Colombo, Constitutional Reform, Democracy, Features, Human Rights, Media and Communications, Peace and reconciliation, Politics and Governance

වෛරී කථන තහනම අත්‍යාවශ්‍යයි

ජනමාධ්‍ය සහ ප‍්‍රවෘත්ති අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කියන පරිදි, සියලූ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය සඳහා වන ‘ආචාර ධර්ම පද්ධතියක්’ හඳුන්වා දීමට ආණ්ඩුව සැරසෙයි. රජයේ ‘ඬේලි නිව්ස්’ පුවත්පතට අනුව, ‘රටට වැඩදායක මාධ්‍ය සංස්කෘතියක්’ නිර්මාණය කරනු වස්, මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් අඩංගු පනත් කෙටුම්පතක් ලබන සැප්තැම්බරයේ දී අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.

images

කර්තෘ සංසදය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් පෞද්ගලික මාධ්‍ය ව්‍යාපාර සඳහා 2001 දී සාමූහිකව හඳුන්වා දෙන ලද පුළුල් ආචාර ධර්ම පද්ධතියක් දැනටමත් තිබේ. එය, ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ පුවත්පත් පැමිණිලි කොමිසම විසින් පිළිගෙන තිබේ. අනිත් අතට, මාධ්‍ය සඳහා වන මාර්ගෝපදේශකත්වයන් සැපයිය යුත්තේ මාධ්‍ය ප‍්‍රජාව විසින්ම මිස ආණ්ඩුවෙන් නොවන බවත් පැහැදිළියි.

ආණ්ඩුවේ මෙම පියවර දෙස බොහෝ මාධ්‍යවේදීන් බලන්නේ සැකයෙනි. එය, බැටළු හමක් පොරවා ගත් වෘකයෙකු මෙනැ යි ඔවුන්ට සිතේ. මෙම කෙටුම්පතේ එක් වගන්තියකින් වෛරී කථනය පිළිබඳ ඕනෑම ප‍්‍රකාශනයක් තහනම් කිරීමට යෝජනා කෙරේ.

කෙසේ වෙතත්, ආචාර ධර්ම පද්ධතියක් නොව, ජාතීන් අතර වෛරය සහ අසමගියට පාර කපන වෛරී කථන සහ ප‍්‍රකාශන ප‍්‍රසිද්ධ කිරීම සහ විකාශය කිරීම පිළිබඳ දැඩි තහනමක් පැනවීම මේ මොහොතේ අත්‍යාවශ්‍ය දෙයකි. ජනතාව අවුස්සන පෙළපාලි, මහජන රැලි සහ වෙනත් ඒ හා සමාන රැස්වීම් ද ඊට ඇතුළත් විය යුතුය.

ජාතිවාදීන් ඉතා සුළු පිරිසක් විසින් ජාතීන් අතර අසමගිය සහ වෛරයේ ගිනි දැල් ඇවිලවීමට පෙරමුණ ගෙන වැඩි කාලයක් නැත. යම් හේතුවක් නිසා දැනට තරමක් යටපත්ව ඇති මේ විනාශකාරී බලවේග, සිංහල බහුතරයේ නාමයටත්, සමස්තයක් වශයෙන් රටේ ජාතීන් අතර සමගියටත් සිදු කළ හැකි අනර්ථය තේරුම් නොගෙන තවමත් ඔවුන්ගේ හෝ සමහර විට ඔවුන්ගේ ඇමරිකානු, නෝර්වේ හෝ ඊශ‍්‍රායල් හාම්පුතුන්ගේ න්‍යාය පත‍්‍ර මුස්ලිම් ජනතාවට එරෙහිව පවත්වාගෙන යති.

