සිංහල, Colombo, Democracy, Governance

ලැජ්ජයි

පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන්

”ඔබේ මිතුරන් කව්දැයි මට කියන්න. ඔබ කව්දැයි මා ඔබට කියන්නම්” – ජන ප්‍රවාදයෙන්

සිය ජනයාගේ රුධිරය මත පිහිනමින් සිය ජනයාගේ මාශ්‍යයෙන් කුස් පුරවා ගනිමින් බෞද්ධ භික්ෂුන් සිය ගනනින් ඝාතනය කර ස්වකීය ම්ලේච්ඡත්වය මුවහත් කරගනිමින් තුවක්කුවේ සරණ විනා අන් සරණක් නොපතන සිය ජනයා හමුදා සපත්තුවට පාගා මිරිකා රාජ්‍ය බලයේ රැදී සිටින මීනීමරුවකු රාජ්‍ය නායකයකු රතු පළස් පාවාඩ කොට ලෙස පිළිගෙන පහුරු පාසනයේ යෙදීම තරම් තවත් අන්තර් ජාතික ලැජ්ජා නැතිකමක් ශ්‍රී ලංකාවට තිබිය හැකිද?
ඒ ලැජ්ජා නැතිකම ප්‍රදර්ශනය කැරෙනුයේ කළක් සිය ජනයාගේ මානව අයිතීන් වෙනුවෙන් වීදියේ ද රට රාජ්‍යයන්හිද පෙනී සිටි ජනතාවාදි දේශපාලනඥයකු විසින් වූ කළ එය වචනයනට නැගිය නොහැකි තරමේ ලැජ්ජා සහගත දේශපාලනයක් නොවන්නේ ද?
මියන්මාරයේ ජනයාගේ සියළුම මානව අයිතීන් හමුදා යකඩ සපත්තුවට පාගා ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත් එරට ජනයාගේ නායිකාව දශක ගණනාවක් පුරා කිසිදු හේතුවකින් තොරව සිරගත කර ලෙයින් සහ යකඩින් එරට පාලනය කරන මීනිමරු හමුදා නායක ජෙනරල් තාන් ෂ්වේ ශ්‍රී ලංකාවට ආරාධනය කිරීමත් සුජාත දේශපාලන නායකයකු සේ පිළිගැනීමක් මහින්ද රාජපක්ෂ පාලනයේ මැකිය නොහැකි අවර්ණ පැල්ලමක් වනු නිසැක ය. මේ වනාහී එක් අතෙකට කළකට පෙර අද දුටු මහින්ද රාජපක්ෂ නම් දේශපානඥයාගෙන් වැටෙතැයි ඇදහිය නොහැකි තරමේ පරාජිකා දේශපාලනයකි. මන්ද යත් මේ පහුරු පාසානයෙන් නරක නමක් මිස ඇති වන කිසිදු සුගතියක් නැති නිසා ය.
1994න් කෙළවර වූ එජාප භීෂන සමයෙහි අවසාන වසර කිහිපය තුළ එකී මර්දනය අභියෝගයට ලක් කළ ජනතා ව්‍යාපාරය සඳහා ”බියෙන් අත් මිදෙමු” යන තේමාව අප තෝරා ගත්තේ මේ ම්ලේච්ඡ හමුදා ජුන්ටාව විසින් සිරගත කළ බුරුමයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකාව වූ තේරී පත් අගමැතිනිය වන අවුන් සං සූ කී ගෙනි. ඇය මියන්මාරයේ පමණක් නොව සිය නිදහස උදෙසා අතනෑර අරගලයේ යෙදී සිටින්නා වූ ලොව සතර දිගම ජනයාට උදා තරුවක් ලෙස තවමත් බැබලෙයි.
නිදහස ලද බුරුමයේ ජනයාට ප්‍රජාතන්ත්‍රවාදී පාලනය භුක්ති විදීමට වැඩි කළක් හමුදා පාලකයින් ඉඩ දුන්නේ නැත. 1948 දී පිහිටුවන ලද ප්‍රජාතන්ත්‍රවාදී පාලනය 1962 දී හමුදා යකඩ සපත්තුවට යට කරන ලදී. දීර්ඝතම කාලයක් පැවැති හමුදා ඒකාධිපතිත්වය ලෙස ලොව අද වාර්තා තබා ඇත්තේ ශ්‍රී ලංකාව රතු පලස් එලූ අඥාදායක තාන් ෂ්වේ ගේ මිලිටරි පාලනය යි.
