කිලිනොච්චිය දිස්ත්‍රික්ක ඉඩම් අත්පත් කිරීමේ නිළධාරියා ලෙස ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යංශය විසින් පත්කළ එස්. වීරකත්තිපිල්ලයි තම ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි ග්ලෝබල් ටැමිල් වෙබ් අඩවිය වාර්තා කරයි. එහි වැඩිදුරටත් සදහන් වන්නේ, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යංශය විසින් උතුරෙහි සෑම දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයකම පසුගිය මස ඉඩම් කාර්‍යාලයක් විවෘත කර ඇති අතර මෙම කාර්‍යාලය මඟින් උතුරෙහි රැඳී සිටින හමුදාවට අවශ්‍ය පෞද්ගලික ඉඩම් කඩිනමින් අත්පත්කරදීමේ කටයුතු ද ආරම්භකර තිබුණි.
මෙවැනි තත්වයක පසුගිය අප්‍රේල් මස යාපනය දිස්ත්‍රික්ක ඉඩම් අත්පත්කිරීමේ නිළධාරියා ලෙස කටයුතු කළ ආර්. සිවසුවාමි මහතා තම ධූරයෙන් ඉල්ලා අස්වී ගියේය. අනතුරුව කිලිනොච්චිය දිස්ත්‍රික්ක ඉඩම් අත්පත්කිරීමේ නිළධාරියා ලෙස පත්කරන ලද එස් වීරකත්තිප්පිල්ලයි මහතාද තම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
එහි වැඩිදුරටත් සදහන් වන්නේ, හමුදාව විසින් ඉඩම් අත්පත්කිරීම පිළිගත නොහැකි හෙයින් ඔවුන් තම දූරයෙන් ඉල්ලා අස්වී යන බවට එහි වැඩිදුරටත් පැවසෙන අතර එම පුරප්පාඩූ වූ ධූරයන් සඳහාවූ මෙතෙක් කිසිවකු ඇයඳුම්කර නොමැතිවීම ද විශේෂත්වයකි.
කෙසේ නමුත් උතුරේ දහස් ගණනක් අවතැන් ජනයාගේ ඉඩම් තවමත් ඔවුන්ට ලබා දීමට අදාල බළධාරීන් කටයුතු නොකිරීම තුළ, හමුදාව විසින් ඔවුන්ගේ ඉඩම් පරිහරණය කරන බවට පසුගිය කාලය පුරා වාර්තා වූ අතර, වලිකාමම් ප්‍රදේශයේ ජනයාගේ ඉඩම් ගැටලුව ගැන ඊයේ(11) ද විකල්ප තුළ විස්තරාත්මක සටහනක් පළවිය. එහිදී ද ඔවුන් පවසා සිටියේ තම මුල් පදිංචි ස්ථානයන් හමුදාව විසින් අත්පත්කර ගෙන තිබෙන නිසා තමන්ට එම ඉඩම් නොලැබී යන තත්ත්වයක් ඇති වී තිබෙන බවයි.
කෙසේ නමුත් උතුරේ ජනයාට අයිති ඉඩම්, ඔවුන්ට ලබා දීම හෝ ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සවිල් පරිපාලනය හා සම්බන්ධ වූවක් වුවත් අන් සෑම තැනදීම මෙන් ඉඩම් ගැටලුවටත් හමුදාව සෘජුවම මැදිහත් වී ඇතැයි උතුරේ ජනයා චෝදනා කරයි. ඒ තත්ත්වයන් තුළ සිවිල් ක්‍රියාකාරකම් සදහා පත්කරන ලද නිළධාරීන් මෙසේ තම රැකියාවලින් ඉල්ලා අස්වීම පිළිබදච එම ජනයා තුල තව තවත් සැක සංකා මතු වීම නොවැලැක්විය හැකිය.
ඒබැවින් යුද්ධයෙන් වසර 4කට පසුත්, සිවිල් ජනජීවිතයේ කාර්යයන් සදහා සිවිල් පරිපාලනය ශක්තිමත් කිරීම සිදුකරනවා යැයි පවසන ආණ්ඩුව වහාම කළයුතු වන්නේ මෙම ඉඩම් අත්පත්කිරීමේ නිළධාරීන් ඉල්ලා අස්වන්නේ ඇයි ද යන්න සොයා බැලීමයි. එසේම නිළධාරීන් ලවා හමුදාවට ඉඩම් ලබා දීමට ප්‍රථම වසර ගණනාවක් අවතැන්ව සිටි උතුරේ ජනයාගේ ඉඩම් ඔවුන්ට ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම නොවේද? එසේ නොවුනහොත් ‘ආණ්ඩුව යෝජනා කරන සංහිදියාව‘ හෝ තව තවත් ඈතට යනවා මිසක ලගා කර ගත හැකි වන්නේ නම් නැත.