මම දෙනියායේ වතුකරයේ ජීවත්වන ද්‍රවිඩ තරුණියක්.මම සේවය කරන්නේ දෙනියාය පහතරට ප්‍රජා සංවිධාන සංසදයේ.අපේ ආයතනයෙන් දෙදෙනෙකුට පුහුණුවක් සදහා දින 4කට කොළඹ යෑමට සිදුවුණා.මම නමින් වනිතා.මගේ මිතුරකු වන ඉන්දිකත් සමග ජූනි 17 වන දින කොළඹ බලා පිටත්වීමට දෙනියායෙන් කොළඹ යන බස් රථයකට ගොඩ වැදුණා.දෙනියාය සිට කොළඹ දක්වා ගමන් කාලය පැය 7ක් පමණ වනවා.
මෙම පුහුණුව සදහා අපට නවාතැන් ලබාදී තිබුනේ වැල්ලවත්ත ග්ලෝබල් ටවර් හෝටලයේයි.
අද රටේ පවතින ගැටුම්කාරී වාතාවරණය තුළ අතරමගදී මාර්ග බාධක එහේමත් නැතිනම් පොලිස් මුරපොළවල් තුළදී අපට පරීක්ෂාවට ලක්වීමට සිදුවුණා.ඒ වැල්ලවත්ත පාළමේ මුරපොළ.බස් රථය නවතා හැමදෙනාටම බස් රථයෙන් බහින්නයැයි පොලිස් නිළධාරියෙක් පැවසුවා. තමන් ළග තිබුණ ගමන් මලුත් රැගෙන බහින්නට යැයි තවත් පොලිස් නිළධාරියෙක් පැවසුවා.
පිරිමි පාර්ශවය වෙනමත් ගැහැණු පාර්ශවය වෙනමත් ඔවුන් සෝදීසි කළා. ගමන් මලු පරීක්ෂා කිරිමෙන් අනතුරුව ඔවුන් හැදුනුම්පත් පරීක්ෂා කලා.
මගේ හැදුනුම්පත අතට ගත් පොලිස් නිළධාරීයා එය පරීක්ෂා කර නැවත එය මගෙන් ඉල්ලාගත්තා.මොකද මම ද්‍රවිඩ කාන්තාවක් වීම නිසා. ඉන් අනතුරුව ඔවුන් පැවැසුවේ පොඩ්ඩක් ඉන්න නැවත අපට ඔබ පරීක්ෂා කළ යුතු වනවා කියායි.ඔවුන් නැවත වරක් මගේ ගමන් මල්ල පරීක්ෂා කළා.ඊට පසු මට පැත්තකට වෙලා ඉන්න කිවුවා. පසුව ඔවුන් මගේන් ප්‍රශ්න කලේ මොනවද කරන්නෙ?කොහේද යන්නේ? කියලා. මම මගේ යාලුවා (ඉන්දික) සමග පුහුනුවකට ආ බව පැවසුවා.එහෙත් ඔවුන් තව තවත් මගෙන් ප්‍රශ්න කළා.බස් එකේ ආපු අයයි වටේ හිටපු අයයි හැමෝම සැකෙන් වගේ මගේ දිහා බලන්න ගත්තා. මට හුගක් ලැජ්ජ හිතුනා. ඊටත් වඩා ගොඩක් බය හිතුන.ඇයි මාව කොටි වගේ හිතල සැකකරන්නෙ කියල.
අපරටේ පවතින වර්ථමාන තත්වය නිසා ද්‍රවිඩ අපව සැකකාර කෝණයෙන් බැලීම ලොකු ප්‍රශ්නයක්, ඔය ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවීම වලක්වා ගැනීමට අපේ ද්‍රවිඩ සිරිත් විරිත්(නලලේ තියන පොට්ටුව මැකුව) පවා අත්හැරයි මම ඔය ගමන ගියේ.එදා යින් පසු මට තවමත් කොළඹ යනවා කියනකොට බය හිතෙනවා.ඊටත් වඩා කළකිරෙනව මොකද අපි වගේ අහිංසක අයවත් කොටි කියල සැකකරන එකට. එදායින් පසුව මට කොළඹ යනව කියන කොටත් බයයි.
වනිතා – දෙනියාය.