පළමුවෙන් මේ සංඛ්‍යා ලේඛන දෙස බලමු:
බස්නාහිර පළාත හැරුණ විට ශ‍්‍රී ලංකාවේ වැඩිම ජනගහනය ඇති දිසාවන් වන්නේ කුරුණෑගල (1,577,000) රත්නපුර (1,139,000) සහ ගාල්ල (1,096,000) ය. ජාතික ආර්ථිකයට බස්නාහිර පළාත හැරුණ විට වැඩිම ආදායමක් එක් කරන්නේ වයඹ පළාත ය. තෙවැනි තැන ගන්නා දකුණු පළාතේ මාතර සහ ගාලූ දිසා හම්බන්තොට පරදවා පෙරමුණ ගනී. කර්මාන්ත සහ කෘෂි කර්මාන්තය අතින් බස්නාහිර ළඟට ඉන්නේ ද වයඹ ය. සත්ව පාලනය අතින් මුල් තැන වයඹට හිමි වන අතර වී නිපැයුම අතින් පිළිවෙලින් උතුරු මැද, නැගෙනහිර සහ වයඹ ඉදිරියෙන් සිටී.
ශ‍්‍රී ලංකාවේ නූතන සංවර්ධනය මෙම සාඛ්‍යා ලේඛන සමඟ කිසිසේත් ම පෑහෙන්නේ නැත. වයඹ, මධ්‍යම සහ උතුරු මැද පළාත් හි සංවර්ධනය රාජපක්ෂ ආණ්ඩුවේ සැළැස්මේ නැත. එම දිසායන් සඳහා රාජපක්ෂ පාලනය කවර හෝ ප‍්‍රධාන පෙළේ සංවර්ධන ව්‍යාපෘති ලබා දී නැත. (උතුරු නැගෙනහිර වෙනම කතා කළ යුතු මැයෙකි). රාජපක්ෂ සංවර්ධනය යනු උපන්ගම වන හම්බන්තොට සංවර්ධනය පමණකි. මේ බලන්න.
පසුගිය දිනකෙ දක්නට ලැබුනු අපූරු පුවතකින් කියැවුනේ සිරි ලංකාවෙහි සෆාරි නමින් හැදින්වෙන කැලෑ සත්තු වත්තක් අරඹන්නට යන බව ය. කළකට පෙර එක් චිත‍්‍රපට අධ්‍යක්ෂකවරයකු තමා හදුන්වා ගත්තේ වෙනින් කව්රුවත් නොවෙයි ලෙනින් මොරායස් කියා ය. එපරිද්දෙන්ම අද සිරි ලංකාවෙහි කවර හෝ ලෝකෙන් ලොකුම වර්ගයේ යමක් වෙත් ද ඒ වෙනින් කොහේවත් නොවේ හම්බන්තොට ය. මේ සෆාරී කැලෑ සත්තු වත්ත ඇරඹෙන්නේ ද වෙනින් කොහේවත් නොවේ, හම්බන්තොට ය.
සෆාරී යන අරාබි බසින් බිදී අවුත් අප‍්‍රිකානු ස්වාහිලී බසට එක්වූ වචනයෙන් කියැවෙන්නේ අප‍්‍රිකානු මහාද්වීපයේ වන සතුන් නැරඹීමට වනාන්තරය හරහා කැරෙන සංචාරයන් ය.
දැන් මේ හම්බන්තොට රිදීගම තැනෙන කෘතීම සෆාරී කැලෑ සත්තු වත්තට සිංහයින් සහ ජිරාප්යන් විවිධ රටවලින් ගෙනෙමින් තිබෙන අතර එය ඔක්තෝම්බර් මාසයේ දී විවෘත කරන බව කියැවේ. මේ සියළු සතුන් මිලදී ගනු ලබන්නේ විවිධ රටවල සත්තු වතු වලිනි. හම්බන්තොට සෆාරී සත්තු වත්ත සඳහා අක්කර 500ක් වෙන් කර ඇති අතර එහි ආරම්භක වියදම රුපියල් කෝටි 54ක් යැයි කියනු ලැබේ.
හම්බන්තොට මෙම සත්තු වත්ත ගොඩනැගෙන්නේ යාල නමින් ශ‍්‍රී ලංකාවේ විශාලතම වනොද්්‍යානය ඊට කිලෝ මීටර් ගනනාවක් නුදුරින් තිබිය දී ය. පවත්නා වනොද්්‍යාන වැඩි දියණු කිරිමට මුදල් නැති ආණ්ඩුවට මේ ව්‍යාපෘතියත් වෙනින් කොහේවත් නැතිව හම්බන්තොටම සිදුවන නිසා වියදම් කිරීමට මුදල් අඩුපාඩුවක් නැත. තවමත් නම් කොට නැතත් එය මහින්ද හෝ රාජපක්ෂ වත්තක් වන්නට ද බොහෝ දුරටම ඉඩ තිබේ.