ජෙනරල් තාන් ෂ්වේ හමුදා කුමංත්‍රණයකින් බලය පැහැර ගත්තේ 1994 දී පැවැති හමුදා ජුන්ටාවේ සෙන්පතියා මළ පසු ය. 1948 න් පසු පැවැති එකම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය පවත්වන ලද්දේ 1990 දී ය . අවුන් සං සූ කී නායකත්වය දුන් ප්‍රජාතන්ත්‍රවාදී ලීගය එම මැතිවරණයේ දී විශිෂ්ඨ ජයග්‍රහනයක් ලබමින් ආසන 489යෙන් 392ක් දිනා ගත්තා ය. හමුදා ජුන්ටාව මැතිවරණ ප්‍රතිපල අවලංගු කර සං සූකී නිවාස අඩස්සියට දමා මැතිවරණයෙන් ජයගත් ප්‍රජාතන්ත්‍රවාදී ලීගයේ ප්‍රධානීන් සිර ගත කළේ ය. 1994 දී ජෙනරල් තාන් ෂ්වේ මියන්මාරයට නව ව්‍යවස්ථාවක් සම්මත කර ගත්තේ යුද හමුදාව රටෙහි පාලකයා වීම සදාකාලික වන පරිදි ය. දැන් 2010 නියමිත මැතිවරනයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලිගය ජය දිනූවද ව්‍යවස්ථාව අනුව රාජ්‍ය බලය පවතිනු ඇත්තේ යුද හමුදාවම අතෙහි ය. ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ආරාධනයෙන් සැපත්ව ශ්‍රී ලංකාවට පැමිණීම ”හරි ත්‍රිලක් ” යැයි වගාඩම්බර දෙසූ මේ ඒකාධිපතියාට මෑත කාලයේ අන් කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී රටක් මෙවැනි ආරාධනයක් කර නැත.
ඒකාධිපති පාලනයක් පවත්වාගෙන යෑම පිනිස මර්දනය හැර අන් මඟක් නැත. මියන්මාර හමුදා ජුංටාව දිගින් දිගටම මිනිස් ඝාතනයේ යෙදෙනේනේ එනිසා ය.
මේ ඝාතන වැළ ඇරඹෙන්නේ මිලිටරි පාලනය ආරම්භ වූ අලුතම 1962 ජූලි 17 දා රැංගූන් සරසවියේ සිසුන් 15 දෙනෙකු ඝාතනය කිරීමෙනි. 1974 මහජන උද්ඝෝෂනය මර්දනය කළ හමුදා ජුංටාව 1975, 1976, 1977 යන වර්ෂයන්හි පැන නැගුණු ශිෂ්‍ය නැගිටීම් පාගා දැම්මේ ශීෂ්‍ය ව්‍යාපාරය ද සමඟ ය. 1988 දී රට පුරා ලැවි ගින්නක් මෙන් ඇවිල ගිය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරය මඩලනු ලැබූයේ දස දහසකට අධික ජන පිරිසක් අමු අමුවේ ඝාතනය කිරීම මගිනි. බුරුම ඉතිහාසයේ සිදුවූ විශාලතම බෞද්ධ භික්ෂූ ඝාතනය කැරුනේ මෙම මැඩලීම තුල ය. ඒ දහස් ගනනිනි. 2007 වර්ශයේ සැප්තැමිබර් මාසයේ දී දස දහස් ගනන් බෞද්ධ භික්ෂුන් විසින් නායකත්වය දෙන ලද ප්‍රජාතන්ත්‍රවාදී නැගිටීම ද ම්ලේච්ඡ පාලකයකුට ඔබින පරිද්දෙන්ම ලෙයින් සහ ගින්දරෙන් මැඩලන ලදී. අපේ ආණ්ඩුව මේ මිනිමරුවා හරසරින් පිළිගත්තේත් මේ ඝාතන සංස්කෘතිය සැමරීමට ද?.

