මඩකළපුව සම්ප‍්‍රදායික වශයෙන් දෙමළ ජනයා බහුතරයක් ජීවත්වන නගරයකි. පසුගිය දිනෙක එම නගරයට ඇතුල් වන ප‍්‍රධාන මාවතෙහි බෞද්ධ ප‍්‍රතිමාවක් පිහිටුවීමට දරන ලද ප‍්‍රයත්නයකට නගර වැසියෝ විරුද්ධ වූහ.
මෙම ප‍්‍රයත්නය දරන ලද්දේ ශ‍්‍රී මංගලාරාම විහාරධිපති විසිනි. මඩකළපුව නගරයට උතුරු පිවිසුම් දොරටුව අසල පිල්ලයාරඩි මංසන්දියේ බුදු පිළිමයක් තැබීමට එහිමියන් සැළසුම් කර තිබුණි. ඊට එරෙහිව නගර වැසියන්ගේ විරෝධතාවයක් මතු වූ අතර බුදු පිළිමය තැබීම නැවැත්වන ලෙස තවකාලික අධිකරණ නියෝග කළේ ය.
එම නියෝගය නිකුත් වූ දින රාත‍්‍රියේ මඩකළපු දිසාවෙහි හින්දු කෝවිල් හතරක් විනාශ කරන ලදී. ඒවා නම්ගුරුක්කල්මඩම් ශ‍්‍රී සෙල්ලකදිර්කාමර් කෝවිල, මාංගාඩු පිල්ලෙයාර් කෝවිල, කිරාන්කුලම් අයියනාර් කෝවිල සහ පාන්ඩිරුප්පු තිරව්පදියම්මන් කෝවිල ය. මෙම කොවිල්හි දේව ප‍්‍රතිමා කඩා බිඳ දැමූ පිරිස් වටිනා දේ රැගෙන ගියහ.
එක් රැයක කොවිල් හතරක් කඩා බිඳ දැමීම සොර කල්ලියක ක‍්‍රියාවක් විය නොහැකි අතර එය සංවිධානාත්මක පිරිසක විසින් කළ අපරාධයක් බවට නිගමනය කිරීමේ වරදක් නැත. මඩකළපුව වැනි නොනිල යුද්ධ සහ පොලිස් හමුදා පාලනය යටතේ පවතින දිසාවක මෙවැනි මෙවැනි සංවිධානාත්මක අපරාධයක් කිරීම ලෙහෙසි නැත. එබැවින් ප‍්‍රදේශයේ දෙමළ ජනයා කල්පනා කරන්නේ සිය ආගමික ස්ථාන වලට කරන ලද මෙම පහර දීම දිසාවේ බලධාරීන්ගේ අනුමැතිය ඇතිව කරන ලද්දක් බවයි. එමෙන්ම මෙම ප‍්‍රහාරයන් බෞද්ධ ප‍්‍රතිමාවක් මඩකළපු නගර පිවිසුමෙහි ඉදි කිරීමට තමන් දක්වන ලද විරුද්ධත්වයට දක්වන ලද ප‍්‍රචණ්ඩ පළිගැනීමක් යැයි ද ඔව්හු විශ්වාස කරති. එමෙන්ම අප අත්දැකිමෙන්ම දන්නේ මෙම අපරාධයන්ට වගකිව යුතු කිසිවකු අත් අඩංඟුවට පත් නොව අතර මෙම අපරාධයන් ද නොවිසදුණු තවත් අපරාධයක් ලෙස ඉතිහාසයට එක්වනු ඇති බවයි.
මා හැදී වැඩුනු සිංහලයින් ජීවත් වන නගරයක් වන අම්බලන්ගොඩ නගර පිවිසුමෙහි දේව ප‍්‍රතිමාවක් ඉදි කිරීමට තැත් කළහොත් කුමක්වනු ඇත් ද? ඇතිවනු ඇත්තේ මඩකළපු වැසියන් දක්වන ලද ප‍්‍රතිචාරයම ය. එසේ නමුත් නගරයේ පවත්නා ආගමික ස්ථාන කිසිවක් නම් ඒ නිසා විනාශ නොවනු ඇත. එවැනි සාහසික ක‍්‍රියාවක් කළ හැකි පිරිසක් හෝ අවකාශයක් නැත.
එසේ නම් දෙමළ ජනයා ජිවත් වන යුද – පොලිස් හමුදා හැරුණ විට වෙනත් බුදුනුවන් නැති මඩකළපු නගර වැසියන් බෞද්ධ ප‍්‍රතාමාවකට දක්වන ලද විරුද්ධත්වයට එවැනි සාහසික ප‍්‍රතිචාරයක් ඇති වූයේ කෙසේ ද? මන්ද?