අප ඇසිය යුතු ප‍්‍රශ්ණය මෙය යි: අද ශ‍්‍රීලංකාව මුහුණ දී සිටින මූලිකත්වයන් අතර කෘතිම සපාරී සත්තු වත්ත තිබිය යුතු ද? එවැන්නක් තිබිය යුතු නම් තිබිය යුත්තේ තවත් යාල වනොද්්‍යානය තිබෙන හම්බන්තොට දිසාවේ ම ද? එවැනි වනොද්්‍යානයක් පිහිටුවීමට යෝග්‍ය වෙනත් දිසාවක් ශ‍්‍රී ලංකාවේ නැත් ද?
පුරාතන ශ‍්‍රී ලංකාවෙහි නගර ගොඩ නැගුනේ රජතුමා උපන් හෝ වාසයට තොරා ගත් ප‍්‍රදේශය වටා ය. රටෙහි සමාජ ආර්ථික අවශ්‍යතාවයන් අනුව නොවේ. එක් එක් රාජ සමයන්ගෙන් පසු සමහරක් රාජකීය නගර සෝදා පාලූ වී යැමට එක් හේතුවක් වූයේ ද එය යි. එසේ නමුත් නූතන ලෝකයෙහි නගර ගොඩ නැගෙන්නේ රාජ්‍ය පාලකයා උපදින ලක්ෂය වටා නොවේ. රටෙහි සමාජ ආර්ථික හා දේශපාලන අවශ්‍යතා අනුව ය. දිගු කලක් මෙරට දේශපාලන නායකත්වය දැරූ බණ්ඩරනායකවරු අත්තනගල්ල වටා කර්මාන්ත පුර ඇති කළේ හෝ හෝ ගම්පහ දිසාව සියළු ආයෝජන සඳහා යොදා ගත්තේ හෝ නැත.
නමුත් අද මෙරට සිදු වන්නේ ආර්ථික සමාජිය හෝ දේශපාලන යන කිසිදු සාධකයකින් සාධාරණ කළ නොහැකි ලෙස රට කරවන රාජපක්ෂ පවුලේ උපන් ලක්ෂය වටා අතොරක් නැති ආයෝජන සහ විවිධ ව්‍යාපාති හතු පිප්පවීමයි.
පසුගිය 29 දා පළ වූ පුවතකින් කියැවුනේ රුපියල් කෝටි 700 ක වියදමින් ඇදන් 800ක නවීන රෝහලක් හම්බන්තොට ඉදි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තිරණය කර තිබෙන බවයි. මෙම තීරණය ගනු ලැබුනේ ශ‍්‍රී ලංකාවේ රෝහල් පිහිටීම සහ සුව සේවා වැඩි දියුණූ කිරීම සඳහා අවශ්‍ය රුපියල් කෝටි 700ක් වැය කළ හැකි මූලිකත්වයන් මොනවාදැයි සොයා බැලීමකින් පසුව ද? එවැනි කිසිදු සොයා බැලීමක් නොකෙරන අතර එකම සොයා බැලීම වනුයේ රාජපක්ෂ මහ ගෙදර පිහිටියේ එම කලාපයේ ය යන්න පමණකි.
එදිනම පළ වූ තවත් පුවතකින් කියැවුනේ හම්බන්තොට රාජපක්ෂ ක‍්‍රීඩාංගනය සඳහා ආගමික ස්ථානයන්ට ලබා දෙන විදුලි වැය සහනය ලබා දී තිබෙන බව ය. ලංකා විදුලි බල මණ්ඩලයට මෙම ක‍්‍රිඩාංගනයෙන් අය විය යුතු මුදල රුපියල්
63,45,303.68 ක් වන අතර ජනාධිපති රාජපක්ෂ විසින් මෙම ක‍්‍රීඩාංගනය විවෘත කරනු ලැබූ 2010 ජනවාරි 21 වන දින සිට කිසිදු විදුලි බිලක් එය විසින් ගෙවා නැත.
