Colombo, Constitutional Reform, Democracy, Features, Peace and reconciliation, Politics and Governance

‘මේක නං වාචාලයන්ගේම යුගයක්’

ජනතාවාදී ස්වාධිපත්‍යය හෝ ජනතා ස්වෛරීත්වය ගැන අපේ දේශපාලඥයන් සහ සිවිල් සමාජ කණ්ඩායම් අද කතා කරන්නේ, ජනමත විචාරණයක් හරහා අනුමැතිය ලැබේ නම්, ආණ්ඩුවක ඕනෑම ක‍්‍රියාවක් යුක්ති සහගත කළ හැකි පූජණීය ප‍්‍රතිපත්තියක් වශයෙන් ගනිමිනි. ප‍්‍රායෝගික තලයක දී, එය බහුතර ජනතාවගේ අනුමැතියක් වශයෙන් ගැනීම පුදුමයක් නොවේ. ජනාධිපති ජයවර්ධන පාර්ලිමේන්තුවේ ආයු කාලය දිග් කරගත්තේ ජනමත විචාරණයකිනි. මහින්ද රාජපක්ෂත් ස්වකීය ක‍්‍රියා සාධාරණීකරණය සඳහා නිතරම ජනතා කැමැත්තක් ගැන කතා කරනු ඇසේ.

wimal_cartoon_23-03-12[Cartoon Credit:srilankamirror.com]

ජනතාවගේ ස්වෛරීත්වය පිළිබඳ සංකල්පය, ජනතාවගෙන් බහුතරයකගේ සෘජු තීරණ ද ආවරණය වන පරිද්දෙන් පුළුල් කර ගැනීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ න්‍යායධරයන් අදහස් කළ දෙයක් නොවේ. ජොන් ජැක් රූසෝ වැනි දේශපාලනික දාර්ශනිකයන් ජනතා ස්වෛරීත්වය යනුවෙන් අදහස් කෙළේ, සකල දේශපාලන බලයේ ප‍්‍රභවය වන ජනතාවගේ අනුමැතියත්, ආණ්ඩුවේ අධිකාරය එම ජනතා අනුමැතියෙන් ගොඩනැගීමත් ය. එම බලය නිර්මාණය කෙරෙන්නේ සහ පවත්වාගෙන යනු ලබන්නේ ජනතාවගේ නිරන්තර කැමැත්තෙනි. එසේ ජනතාව විසින් චේතනාන්විතවම පිහිටුවා ගන්නා ලද ආණ්ඩු, ඇමරිකානු විප්ලවයට පෙර පැවතියේ අතලොස්සකි. ලෝකයේ බොහෝ තැන්වල එදා පැවති ආණ්ඩු, රාජවංශික ක‍්‍රමයෙන් වේවා, හුදෙක් නග්න බලයෙන් වේවා, පරවේණියෙන් පැවත ආ ඒවා ය. ජනතා ස්වෛරීත්වයේ බලාධිකාරය මත ප‍්‍රකාශිතවම පදනම් වෙමින්, ස්වයං-සවිඥානකත්වයෙන් යුතුව ආණ්ඩුවක් ප‍්‍රථමයෙන් පිහිටුවා ගත්තේ ඇමරිකානුවන් ය.

ජනතා ස්වෛරීත්වය පිළිබඳ මේ අවබෝධය තුළ, කෙසේ වෙතත්, භයානක ගතිකයක් ද තිබේ. එනම්, වැඩි ඡන්දයෙන් ගන්නා ඕනෑම තීරණයක් නිවැරදි බවටත්, වැඩි ඡන්දයෙන් පත්වෙන ආණ්ඩුවක් එම තීරණය ක‍්‍රියාත්මක කිරීමට බැඳී සිටින බවටත් වන විශ්වාසයයි. ජනතා අභිලාෂයන්, ඒවා කුමන ආකාරයේ වුවත්, සන්තර්පණය කළ යුතුව ඇතැ යි ද ඒ සමගම විශ්වාස කෙරේ. මේ නිසා, වැඩි ජනතාවකගේ කැමැත්ත, බලතල බෙදාහැරීම පිළිබඳ තීරණයක් ගැනීමේ දී මුඛ්‍ය සාධකය විය යුතු බවට වන අදහසක්, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ නූතන සංවාදයේ දී අපට හමු වෙයි. සුළුතර දෙමළ ජාතියට බලය බෙදාහැරීමක් කළ යුතුද නැද්ද යන්න ජනතා අනුමැතියට ලක්කළ යුතු යැයි, ආත්මාර්ථකාමී සහ බල ලෝභයෙන් යුත් දේශපාලඥයන් ඉල්ලා සිටින්නේ එබැවිනි. ඒ අනුව, විමල් වීරවංශ බලය බෙදාහැරීමට විරුද්ධ පෙත්සමක් සඳහා පාරවල් ගානේ දැන් අත්සන් එකතු කරයි. එහෙත්, බහුතරයක කැමැත්ත තිබූ පමණින් අවලංගු කළ නොහැකි, පුද්ගල සහ සුළු ජාතික අයිතීන් ඇති බව අප අමතක නොකළ යුතුය.

