‘‘පුතා අද මියුසික් ක්ලාස් ගියාම, මතක ඇතිව කියන්න ලබන සතියේ ඔයාට ඉස්කෝලේ වැඩක් නිසා එන්න බැහැ කියල.’’
‘‘අනේ අම්මේ මට නම් බැහැ බොරු කියන්න. මං කියනවා අපි කෑම්පින් යන නිසා එන්න වෙන්නේ නැහැ කියලා.’’
ශීත ඍතුව අවසානයේ හිම දිය වීම ආරම්භයත් සමඟ ම ග‍්‍රීෂ්ම ඍතුවේ දී කඳවුරු බැඳීමට සුදුසු තැන් සොයා වෙන් කිරීම ආරම්භ වේ. හො`ද කඳවුරු බිමක් වෙන්කර ගැනීම ලෙහෙසි පහසු කාරියක් නොවේ. එ් සඳහා නිතර අන්තර්ජාලය හරහා සොයා බලමින් සිට ඉඩක් වේ නම් වහා වෙන් කළ යුතුය. මෙවර පුල පුලා බලා සිටි තැනෙක ඉඩක් ඇත. එහෙත් එ් දිනයන්හි එක් දිනෙක ලොකු පුතාගේ සංගීත පන්තිය පැවැත් වේ. මගේ මිතුරාගේ බිරිඳ සහ ලොකු පුතා අතර ඉහත දෙබස පැන නැඟුනේ එ් අරභයා ය.
‘‘අනේ පුතේ එහෙම නම් කරන්න එපා. එහෙම වුණොත් මට එදාට සල්ලි ගෙවන්න වෙනවා.’’ මගේ මිතුරාගේ බිරිඳ අයදියි. සංගීත පන්තියට නොපැමිණේ නම් අඩු ගණනේ සති දෙකකට පෙර දැනුම් දිය යුතුය. නැතිනම් නොවැළැක්විය හැකි හේතුවක් තිබිය යුතුය. මේ දෙක ම නොවේ නම් පන්ති නොපැමිණියත් ගෙවිය යුතු මුදල ගෙවිය යුත්තේ ය.
‘‘එහෙම වුණොත් ඉන්ස්ට‍්‍රක්ටර්ට සල්ලි ලැබෙන්නේ නැහැ. එ් මනුස්සයා ජීවත් වෙන්නේ ප‍්‍රයිවට් ලෙසන්ස්වලින්. මට නම් බැහැ බොරු කියන්න.’’ පුතා දැඩි ව අවධාරණය කරයි.
‘‘මේ ළමයා හරිම හිතුවක්කාරයෙක්. මේ වගේ දේක දී වත් ඇයි බොරුවක් කියන්න බැරි…?’’ අම්මා කෝපයෙන් කෑ ගසන්නීය.
කිසි දා පන්සිල් නොගන්නා, කිසි ම ආකාරයේ ඇදහිල්ලකට යටත් නොවන පුතා බොරුවක් කීම මහා වරදක් ලෙස දකියි. එහෙත් සෑම දිනෙක ම නොවරදවා පන්සිල් ගන්නා අම්මා තමා යෝජනා කරන බොරුව කීමට පුතා එකඟ නොවීම ගැන කෝප වී කෑ ගසයි.
* * * * * * * * * * * * * * * * *
එක් මධුපානෝත්සවයක දී බමන මතින් සිටි මගේ එක් මිතුරෙක් ඉතා ප‍්‍රීතියෙන් ප‍්‍රමුදිත ව, අපූරු ප‍්‍රකාශයක් කළේ ය.
‘‘දන්නවද වැඩක්. දැන් අපේ හාමුදුරුවෝ පන්සිල් දෙනකොට සුරාමේරය මජ්ජ පමා… කියන්නෙ නැහැනේ.’’