මේ වනාහී පශ්චාත් යුද්ධ ශ‍්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර දෙමළ ජනයා මුහුණ දී සිටින දේශපාලන යථාර්තයේ සංකේතය යි. එනම් දෙමළ ජනයා ජීවත් විය යුත්තේ යටත් වැසියන් ලෙස බවයි. සිය අයිතීන් ඉල්ලා පාරට බසින දෙමළ දේශපාලන ක‍්‍රියාකාරීනට කලූතෙල් ප‍්‍රහාර එල්ල කිරීම මෙම යටත් කිරීමෙහි තවත් සංකේතයකි. පසුගිය කාලය තුළ අඩුම වශයෙන් පස් වතාවක දී කලූ තෙල් ප‍්‍රහාරයන්ට මුහුණ දීමට දෙමළ සමාජ ක‍්‍රියාකාරීනට සිදුව තිබේ. එමෙන්ම අවස්ථා තුනකදී එවැනි ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයන්ට පැමිණි පිරිස් අල්ලා පොලීසියට බාර දෙන ලද නමුත් ඒ කිසිම මැරයකුට නඩු පැවැරීමක් වී නැත. එවැනි අවස්ථාවක දී කිළිනොච්චියේ දෙමළ සන්ධානයේ රැස්වීමකට පහර දීමට පැමිණ අල්ලා බාරදුන් එවැනි මැරයකු තමාගේ කණ්ඩායමේ බව ඒ අවස්ථාවේදීම පොලිස් ලොක්කකු කියා සිටියේ ය. යාපනයේ පැවැති දේශපාලන බලමුළු ගැන්වීම් ගණනාවක් එල්ටීටීඊයේ යැයි පෙන්වීම පිණිස එල්ටීටීඊ කොඩි වනමින් මතුවී අතුරුදහන් වු පිරිස් ආරක්ෂ අංශ විසින් සංවිධානය කරන ලද බව පෙනෙන්නට තිබුණි. එම පුද්ගලයින් පිළිබඳව තොරතුරු ලබා දීමෙන් පසුව වුව කිසිදු නීතිමය පියවරක් නොගැනුනි. දෙමළ ජාතික සන්ධානයේ මහජන ජන්දයෙන් තේරී පත් මංත‍්‍රිවරුන් විවිධ හේතූන් මත කොළඹ පොලිස් අපරාධ පරීක්ෂන අංශයට කැඳවීම ද දැන් කෙරෙන්නේ පුරුද්දකට මෙනි.
මෙරට දෙමළ ජනයාගේ සංස්කෘතිය, ආර්ථිකය සහ දේශපාලනය දැන් පාලනය වන්නේ සිංහළ බෞද්ධ මිලිටරිවාදී රාජ්‍යක අභිලාෂය පරිදි ය. කිළිනොච්චියේ පමණක් සිංහල ඉගැන්වීමට යුද හමුදා ගුරුවරුන් සියයකට වඩා යොදවා සිටින බව මෑත දී වාර්තා විය. එහි පෙර පාසැල් පාලනය ද යුද හමුදාව විසින් කර ගෙන යනු ලැබේ. රාජ්‍යයේ මඟ පෙන්වීම යටතේ යුද හමුදාව විසින් උතුරු නැගෙනහිර පුරා බෞද්ධාගමික ප‍්‍රතිමා සහ පන්සල් තනයි. එහි වෙසක් උත්සවය සංවිධානය කරන්නේ වෙසක් කූඩු සහ තොරණ බඳින්නේ යුද හමුදා විසිනි. කිතුණුවන්ගේ නත්තල, හින්දූන්ගේ දීපාවලී හෝ අදිවේල් හෝ මුසල්මානයින්ගේ ඊදුල් ෆිත්ර් යනාදී උත්සව මෙළෙස ශ‍්‍රී ලංකාවේ යුද හමුදා විසින් කොතැනකදීවත් සමරන්නේ නැත. එපමණක් නොවේ. පසුගිය වසරෙහි නොවැම්බර් මාසයට යෙදි තිබූ හින්දු භක්තිකයින්ගේ පහන් දැල්වීමේ ආගමික උත්සවය යුද හමුදා පිරිස් විසින් බලහත්කාරයෙන් යටපත් කරන ලදී.
දෙමළ ජනයාගේ පාරම්පරික ඉඩම් අධි ආරක්ෂක කලාප ලෙස අල්ලා ගෙන සිටින ආරක්ෂක හමුදා පිරිස් ඒවායේ වගා කරන එළවළු එම ඉඩම් හිමි දෙමළ ජනයාටම මුදළට විකුණයි. උතුරු නැගෙනහිර පුරා ආරක්ෂ හමුදා විසින් පවත්වාගෙන යන විවිධ වෙළද ව්‍යාපාර ගණනින් වර්ධනය වෙමින් තිබේ. දැන් යාපනයේ අක්කර 6000ක යුද හමුදා ජනපදයක් පිහිටුවීම පිණිස ක‍්‍රියා කරගෙන යන්නේ ද ඒ අනුව ය. අක්කර 6000ක් කියන්නේ ටිකක්ද?
