ශ‍්‍රී ලංකාවේ ජීවන වියදම සැබෑ ප‍්‍රශ්නයකි. එමෙන්ම බරපතල ප‍්‍රශ්නයකි. එසේ නොවන්නේ නම්, රටේ බහුතරයක් ජනතාව මෙතරම් ඒ ගැන මැසිවිලි නොකියනු ඇත. එසේම එවැනි ප‍්‍රශ්නයකට සරළ පිළිතුරු ලබා දීමට ආණ්ඩුවකට පුළුවන් කමක් ඇත්තේ ද නැත. මන්ද යත්, එය ව්‍යුහාත්මකව මුල්බැස ඇති නිසා, දීර්ඝ කාලීන ආර්ථික ප‍්‍රතිව්‍යුහගත කිරීමේ ක‍්‍රියාවලියක් අවශ්‍ය කරන බැවිනි. එය පවා, කියන තරම් ලේසියෙන් කළ හැකි දෙයක් නොවේ.
පසුගිය දශක කිහිපය තුළ ලංකාවේ ශ‍්‍රම බලකායේ විශාල ප‍්‍රතිශතයක් ඵලදායී නිෂ්පාදන ක‍්‍රියාවලියෙන් ඉවත් වී තිබේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් අද වන විට, සේවා නියුක්ත ශ‍්‍රම බලකායෙන් බහුතරයක් යෙදී සිටින්නේ, ඵලදායී නොවන සේවා ක‍්‍රියාකාරකම්වල ය. මෙය සිදුවී ඇත්තේ, ශ‍්‍රම ඵලදායීතාවට සමානුපාතිකව නොවේ. ඇමරිකාව, පිටරට පැටවීමට තරම් වන විශාල කෘෂිකාර්මික අතිරික්තයක් නිපදවයි. එහෙත් ඒ සඳහා යොදාගන්නේ, රටේ සමස්ත ශ‍්‍රම බලකායෙන් සියයට 3 ක් පමණි. නිර්යාත කිරීමට තරම් වන කෘෂිකාර්මික අතිරික්තයක් අපේ රටේ නිපදවෙන්නේ නැත. එසේ තිබියදීත්, කෘෂිකර්මය සඳහා අපේ මුළු ශ‍්‍රම බලකායෙන් තුනෙන් එකක් ඒ සඳහා යොදා ගැනේ. අපේ ආහාරවලින් විශාල ප‍්‍රමාණයක් තවමත් අප පිටරටින් ගෙන්වන බව කවුරුත් දනිති.
ශ‍්‍රී ලංකාව කාර්මික රටක් ද නොවේ. අපේ කාර්මික නිර්යාත තවමත් සීමාවන්නේ ඇඟලූම් වැනි ශ‍්‍රම සූක්ෂම නිෂ්පාදනවලට ය. එසේම, කාර්මික අංශයේ සේවා නියුක්තිය, ශ‍්‍රම බලකායෙන් සියයට 16 ක් වැනි සුළු ප‍්‍රමාණයකි. රටේ සේවා නියුක්ත බහුතරය, අධ්‍යාපනය, සෞඛ්‍ය, පෞද්ගලික ගමනාගමනය, ආරක්ෂක සේවාවන්, විදුලි සංදේශ සහ ගොඩනැගිලි වැනි සේවා අංශවල යෙදී සිටිත්. රටට අවශ්‍ය කාර්මික භාණ්ඩ සියල්ලම පාහේ ගෙන එනු ලබන්නේ පිටරටිනි.
සෑම කෙනෙකුටම ජංගම දුරකථනයක් හෝ දෙකක් ඇත. ඒ එකක්වත් මෙහි නිෂ්පාදනය නොකෙරේ. සෑම රූපවාහිනියක්මත්, ගෙදරට අවශ්‍ය කරන අනිත් සෑම භාණ්ඩයක්මත් ආයාත කෙරේ. පාරේ දුවන සෑම වාහනයක්ම පාහේ නැගෙනහිර ආසියාවෙන්, ඉන්දියාවෙන් හෝ යුරෝපයෙන් ගෙන්වන ලද ඒවා ය. ජීවිත ආරක්ෂා කරගැනීම සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ මෙන්ම වෙනත් ඖෂධ වර්ගවලින් බොහොමයක් ද ගෙන්වන්නේ පිටරටිනි.
පාසල් හැර යන්නන් සාමාන්‍යයෙන් යෙදෙන්නේ, ත‍්‍රීවීලර් ධාවනය, පදික වේදිකා වෙළඳාම, ගොඩනැගිලි කර්මාන්ත සහ පාරවල් අතුගෑම වැනි කටයුතුවල ය. උපාධිධාරීන් ඉල්ලා සිටින්නේත්, බොහෝ විට ඵලදායි නොවන රජයේ රක්ෂාවල් ය. විශාල සමාගම් වැඩි හරියක්, මිල දී ගැනීම් සහ විකිණීම්, සිල්ලර වෙළඳාම, බැංකු සහ මූල්‍ය, සංචාරක සහ විදුලි සංදේශ ක්ෂේත‍්‍රවල නියැලී සිටින අතර භාණ්ඩ නිෂ්පාදනය සඳහා සෘජුව දායක වන්නේ නැත.
