Image Credit: economist | AFP
මහින්ද චින්තනය හඳුන්වාදී වසර 8 කට ආසන්න කාලයක් ගතවී තිබේ. නමුත් රට තුළ ආශ්චර්යක කාලයක් ගතවී තිබේ. නමුත් රට තුළ ආශ්චර්යක් ඇති වනවාට වඩා සීඝ‍්‍රයෙන් සිදුවී ඇත්තේ රට තුළ දුප්පත්කම බෝවීමයි. එසේ බෝවන දුප්පත් කමින් වැඩිම පහර එල්ල වී ඇත්තේ මේ රටේ මධ්‍යම පංතියටයි. රටේ මධ්‍යම පංතිය පෙනුමෙන් සරු සාර වුවද, අභ්‍යන්තරයෙන් අතිශය පීඩාවට පත්වූ පංතියක් ලෙස සැලකිය යුතුව තිබේ. මෙවර වැඩි කළ විදුලි බිල ජනාධිපතිවරයාගේ ආනුභාවයෙන් සහ ආශ්චර්්‍යයෙන් නැවත අඩු කළද, විදුලි බිල නිසා මරු පහර වදින්නේ මෙකී මධ්‍යම පංතියටය.
සංඛ්‍යා ලේඛන වලට අනුව රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් 45% ක් රටේ ජනගහනයෙන් 5% ක් වන ප‍්‍රමාණයක් භුක්ති විඳිති. රටේ සුපිරි ධනවතුන් ලෙස හැඳින්වෙන්නේ මොවුන්ය. ඔවුන්ගේ සංඛ්‍යාව දළ වශයෙන් ලක්‍ෂ 10 ක් පමණ වෙති. ඔවුන්ගේ ආදායම ගත් කළ මසකට රුපියල් එක්ලක්‍ෂ පනස් දහසේ සිට රුපියල් ලක්‍ෂ 10 ක් හෝ ඉන් එපිටට ආදායම් ලබති. එසේම රටේ ජනගහනයෙන් තවත් 45% භුක්ති විඳින්නේ දළ ජාතික නිෂ්පාදනයෙන් 5% ක් පමණකි. ඔවුන්ගේ මසක ආදායම රු. 7500 නොඉක්මවයි. පසුගියදා බන්දුල ගුණවර්ධන ඇමතිවරයා නොමැරී ජීවත් වන්නට රුපියල් 7500 පමණ සෑහේතැයි කියා කීවේ මොවුන් පිළිබඳවය. සැබැවින්ම ඔවුන් ජීවත් වන්නේ කෙසේ ද යන්න පිළිබඳව සිතා ගත නොහැකිය. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ලයිට් බිල අඩු කරන ලද්දේ මොවුන්ගේ යහපතටය. සැබැවින්ම ලයිට් බිල රුපියල් සියකින් වැඩි වුවත්, එහි කම්පනය ඔවුනට දරා ගත නොහැකිය.
ලංකාවේ තුන්වන ජන කණ්ඩායම වන්නේ මේ රටේ මධ්‍යම පංතියයි. ඔවුන් රටේ ජනගහනයෙන් 50% කි. ඔවුන් රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් ද 50% ක් භුක්ති විඳිති. ආදායම් කණ්ඩායමක් ලෙස ගත් කළ රුපියල් 7500 සිට එක් ලක්‍ෂ පනස්දහස දක්වා වූ මාසික ආදායම් පරාසයක ඔවුන් තම අයවැය භාවිතා කරති. සැබවින්ම ලංකාවේ මෙම ජන තීරුව මධ්‍යම පංතියක් ලෙස හැඳින්විය හැකිව තිබේ. ඔවුන් කම්කරුවන් වුවද සුදු කර පටි රැකියා කළද, ඔවුන්ගේ ක‍්‍රය ශක්තිය (මිලදී ගැනීමේ හැකියාව) අතිශය සීමිතය. මේ බව තේරුම් ගැනීමට අපට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යා ලේඛන වලට හා මහ බැංකුවේ ආදායම් වියදම් දත්ත සඳහා යොමු විය යුතුය. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ රටේ ඒක පුද්ගල කැලරි පරිභෝජනය කිලෝ කැලරි 2030 ක් වන බවය. මින් කියවෙන්නේ පුද්ගලයකු සිහි මුර්ඡා නොවී කෙලින් කටින් සිටීමට දිනට කැලරි ශක්තිය කිලෝ කැලරි 2030 නිපදවන ආහාර පරිභෝජනය කළ යුතු බවය. එය එසේ නම් දැන් අපට දැනගත යුතු වන්නේ දිනකට කිලෝ කැලරි 2030 ශක්තිය නිපද වීමට කොපමණ මුදලක් වැය කළ යුතු වන්නේ ද ඉන් කුමන ආකාරයේ ආහාර පරිභෝජනය කළ හැකි වන්නේ ද යන්නයි. මහ බැංකුව කියන්නේ පුද්ගලයකු දිනකට රුපියල් 100 ඉපයු විට ඉන් 48% ක් ආහාර සඳහා වැය කළ යුතු බවයි. තවත් 12% ක් ලයිට්, වතුර බිල් සඳහා ද, තවත් 12% ප‍්‍රවාහනයට ද ඉතිරිය, බෙහෙත් හේත් අනෙක් දෑ සඳහා ද වැය කරන බවයි.
