ගව ඝාතන විරෝධය හින්දු ආගමික යි. බුද්ධාගම, සකල මාංශ අනුභවය හෙලාදකී. ඊට, හාල්මැස්සා ද අයත් ය.
වෙසක් පුර පසළොස්වක දවස බෞද්ධයාට තෙමගුලකි. බුදුන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය එදාට සැමරේ. මෙම අවස්ථා ත‍්‍රිත්වයම බෞද්ධයා තුළ දනවන්නේ ශාන්තියකි, සිසිලසකි. ගින්දර එහි ප‍්‍රතිපක්ෂයයි. සිවුරක් පොරවාගෙන සිටි බෝවත්තේ ඉන්ද්‍රරතන නැමැති පුද්ගලයෙක් එම දවසේ සිරුරට ගිනි තියාගත්තේය. එසේ කෙළේ, ලංකාවේ සිංහල-බෞද්ධයාගේ අතිපූජණීය දළදා මැදුර අභියස ය. ඒ මගින් ඔහු කෙළේ, නිර්මල බුද්ධත්වයේ ශාන්තිය සහ සිසිලසත්, සිංහල-බෞද්ධයාගේ ඓතිහාසික වන්දනීයත්වයක් එක විට කෙළසීමයි. මෙය, වීරත්වයක් හෝ පූජණීයත්වයක් වශයෙන් කෙනෙකු සළකන්නේ නම්, ඔහු හෝ ඇය මේ මියගිය පුද්ගලයාට වඩා බිහිසුණු ය. සටකපට ය. අබෞද්ධ ය. මන්ද යත්, ගිනි තබාගෙන මියගිය තැනැත්තාගේ දඩබ්බර මුග්ධත්වයට අමතරව ඔහුව සමරන්නා තුළ භයානක අවස්ථාවාදයක් ද රජයන බැවිනි.
සිංහල-බුද්ධාගමේ මූලික ස්වභාවය වන්නේ, බුදුන්ගේ ධර්මය පරයා, ජාතිය/ගෝත‍්‍රය අධිනිශ්චය වීමයි. එහි දී ජාතිය බැබළවීමට බුද්ධාගමට ගිනි තැබෙයි. ඉන්ද්‍රරතන නැමැති මෙම පුද්ගලයාගේ මළකඳ වටා කපුටු රැලක් සේ රොදබඳින දේශපාලඥයන් දැන් කලක සිට නිරත වන්නේ එම කාර්යයේ ය.
ආගමේ අනුහසින් දේශපාලන බලය රස විඳීම බුද්ධාගමට පමණක් සීමා වන සත්තාවක් නොවේ. අනිත් ආගම් ද ඉතිහාසයේ හරි අපූරුවට එම භූමිකාවට උරදී තිබේ. එහෙත්, අවිහිංසාව මතම පදනම් වන බුද්ධාගම වැනි ආගමක්, හිංසාව විෂය කරගත් බල ලෝභය සඳහා දෛනික මට්ටමෙන් ඔට්ටුවට තැබෙන විට, එම ආගමේ වාටියවත් අවසානයේ දී ඉතිරි වෙතැ යි සිතිය නොහැක. ගංගොඩවල සෝම හිමියන්ගෙන් මෑත කාලයේ පටන්ගෙන, ජයග‍්‍රාහී යුද්ධයක සම්මාදමෙන් ගොඩනැගුණු නූතන සිංහල-බුද්ධාගම තුළ බුදුන් වහන්සේව ඝාතනය කෙරෙන්නේ, වෙඩි උණ්ඩයක් හෝ බෝම්බයක් වැනි ක්ෂණික හිටිවන අවියකින් නොව, ගිය සතියේ ලන්ඩන් නුවර ප‍්‍රධාන වීදියක දී බි‍්‍රතාන්‍ය ජාතික හමුදා සොල්දාදුවෙකුව මහ දවල් කැති පිහිවලින් කෑලි කෑලි කපා ඝාතනය කළ ආකාරයෙනි. එම ඝාතකයන් දෙදෙනා අතේ පිස්තෝලයක් ද තිබුණි. එහෙත් ඝාතනය සඳහා ඔවුන් පාවිච්චි කෙළේ, එම පහසු අවිය නොව, ප‍්‍රචණ්ඩත්වය උත්කර්ෂවත් කෙරෙන පරිදි උපරිමයෙන් ලේ වෑහෙන උල් ආයුධයි. බුදුන් වහන්සේගේ ධර්මය අද ලංකාවේ ඝාතනය කෙරෙමින් තිබෙන්නේ ද එයාකාරයෙනි.
