුත් එම ජනයා වෙන් කර හදුණා ගැනීමට නොහැකි වූ බව ජේ.ආර්. කිය යි. ඔහු ඒ හැඟීම ජායාරූප බවට පත් කළේ ය. එකම වෘත්තීයේ නියුතු දෙජනතාවට අයත් පුද්ගල ආලේඛ ගත්තේ ය. ඒවායේ කලූ සුදු විශාල මුද්‍රණ රුගෙන විශාල ආරක්ෂක තාප්පයක අලවන්නට පටන් ගත්තේ ය. කුහුළ මැඩ ගත නොහැකි වූ පිරිස් පැමිණ විමසූ කළ ජේ.ආර්. කීයේ එම ජායාරූප අතුරෙන් ඊශ‍්‍රාල සහ පලස්තීන ජාතිකයින්, නිදසුනක් ලෙස රියදුරන් දෙදෙනෙකුගේ ආලේඛ අතුරින්, ඊශ්‍රාල සහ පලස්තීන ජාතිකයා වෙන් කර හදුනා ගන්නා ලෙස යි. සමහර විට ලෝකයේ දිගම නීති විරෝධී ජායාරූප ප‍්‍රදර්ශනය විය හැකි මෙම බිත්ති ජායාරූප බැලීමට ආ මහ සෙනඟ පොදු මිනිස්කම දැක සිනහ සෙන්නට වන්හ. ‘හැමෝම එකයි’ ඔව්හු කීහ.

‘මුහුණට මුහණ’ යැයි නම්කරන ලද මෙම ප‍්‍රදර්ශනයේ එහි එක් තැනෙක වූ විහිළු මුහුණූ මවා ගත් යුදෙව්, ඉස්ලාමීය සහ කිතුණු පූජකයින් තිදෙනෙකුගේ විශාල ආලේඛ ගැන කතා කරමින් ජේ.ආර්. මෙසේ කීවේ ය: ‘‘මෙකෙන් වෙන්නේ සීමාපවුරු කඩා දාන එක. හාස්‍ය තියෙන තැන ජීවිතය තියෙනවා’’ එලෙසින්ම බෙදීම අභිබවන ඉන් පොදු මිනිස්කම ඉස්මතු වී තිබුණි. සිය ව්‍යයාමයෙන් දෙජනතාවන්ට එක්නෙකා හදුණා ගැනීමට රුකුළක් ලැබෙන්නට ඇතැයි විශ්වාශ කරමින් ජේ.ආර්. ‘අපි ආයෙත් ඇවිල්ලා අතට අත කියා බිත්ති ජායාරුප කරමු’ යැයි කීවේ ය.

අනතුරුව ජේ.ආර්. තවත් දැවැන්ත ව්‍යායාමයකට අත ගැසුවේ ය. එය නම් කරන ලද්දේ ‘ වීරයින් වන්නේ ස්ත‍්‍රීන් ය’ කියා ය. එහි අරමුණ වූයේ සමාජයෙහි ස්ත‍්‍රීන් දරන තීරනාත්මක කාර්‍යබාරය මෙන්ම යුද්ධයෙන්, අපරාධවලින්, ලිංගික ප‍්‍රහාරයන්ගෙන් ද ආගමික සහ දේශපාලන අන්තවාදයන් නිසා ද ගොදුර බවට පත් ස්ත‍්‍රීන්ගේ ගරුත්වය ඉස්මතු කර පෙන්වීම ය. ජේ.ආර්.ගේ අදහස වූයේ සිය සිත් නිරෝගී කර ගනු පිණිස මෙම ස්ත‍්‍රීන්ගේ වේදනාවන්ට ප‍්‍රකාශණයක් අවශ්‍ය බවයි.

විවිධ ගැටුම්වලින් පීඩා විදින ලෝකයේ විවිධ පෙදෙස් කරා ගිය ජේ. ආර්. මුලින්ම කළේ එවැනි ස්ත‍්‍රීන්ගේ කතා අසා සිටීමයි. බොහෝ ස්ත‍්‍රීන් සිය කතා කීවේ කඳුළිනි. අනතුරුව මෙම බිත්ති ජායාරුපයන්හි කෙසේ නිරූපනය වීමට කැමැතිදැයි ඔවුන් විමසූ ජේ. ආර්. ඒ අනුව තමන් දන්නා කලාව වන ජායාරූපයට ඔවුන් නැගූවේ ය. අයෙක් නිහඩව කැමැරා කාචයට සිය දෑස් කියැවීමට ඉඩ දුන්නේ ය. අයෙක් නිරූපිකාවන් ලෙස ඉරියව් මවා පෑහ.