නමුත් අද පවතින උද්ධමනයට අනුව සැබැවින්ම අපගේ ආදායමින් 60% ආහර සඳහා වැය කරයි. ඒ සඳහා අප උපයෝගී කරගන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශනය සහ ඒ මත නිර්ණය කෙරෙන බඩු මල්ලයි. මහින්ද චින්තනය කි‍්‍රයාත්මක වීම ආරම්භ වූ කළ දේශීය චින්තනයේ නාමයෙන් එකී බඩු මල්ලෙහි වූ මිල වැඩි උඩරට එළවළු ඉවත් කොට, ඒ වෙනුවට කරවිල, පතෝල, බණ්ඩක්කා වැනි එළවළු වර්ග එකතු කිරීම නිසා ආණ්ඩුව කියා සිටින්නේ රටේ උද්ධමනය අඩු බවයි. නමුත් අඩුම හාල් කිලෝව රුපියල් 55 ක් වන කළ දිනකට පුද්ගලයකු ආහාර සඳහා වැය කරන සැබෑ මිල දන්නේ කුස්සියේ සිටින ගෘහණියන් පමණකි. ඔවුන් කියන්නේ අප කන හැටි ලිපා දනි යනුවෙනි. කෙසේ නමුත් මේ සෑම මිල ගණන් සැලකිල්ලට ගත් කල්හි ද හතර දෙනෙකුගෙන් සමන්විත පවුලකට ආහාර සඳහා පමණක් රුපියල් හයසීය පනහක්(650.00) පමණ ද, අනෙක් විය හියදම් සඳහා තවත් රුපියල් හාරසීයක්(400.00) පමණ වියදම් වන බව පිළිගත් යථාර්තයකි. එය එසේ නම් අද දවසේ නොමැරී ජීවත් වන්නට හතර දෙනෙකුගෙන් යුතු පවුලකට මසකට රුපියල් තිස් දහසක් අවශ්‍ය බව යථාර්තයක් වී තිබේ.
එනයින් කියවෙන්නේ රටේ මධ්‍යම පංතිය හිටි අඩියේ දුප්පතුන් බවට පත්වී ඇති බවයි. අද රුපියල් තිස්දහස ඉක්ම වූ මාසික පඩියක් ලබන රජයේ සේවකයකු ඇත්නම් ඒ අතලොස්සකි. එය රුපියල් හැට දහස වන්නේ නම් ඔවුන්ට එයින් මහා දෙයක් කිරීමට නොහැකි අතර, හැකි වන්නේ යන්තම් ජීවත් වන්නට පමණි. පෞද්ගලික අංශයේ ද බහුතරය වැටෙන්නේ මෙම ගොන්නටය. රුපියල් අනුදහසක ආදායමක් ලැබෙතොත් යම් ජීවන ඉස්පාසුවක් ඔවුනට ලැබෙන නමුත්, අත දිග හැර ජීවත් වන්නට ඔවුන්ට හැකි වන්නේ නැත. අනු දහසේ සිට එක්ලක්‍ෂ පනස් දහසේ කණ්ඩායමට පමණක් යම් තරමකට මධ්‍යම පාංතික ජීවිතයක් ගත කිරීමට හැකි වනු ඇත. ලයිට් බිල වැඩිවීමෙන් කොන්ද කැඩෙන්නේ මේ සියල්ලටය. මහින්ද චින්තනයේ ආශ්චර්ය මෙය බව තේරුම් ගත යුතුය.
ශිරාල් ලක්තිලක | Shiral Laakthilake