ක‍්‍රිකට් ක‍්‍රීඩාවට නමක් දිනා නැති හම්බන්තොටට අන්තර් ජාතික මට්ටමේ ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයක් ලැබිය යුතු ද? මෙම ක‍්‍රීඩාංගනය තනන ලද්දේ රට මැද පිහිටි දඹුල්ලේ ක‍්‍රිකට් ක‍්‍රිඩාංගනය විනාශ වන්නට යවමිනි. එවැන්නක් අවශ්‍ය නම් යෝග්‍ය වන්නේ හම්බන්තොටට වැඩි සාමාන්‍ය සහ ක‍්‍රිකට් ජන ගහනයක් ඇති ක‍්‍රිකට් කුරුණෑගල වැනි දිසාවකට නොවේ ද?
ගාලූ වරාය සංවර්ධනය නතර කර කෝටි ප‍්‍රකෝටි ගණනාවක වියදමින් හම්බන්තොට මාගම්පුර වරාය ඉදි කරන ලද්දේ ද ආර්ථික මූලිකත්වයන් අනුව නොවේ. එමෙන්ම ආසියාවේ හොදම ස්වභාවික ත‍්‍රිකුණාමළ වරාය වැඩි දියුණූ කිරීමට ගෙන ඇති කිසිදු කැපි පෙනෙන ප‍්‍රයත්නයක් නැත. දීර්ඝ කාලයක් පුරා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන වරාය වූයේ එය යි. අද තවමත් මාගම්පුර වරාය පවතින්නේ පාලූවට ය. චීනයෙන් ලබා ගත් ණයක් මත වසර 11කින් ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් මිලියන 1,308ක් වියදමකින් නිමවන ලද මෙම වරායට දෙවසරකට පැමිණ ඇත්තේ නැවි 25ක් පමණි. එනමුත් වසරකට රුපියල් මිලියන 6,000ක් බැගින් චීන ණය ගෙවීමට නම් මෙම වරාය වසරකට රුපියල් මිලියන 8,000 ක ආදායමක් ලැබිය යුතු ය. මේ නිසා දැන් සිදුවන්නේ දැවැන්ත බදු සහන යටතේ හෝ කර්මාන්ත ගෙන්වා ගැනීමේ වෑයමකි.
විශේෂ බදු පහසුකම් මත හම්බන්තොට වරායේ සිමෙන්ති ඇඹරුම් කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහා පාකිස්තානයේ තට්ටා සිමෙන්ති සමාගම සමඟ ගිවිසුම් අවසන් අදියරට පැමිණ ඇති බවට වාර්තා පළ වී තිබේ.
තවත් එවැනිම වාර්තාවකින් කියැවෙන්නේ බදු සහන මත ලෑන්ඞ් රෝවර් සමාගමේ ඩිෆෙන්ඩර් රථ නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක් හම්බන්තොට ආරම්භ කිරීමට නියමිත බවය.
දස වසරක් ඉක්මවන අති දැවැන්ත බදු සහන ලබා දෙමින් සීනී පිරිපහදු කම්හලක් ද හම්බන්තොටම පිහිටුවෙන බවත් එහි පිරිවැය රුපියල් බිලියන 27.6ක් වන බවත් තවත් වාර්තාවක සදහන් විය. එහි පිරිපහදුව සඳහා සීනි ගෙනු එනු ඇත්තේ පිට රටිනි.
කුරුණෑගල සහ මහනුවර යන නගර දෙක තමන්ගේම මූලිකත්වයෙන් පාවිච්චි කරන ලද වාහන සහ යතුරු පැදි ගෙන්වා අළෙවි කිරීමේ ශ‍්‍රී ලංකා මධ්‍යස්ථාන බවට පත් විය. මෙම දියණුව යටින් බිඳ දමා එය ද හම්බන්තොටම ඇද ගනු වස් සියළු වාහන ආනනයනයන් හම්බන්තොට වරාය හරහා විය යුතු යැයි නීතියක් ද පැනවිණි.
යටත් විජිත සමයෙහි ශ‍්‍රී ලංකාවේ අන්තර් ජාතික ගුවන් තොට වූයේ පලාලි ය. යුද සමයෙහි රත්මලාන ගුවන් තොට වැඩි දියුණූ කෙරිණි. දියණු කළ හැකි සහ අග නගරය ආසන්නයේ පිහිටි කටුනායක අන්තර් ජාතික ගුවන් කොට හැරුන විට ශ‍්‍රී ලංකාව වැනි කුඩා රටකට අවශ්‍ය වන්නේ ද්විතියක ගුවන් තොටවල් ය. මත්තල රාජපක්ෂ අන්තර් ජාතික ගුවන් තොට ජාතික ධනය කා දමන සුදු අලියකු බවට දැනටම පත් වී තිබේ. එය ශ‍්‍රී ලංකාවේ මහා ජනයාට පමණක් නොව ඒ වටා ජිවත් වන සීපාවන්ට ද ව්‍යසනයක් බවට පත්ව ඇති බව පෙනෙන්නට තිබේ. කොළඹ සිට ගුවන් ගත වන ශ‍්‍රී ලංකන් සුදු අලි යානා දැන් මත්තල ද බස්සවා නැග්ග විය යුතු බැවින් එවැනි එක් වාරයකට සුපිරි ඉන්ධන ලීටර් 4,000ක් පුළුස්සා දැමීමට සිදුව ඇත.