මේ ස්ත‍්‍රින් අතුරෙන් අයෙක් සිය ආලේඛ ( සමීප මුහුණුවර ජායාරූප) විශාල කර තමාගේ ප‍්‍රකාශණය ලෙස සිය ගම්මානයේ ම ප‍්‍රදර්ශනය කළ යුතු බව අවධාරනය කළහ. එමෙන්ම සිය බිත්ති ජායාරූප නිව්යොර්ක්, බ‍්‍රසල්ස්, ලංඩනය සහ පැරිසිය බලා ගමන් කරන විට ඒ තමන් ද එමගින් ලොව පුරා සංචාරයක යෙදෙනු ඇතැයි සිතවිල්ලෙන් උද්දාමයට ද පත් වූහ. බෙනෙදීතාගේ ආලේඛය රියෝද ජෙනීරෝහි පැල්පත් සමූහයක තරප්පු පෙළෙහි ඇළවුනි. මූසු සිය ආලේඛ්‍ය ය සියොරාලියොන්හි තම ගමෙහි දේවස්ථානයේ ඇළවෙනු දැකීමට කැමැති විය. සාරා ගඟ තරණය සඳහා අවැසිම වූ බිදී ගිය පාලම තෝරා ගත්තේ ය. එබී ගේ මුහණින් කෙන්යාවේ දුම්රියක් වැසී ගියේ ය. කාම්බෝජයේ දීනූ සිය ආලේඛය බිදදමමින් තිබූ නිවසක විරෝධතාවයක් ලෙස අලවා ගත්තේ ය. උර්මිලා සිය නව නිවහනේ අත්තිවාරමට තිබූ ගඩොල් ගොඩාක් ඉන් ආවරණව කළා ය. හවා ගේ දෑස් මොන්රොවීරෝහි හිස් නාන තටාකයක් වසා ගත්තා ය.

මේ සෑම ස්ත‍්‍රියක්ම වඩාත් නිවැරදිව කියන්නේ නම් ඔවුන්ගේ ආලේඛය ජායාරූප අයුක්තිය හමුවේ පරාජය නොවී දිවි රැක ගැනීමත් විරුද්ධතා දැක්වීමත් නියෝජනය කරන්නේ යැයි ජේ. ආර්. කිය යි.

කෙන්යාවේ දුගී ගම්මානයක නිවෙස්හි වහළ් බවට පත් වන සේ ඉටි රෙද්දෙහි මුද්‍රණය කරන ලද එගම කාන්තාවන්ගේ ඇස් අයුක්ති සහගත දුගී බාවයේ මහා කැඩපතක් බවට පත් විය.

ජේ.ආර්. සිය කටයුතු සඳහා වෙළද සමාගම් ප‍්‍රචාර බාර නොගනී. නිර්මාණ අළෙවියෙන් උපයන මුදල් යළි බිත්ති ජායාරුප සඳහා වැය වෙයි. පාප්ප සහ විශාල ප‍්‍රමාණයේ මුද්‍රණ හැකියාව ඇති නම් සිය කාරිය එතරම් දුෂ්කර නැතැයි කියන ජේ.ආර්, ‘නගරයේ වියත් රුළි’ නමින් කළ තවත් ව්‍යායාමයක අරමුණ වූයේ වැඩිහිටි පරම්පාරව සහ නගර ඉතිහාසය පෙරට ගැනීම යි. කියුබාවේ විප්ලවය හරහා ජීවත් වූ වැඩිහිටියන් 25 දෙනෙකු ගේ අලේඛ්‍ය ජායාරූප නගරයේ ගරා වැටෙමින් ඇති ගොඩනැඟිළි වල අතිවිශාල ප‍්‍රමාණයෙන් ඇලවීම කැරුනේ මෙම ‘නගරයේ වියත් රුළි’ බිත්ති ප‍්‍රදර්ශනය හරහා ය.

නමක් නැති මේ කලාකරුවා නමක් ලිපිනයක් නැති දහස් ගණනාවක් ජනයාට ප‍්‍රබල ප‍්‍රකාශණයක් ද අනන්‍යතාවයක් ද සපයයි. හේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අලූත් මිනිසෙකි. එවැනි යෝධ නිර්මාණශීලිත්වයකට මඟ සළසන්නේ මානව ගරුත්වය සහ මිනිස් නිදහස ඇති සමාජයක පමණි.

අපේ වත්මන් ලංකාවේ අභාග්‍ය නම් එවැනි අලූත් මිනිස් අංකුර උපන් ගෙයිම තලා පොඩිකර දැමෙන අපටත් නොදැනෙන යුද්ධ රාමුවක සිර වී සිටීම නොවේ ද?

[Image Ceredit :www.jr-art.net | ජේ.ආර්. සැකසූ සිය ජායාරූපය දෙස බලා සතුටු වන කියුබානු විප්ලවයේ මතක රැගත් යුවලක්]

Sunandaසුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya