Colombo, Democracy, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance

ආණ්ඩුවට ප‍්‍රතිවාදී වීමට අපට හැම අයිතියක්ම තිබේ

jvp-rally-against-sri-lanka-government

එසේ නම්, ආණ්ඩුවට අවඥා කිරීම හෝ ප‍්‍රතිවාදී වීම, ආණ්ඩුවේ විවේචකයන්ට එරෙහිව ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ මුවහත් කිරීමට ආණ්ඩුව යොදාගන්නා අළුත්ම අවසරය ද? මුස්ලිම් දේශපාලඥයෙකු වන අසාද් සාලි විසින් ආණ්ඩුව ‘අවඥාවට පත්කරනු ලැබීම’ සහ ‘මහජන කලබලයට තුඩුදෙන ආණ්ඩු විරෝධී ප‍්‍රකාශ කරනු ලැබීම’ යන චෝදනාව යටතේ ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ අනුව සිරභාරයට ගෙන රඳවා තබා ගැනීම තුළ පසු ගිය සතියේ දිග හැරුණු විකාර ජවනිකාව තුළ, අවාසනාවකට මෙන්, එම පැනය ඉබේ විදාරණය කෙරේ.

සාමූහික අවදානමකට මුහුණදීම

ජනාධිපති නියෝගය යටතේ නිකුත් කළ රඳවා තබා ගැනීමේ නියෝගය මගින්, ‘විවිධ ජනවර්ග අතරේ අසමගිය ඇති කිරීම’ යන චෝදනාවත් තිබුණු බව ඇත්ත. එය, බැලූ බැල්මට, ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ’ විධිවිධාන අනුව වරදකි. එහෙත්, ‘ආණ්ඩුව අවඥාවට පත්කිරීම’ සහ ‘ආණ්ඩුවට රිදවන ප‍්‍රකාශ කිරීම’ නැමති චෝදනා යුක්ති සහගත කරගන්නේ මොන නීතිමය පදනමක් උඩ ද?

මේ යටතේ, ඕනෑම වාර්තාකරුවෙකු, තිරුලිපි රචකයෙකු, සංස්කාරකවරයෙකු හෝ ඕනෑම පුරවැසියෙකු ආණ්ඩුවේ හැසිරීම ගැන නොසතුට පළකරන ලිපියක් ලිවීම, ඉහත කී පනත යටතේ අත්අඩංගුවට ගැනීමට හේතුවක් වන්නේය. මෙය, ප‍්‍රකාශනයේ නිදහස පිළිබඳ මුලික පදනම දෙදරවාලීමකි. පසු ගිය දශක කිහිපය තුළ ලංකාවේ මාධ්‍ය රුදුරු දඩයමට ලක්කෙරුණු වාතාවරණය තුළ මෙම පනතත් දැන් පාලකයන් විසින් සිය පාවිච්චියට ගැනීම තවත් භයානක පියවරකි. ඒ අනුව මෙය, එක් දේශපාලඥයෙකු කරදරයේ වැටීමකට වඩා සමස්ත සමාජයම මුහුණදෙන සාමූහික අවදානමක් බව තේරුම්ගත යුතුව තිබේ.


නිදහස ප‍්‍රසිද්ධියේ වළලෑම

මෑතක සිට නිතර දක්නට ලැබෙන ජනාධිපති (හෝ රාජකීය) අනුකම්පාව අනුව යමින් පසු ගිය සිකුරාදා අසාද් සාලි නිදහස් කෙරුණු බව ඇත්ත. එහෙත් කාටත් පැහැදිළිව පෙනෙන විකාර හේතුවක් මත රඳවා තබා ගැනීමේ නියෝගයක් මුලින්ම නිකුත් කිරීමේ සත්‍යය එයින් වැසැංගිය නොහේ. වර්තමානයේ පාලකයන් කරන කියන දේවල්වලට යුක්ති සහගත හේතුකාරක සෙවීම මේ වන විට අර්ථ විරහිත වෑයමක් වීමට පිළිවන. තවත් විදිහකින් කිවහොත්, රටේ අගවිනිසුරුවරියව පාර්ලිමේන්තුව ඉදිරියට කුදලාගෙන විත් අපහාසයට ලක්කොට හමුදා බලය යොදවා සේවයෙන් පලවා හරින ආණ්ඩුවකින්, අසාද් සාලි වැනි කෙනෙකු අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ දී ශෝභන නීතිරීතිවලට අනුගත විය යුතු යැයි ඉල්ලා සිටීම ද විහිළුවක් වන්නට පිළිවන.

එසේ වෙතත්, මේ ප‍්‍රශ්න නැගිය යුතුව තිබේ. එසේ කළ යුත්තේ, ආසාධ්‍ය උඩඟුවකින් පෙළෙන, බලයෙන් පිස්සු වැටුණු පාලන තන්ත‍්‍රයක් ඒවා සැළකිල්ලට ගනී ය යන විශ්වාසයකින් නොව, තමන්ගේ ජීවිතයට සහ නිදහසට අදාළ අයිතීන් කෙළෙසෙන ආකාරය ගැන රටවැසියන් දැනුවත් කිරීම සඳහා ය. මතක තියාගන්න, මේවා ඔබෙන් හොරෙන් උදුරාගන්නා දේවල් නොවේ, මහ දවල් ඇස්පනාපිට පැහැර ගන්නා දේවල් ය.

ආණ්ඩුව ‘අවඥාවට ලක්කිරීම’ හෝ ආණ්ඩුවට ‘ප‍්‍රතිවාදී වීම’ සහමුලින්ම සුදුසු ය

එහි පරාසය සහ බලපෑම ගැන සළකන විට, ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ තුළ ඇති අති රුදුරු බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත්, ආණ්ඩුව අවඥාවට ලක්කෙරෙන හෝ ආණ්ඩුව නුරුස්සන ප‍්‍රකාශ කිරීම ඒ මගින් තහනම් කෙරෙන්නේ නැති බව අවධාරණය කළ යුතුය. ආණ්ඩුව ගැන කෙනෙකු තුළ ඇති තදබල අප‍්‍රසාදය හෝ ජුගුප්සාව පළ කිරීම, ආණ්ඩුව නොරුස්සන ප‍්‍රකාශයක් විය හැකිය. ඊට වඩා අඩුවෙන් ගත්තත්, ආණ්ඩුව පිළිබඳ යම් විවේචනයක් හෝ ලිහිල් විරෝධයක් වුව ආණ්ඩුවේ නොරිස්සීමට හේතු විය හැකිය. එහෙත්, ආණ්ඩුවකට විරුද්ධ වීම, ආණ්ඩුවක් විවේචනය කිරීම හෝ ආණ්ඩුවක් අවඥාවට ලක්කිරීම, ඕනෑම ශ‍්‍රී ලාංකිකයෙකුට සුජාතව අභ්‍යාස කළ හැකි ක‍්‍රියාකාරකම් බව නොවළහා පැවසිය යුතුව තිබේ. එය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජීවිතයේ අත්‍යාවශ්‍යක කොටසක් වන අතර ඒ හේතුව නිසා විවේචකයන්ව දඩුකඳේ ගැසිය නොහේ.

අපේ අධිකරණ මගින් සේම, තුලනාත්මක අධිකරණ බල ක්ෂේත‍්‍රයන් තුළ ද ප‍්‍රකාශයට පත්ව ඇති පරිදි, පෞද්ගලික පුරවැසියෙකු හෝ දේශපාලඥයෙකු වුව විවේචනය කරනවාට වඩා වැඩි පරාසයක අයිතියක්, ආණ්ඩුවක් විවේචනය කිරීමට කෙනෙකුට ඇත්තේය. ඒ නිසා, තමන්ගේ විරුද්ධවාදීන්ට එරෙහිව සාපරාධී නඩු මගට බැසීමෙන් වැළැකීමේ විනීත වගකීමක් ආණ්ඩුවකට තිබේ.

එහෙත් නීතියක් නැති වර්තමාන ශ‍්‍රී ලංකාවේ අවාසනාවන්ත තත්වය තුළ එවැනි වැඩදායි සම්මතයන් තඹේකට මායිම් නොවෙයි. අසාද් සාලි අත්අඩංගුවට ගැනීම ඔහුට පමණක් කෙරෙන අනතුරු ඇඟවීමක් නොව, අනෙකුත් විවේචකයන්ට එරෙහිව ද එල්ල වන්නකි. එය හරියට, මේ පනත යටතේම අත්අඩංගුවට ගත් තිස්සනායගම් හරහා එදා දුන් පණිවිඩය වාගේ ය.