පශ්චාත් යුද්ධ ශ‍්‍රී ලංකාවේ රාජ්‍යය දැන් හුදු සිංහල බෞද්ධාගමික එකකි. එම රාජ්‍ය දෙමළ ජනයා සිය විශ්වාශයට ගන්නේ නැත. මෙම වර්ධනයේ ප‍්‍රබලතම ලකුණ වන්නේ අන් සියළු පළාත් සභා සම්බන්ධයෙන් නොදැක්වු බියක් උතුරු පළාත් සභාව සම්බන්ධයෙන් රාජපක්ෂ ආණ්ඩුවෙන් ප‍්‍රදර්ශනය වීමයි. රාජපක්ෂවරු බලයට පත් වී වසර අටක් පුරා සංශෝධනය නොකළ පළාත් සභා බලතල දැන් උතුරු පළාත් සභා මැතිවරණය අභිමුව දැන් වෙනස් කරන්නට යන්නේ එම අවිශ්වාශය සහ බිය නිසා ය. ශ‍්‍රී ලංකාවේ වෙනත් පළාත් සභාවක බලය සිංහල විපක්ෂයක් විසින් හිමිකර ගත්තේ නම් රාජපක්ෂවරු මෙළෙසම බියවනු ඇත් ද? නැත. මේ බිය සහ අවිශ්වාශය ඇත්තේ දෙමළ ජනයා සම්බන්ධයෙනි. එය බොහෝ දුරට මුස්ලිම් ජනයා කරාද ව්‍යාප්ත වන්නට ඉඩ තිබේ.
ජනගහණයෙන් සියයට 20ක් තරම් වන එමෙන්ම ඉන්දියාව ඇතුළු අන්තර් ජාතික ක්ෂෙත‍්‍රයෙහි සැළකිය යුතු බලපෑමක් ඇති සුළුතර ප‍්‍රජාවක් සම්බන්ධයෙන් මෙවැනි අවිශ්වාශයක් ඇති කර ගැනීමත් ඒ අනුව ඔවුන් මත යුද්ධ පාලනයක් පිහිටුවා සමාජිය සහ දේශපාලන වශයෙන් යටත් කර ගත් ජනතාවක් බවට පත් කිරීමෙන් ශ‍්‍රී ලංකාවට සුගතියක් අත්වනු ඇත් ද? කෙටිකාලින වශයෙන් සාර්ථකත්වයක් ලෙස පෙනී යනු ඇති මෙවැනි පිළිවෙතක් විසින් දීර්ඝ කාලීනව ශ‍්‍රී ලංකාව බෙදා වෙන් කරනු මිස එක් කිරීමක් සිදු නොවනු ඇති බව රාජපක්ෂවරුන් තේරුම් නොගන්නේ මන්ද?
ලේ වලින් ලියැවුනු ඉතිහාසය තීන්තයෙන් ලියැවුණූ ඉතිහාසයට වඩා බලවත් ය. කවර ජනතාවකගේ හෝ ලේ වලින් ලියැවුණූ ඉතිහාසයක් තීන්තයෙන් ලියැවෙන ඉතිහාසයෙන් මකා දැමිය නොහැකි ය. මන්ද යත් ජාතියක ආත්මය එය සිංහලයින්ගේ වුවත් දෙමළුන්ගේ වුවත් යටපත් කළ නොහැකි නිසා ය. රටක සැබෑ සංහිදියාව ඇති වන්නේ බලය මත නොව විශ්වාසය සහ සමානාත්මතාවය මතය. ඉතිහාසයේ පාඩම එය යි.
මඩකළපුවේ හින්දු කොවිල් විනාශ කළ සාහසික පිරිස් ඒ ඉතිහාසය නොදැන සිටියාට රාජ්‍ය පාලකයින්වත් ඒ බව නොදැන සිටිය යුතු ද?
වැදගත්: රාජපක්ෂ ආණ්ඩුව විසින් යෝජනා කර ඇති ඊනියා ජනමාධ්‍ය ආචාර ධර්ම මාලාව නීතියක් බවට පත් වුව හොත් මෙම ලිපිය ලිවීම සහ පළ කිරීම දඩුවම් ලැබිය යුතු වරදක් වනවා ඇත.
සුනන්ද දේශප‍්‍රිය | Sunanda Deshapriya