Features, Human Rights, Human Security, Kandy, Life quips, Peace and reconciliation, Politics and Governance

ගිනි තබාගත් හිමිනම, රට ගිනි තැබූ ස්වර්ණවාහිණිය සහ මහපාරේ චන්ඩි

Sri Lanka Protest

ගිනි තබා ගත් හිමි නම අපවත් වී තිබේ. හිමි නම ගිනි තබා ගන්නේ ගවයින් මැරීමට විරෝධය පාමින් යැයි ගිනි තබා ගැනීමට ප්‍රථම ස්වර්ණවාහිණිය ඉදිරියේ කීවේ ය. එපමණක් ද නොවේ හිමිනම විසින් ලියූ ලිපියක් ද ස්වර්ණවාහිනිය කැමරාව ඉදිරියේ දිග හැරියේ ය. ඉන්පසු හිමිනම විසින් ඉන්ධන සිය සිරැරට හලාගෙන ගිනි තබා ගත්තේ ය. එය ස්වර්ණවාහිණිය විසින් පටිගත කරමින් පසුව ලෝකය පුරාම අලෙවි කළේ කිසිදු හිරිකිතයක් නැතිව ය. ගිණි තබා ගැනීම අපරාධයකි. ඒ අපරාධය සිදු වෙනවා යැයි පෙරසිටම දැක දැකත්, ස්වර්ණවාහීනී මාධ්‍ය සේවකයා එය අලෙවි කළේ මරණය හෝ විකිණිය හැකි නම් එය අපි කරනවා යැයි දළදා මාලිගාව ඉදිරිපිට සිය නිරැවත පෙන්වමිනි. එසේම එය ස්වර්ණ වාහීණියේ දිග හැරියේ, සිය මාධ්‍ය හැසිරීමේ ජඩකම ලොවටම විදහා දක්වමිනි. දැන් පොලීසිය හිමි නම ගිණි තබා ගත් ඉන්ධන ලබා ගත්තේ කොහෙන්ද හෙවීමට පෙර, ගිනි තබා ගැනීමට පෙර එය වීඩියෝගතකල, මාධ්‍ය සේවකයින්ගෙන් මෙන්ම, ගිනි තබා ගැනීම වීඩියෝකල අනිකුත් මාධ්‍ය කාරයින්ගෙන්ද ප්‍රශ්ණ කල යුතුය. එය එසේ වන්නේ අපරාධ සහයකයෙකු වන්නට කිසිම පුරවැසියකුට අයිතියික් නැති බැවිනි.(මෙය ලියන මොහොත වන විට ඔවුන්ගෙන් ප්‍රශ්ණ කරිමින් සිටින බව ඇතැම් මාධ්‍ය වාර්තා කළේය.)

එහෙත් අනෙකා මරා දමන හැටි බලා විනෝද වෙමින් කිරිබත් කෑ ජනයා වෙසෙන රටක ගිණි තබාගැනීමක් වීඩියෝ කරමින් එය විකුණන් කෑම අරැමයක් නොවන බව එම සිදුවීම විසින් නැවත නැවත් ලාංකීය සමාජයට මතක් කර දෙයි.

දැන් ඒ හිමි නම අපවත් වී තිබේ.

දැන් ආයෙත් ඒ වාහිණි ලාගේ වාරයයි. දැන් මැරෙන හැටි විකුණා අවසන් ය. දැන් ඇත්තේ මිය ගිය ශරීරය ඇති තරමි විකිණීමය. ඒයට අවශ්‍ය නම් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්, විදේශ අතපෙවීමක් වැනි දේයකුත් දාගත්තා නම් තවත් විකිණිය හැකිය. එතකොට ලංකාවේ ප්‍රධාන ධාරාවේ විද්‍යුත් නාලිකාවක අමු හෙළුව තවතවත් නිරාවරණය වෙයි.