මගේ අනෙකුත් මධුලෝලී මිතුරන් මේ කියමනෙන් ඉතා අමන්දානන්දයට පත් ව කළ නොයෙකුත් ප‍්‍රකාශ අද මට හරි හැටි මතක නැත. මගේ මිතුරා බමන මතින් වුව කී දේ සැබෑවක් නම් කාරණය ඉතා පැහැදිළිය. එ් පන්සලේ වඩාත් ක‍්‍රියාකාරී පිරිමි දායකයින් අතරින් වැඩි දෙනා මධුලෝලීන් බව ලොකු හාමුදුරුවන් වහන්සේට රහසක් නොවන බව ය. ඉතා දැන උගත්කම් ඇති උන්වහන්සේ, සෑම දිනෙකම මේ පිරිස බලහත්කාරයෙන් මෙන් ඉටු නොවන දෙයකට පොරොන්දු කර ගැනීම අවැඩක් යයි සිතා උපන් හුදී පහන් සංවේගයෙන් මෙසේ කරනවා වෙන්නට පුළුවන. සැමදා පන්සිල් ගන්නා අම්මාට තමන්ට අවාසි සහගත අවස්ථාවක දී බොරුවක් කීම මහ ලොකු කජ්ජක් නොවීමත්, කිසිම ඇදහිල්ලකට යට නොවූ පුතා එය වැරැුද්දක් ලෙස දැක නොකිරීමත් අපට කියා දෙන්නේ කුමක් ද…?
ඇය බොරු කීම පිළිගන්නේ ‘පවක්’ ලෙසයි. පවක් කිරීමෙන් ලැබෙන අනිටු පලය තමාට පෞද්ගලිකව ලැබෙන්නක් ලෙෂ සිතීමට අපේ පන්සිල් ගන්නා සංස්කෘතිය ඇය පුරුදු කර තිබේ. එ් නිසා එම අකුසල කර්මයත්, එය කිරීමෙන් ලැබෙන පෞද්ගලික වාසියත් කිරා මැන බලා තෝරා ගැනීමකට ඇය නිරන්තරයෙන් පෙළැඹේ. එහෙත් පුතා බොරු කීම පවක් සේ නොදකියි. ඔහු එය සලකන්නේ වැරැුද්දක් ලෙස ය. ඔහු බොරු නොකියන්නට පෙළැඹෙන්නේ, ශිෂ්ට සම්පන්න සමාජයකට එය නුසුදුසු නිසා මිස පව් පළ දෙන්නේ යැයි ඇති බිය නිසා නොවේ.
උදේට පන්සලේ දී ‘‘මම සුරාපානයෙන් වළකිමි’ යි කියා පොරොන්දු වී හැන්දෑවට අඩියක් ගහන මගේ මිතුරන් එය පවක් යැයි සිතා කණස්සළු වෙනවාදැයි මම නොදනිමි. පන්සිල් ගන්නා අපේ සංස්කෘතිය අපටත් නොදැනීම අප පොරොන්දු කඩකිරීමට පුරුදු කරන සහ එසේ පොරොන්දු කඩ කිරීම ගැන කිසිදු කණස්සල්ලක් නැති ජාතියක් බවට පත් කර තිබේ යැයි වරෙක මට සිතේ.
පන්සිල් දෙන අපේ ගෞරවනීය ස්වාමීන් වහනසේලාට ද අපේ ලොකු හාමුදුරුවන් වහන්සේ මෙන් ‘බැරි සිල්’ අතහැර එ් කාරිය කිරීමෙන්, සිදු වන පොරොන්දු කඩ කිරීමේ අවැඩ නවතාලන්නට පුළුවන. ඉටු කරන්නට සූදානම් නැති පොරොන්දු ලබාදීම දෙශපාලනඥයින්ට පමණක් පටවා ‘ෂේප්’ වන්නට හදන පන්සිල් ගන්නා අප, අප ගැන ම නැවතත් හිතා බැලූවොත් නරක ද…?
සචින් අරැනෝද්