අලි මදිවාට හරක් කීවා සේ දැන් හම්බන්තොට කාමර 15,000ක් සහිත සංචාරක හෝටල් දහයක් ඉදි කරන බවට නාමල් රාජපක්ෂ ප‍්‍රකාශ කර තිබේ. 2011 වසරේ සංචාරක සංඛ්‍යා ලේඛනයන්ට අනුව සමස්ත ශ‍්‍රී ලංකාවේ ම තිබූ ශ්‍රේනි ගත කරන ලද සංචාරක හෝටල කාමර ගනන 14,653කි. දැන් රාජපක්ෂවරු සැළසුම් කරන්නේ ශ‍්‍රී ලංකාවේම තිබෙන හෝටල් කාමර ගණන හම්බන්තොට ඉදි කිරීමට ය. ජනයා ගොනාට ඇන්ද වීම හැරුණ විට මින් පෙනී යන අනෙක් කරුණ නම් ශ‍්‍රී ලංකාවේ අනෙක් දිසා පරදවා රාජපක්ෂ උපන් ගම රටම උගසට තැබෙන සියළු ඔට්ටු සල්ලි දිනා ගනිමින් සිටින හැටි ය. ඇත්ත වශයෙන් ම නම් ඉදිරි වසරයන්හි සංචාරක ව්‍යාපාරයේ වර්ධනයක් දැකිය හැකි වන ප‍්‍රධාන පළාත නැගෙණහිර ය. විශේයෙන් ම මඩකළපුව ය. මන්ද යත් ලංකාවට සංචාරකයින් එන්නේ ප්ලාස්ටික් සෆාරී නැරඹීමට නොව පැරණි ශිෂ්ඨාචාරයන් දැක බලා ගැනීමටත් මුහුදු වෙරළාශ‍්‍රිතව විනෝද වීමටත් නිසා ය.
වෙනින් කොහේවත් නොවන හම්බන්තොට ජාතික ලොතරුයි මණ්ඩලයේ ප‍්‍රධාන කාර්්‍යාලය ද ගෙන යෑමට යෝජනා වී ඇති බව පාර්ලිමේන්තු කෝප් කමිටුව දන්වා ඇතැයි තවත් වාර්තාවක් පළ තිබුණි. එහි සේවය කරන ස්ථිර සේවකයින්ට දැන් සිදුවනු ඇත්තේ කොළඹට ආයුබෝවන් කියා මාගම්පරට යන්නට ය. මේ වනාහී ඇති කිරීමට යන කෘතිම සංවර්ධනයක ලකුණු නොවේ ද?
මීට අමතරව 1,500කට අසුන් ගත හැකි රුපියල් මිලියන 1,700 ක වියදමින් හම්බන්තොට සිරිබෝපුර ඉදි කැරෙන අන්තර් ජාතික සම්මන්ත‍්‍රණ ශාලාව උපන් ගමට ලැබෙන තවත් දායාදයකි. ඊට හෙලිකොප්ටර් යානා බැස්සවිය හැකි අංගනයක් ද අයත් ය. මීට අමතරව රුපියල් මිලියන 3500ක් ආයෝජනය කරන බව කියැවෙන තොරතුරු තාක්ෂන ගම්මානයක් ගැනද වාර්තා වෙයි.
රාජපක්ෂ දායාද පෙරහැරේ කසකරුවකු පරිද්දෙන් රන්මිනිතැන්න නමින් අරඹන ලද හම්බන්තොට සිනමා ගම්මානයට වු දෙයක් දැන් දැන ගන්නට ද නැත. රටෙහි අන් ජනයා උපදවන මුදලින් සිය උපන් ගම සුරපුරක් බවට පත් කිරීමට දැරෙන අංග විකල සහ කෘතීම සංවර්ධනයකට හිමිවන ඉරණම ඉන් පෙන්නුම් නොකෙරේ ද?
ලංකාව කියන්නේ හම්බන්තොට පමණක්දැයි අප මහරජ විමසිය යුත්තේ මෙන්න මේ නිසා ය.
@Image Credit:OL
සුනන්ද දේශප‍්‍රිය | Sunanda Deshapriya