මිය ගිය භික්ෂුව බෙදා ගැනීමට පොරකෑම

ගිනි තබා ගැනීම සිය දිවි නසා ගැනීමකි. සිය දිවි නසා ගැනීම බරපතල වැරැද්දකි. එය වත්මන් නීතියට මෙන්ම බුදු දහමට ද විරැද්ධය. එහෙත් ඊයේ(26) සිංහල රාවය ඇතුලු අන්තවාදීන් විසින්, ගිනි තබා ගත් හිමිනමගේ දේහය බෙදා ගැනීමට නොහැකිව පොලීසිය සමග ගුටි ඇන ගත්තේ තවත් ඕනෑනම් ගිනි තබා ගන්නා බව පවසමිනි. පැය ගණනක් පොලීසිය සමග ගුටි ඇනගත් මේ භික්ෂූන් මිය ගිය හිමිනමගේ මරණය විකුණන් කෑමට සැරසෙන්නේ ස්වර්ණවාහිනියට නොදෙවෙනි ලෙසය. මේ මරණය මතින් ඔවුන් සැරසෙන්නේ ගවමස් කෑම තහණම් කිරීමටය. එය තහනම් කරවා ගැනීමට යන්නේ බලහත් කාරයෙනි. චන්ඩි පාට්වලින් ය. නීතියට පොල්ලෙන් ගසාය. මාංශ අලෙවිකරණ කඩවල් වලට ගල් ගසාය.(පෙර දවසක මුස්ලිම් ව්‍යාපාරික ස්ථානවලට පහර දුන්නා ලෙසය.) නමුත් විවිධ සංස්කෘතින් වලට අයත් ජනයාගේ ආහාර සංස්කෘතීන් වෙනස් බව මේ භික්ෂූන් වටහහා ගන්නේ නැත. අනෙක ‘පවක්‘ ලෙස ගන්නේ නම් හරක් මැරීමෙන් පමණක් ද පවු සිදු වෙන්නේ. ලංකාවේ දවසකට කුකුල්ලුන්, මාලුන් වැනි සතුන් කී දාහක් මස් සදහා මරනවාද? ඔවුන් මරණ එක පවු නැති ද? නැත. මොවුන් ‘හරක් මස්‘ යන්න ඉදිරියට ගනු ලබන්නේ හරකාට ඇති ආදරයක් නිසාවෙන් නොවෙයි. හරක්මස් සමග බැදී ඇති සිංහල නොවන ජාතියකගේ ආහාර සංස්කෘතියත් නිසාවෙනි. එය නොපෙන්වා අපි ශිෂ්ඨයි, පවු කරන්නේ නෑ..! යන්න හරකා ට ආදරේ කිරීම තුලින් මතු කර ගැනීමට උත්සහ දරයි. නමුත් එහි සැබෑව දැන් නිරාවරණය වී ඇති බව ඔවුන් දන්නේ නැත.(දැන ගත්තත් ඔව්න්ට කම් නැත. මොනව කලත් අපි රැකුමට මහරජ සිටිනා බැවිනි)

130526174752_bowatte_protest_colombo_624x351_mirror.lk

එසේම, සෑම ලෙසම වෙනස් කම තර්ජනය ලෙස දකින මෙම භික්ෂූන් තමන්ගේ මතවාදය වෙනුවෙන් අනෙක් සියලු ජන කොටස් තලා දැමීමට සූදානම් වන සේයකි. ඔවුන්ට අනුව මේ රටේ සිටිය යුත්තේ සිංහල බෞද්ධයින් පමණකි. මෙය පැහැදිලිවම බෞද්ධ විරෝධී ය. බුදුන්ගේ ධර්මය තුළ අනෙකා පිළිබදව වන ඉවසීම සහ සහ සියලු සත්ත්වයන්ට වන අවිහිංසාව වැනි ගුණාංගයන් මොහොතකට පසෙකින් තැබුවත්, බුදුන්ගේ භාවිතය තුළින් පැහැදිළි උදාහරණයක් අපට මතකය. එනම්, බුදුන් වහන්සේ වැඩවිසූ ජේතවනාරාමයේ ඌරැ කොටුවක් එකල තිබූණේ ය. එම ඌරැ කොටුව පාලනය කරරන ලද්දේ චුන්ද සූකර නම් වූ මිනිසාය. ඔහු කිසි කළෙක බුදුන්ගේ ධර්මය අසනු පිණිස ජේතවනාරාමයට අවේවත් නැත. එපමණක්ද නොව ජේතවනාරාමයට අසල සිදුකෙරැණු මෙම ප්‍රාණගාතය නතර කළේ ද නැත. එසේ තිබුණු ඌරැ කොටුව වහා ඉවත් කරන්නැයි රජතුමාගෙන් ඉල්ලා සිටියේ වත් නැත. දායකයෝ එම ඌරැ කොටුවේ අයිතකරැගේ නිවසට ගල් ගැසුවේවත්, එයට විරැද්ධව පෙළපාලි ගියේ වත් නැත. මේ සියලු කරැණු වලින් අපට අවබොධ වන්නේ අනෙකා, අනෙකාගේ සංස්කෘතිය, ජීවන විලාශයන් පිළිබදව තිබුණූ ශිෂ්ඨ බවයි. අනෙකා පිලීබදව ඇති උතුම් ගුණාංගයි. නමුත් අද බෞද්ධාගමේ නාමයෙන් මෙසේ ගිණි තියා ගනිමින්, පාරවල් හූ කියාගෙන අනෙකා චප්ප කර යන ගමනින් පවසන්නේ අනෙකා නොඉවසන, අන් සංස්කෘතීන් තර්ජනයක් යැයි සිතමින් හැසිරෙන ම්ලේච්ඡ ගෝත්‍රික තත්ත්වයන් නොවේ ද?

