රාජපක්ෂට තවත් ලකුණු ගොඩාක් දමා ගැනීමට අවස්ථාවක් උදා වී ඇත. ඒ අසාද් සාලි ආරක්ෂක අමාත්‍යංශයේ නියෝගයකට අනුව කිසිඳු උසාවි නියෝගයක් නොමැතිව “අත්අඩංගුවට” ගැනීම කරන කොට ගෙනය. රාජපක්ෂ තමන්ගේ ලකුණු ප්‍රමාණය වැඩිකරගැනීම සඳහා අදාළ සිද්ධිය පෙර අවස්ථාවලදී මෙන් හැකි පමණ ජාත්යාන්තරීකරණය වීමට ඉඩ සලස්වා හිතා මතාම මඟ හරිමින් සිටියි. ඉන් පසු “ජනාධිපති තුමාගේ” දැඩි සැලකිල්ල හේතුවෙන් සහ සාලි පවුලේ අය කළ බලවත් ඉල්ලීම මත අසාද් සාලි නිදහස් කිරීමට ” ජනාධිපතිතුමා” කටයුතු කළ බව ඉදිරියේදී වාර්තා වනු ඇත.
පසුගිය මැයි දිනයේදී රාජපක්ෂ විදුලි බිල අරබයා මැජික් පෙන්නුවේය. ඒ ඒකක හැටට වඩා අඩුවෙන් විදුලිය භාවිත කරන අයට විදුලි බිලේ වැඩිවීමක් නොවෙන බව කීමෙනි. එය කියා අවසානයේ රාජපක්ෂම තමන් විසින් රැවටූ අයවලුන්ට තම අදෝ ප්‍රදේශයෙන් හිනාවෙනු ඇත. අපි “දේශප්‍රේමියාගේ” දුර්ගන්දය සුවඳ ලෙසත්, බොරු ඇත්ත ලෙසත් සිතා අපේ මායාව තුළ සිහින දකිමින් තම අසල්වැසියාට ගරහමින් සිටිමු. මොවුන්ගේ වචන වල කිසියම් ආකාරයේ සත්‍යක් ඇත්නම් ඒ එකම දෙයක් පමණි. එනම් මුඛය ඇරිය වහාම මොවුන් දෙපලන්නේ බොරු බවය. එය නිශ්චිතයකි.
මෙම හැසිරීමෙන් තව දුරටත් සනාථ කරනු ලබන්නේ රැවටිලි කාරයෙකුට රැවටිලිවලට හසුවන්නෙකු නිතරම මුණ ගැසෙන තරමට මිනිස් මනස සරලය යන මකියවෙලියානු දේශපාලන න්‍යායයි. මෙය එක අතකින් අපි කාලාන්තරයක් තිස්සේ ක්‍රමිකව වැටී ඇති අඝාධයේ ගැඹුරය. රාජපක්ෂට මෙතරම්ම මේ රටේ අයවලුන් රැවටීමට හැකි වී ඇත්තේ ඔහු මෙම න්‍යාය මැනවින් දන්නා හෙයින් මෙන්ම ඊට එරෙහිවන අයවලුන් මට්ටු කිරීමට ඔහු දන්නා හෙයිනි. එසේම මීට විරුද්ධ පැත්තේ සිටින අයවලුන් කුහකකම නිසා බෙදී වෙන් වී තනි තනිව සටන් කරන හෙයිනි. මිතුරු පාර්ශවයේ අසමගිය වූ කලී සතුරාගේ ප්‍රභලම අයුධය ය. අන්තවාදියාගේ ඉන්ධනය ය. රාජපක්ෂ තම දේශපාලන පැවැත්ම තහවුරු කරනු ලැබෙන්නේ මෙම මුලධර්ම භාවිතා කිරීමෙනි.
අසාද් සාලි රැගෙන ගොස් රඳවාගෙන ප්‍රශ්න කිරීම හරහා මතුවන්නේ වෙන කිසිවක් නොව රාජපක්ෂ විසින් නඩත්තු කරන අන්තවාදී කඳවුරට ඔහුගෙන් එල්ල වී ඇති තර්ජනයයි. ආණ්ඩුවේ පොලිසිය නිල පොලිසිය ලෙසත් ගලබොඩඅත්තේ ඥානසාර නමැති භික්ෂුවගේ කල්ලිය නොනිල පොලිසිය ලෙසත් ප්‍රසිද්ධියේ කියන විට කිසිඳු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගන්නා ආරක්ෂක අමාත්‍යංශය, තම බිත්තර හොරෙන් ගත් හොරාට කිකිළියක විසින් කොටන්නාක් මෙන් සාලිට එරෙහිව හැසිරිමින් සිටියි. මෙම කිකිළි කෙටීමේ න්‍යාය ආරක්ෂක අමාත්‍යංශය විසින් පසුගිය වසර කිහිපය පුරාම සිදුකරනු ලැබූ දෙයකි.
