ජනාධිපතිවරණ අභියෝග (අංක 01)
එල්ටීටීඊ විරෝධී යුද්ධයේ ප්‍රධානතම වීරයන් දෙදෙනා දැන් එකිනෙකාට එරෙහිව ජනාධිපතිවරණ දේශපාලන භූමියේ සටනට එළඹ සිටත්. යුද්ධයට දේශපාලන නායකත්වය දුන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ය. යුදමය නායත්වය දුන්නේ ජෙනරල් සරත් පොන්සේකා ය. ගොඨාභයගේ භූමිකාව රුඟපෑමට ඕනෑ තරම් අය සොයා ගත හැකිව තිබුණි. එනමුත් යුද්ධය බිහිසුණු අවසානයක් කරා ගෙන යෑමෙහි ලා මහින්ද රාජපක්ෂ සහ සරත් පොන්සේකා රග පෑ කාර්යභාරය ඉටු කළ හැකිව තිබූ පුද්ගලයින් දෙදෙනෙකු වත්මන් ශ්‍රී ලංකාවේ දේශපාලන යුද සංදර්භය තුළ සොයා ගැනීමට නොහැකි තරම් ය. ඔවුන් දෙදෙනා ඇත්ත වශයෙන්ම ඉතිහාසීය නිර්මිතයන් ය. (යුද්ධය තිබූ එකම සහ හොඳම තෝරා ගැනීම යැයි හෝ මෙම යුද්ධයෙන් අපේක්ෂිත ප්‍රතිඵල එළෙසම ලැබෙනු ඇතැයි හෝ මම කල්පනා නොකරමි).
ජනාධිපතිවරණයෙහි ජය පරාජය තීරණය වනු ඇත්තේ මහජන කැමැත්ත විසින් වුව එකී මහජන කැමැත්ත නිරිමාණය කැරෙන්නේ පුද්ගලයාට පිටින් ඇති බාහිර සාධක ගණනාවක් විසින් බව අපි දනිමු. අපේක්ෂකයාගේ දේශපාලන වැඩ පිළිවෙළ, අපේක්ෂකයා කෙරෙහි ඇති විශ්වසනීයත්වය සහ ජනයා සහ බලවේග ඇඳ බැඳ ගැනීමට සමත් නායකත්ව දක්ෂතාවය සහ පෞරුෂය, ජනයා බලුමුළු ගැන්වීමට සමත් සංවිධාන ජාල සහ ප්රචාරක ජාල, ජනයා බලමුළු ගැන්වෙන උද්යෝග පාඨ, වැය කළ හැකි අතිමහත් ධන සම්පත් සහ විවිධාකාර බල ව්‍යුහයන් යනාදිය එහිලා මූලික ය. කැමැත්ත අනුව ජන්දය දීමට මහාජනයාට අයිතිය තිබේ. එනමුත් එම කැමැත්ත නිරිමාණය කැරෙන සාධක පවතින්නේ විප්ලවීය අවස්ථාවක දී හැර බොහෝ විට මහා ජනයාට පිටිනි.
රාජපක්ෂ පාලනයට එරෙහිව සරත් පොන්සේකා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස දේශපාලනිකව පෙරට එනු ඇතැයි මෙයට මාස තුනකට පෙර සිහිනෙන්වත් සිතන්නට පුලුවන් කමක් තිබුණේ නැත. සරත් පොන්සේකා දේශපාලන වේදිකාවට ගෙන එනු ලැබූයේ අන් කිසි සාධකයකට වඩා දූෂනය මූලික කර ගත් රාජපක්ෂ පවුලේ ඥාති සංග්‍රහ දේශපාලනය විසිනි. පසුගිය රාවය කතුවැකියෙහි ලා වික්ටර් අයිවන් විසින් මෙම දුර්ගුණයන් දෙක රාජපක්ෂ පාලනයට වින කරන ප්‍රධාන සාධක දෙකක් ලෙස හදුන්වා තිබුණි. සරත් පොන්සේකා තුළ තියුණූ දේශපාලන බල ආශාවක් ඇති බව පැහැදිලිය. එනමුත් යුද හමුදාපති වශයෙන් ඔහු එම බල ආශාව ක්‍රියාවට දැමූයේ නැත. ඊට අවස්ථාවක්ද නොතිබෙන්නට ඇත. මහින්ද රාජපක්ෂ සූක්ෂම සහ ශූර දේශපාලනඥයකු වී නම් ඔහු විසින් කළ යුතුව තිබුණේ සිය බෙදී යෑම වැළැක්වීම පිණිස ස්වකීය සේනාධිනායකයා දේශපාලන තලයට ගෙනැවිත් සමහර විට තමාගේ අගමැතිවරයා ලෙස හෝ නම් කරනු ලැබීම යි. එසේ නමුත් රාජපක්ෂ පාලනයේ සහජ සහ මුල් බැසගත් දුර්ගුණයක් වූ ඥාති සංග්‍රහය එවැනි බලය බෙදා ගැනීමකට ඉඩ තැබුයේ නැත. ඉඩක් දෙන්නේ ද නැත.