මෙවැනි තත්ත්වයක් තුළ මේ විරෝධතා භික්ෂූන් ඇතුලු ගිහියන් ඊයේ අරලිය මැදුරට ගියේ තමන්ගේ අන්තවාදය, මිය ගිය භික්ෂුවගේ මතින් ජයග්‍රහණය කරවා ගැනීමටය. නමුත් වසර ගණනාවක් රජුගේ මඩ හේදූ ඔව්න්ට සිදු වූයේ කර කියා ගැනීමට නොහැකිව මහ පාරේ විරෝධය පාන්නටය. අරලිය මැදුරින් කිසිවක් නොදුන් ඔවුන් අරලිය මැදුරේ ප්‍රතිචාරයට පිළිතුරැ දුන්නේ අනුර සේනානායක නම් පොලිස් නිළධාරීයා පට්ට ගසමිනි. ඔහුට ද්වේශයෙන් ප්‍රතිචාර එල්ල කරමිනි. එහෙත් ඔවුන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට කිසිවක් නොකීමට තරම් පරෙස්සම් විය. ඒ පරෙස්සම් වීමේ රහස කුමක්ද? එම රහසේ එක් පර්ච්ඡේදයක් බොදු බල සේනාවේ ප්‍රධාන උත්සව වල ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්ෂක ලේකම්වරයා සහභාගීවීමෙන් ඔප්පු වූයේ මීට මාස කිහිපයකට පෙරය.

නමුත් මේ සටකපට ආණ්ඩුව, මේ ගිණියම් වූ අන්තවාදයන් තුළින් මහජන පීඩාවන් බවට පත් ව ඇති විදුලි බිල, බඩු මිලට එරෙහි ඇවිලෙමින් යන විරෝධතාවයන් යටපත් කිරීමට මෙය හොදම උපකරණය ලෙස තෝරා ගනිමින් තිබේ. මේ අර්ථයෙන් අන්තවාදී භීක්ෂු කල්ලි පමණක් නොව ආණ්ඩුවද මියගිය හිමිනමගේ දේහය, අනෙකා පීඩනයට පත්කිරීම සදහා මෙන්ම සිය පාලනයට එල්ලවන විරෝධයන් මර්දනය කිරීමට අවශ්‍ය හොදම තුරැම්පුවක් ලෙස තෝරා ගනිමින් තිබේ.

එසේම පසුගිය කාලයේ, දහස් ගණක් මැරී වැටෙද්දී කදුලක් නොහොලූ මේ අවිහිංසාවාදී යැයි කියාගන්නා භික්ෂූන් හරකෙක් වෙනුවෙන් ගිනි තබා ගැනීම හෝ ඒ වෙනුවෙන් විරෝධතා පැවැත්වීමේ බිය ජනක විහිලුව විසින් නැවත වරක් ඔප්පුකරමින් දිව යන්නේ, අනෙකාට(එසේම තමන්ටත්) හිංසා කරගනිමින් යන ම්ලේච්ඡ ලක්ෂණයන් ගෙන් පිරැණු අනාගතයක් දෙසට ය.අවසාන වශයෙන් කියන්නට ඇත්තේ, කුහක කමට හරක් ගැන දුක් වෙන්නට පෙර, තමන්ගේ බලපූලුවන්කාරකමින්, චන්ඩිකමින් යටපත් කිරීමට උත්සහ කරන තමන්ගේම සහෝදර අනෙක් ජාතීන් ගැන සිතුවොත් යහපත් නේද? කියා ය.