වරක් යාපනයේ විශ්ව විද්‍යාලයේ සිසුන් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුහු පුනරුත්ථාපනය කිරීමට ආරක්ෂක ලේකම්වරයාට අවශ්‍ය විය. නමුත් පසුව රාජපක්ෂ තිරුපති වන්දනාමාන කොට රෝ ලොක්කා හමු වූ පසු හති දමමින් යාපනයට ගොස් ලෝකෙට පෙන්න අදාළ සිසුන් නිදහස් කොට මාධ්‍ය සංදර්ශනයක් පැවැත්වූයේය. නමුත් යාපනයේදීම පැහැරගනු ලැබූ ලලිත් සහ කූගන් ගැන කිසිවක් නොකීවේය.
රටේ නායකයා හැසිරෙන්නේ මෙලෙසය. ඔහුගේ සොහොයුරා සිතෙන සිතෙන පුද්ගලයා කූඩු ගත කිරීමට අණ කරයි. ඉන්පසු ජනාධිපතිවරයා ඔවුන්ව දේශපාලන වශයෙන් වාසි ලබා ගැනීම ඉලක්කකොට ගෙන නිදහස් කරනු ලබයි. රටේ පොලිසිය, හමුදාව, උසාවිය මෙන්ම පාර්ලිමේන්තුව පෙරපාසල් තත්වයට පත්වී තිබේ. අධිපතිකාරී බලය හමුවේ සපත්තු ලෙවකෑමත් සාධාරණව අහිංසාවාදිව දිවිගෙවන්නා හමුවේ මෝඩ දුෂ්ඨයෙකු වී ඔහුව තලාපෙලා දැමීමත් හැරෙන්නට අපි අනෙකාගේ මෙන්ම තමන්ගේ නිදහස ඉලක්ක කරගනිමින් කටයුතු කිරීම අත්හැර දමා ඇත. සතුට වෙනුවට කෙසේ හෝ ජීවිතේ ගෙවා දැමීම; අයිතිය වෙනුවට ලද දෙය භාර ගැනීම; අරගල වෙනුවට පැස්බරාගේ න්‍යාය අනුගමනය කිරීමත් හැර අපි විසින් ඉතුරු කොට ඇති කිසිවක් නැත.
අපි අපේ මීළඟ පරමපාරවට ඉතුරු කිරීමට බලාපොරොත්තු වන්නේ මේ ආකාරයෙන් කාබාසිනියා කරුණු ලැබූ රටකි. ලංකාව වර්තමානයේ මුහුණ දී ඇති බරපතලම අභියෝගය වන්නේද මෙයයි. එනම් ලංකාවට සිදුවී ඇත්තේ ලංකාව සෙවීමටය. රාජපක්ෂගේ රෙද්ද ඇතුලෙන් දකින ලංකාව ලංකාව නොවන බවත් එය අපි රැවටී සිටින ප්‍රමාණයේ ඇති සංකීරණ ආතතිය නිසා මැවෙන හීන ලෝකය බවත් තේරුම් ගැනීමට තවත් බොහෝ කාලයක් යනු ඇත. එතෙක් තීන්ත බඳුනකට වැටුණු නරියා කැලේ රජා වීමට අනෙක් සතුන්ව රැවටු ආකාරය මෙන් අපිව මර්ධනය කරන සතුරා “ආදරණීය නායකයෙකු” ලෙසත් ඔහු හදමින් සිටින ලංකාව “ආශ්චර්යක්” බවත් සිතමින් කාලය මරා දමනු ඇත. එකල නරියාව තේරුම් ගෙන එලවා දැමීමටත් සතුනට හැකිවිය; මෙකල නරියා දේශප්‍රේමී ඇඳුමෙන් සිංහයෙකු ලෙස වෙස්ගන්වා ඔහුගේ අනුගමිකයෙන් සමඟ බහුතරයගේ නිදහස පාගා දමන විට අපි උඩබලාගෙන සිටිමු.
නිලන්ත ඉලංගමුව | Nilantha Illangamuwa