රටේ පරිභෝජනය කෙරෙන පිටරටින් ගෙන්වන කෘෂිකාර්මික නොවන භාණ්ඩ බොහොමයක මිල, තීරුබදු සහ රුපියලේ අගය ක්ෂය වීම වැනි හේතු නිසා ඉහළ යයි. රට ඇතුළේ නිෂ්පාදනය කරන භාණ්ඩවල මිල ද, ඉහළ යන වැටුප්, ගමනාගමන වියදම්, කෘෂිකාර්මික යෙදවුම්, ප‍්‍රවාහණ උපකරණ සහ බලශක්තිය වැනි දේවල් නිසා ඉහළ යයි. වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥයන් සහ කඩහිමියන් වැන්නන් ද තමන්ගේ සේවාවන්හි මිල ගණන ඉහළ දැමීම නිසා, ජීවන වියදම තවත් ඉහළ යයි. කවුරුත් දන්නා පරිදි, බොහෝ දෙමාපියෝ තමන්ගේ දරුවන් උපකාරක පංතිවලට යවති. එය තවත් අමතර වියදමකි. පෞද්ගලික සෞඛ්‍ය සේවාවන් ද එසේ ය.
දරාගත නොහැකි මේ ජීවන බරට ඔරොත්තු නොදෙන විට බොහෝ දෙනා විදේශ රැකියා සොයති. විසි ලක්ෂයකට ආසන්න ශ‍්‍රී ලාංකිකයන් පිරිසක්, එනම් රටේ මුළු ශ‍්‍රම බලකායෙන් සියයට 20 කට වැඩි ප‍්‍රමාණයක් විදේශ සේවාවන්හි නියුක්තයි. මේ පිරිස වාර්ෂිකව ලංකාවට එවන රුපියල් බිලියන 750 කට අධික මුදල රටේ මුදල් සැපයුමට එක්වෙයි. එහෙත්, ඊට සමානුපාතික දේශීය නිෂ්පාදනයක් රට ඇතුළේ කෙරෙන්නේ නැත. එයින් සිදුවන්නේ, භාණ්ඩ සහ සේවා මිල ඉහළ යාමයි.
ආර්ථිකයේ නානාංගීකරණයක්* හැරුණු විට, ශ‍්‍රී ලංකාවට වෙනත් විකල්පයක් නැත. එහෙත්, දැනටමත් පවතින අඩු විරැකියා ප‍්‍රතිශතයත්, ඉහළ වැටුප් පරිමාණයත් නිසා, ශ‍්‍රම සූක්ෂම* කර්මාන්ත රටට ගැලපෙන්නේ නැත. පාසල් හැරයන ශිෂ්‍යයන්, දීප්තිමත් විභාග ප‍්‍රතිඵල සහිත පිරිසක් නොව, මනා නිපුණත්වයක් සහිත පිරිසක් කළ හැකි වන සේ ජාතික අධ්‍යාපනය ප‍්‍රතිසංවිධානය කළ යුතු වන්නේය. රටේ විවිධ ක්ෂේත‍්‍රවල ඵලදායීතාව වැඩි කර ගැනීමට අත්‍යාවශ්‍ය වන නිපුණත්වය ලබාදීම සඳහා උපාධිධාරීන්ව පුහුණු කළ යුතු වන්නේය. විද්‍යාත්මක සාක්ෂරතාව සහ ජීවන නිර්මාණ කුසලතා අත්පත් කර ගැනීමට පාසල් සිසුන්ව දිරිමත් කළ යුතු අතර, මිථ්‍යා විශ්වාස සහ ආගමික වතාවත්වලින් ඈත් කිරීමට කටයුතු කළ යුතුය. ආවර්ත තැන්පතු ආයෝජන වේගයෙන් වැඩි කොට, සෑම අංශයකම විද්‍යාඥයන්ට නව භාණ්ඩ සහ නිෂ්පාදන ක‍්‍රියාවලීන් වර්ධනය කිරීමට අවශ්‍ය සම්පත් නිර්මාණය කර දිය යුතුය.
ඒ සමගම, වර්ධනය වන තරගකාරී ලෝකයේ අප සිටින තැන ගැන විමසිල්මත් වීම ද අත්‍යාවශ්‍ය ය. වඩාත් නානාංගීකරණය වූ ආසියාවේ සහ වෙනත් තැන්වල ආර්ථිකයන් අද තිබෙන දියුණු තත්වයට පත්වුණේ කෙසේ ද? අනුන්ගෙන් ඉගෙන ගැනීමට තරම් අප අවංක විය යුතුය, නිහතමානී විය යුතුය. ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් පමණක් නොව, ජාතික වැදගත් කමකින් යුත් වෙනත් ක්ෂේත‍්‍ර සඳහා ද එය අත්‍යාවශ්‍ය කෙරේ. අප සිටින්නේ කොතැන ද, අප යා යුත්තේ කොතැනට ද යන්න දැන ගැනීම සඳහා ආපසු ජාතික සැලසුම්කරණය වෙත පියනැගිය යුතුව තිබේ.
මහාචාර්ය සිරි හෙට්ටිගේ
###
පරිවර්තන පැහැදිළි කිරීම්
* නානාංගීකරණය: ආර්ථිකයක එක අංශයක් හෝ දෙකක් මත යැපෙන්නේ නැතිව විවිධ අංශ වැඩි දියුණු කිරීම
* ශ‍්‍රම සූක්ෂම: යන්ත‍්‍රසූත‍්‍ර අඩුවෙන් යොදාගෙන, වැඩි වශයෙන් ශ‍්‍රමය පාවිච්චියට ගන්නා නිෂ්පාදන ක‍්‍රියාවලිය
__________________________________________________________________________________________
2013 අපේ‍්‍රල් 25 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ Social Contours of the Cost of Living Crisis නමින් පළවූ ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්