මෑතක සිට පාරතොටේ හමුවන බොහෝ තරුණ භික්ෂූන් වහන්සේලාගේ මුහුණුවල ස්වරූපය, අප කුඩා කල දුටු භික්ෂූන් වහන්සේලාගේ පහන් සංයමයට අහලකින්වත් මායිම් නොවන ස්වභාවයකැ යි අපට සිතී ඇති වාර අනන්තයි. රට රාජ්‍යයන් ජයගත් චණ්ඩාශෝක අධිරාජයා දවසක් උදේ මාළිගාව ඉදිරිපිට පාරේ වඩින කුඩා නිග්‍රෝධ හිමි නමගේ සන්සුන් විලාසයෙන් සැදී පැහැදී ධර්මාශෝක වූ පුවත අප අසා ඇත. පසුගිය කාලයේ, බොදුබල සේනා, සිංහල රාවය සහ රාවණා බලය වැනි අන්තවාදී උමතු ව්‍යාපාර හරහා විටින් විට වීදි බැස්සවූ පුංචි සාමනේර හිමිවරුන්ගේ පවා මුහුණුවල තිබූ ප‍්‍රචණ්ඩත්වය කෙනෙකු බිය ගන්වන තරම් ය. බෝවත්තේ ඉන්ද්‍රරතන නැමැති පුද්ගලයාගේ ගිනි පූජාව එම වර්ධනයේ එක් සන්ධිස්ථානයකි.
මොහු කවුද? ඇතැම් මාධ්‍ය වාර්තා කරන පරිදි, ඔහු නීතියට කට්ටි පනිමින් සිටි පුද්ගලයෙකි. කලක් ජාතික හෙළ උරුමයේ පැල්මඩුල්ල ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයෙකු වශයෙන් සිට පසුව විනය හේතු මත එම පක්ෂයෙන් නෙරපන ලද පුද්ගලයෙකි. මුස්ලිම් පල්ලියකට පහර දෙන අවස්ථාවක දී ප‍්‍රසිද්ධියේ සිවුර ගලවා පපුව නිරුවත් කොට පෙන්වමින් මදාවියෙකු සේ හැසිරෙන ඔහුගේ පින්තූරයක් එක් වෙබ් අඩවියක පළවී තිබේ. ඊට අමතරව, කතෝලික පල්ලියකට පහර දීමේ සිදුවීමකට ද ඔහු සම්බන්ධ ය. තවද, වීරකැටිය පොලිස් ස්ථානයට පහර දීමේ සිද්ධියකටත් මොහු ගෑවී තිබේ. ‘ආගම සහ ජාතිය’ වෙනුවෙන් එසේ ‘වීරකම්’ පෑමට අමතරව, සමෘද්ධි රැකියා දෙන බවට පොරොන්දු වී අසරණයන්ගෙන් වංචනික ලෙසින් මුදල් එක්රැස් කරගෙන එම පළාතෙන් පළා ගිය අයෙකු බව ද, තවත් වාර්තාවකින් කියැවෙයි. කොටින්ම, දිවිනසා ගැනීමට දින තුනකට පෙර එකී වැරදිවලට අදාළව ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස, වලස්මුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් මේ පුද්ගලයාට එරෙහිව වරෙන්තුවක් නිකුත් කොට තිබීමෙන් පෙනී යන්නේ, මොහු බෞද්ධ භික්ෂුවක් සේ සැළකීම කෙසේ වෙතත්, බෞද්ධ පන්සලක් අසළකටවත් වැද්දගත යුතු නැති පුද්ගලයෙකුගේ චර්යාවකට නොමසුරුව සම්මාදම්ව සිටි බවයි.
විනය හේතු මත ඔහුව පක්ෂයෙන් පන්නා දැමූ ජාතික හෙළ උරුමයම, සත්ව පැවැත්මේ අතිමූලික ප‍්‍රාථමික විනය පවා කඩකරමින් ගිනි තබාගෙන මියගිය ඔහුගේ මිනිය වීරත්වයෙන් දැකීම තුළ ඇති දේශපාලනය වටහාගත යුතුව තිබේ. යුද ජයග‍්‍රහණයට පෙර සිටි ජාතික හෙළ උරුමය සහ යුද්ධයෙන් පසු ජාතික හෙළ උරුමය අතර වෙනස පැහැදිළිව හඳුනා ගැනීම එහි දී වැදගත් ය. යුද්ධයට පෙර මේ රටේ සිංහල-බෞද්ධ කම ජාතික හෙළ උරුමයේ ඒකාධිකාරී සන්තකයක් විය. එහෙත් යුද ජයග‍්‍රහණයෙන් පසු, ඊට හිමිකම් පාන්නෝ බොහොමයකි. එම තරගය තුළ, ‘සිංහල-බෞද්ධ’ දේශපාලනය සඳහා ඉස්සරටත් වඩා බුද්ධාගම කෙළෙසිය යුතුව තිබේ.