වැරදියට පළකෙරුණු ප‍්‍රකාශයක් අරභයා
‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ එලිපහළියට ගත්තේ ඇයි?

ආසාද් සාලි අත්අඩංගුවට ගැනීමට අදාළ යැයි පෙනෙන එම පනතේ සඳහන් කොටස වෙත අවධානය යොමු කරමු: එහි 2 (1) (උ) වගන්තිය අනුව, ‘හිංසන ක‍්‍රියාවන්හි නිරත වීම හෝ ආගම්, ජාති සහ වර්ගවාදී අසමගිය හෝ විවිධ ප‍්‍රජාවන් අතරේ හෝ වාර්ගික හෝ ආගමික කොටස් අතරේ එදිරිවාදීකම් ඇති කිරීම’ තහනම් ය.

එහෙත් මේ වගන්තිය සම්බන්ධයෙන් පවා කොන්දේසි ඇත්තේය. මුලින්ම, පුද්ගලයන්ට එරෙහිව මෙය යොදාගත යුත්තේ ඉතා සීමාන්තික සහ අදාළ අවස්ථාවන්හි දී පමණි. මුස්ලිම් ජාතියට එරෙහිව කෙරෙන අකටයුතුකම්වලට එරෙහිව ආයුධ අතට ගත යුතුව ඇති බව අසාද් සාලි කී බවක් ඉන්දියානු සඟරාවක් වැරදියට වාර්තා කර තිබීම, ඔහුව අත්අඩංගුවට ගැනීමට හේතු විය. එම වාර්තාව නිවැරදි කරන්නැ යි ඔහු ඉල්ලා සිටි බව වාර්තා වෙතත්, එම නිවැරදි කිරීම පළ කිරීම සඳහා අදාළ සඟරාව පමා වී ඇත. ඊළඟට ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයාගේ ඉල්ලීමක් මත ඔහුව අත්අඩංගුවට ගැනුණි. තමාගේ ප‍්‍රකාශයක් වැරදියට වාර්තා කොට ඇතැ යි ද, මුස්ලිම් ප‍්‍රජාව ආයුධ අතට ගත යුතු යැයි කිසි විටෙක තමා නොකියන බව ද අසාද් සාලි ප‍්‍රකාශ කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා අර කී අත්අඩංගුවේ තබා ගැනීමේ නියෝගය අවලංගු කෙළේය.

මේ අනුව, යම් සඟරාවක වැරදි වාර්තාවක්, කෙනෙකු අත්අඩංගුවට ගැනීමට ප‍්‍රමාණවත් ද යන ප‍්‍රශ්නය පැනනගී. මේ පනත යටතේ එවැනි ඉතා දුර්වල හේතූන් මත පවා කෙනෙකු අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් තිබීම, අප බැ?රුම්ව ගත යුතුය. මේ භයානක අවදානම ගැන ජනතාව දැනුවත් වීම අත්‍යාවශ්‍ය ය. අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමේ නියෝගය ලියූ තීන්ත වේලෙන්නටත් කලින් එම නියෝගය අවලංගු කිරීමට ජනාධිපතිවරයාට හැකිවීම යන කාරණය, මේ පනත මොන තරම් හිතුවක්කාරී ආකාරයෙන් පාවිච්චි කළ හැකි ද යන්න හොඳින් තහවුරු කරයි. එයින් පරදුවට තැබෙන්නේ කෙනෙකුගේ ජීවිතයක් සහ නිදහසක් යන බරපතල කාරණය නොවන්නට, මේ සමස්ත සිද්ධිය එකම විකාරයක්ම වන්නට තිබුණි.