ඕනෑම මර්දනකාරී පාලනයක සහජ ළකුණක් වන ජනමාධ්‍ය මර්දනය අතින් ජෙනරල් ෂ්වේ කුප්‍රසිද්ධ ය. දිර්ඝතම කළක් ජනමාධ්‍යවේදීන් සිර ගත කොට ඇති එක් රටක් මියන්මාරය යි. ඔක්තෝබර් මාසයේ දී පමණක් ජනමාධ්‍යවේදීන් 20 දෙනෙකු පමණ අත් අඩංගුවට ගත් බව බුරුම ප්‍රජාතන්ත්‍රවාදී හඬ වාර්තා කළේ ය. බොහෝ ජනමාධ්‍ය ඍජු රාජ්‍ය පාලනයට යටත් අතර සියළුම ජනමාධ්‍ය පූර්ව වාරණයකට යටත් ය. අන්තර් ජාල පහසුකම් නැති තරම් වන අතර ඉතා දරදඬු අන්තර් ජාල වාරණයන් ක්‍රියාත්මක ය. ජංගම දුර කථනයක් ලබා ගැනීමට බල පත්‍රයක් අවශ්‍ය ය. ජංගම දුරකථනයක මිල ඩොලර් 2,200යේ සිට 1,400 දක්වා වන අතර ඊට අමතරව බල පත්‍රය ඩොලර් 1240කි. එනයින් ජංගම දුරකථනයක සාමාන්‍ය මිල රුපියල් ලක්ෂ තුනක් පමණ ය. එරටට යන සංචාරකයින් සිය ජංගම දුරකථන ගුවන් තොටුපළට බාර දිය යුතු ය.

ජෙනරල් තාන් ෂ්වේ ගේ බුරුමය ලෝකයේ දුප්පත්ම රටවලින් එකකි. ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් හි දූෂනය පිළිබද 2008 ලෝක වාර්තාවට අනුව මියන්මාරය සිටින්නේ අන්තිමයාට ළගට ය. 179ක් වූ රට වලින් 178 නරකම රට ලෙස ය. ලෝක බැංකු වාර්තා පෙන්වා දෙන්නේ ද මිලිටරි ජුන්ටාව යටතේ දූෂනය ඉව වහා ගොස් ඇති බව යි. රටෙහි ප්‍රධාන ව්‍යාපාර සහ ජාවාරම් පාලනය කරන්නේ හමුදා ජුන්ටාවට සම්බන්ධ පිරිස් ය. වාර්ගික කැරලිකාර හමුදාවන්හි සිට හමුදා ජුන්ටාවට එක්වූ සමාන්තර හමුදා යොදවා හෙරොයින් ජාවාරමේ යොදන බවට ද ධනවත් චීනුන් සඳහා කැසිනෝ පවත්වා ගෙන යන බවට ද හමුදා ජුන්ටාව චෝදනා ලබා තිබේ.