එමෙන්ම පොන්සේකා පොදු අපේක්ෂකයා බවට පත් කරවීමේ ලා විපාක්ෂික පක්ෂ සමඟ දේශපාලනමය සංවාදයක යෙදෙනු වෙනුවට නූල් සූත්තර මගින් එම පක්ෂ දෙකඩ කිරීමට පසුගිය සිව් වසර පුරාම රාජපක්ෂ සහෝදරවරුන් ගෙන ගිය ප්රයෝගකාරී දේශපාලනය ද සහාය විය. ජවිපෙ, ශ්රීලමුක්රො, ටීඑන්ඒ, එජාප, ටීවීඑම්පී, හෙළ උරුමය යනාදී සියළු දේශපාලන පක්ෂ බිඳවීම රාජපක්ෂ සහෝදර සැළැස්ම බවට පත්ව තිබූණි. විපක්ෂ පක්ෂ පමණක් නොව සිය පක්ෂය වන ශ්‍රීලනිප තුළ ද බොහෝ බිඳවීම් එම සැලැස්ම විසින්ම ඇති කොට තිබේ. අද ශ්රීලනිපය තුළ රාජපක්ෂවරු හැරුණ විට අන් ප්‍රබල නායකත්වයක් නැත. එහි පායා එන තරුව නාමල් රාජපක්ෂය. එමෙන්ම සිය ඥාති ඝනය හැරුණ විට රාජපක්ෂ පාලනය ලැදියාවක් දක්වන්නේ කරුණා අම්මාන්, විමල් විරවංශ, චම්පික රණවක, පේරියල් අශ්රොප්, වැනි සංවිධාන පදනමක් නැති පුද්ගල චරිත සමඟ ඇයි හොඳයිකම් තබා ගැනීමට ය. මේ වනාහී පුද්ගලික කෙටි කාලීන අවශ්‍යතා වෙනුවෙන් පක්ෂයේ දීර්ඝ කාලීන අවශ්‍යතා නොසළකා හැරීමකි. දැන් රජපක්ෂවරු මුහුණ දෙන්නේ එම පටු පිළිවෙතෙහි විපාකයන්ට යි. ජනාධිපතිවරණ සටනේ තනි රේස් අශ්වයා වීම වෙනුවට සමීපතම රේස් අශ්වයකු සමඟ වේගය උරගා බලන්නට වී තිබෙන්නේ එනිසා ය.
මේ කෙසේ වෙතත් දේශපාලන අත්දැකීම සහ මහා ජනයා ඇඳ බැඳ තබා ගැනීම අතින් ඉදිරියෙන් සිටින්නේ පොන්සේකා නොව රාජපක්ෂ ය. අනෙත් අතට පොන්සේකාට ඇති වාසිය දේශපාලන ඉතිහාසයක් නොමැති වීම යි. බහුතරයකට ඔහු අලුත් දේශපාලන චරිතයකි. රාජපක්ෂ සතුව ගල් වදින සහ මල් පිදෙන දේශපාලන ප්‍රතිරූපයක් තිබේ. පොන්සේකා එය ගොඩ නඟා ගත යුතු ය. ඔහුට තාවකාලිකව ගල් මඟ හැර යාමට ඇති ප්‍රස්තාව වැඩි ය.