අත්අඩංගුවට ගැනීමේ ඇති අසමානත්වය සහ චාරයක් නැති කම

දෙවැනුව, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාම අනුග‍්‍රහය දක්වන බොදුබල සේනාව සටන්කාමී බෞද්ධ දෘෂ්ටිවාදය (‘සටන්කාමී’ යන වචනය ‘බෞද්ධ’ යන වචනය සමග එකට යෙදීම මොන තරම් උත්ප‍්‍රාසවත් ද !) වෙනුවෙන් ආයුධ අතට ගනිමියි තර්ජනය කරනවා පමණක් නොව, මුස්ලිම් ව්‍යාපාරික ආයතනවලට පහර දීම සඳහා සැබවින්ම ආයුධ පරිහරණය කරන අවස්ථාවකත් මෙම නීතිය ක‍්‍රියාත්මක නොකරන්නේ ඇයි?

තෙවැනුව, මේ පනත යටතේ, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ හිතුමතේට මිනිසුන්ව අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් නැත. ඉතා වැදගත් කාරණය එයයි. එහි දී ඔහු විශේෂයෙන් පරිස්සම්කාරී විය යුතුය. හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථාව කිහිපයක දී පෙන්වා දී ඇති පරිදි, කෙනෙකුගේ පුද්ගල නිදහස නොතකමින් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වැන්නෙකුගේ හුදු සැකයක් මත කෙනෙකු අත්අඩංගුවට ගැනීම මේ පනත යටතේ පවා නීත්‍යානුකූල කළ නොහේ.

එම නෛතික කාරණා, විධායකයේ අණසකට යටත් නැති, ස්වාධීන අධිකරණයක් මගින් පරීක්ෂාවට ලක්කළ යුතුව ඇත. පසු ගිය දශක ගණනාව තුළ, දේශපාලඥයන් මෙන්ම, ‘ත‍්‍රස්තවාදී ක‍්‍රියාවන්ට’ අදාළ සැකකරුවන්වත් හිතුවක්කාරී අන්දමින් අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය බොහෝ අවස්ථාවල ප‍්‍රශ්න මතුකොට තිබේ. එහෙත් අද වන විට එවැනි ප‍්‍රශ්න කිරීමට තරම් ශක්තියක් අධිකරණයට ඇති බවට මහජන විශ්වාසයක් තිබේ ද යන්න ප‍්‍රශ්නයකි.

දැවැන්ත අනුවණ කමක්

ජාත්‍යන්තර ප‍්‍රජාව ඉදිරියේ කරන අපමණ සාඩම්බර කතා තිබියදීත්, ශ‍්‍රී ලංකාවේ හදිසි අවස්ථා තත්වය තවමත් ක‍්‍රියාත්මක වන බව, ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ යටතේ අසාද් සාලිව අත්අඩංගුවට ගැනීම තුළින්, ඕනෑම කෙනෙකුට පැහැදිළි විය යුතුය. ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ යනු, ඉස්සර තිබුණු හදිසි අවස්ථා රෙගුලාසි පස්ස දොරෙන් ආපසු ගෙන ඒමකි. නීතියේ ආධිපත්‍යය ගැන ලංකාවට සෙල්ලම් වැඩමුළු පැවැත්වීමට පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලය කියන මෝඩ කයිවාරුව පැත්තකින් තියා, ලංකාවේ මේ සැබෑ තත්වය වටහා ගැනීමට පොදුරාජ්‍ය මණ්ඩලීය නායකයන් පියවර ගත යුතුය.

අවසාන වශයෙන්, අසාද් සාලි සිද්ධිය හරහා එක පැත්තකින්, ආණ්ඩුව ‘අවඥාවට ලක්කිරීමේ’ හෝ ආණ්ඩුව තරහා කර ගැනීමේ ඇති අවදානම ආණ්ඩුවේ විවේචකයන් වෙත දන්වා සිටිනු ලැබේ. අනිත් පැත්තෙන්, ප‍්‍රතිපත්තිමය ස්ථාවරයන් ගැනීම ගැන අතීතයේ විශේෂ නමක් නැති දේශපාලඥයෙකුව, ආණ්ඩුවේ මෝඩ ක‍්‍රියාවක් තුළින් කරලියට නංවා තිබේ. එය යථා කාලයේ දී සහතික වශයෙන්ම අපට දැක ගැනීමට ලැබෙනු ඇත.

කිෂාලි පින්තු ජයවර්ධන
__________________________________________________________________________
2013 මැයි 12 වැනි දා ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ We are Perfectly Entitled to be Antagonistic towards the Government ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්