හමුදා ජුන්ටාව පිරිසිඳු ආණ්ඩුකරණය ගැන බණ කියමින් නීති පණවති. එසේ වෙතත් රහසිගතව අන්තර් ජාලයට එක් කළ තාන් ෂ්වේ ගේ වැඩිමහල් දියණියගේ විවා මංගල්‍යයේ විනාඩි 10ක වීඩියෝ පටයකින් පෙනී ගියේ මහානර්ඝ මුතු, මැණික් සහ දියමන්ති යනාදියෙන් ඇය සැරසී සිටිය සැටි ය. ඇය ලද විවාහ මංගල්‍ය ත්‍යාග පමණක් ඩොලර් මිලියන 10 ඉක්ම වූ බව කියනු ලැබේ. දෙවන දියණිය වීන සමාගමක් සමඟ කරන ලද එක් ගනුදෙනුවකින් ඩොලර් මිලියන 200ක් එකවරම උපයා ගත් සැටි විදේශගත බුරුම ජනමාධ්‍ය පෙන්වා දුන්නේ ය. බුරුම ඉතිහාසයේ දැවැන්තම දූෂිත ජාවාරම ලෙස එය හැදින්වේ. මර්දනකාරි පාලනයක තවත් ලක්ෂනයක් වන්නේ පාලකයින්ගේ දරුවන් භුක්ති විදින අසීමිත බලය යි.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් වාර්තාවට අනුව සමීක්ෂනයට භාජනය වූ රටවල් 182 අතුරින් ස්වභාවික සම්පතින් අනූන මුත් මානව සංවර්ධන දර්ශකයෙහි මියන්මාරය සිටින්නේ 138 වන තැන ය. ළදරු මන්ද පෝෂණය අධික ය. ජනගහනයෙන් සියයට තිහක් එනම් මිලියන 15ක් ජීවත්වන්නේ දුගී භාවයේ සීමාවට පහළිනි. උද්ධනමය සියයට 30-40ත් අතර ය. ගම්බඳ ඇති ප්‍රධානතම ප්‍රවාහණ සේවාව ගොන් කරත්තය. 2006 වසරේ දී එරට ලක්ෂ අටක් ජනයා යුද හමුදාව විසින් බලහත්කාර ශ්‍රම සේවාවන්හි යොදවා ඇතැයි චෝදනා කළ අන්තර් ජාතික කම්කරු සංවිධානය මේ පිළිබඳව අන්තර් ජාතික සංවිධානයනට පැමිණිළි කරන බව කියා සිටියා ය.

මියන්මාරය අග්නිදිග ආසියවේ භූමිප්‍රමාණයෙන් විශාලතම රට ය. එහි සුලුතර ප්‍රජාවන් 120ක් ජීවත්වෙති. හමුදා ජුන්ටාව මේ සියළු සුළුතර ප්‍රජාවන් බලයෙන් මැඩලීම සිය පිළිවෙත ලෙස දීර්ඝ කාලයක් තිස්සේ පවත්වා ගෙන යයි. බලයට පැමිණි අලුත එය සුලුතර ප්‍රජාවන්හි ජනයා 500, 000 රටින් පළවා හැරියා ය. පසුගිය වසරෙහි පමණක් නැගෙනහිර මියන්මාරයේ තවත් පන් ලක්ෂයක් ජනයා අවතැන් කරන ලදී. ඒකාධිපති තාන් ෂ්වේ බලයට පැමිණි පසු 1996 සිට නැගෙනහිර බුරුමයේ ගම්මාන 3,500ක් විනාශ කොට ප්‍රජාවන් 120ක් සහමුළින්ම වෙනත් ප්‍රදේශයන්හි බලහතකාරයෙන් පදිංචිකරවන ලදී. වාර්ගික කෙරන්වරු 60,000ක පමණ හමුදා මර්ධනයට බියෙන් තවමත් කැළැවැදී ජීවත් වන්නේ යැයි කියනු ලැබේ. අනෙක් බොහෝ වාර්ගික පිරිස් ද එවැනිම මර්දනයන්ට මුහුණ දී සිටිති.

ශ්‍රී ලංකාව එහි ප්‍රගතිශීලී විදෙස් පිළිවෙත වෙනුවෙන් නම දිනූ කාලයක් විය. අද එය නම් දරන්නට යන්නේ ඒකාධිපතියන්ට සෙවන සදන රටක් ලෙස ද? ලැජ්ජයි නොකියා වෙන මොනවා කියන්න ද?

සුනන්ද දේශප්‍රිය