රාජපක්ෂ සතුව දැවැන්ත රාජ්‍ය ප්රචාරක යන්ත්‍රය සහ පුද්ගලික අංශයේ සැළකිය යුතු ජනමාධ්‍ය ආයතන ගණනාවක් ද තිබේ. මිල කළ නොහැකි රාජ්‍ය සම්පත් ඇත්තේ ද රාජපක්ෂ අතෙහි ය. සියළුම පළාත් සභා සහ අති බහුතර පළාත් පාලන ආයතන සම්පත් සහ බලය ද රාජපක්ෂ සතු ය. මේ වනාහී ශ්‍රී ලංකාවේ සෑම පාලක පක්ෂයක් විසින්ම අනිසි ලෙස යොදා ගන්නා ලද සැසදිය නොහැකි තරමේ මිනිස් සහ ධන බලයකි. විධායක ජනාධිපති ක්‍රමය යටතේ එවැනි බලයක් පරදවා ජනාධිපතිධූරය ලබා ගත්තේ 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග පමණි. 2005 දී එල්ටීටීඊ ය විසින් දෙමළ ජනයාගේ ජන්ද වළක්වන නොලද්දේ නම් රනිල් වික්‍රමසිංහ විසින් ද එම බල ව්‍යුහයන් පරදවා නියතවම ජනාධිපතිධුරයට පත්වන්නට තිබුණි. ඉන් පෙනෙනනේ රාජ්‍ය බලය විසින් ලබා දෙන වාසිය කිසිදු පාලනයක ජයග්‍රහනයේ නියත කොන්දේසියක් නොවන බව යි. නමුත් එය පැරදවීම ලෙහෙසි නැත. ඒ සඳහා පොන්සේකා සතුව ඇත්තේ ජවිපෙ සහ මංගල සමරවීර සාධකය යි. දේශපාලන උපාය ශිල්පියකු වශයෙන් මංගල සමරවීර ගජතෙකි. දේශපාලන ප්රචාරකයින් වශයෙන් ජවිපෙ අංක එක ය. මධ්‍යම පළාත් සභා මැතිවරණයේ දී යළිත් සනාථ වූ දේශපාලන සංවිධායකයකු වශයෙන් එස්.බී. සාධකය මීට එක් කර ගැනීමට පොන්සේකා සමත් වනු ඇත් ද? මේ වනාහී ඕනෑම ජනාධිපතිවරණ නායකයකු මුවඟ කෙළ උනනු ඇති ඇති සංයෝගයකි.
පොන්සේකා අවම ලකුණු ලබා ගැනීමට ඉඩ ඇත්තේ දේශපාලන පරිණතබාවයෙහි ය. කිව යුතුදේ සම්බන්ධයෙන් වචන පාවිච්වි කිරීමේ දී සහ මහා ජනයා ඉදිරියෙහි රඟ පෑමේ දී රාජපක්ෂ ඉන්නේ ඔහුට ඉදිරියෙනි. තමන් සිංහල බෞද්ධ ජනයා වෙනුවෙන් පෙනී සිටින බව පොන්සේකා කියන විට රාජපක්ෂ කරන්නේ දෙමළ බසින් ද මහා ජනයා ඇමැතීම ය. එනමුත් බොහෝ දුරටම දෙදෙනාටම ඇත්තේ එකම මතයකි. එනම් සිංහල බෞද්ධ අධිපතිවාදී මතවාදය යි. එල්ටීටීඊ සැකකරුවන් විනාශ කළ යුතු යැයි පොන්සේකා කියන විට රාජපක්ෂ කියන්නේ පුනරුත්ථාපනය කරන බව ය. යුද්ධ ශිල්පයේ ලා තීක්ෂණ සහ නිර්මානාත්මක බවක් පෙන්නුම් කළ පොන්සේකා යුද සෙන්පතියකු ලෙස පමණ ඉක්මවූ දැඩිබවක් සහ දඩුවම් සම්ප්රදායක් අනුගමනය කිරීම මගින් යුද නිලධාරීන් අතර දිනා ගත්තේ හොඳ නමක් නොවේ. එය දේශපාලනයට ඹබින්නේ නැත. අප තවම දේශපාලනඥ සරත් පොන්සේකා දැක නැත. පොන්සේකාගේ ප්‍රසිද්ධ කතා අසා නැත.
පශ්චාත් යුද්ධ ශ්‍රී ලංකාව සාමය, ප්රජාතන්ත්රවාදය සහ සමෟද්ධිය කරා ගෙන යාමට නම් රාජපක්ෂ වේවා පොන්සේකා වේවා ඒ කරා වූ දේශපාලන වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළ යුතු ය. දෙදෙනාමට යුද්ධ වීරයා පදක්කම තිබේ. එනමුත් එම පදක්කමෙහි අනෙක් පසු පස යුද්ධයේ සියළු අකටයුතු සම්බන්ධයෙන් ද දෙනොම වග කිව යුතු බව ලියැවී ඇති බව ද අප අමතක නොකළ යුතු ය. වික්ටර් අයිවන් ලියා තිබූ පරිදි පශ්චාත් යුද්ධ සමය සඳහා අවශ්‍ය වූ පරිණත වෙනස ඇති කර ගැනීමට යුද්ධය දිනූ රාජපක්ෂ අසමත් විය. එනම් චණ්ඩාශෝක ගේ සිට ධර්මාශෝක දක්වා වූ වෙනස යි. පොන්සේකාට එම වෙනස ඇති කර ගැනීම සඳහා වූ ශක්‍යතාවය තිබේ ද? නැතහොත් රාජපක්ෂ පවුල් ගසෙන් බැස ජනදාසයකු වීමට සූදානම් ද? නැත්නම් මේ වනාහී චණ්ඩාශෝකවරුන් දෙදෙනෙකු අතර බල ආශාව පිණිස කෙරෙන්නා වූ සංග්‍රාමයක් පමණක් ද?
සුනන්ද දේශප්‍රිය