සුළුජාතික අයිතීන් සම්බන්ධයෙන් ජනතාවගේ අදහස් විමසිය යුතු ද? ගව ඝාතනය, සූදු පොලවල් සහ සුරාසැල් වසා දැමීම සඳහා ජනතාවගේ ඡන්දයක් විමසිය යුතු ද? මෙය බෞද්ධ රටක් වන නිසාත්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය ලබා දී ඇති නිසාත්, ඉහත කී දේවල් තහනම් කළ යුතු බවට වැඩි ජනතාවක් ඡන්දය දුන්නොත් තත්වය කුමක් ද? ගව ඝාතනය තහනම් කරන්නැ යි ඉල්ලා භික්ෂූන් ගිනි තබා ගන්නා හෙයින් ආණ්ඩුවක් ගව ඝාතනය තහනම් කළ යුතු ද?

ඇමරිකාවේ කලක් පැවති ‘තහංචි ව්‍යාපාරය’ මෙහි දී සිහිපත් වෙයි. මත්පැන් බලපත් නිකුත් කිරීමට එරෙහිව එරටේ පැන නැගුණු අමද්‍යප ව්‍යපාරයේ ප‍්‍රතිඵලයක් වශයෙන්, එවැනි බලපත් නිකුත් කිරීමට ඇති කැමැත්ත අකමැත්ත, වසරක් පාසා ජනමත විචාරණයක් විලසින් සොයා බැලීමට, ප‍්‍රාදේශීය විකල්ප නීති මගින් අවසර ලැබී තිබුණි. එවැනිම විකල්ප මනාප ඡන්ද 1970 ගණන්වල මදුරාසියේ ද පැවැත්වුණි. කෙසේ වෙතත්, මේ ගැන ඇමරිකාවේ දියත් වූ පුළුල් සමාජ සංවාදයක ප‍්‍රතිඵලයක් වශයෙන්, ඇමරිකානු ජනතා ස්වෛරීත්වයේ මූල-ප‍්‍රඥප්ති පිළිබඳ සමාලෝචනයක් කිරීමට එම සමාජය පසුව යොමු විය.

රටක බහුතරයේ කැමැත්ත නිසා බිහි විය හැකි අත්තනෝමතිකත්වය ගැන ජේම්ස් මැඩිසන් කළ අනතුරු ඇඟවීම්වලින් ප‍්‍රබෝධමත් වූ ඇමරිකානු නීතිඥයෝ, රටක බහුතර ජනයාව සවිබල ගැන්වීම සම්බන්ධයෙන් සහ බහුතරයේ පාලනය සම්බන්ධයෙන් සීමාවන් පැනවිය යුතු බවට හඩ නගමින්, සුළුතරයේ අයිතිවාසිකම් සුරැකීමට නියෝජන ප‍්‍රජාතන්ත‍්‍රවාදයකට පැවරෙන වගකීම අවධාරණය කරන්ට වූහ. ඒ ආකාරයෙන්, දෙලවර් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු දැක්වූ සුරාවට පක්ෂපාතී බලවේග, ඉහත සඳහන් ප‍්‍රාදේශීය විකල්ප මනාප ඡන්ද, ව්‍යවස්ථා විරෝධී බවට අධිකරණයට ඒත්තු ගැන්වීය. අනතුරුව මේ අදහස්, ඇමරිකාවේ වෙනත් අධිකරණ තීන්දු සහ ප‍්‍රතිපත්ති සංවාද කෙරෙහි බලපෑවා පමණක් නොව, බහුතරයෙන් ඇති විය හැකි අත්තනෝමතිකත්වය ගැන සැළකිලිමත් වු ජේම්ස් මැඩිසන් සහ වෙනත් එවැනි මතධාරීන් අනුව යමින්, වැඩි ඡන්ද හරහා නීති පැනවීමේ චිරාගත ක‍්‍රමය ප‍්‍රශ්න කරන තිරසාර සම්ප‍්‍රදායක් බිහි කිරීමට ද ඉවහල් විය.

එසේ නම්, ජනතා ස්වෛරීත්වයේ හයිය උඩ, පුරවැසියන්ගේ පුද්ගලික අයිතීන් හෝ සුළුතරයක අයිතීන් අහිමි කිරීමට නොහැකි ද? විසි වැනි සියවසේ විසූ ප‍්‍රධාන පෙළේ දේශපාලන චින්තකයෙකු වන හයෙක් වරක් මෙසේ කීවේය:

‘‘යම් පුද්ගල කණ්ඩායමකට මොන තරම් වාසිදායක හෝ අවාසිදායක විය හැකි වෙතත්, ආණ්ඩුවක් මගින් නිකුත් කෙරෙන ඕනෑම නියෝගයක්, ‘‘ආණ්ඩුවේ අණ පරිදි’’ යැයි කියූ පමණින් නීතියක් වශයෙන් ගැනීම හෝ, බහුතරයේ නියෝජිතයන් විසින් සම්මත කරගත් පමණින් ඕනෑම දෙයක් ‘‘නීතියක්’’ වශයෙන් හැඳින්වීම හෝ මහ විහිළුවකි. ඇත්ත වශයෙන්ම, එවැනි ආණ්ඩුවක් නීති විරෝධී වන්නේය. ආණ්ඩුවක ක‍්‍රියාකාරකම් කෙරෙහි රටේ බහුතර ජනතාවකගේ අනුමැතිය ඇති තාක් කල්, රටක නීතියේ ආධිපත්‍යය සුරැකෙති යි කීම, වචන හරඹයක් පමණි.’’

සෘජු ප‍්‍රජාතන්ත‍්‍රවාදය අභ්‍යාස කළ ආදිකාලීන ග‍්‍රීක පුරවැසියෝ, ජනතාව අඥාන බවත්, ජනතා මතවාද බොහෝ විට චපල බවත්, වාචාලයන්ගේ දෙඩවිලිවලින් ඔවුන් නොමග යා හැකි බවත් වටහාගත්හ. එනිසා ඔවුන් කෙළේ, මේ වාචාලයන්ව රටින් නෙරපීමයි. වාචාල බලය දේශපාලනය සඳහා ප‍්‍රථම වරට යොදාගත් එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක සමයේ, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ හිටපු ප‍්‍රධාන දේවගැති විදුහල්පතිවරයෙකු, බණ්ඩාරනායක මහතා ද සහභාගී වූ උත්සවයක දී කළ කතාවක් චන්ද්‍රා ජයරත්න මහතා මට එවා තිබුණි. එහි එක් තැනක ඔහු මෙසේ කියා තිබේ: ‘‘මෙය ඇත්තෙන්ම වාචාල යුගයකි. කටහැකර වාචාලයා එම හැකියාව සත්‍යය විකෘති කිරීම සඳහා යොදාගනී. වෛරය ඇවිලවීම සඳහා ද, මිනිසුන්ට සහ තමන් අකමැති දේවල්වලට අපවාද කිරීම සඳහා ද, යොදාගනී. කෛරාටික කමින් අගතැන්පත් වෙතත්, බුද්ධියෙන් හීන එවැන්නෝ සිල්ලර පුද්ගල වාසි සඳහා හෝ පක්ෂයක ජයග‍්‍රහණය සඳහා රටක සාමය සහ සමෘද්ධිය කැප කිරීමට පසුබට නොවෙති.’’

අතීතයේ ග‍්‍රීකයන් සොයාගත්, වාචාලකමේ ආදීනව ගැන අප දැනුවත් විය යුතුය. මන්ද යත්, අත්තනෝමතික පාලකයන් තමන්ගේ ක‍්‍රියා යුක්ති සහගත කරගන්නේ ඒ හරහා වන බැවිනි. 18 වැනි සියවසට අයත් ප‍්‍රබුද්ධ යුගයේ විසූ යුරෝපීය චින්තකයන්ගේ ප‍්‍රඥාව, ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ අපේ සංකල්පය තුළ මේ වන විට දියැවී ගොස් තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ බහුතරයේ අභිලාෂය යනු එකක්ම යැයි ජනප‍්‍රිය ව්‍යවහාරය තුළ අප අර්ථගන්වන්නේ එබැවිනි. එහෙත් ජනතා ස්වෛරීත්වය යන සංකල්පයෙන්, ජනතා කැමැත්තට පරම වලංගු භාවයක් ඇතැ යි යන අරුතක් කිසි විටක අදහස් කෙරී නැත. එය වැරදියට වටහාගෙන ඇති අප, එක දිගටම ගමන් කරන්නේ ඒ වැරදි මාර්ගයේ ය.

පොදු ජනතා කැමැත්තට අතපෙවිය නොහැකි පුද්ගල සහ සමාජ පරිපථ තිබේ. ලංකාවේ වෙසෙන සියළු ජනයා බුද්ධාගම ඇදහිය යුතු බවටත්, සිංහල පමණක් කතා කළ යුතු බවටත්, බෞද්ධ සාරධර්මවලට අනුගත විය යුතු බවටත් රටේ වෙසෙන බහුතර ජනතාවකගේ ඡන්දයකින් තීරණය කළොත් තත්වය කුමක් වේද? බහුතරයේ මහජන කැමැත්ත මත තීරණ ගැනීමට ඉඩ නොදෙන එවැනි ඉසව් තිබේ. සිවිල් සමාජයේ එවැනි ක්ෂේත‍්‍ර, ව්‍යවස්ථාමය බාධක හරහා ආරක්ෂා කළ යුතුය. මූලික මානව හිමිකම්, ආගමික නිදහස සහ සුළුතරයේ අයිතීන් ඊට ඇතුළත් ය. සියයට 70 ක් වන සිංහල බෞද්ධයන් සියල්ලන්ම විමල් වීරවංශගේ පෙත්සමට අත්සන් කළත්, එවැනි අයිතීන් උදුරා ගැනීමට පුලූවන් කමක් නැත.

ආර්. එම්. බී. සේනානායක | R. M. B. Senanayake

_________________________________________________________________________________________
2013 ජුනි 18 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ On Weerawansa’s Collecting Signatures: It is certainly the Age of the Demagogue ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්