දශක තුනක වාර්ගික යුද්ධයකින් 2009 දී ගොඩ ආ මෙරටට, සියල්ලන් අනර්ථයට හෙලන තවත් දශක කිහිපයක ලේ හැලීමකට දායක වීමට පුලූවන් කමක් නැත. කෙසේ වෙතත්, මාධ්‍ය ක්ෂේත‍්‍රයේ ඇතැම් කොටස්, විශේෂයෙන් පසුගිය වසරේ හැසිරුනු විලාසය අනුව, වෛරී කථන, වෛරී ප‍්‍රකාශන සහ එක ජාතියක සිත්සතන් තවත් ජාතියකට එරෙහිව උසිගන්වන වෙනත් එවැනි ක‍්‍රියාවන් තහනම් කිරීමේ අවශ්‍යතාව පෙන්නුම් කරයි.

එසේම, 1948 සිට බලයට පැමිණීමට හෝ බලයේ රැඳීමට ජාතිවාදය පාවිච්චි කළ දේශපාලඥයන් ද, ආගම, සංස්කෘතිය සහ ජන වර්ගය ආරක්ෂා කර ගැනීමේ නියාවෙන් ජාතිවාදය මත යැපීමට තැත් කළ මාධ්‍යය ද, මෑත අතීතයෙන් කිසි පාඩමක් උගෙන නැති බවත් මෙයින් පෙන්නුම් කෙරේ. ඇත්තෙන්ම, මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යයේ ඇතැම් කොටස්, පළිගැනීමේ ලෝලයෙන් පෙලෙන විනාශකාරී බලවේගවල ප‍්‍රචාරක මෙවලම් බවට බොහෝ දුරට පත්ව සිටී.

මෙය අළුත් දෙයක් නොව. එය පටන් ගත්තේ දශක කිහිපයකට කලිනි. උදාහරණයක් වශයෙන්, නිදහසෙන් පසු ආසන්න වකවානුවේ, ලේක්හවුස් සහ ටයිම්ස් සමූහ ව්‍යපාරය, විවිධ ප‍්‍රජාවන්ට නරකට බලපාන කරුණු ඉස්මතු කළ බව පෙන්වා දිය හැකිය. එහෙත් පොදුවේ ගත් විට, ජාතීන් අතර ද්වේෂය සහ හිංසාව අවුස්සන ආකාරයෙන් ඔවුන් ක‍්‍රියා කෙළේ නැත.

එම සම්ප‍්‍රදාය, දවස පුවත්පත් සමාගමේ සම්ප‍්‍රාප්තියත් සමග පොඩිපට්ටම් කෙරුණි. ව්‍යාපාරික අවශ්‍යතා සඳහා නග්න ජාතිවාදය සිය ප‍්‍රධාන වේදිකාව කර ගැනීමට ඔවුන් මැළි නොවුණි. 1968 අගෝස්තු මාසයේ දී, දෙමළ කොන්ග‍්‍රසය ද ඇතුළත් කරගත් ජාතික ආණ්ඩුවක් සඳහා සහාය ලබා ගැනීමේ පොරොන්දුව මත, දිස්ත‍්‍රික් සභා ක‍්‍රමයක් හඳුන්වා දෙන පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට ඩඞ්ලි සේනානායක උත්සාහ කෙළේය.

මෙය, පසු කලෙක එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග ඇති කරගත් එකඟතා සමග සසඳන කල, බලය බෙදා හැරීමේ මෘදු ආකෘතියක් සඳහා වූ උත්සාහයකි. පසු කලෙක දකුණු ආසියාවේ දරුණුතම ඝාතක බිමක් බවට ලංකාව පත්කළ දෙමළ තරුණයන්ගේ කැරලිකාරීත්වය ඒ මගින් වැළැක්වෙන්නටත් ඉඩ තිබුණි.

එහෙත් මේ යෝජිත දිස්ත‍්‍රික් සභා කෙටුම්පතට විරෝධය පෑ දවස පුවත්පත් ආයතනය, බහුතර සිංහල ප‍්‍රජාව තුළ රුදුරු දෙමළ විරෝධයක් අවුලූවන්නට විය. එය මොන තරම් සාහසික වී ද යත්, එම ආයතනයේම ‘දිනපති’ දෙමළ පුවත්පතේ සේවය කළ මාධ්‍යවේදියෙක්, ‘‘මේ වෛරී ව්‍යාපාරයෙන් රට ඇදගෙන යනු ඇත්තේ කොයිබට දැ’’ ප‍්‍රශ්න කෙළේය. ඒ ප‍්‍රශ්නයට පිළිතුර අද අපි දනිමු.

යෝජිත දිස්ත‍්‍රික් සභා පනතට නැගුණු විරෝධයේ තරමට එම ප‍්‍රයත්නය අතහැර දැමීමට ඩඞ්ලි සේනානායකට සිදුවිය. එහි නොවැළැක්විය හැකි ප‍්‍රතිවිපාකය වුණේ, තමන්ගේ ජනතාවට එවැනි විසඳුමක් පිළිබඳ ප‍්‍රතිඥා දී සිටි ෆෙඩරල් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමයි. ෆෙඩරල් පක්ෂයට තිබුණු විකල්පය කුමක් දැ යි අසනු ලදුව, පසු කලෙක ඝාතනය වූ ෆෙඩරල් පක්ෂ නායක අමිර්තලිංගම් සහ එවකට වීරකේසරී පුවත්පතේ සේවය කළ අභාවප‍්‍රාප්ත ත්‍යාගරාජා මට මෙසේ කීහ: ‘‘ඩඞ්ලි අවංකවම සිය ප‍්‍රතිඥාව ඉෂ්ට කිරීමට උත්සාහ කළා. ඒත්, ජාතිවාදී බලවේග ඒක ඇහුරුවා. ඒක නිසා, ආණ්ඩුවෙන් ඉවත් වෙලා පිට ඉඳං ආණ්ඩුවට සහාය දීම ඇරෙන්න ෆෙඩරල් පක්ෂයට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ.’’

මාධ්‍ය ඊට වඩා සාධාරණ විණි නම්, පොරොන්දු වූ පරිදි ‘දිස්ත‍්‍රික් සභා’ඇති කෙරුණි නම්, දෙමළ තරුණයන්ගේ කැරලිකාරීත්වයත්, පසු කලෙක ඇති වු ජන සංහාරය සහ රට ආපස්සට ගිය ගමනත් වළක්වා ගන්නට තිබුණි.

එහෙත් එයින් හතළිස් පස් වසරක් ගෙවී ඇති අද, මිනිස් සංහාරයක් සහ මහා විනාශයක් අවසානයේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශ්වකරුවෙකු වන මහජන එක්සත් පෙරමුණ, බලය බෙදා හැරීමේ ඒකකය වශයෙන් දිස්ත‍්‍රික් සභා ක‍්‍රමයක් යෝජනා කරමින්, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවන ලද පළාත් සභා ක‍්‍රමය අහෝසි කරන්නැ යි ඉල්ලන විට, මතුපිටින් පෙනෙන්ට ඇත්තේ මොළේ පෑදී ඇති බවකි. එහෙත් එම යෝජනාව, බලය බෙදාහැරීම සඳහා නොව, පළාත් සභා අහෝසි කිරීම මාර්ගයෙන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ සුළු ජාතීන්ට හිමිව ඇති අයිතීන් අහිමි කිරීම සඳහා වන විගඩමකට වැඩි දෙයක් නොවේ.

2009 මැයි මාසයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් අනතුරුව, සිංහල, දෙමළ සහ මුස්ලිම් ආදී සෑම ජන කොටසක්ම එකාවන්ව, දේශපාලඥයන් සහ මාධ්‍ය ව්‍යාපාරය අතීතයෙන් පාඩම් උගනිති යි බලාපොරොත්තු වූහ. විවිධ ජන කොටස් සාධනීය දිශානතියක් කරා ඒකරාශී කරමින් රට ඉදිරියට ගෙන යාමට උරදෙනු ඇතැ යි බලාපොරොත්තු වූහ. අවාසනාවකට ඒ සියළු ප‍්‍රාර්ථනා දැන් සුනුවිසුණු වී ගොසිනි. දේශපාලඥයෝ තවමත් ඡන්ද බැංකුවම ඉලක්ක කරති. අනිත් පැත්තෙන්, මාධ්‍යයේ වගකීම් විරහිත ආවරණය, දෙමළ ජනතාවට සහ මෑතක සිට මුස්ලිම් ජනතාවට එරෙහිව බහුතර සිංහල ප‍්‍රජාව උසිගන්වන වෑයමකට එක දිගටම උරදෙයි.

පසු ගිය වසරක පමණ කාලය තිස්සේ කුඩා කණ්ඩායමක චන්ඩි ව්‍යාපෘති උඩ දමමින් මාධ්‍යයේ ඇතැම් කොටස් කටයුතු කළ ආකාරයෙන් පෙන්නුම් කරන්නේ, රට ගැන කිසි තැකීමක් නැතිව, දේශපාලඥයන්ගේ පටු ව්‍යාපෘති සාධනය සඳහා වන මෙවලම් වශයෙන් කටයුතු කිරීම හැරෙන්නට අපේ මාධ්‍යයට වෙනත් ඉදිරි දැක්මක් නැති බවයි.

මේ කණ්ඩායම මොන තරම් කුඩා වුවත් ඔවුන් නගන හඩ, පමණටත් වඩා රටට අසන්නට සැලැස්වෙයි. උදාහරණයක් වශයෙන්, මේ කෑකෝගසන පිරිස, වර්තමානයේ 225 ක් වන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් 10 ක් හෝ 12 ක් වැනි අල්පයකට වැඩි කණ්ඩායමක් නොවේ. එසේ වතුදු, මේ අන්ත සුළුතරයේ හඩ සඳහා මාධ්‍ය තුළ වෙන් කෙරෙන ඉඩ, බහුතරයේ හඩ යටපත් කරන තරම් ය. බොහෝ මාධ්‍ය ආයතන, මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව සිංහලයන්ව අවුළුවන මතවාද මුල් තැනක් දී නිදහසේ බෙදාහරිනු ලැබේ. අනවශ්‍ය හලාල් ආහාර සහ සත්ව ඝාතනය වැනි ප‍්‍රශ්න උඩ දමමින්, නැති ප‍්‍රශ්න ඇති කරන්නේ ඔවුන් ය.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන දැන් උණුසුම් ආකාරයෙන් කෙරෙන සංවාද තුළින් අපට පෙනෙන්නේ, අපේ දේශපාලඥයන්වත්, මාධ්‍යවත් අංශු මාත‍්‍රයකින්වත් වෙනස්ව නැති බවයි. ඉතිහාසයෙන් කිසි පාඩමක් උගෙන නැති බවයි. අද ඔවුන් දරණ ආකල්ප, 1968 දිස්ත‍්‍රික් සභා පනතට විරෝධය පෑ ස්ථාවරයෙන් වෙනස් නැත. මේ තත්වය යටතේ අද අවශ්‍ය කරන්නේ, මාධ්‍ය සඳහා වන මාර්ගෝපදේශ නොව, ජාතීන් අතර වෛරය අවුළුවන කිසිවක් ප‍්‍රකාශයට පත්කිරීම හෝ විකාශය තහනම් කෙරෙන පුළුල් නීති මාලාවකි. ඇත්ත වශයෙන්ම, මාධ්‍ය සඳහා වන මාර්ගෝදේශකත්වය සැපයිය යුත්තේ මාධ්‍ය ප‍්‍රජාව වෙතින්ම මිස ආණ්ඩුවෙන් නොවේ.

ලතීෆ් ෆාරුක්

______________________________________________________________________________________________
පරිවර්තනය, ‘යහපාලනය ලංකා‘ අනුග්‍රහයෙනි

[Image credit: www.muni.org]