බොදුබල සේනා නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පුවත්පතකට දෙන ලද සම්මුඛ සාකච්ඡාවක දී, ඇපල් මුද්දරප්පලම් පිටරටින් ගෙන්වන්නා සේ හරක් මස් ද පිටරටින් ගෙන්විය නොහැක්කේ මන්දැ යි ප‍්‍රශ්න කරයි. ගව ඝාතනය තහනම් කිරීම, අර ගිනි තබාගෙන මියගිය පුද්ගලයාගේ එක ඉල්ලීමකි. දැන් ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවගේ දේශනාවට අනුව, ලංකාවේ සිංහල-බෞද්ධ ගවයාගේ මස් වෙනුවට බටහිර කිතුණු ගවයාගේ මස් අනුභවය, පාණාතිපාතා වේරමණී ශික්ෂා පදයට ගෑවෙන්නේ නැත. ලාංකීය හරකාගේ ජීවිතය තරම් විදේශීය හරකාගේ ජීවිතය වටින්නේ නැත. මේ ස්ථාවරය, හුදෙක් ‘අබෞද්ධ’ යන වචනයෙන් හැඳින්වීම, ඔවුන්ගේ වර්තමාන දේශපාලනය විසින් මේ රටට කරනු ලබන විනාශය අඩුවෙන් තක්සේරු කිරීමකි. (මෙවැන්නන් අබෞද්ධ වන බව අමුතුවෙන් කිව යුතු නැත).
මාළු කෑමෙන් වළකින්නැ යි මොවුන් කිසිවෙකු කිසි දවසක කියනු අප අසා නැති බව මොහොතකට පැත්තකින් තියමු. ඒත්, ඌරු මස් කෑමෙන් වළකින්නැ යි මේ තරම් හයියෙන් ඔවුන් කෑ නොගසන්නේ ඇයි? එසේ කළොත් ඉස්ලාම් ආගමිකයා සමග අනන්‍ය වීමට සිදුවන බැවිනි. අනිත් අතට, ලංකාවේ ගවමස් කර්මාන්තයේ බලය හොබවන්නේ මුස්ලිම් ප‍්‍රජාවයි. ව්‍යාපාරික පදනමකින් කෙරෙන ගව ඝාතනය සහ වෙළඳාම බොහෝ විට පවතින්නේ ඔවුන්ගේ අතේ ය. මේ මොහොතේ මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව ගෙන යන ව්‍යාපාරය තුළ, ගව ඝාතනය තහනම් කැරැවීම යනු, ඒ අනුව, ඊනියා ගව-පේ‍්‍රමයට අමතරව, මුස්ලිම් ප‍්‍රජාවේ එක් ආර්ථික පදනමකට ද අභියෝග කිරීමකි. පිටරටින් හරක් මස් ගෙන්වා වැළඳීම මේ භික්ෂුවට ප‍්‍රශ්නයක් නොවන්නේ එබැවිනි.
මේ ගිනි තබා ගැනීම කල්තියා සැලසුම් කරන ලද්දක් බව දැන් හෙළිවී තිබේ. දහස් ගණන් මිනිස් ජීවිත විනාශ කෙරෙන යුද්ධයට එරෙහිව වචනයක් නොකියන මෙවැනි භික්ෂූන්, තමාගේ ජීවිතයට වඩා හරකෙකුගේ ජීවිතයක වටිනාකමක් ඇතැ යි සිතීම ගැන අපට ප‍්‍රශ්නයක් නැත. බුදුන්ගේ ධර්මය සකල සත්වයාගෙන් ගලවාගෙන සිංහලයාගේ තනි බූදලයක් කරගන්නා තරමට, එවැනි සාසනික සිතිවිලි පහළ වීම අස්වාභාවික නැති බැවිනි. එහෙත් එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මුළු රටක්ම අගතියට පත්වන්නේ නම්, ජාතීන් අතර අසමගිය තව තවත් වැපිරෙන්නේ නම්, ඒ ගැන සැබෑ බෞද්ධයා නිහඩව සිටිය යුතු ද? දේශපාලනය කරට ගත් සංඝයා වහන්සේලා මෙසේ හැසිරෙන විට ගිහියන් ද ඊට නොදෙවැනිව නටති. මේ පුද්ගලයාගේ සිරුර දැවී යන සැටි, ‘රියැලිටි ෂෝ’ ක‍්‍රමයට කැමරාවට හසු කර ගැනීමෙන් ස්වකීය ‘වෘත්තීය’ අනාගතය සරිකර ගත හැකි යැයි සිතූ ‘මාධ්‍යවේදියා’ ඊට හොඳම නිදසුනකි. මිනිස් ජීවිතයක විනාශය වළක්වා ගනු වෙනුවට ඔහුට වැදගත් වුණේ, එය විනාශ වන ආකාරය රූපගත කිරීමෙන්, මාධ්‍ය ඔස්තාද් කෙනෙකු වීමටයි. ඔහු හින්දු, ඉස්ලාම් හෝ කිතුණුවෙකු නොව, සිංහල-බෞද්ධයෙකි.
ඔබට, සිංහලයෙකු විය හැකිය. එසේම, බෞද්ධයෙකු ද විය හැකිය. එහෙත්, ඔබට සිංහල-බෞද්ධයෙකු විය නොහැකිය. මන්ද යත්, ගෞතම බුදුන් වහන්සේව එවිට ඔබට මගහැරෙන බැවිනි.
ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda