2011-2012 වසර යනු ශ්‍රී ලංකා අධිකරණය මඟින් දෙවතාවකදී පමණ අසැබි වෙබ් අඩවි ආසන්න වශයෙන් 400 ක් පමණ තහනම් කළ කාලයකි. මාධ්‍ය වාර්තා දෙස බලන විට ලෝකයේ එතරම් සංඛ්‍යාවක් අසැබි වෙබ් අඩවි තහනම් කළ අන් රටක් ඇත්ද යන්න සැක සහිතය. නමුත් රජයේ සෘජු ඉල්ලීම අනුව ශ්‍රී ලංකා අධිකරණය එම තීන්දු ප්‍රකාශයට පත් කළේ රටේ සිදුවන ළමා හා කාන්තා අතවර වලට සෘජුව මෙම වෙබ් අඩවි හේතුවන බව ප්‍රකාශ කරමිනි.
2011 වසරේ සිදු වූ සමස්ත අපරාධ වලින් 48% ක්ම ස්ත්‍රී දූෂණ වන අතර, ඉන් 89% ක්ම අවුරුදු 16 ට අඩු බාලිකාවන්ය. 2011 නොවැ. 30 වන දින තෙක් සිදු වූ කාන්තා අතවර 1636 ක් බව පොලිස් වාර්තා පෙන්වා දුන්නද, කාන්තා සංවිධාන පෙන්වා දෙන්නේ පොලිස් පොතට නොඑන සංඛ්‍යාව එමෙන් 3 ගුණයක් බවයි. එනම් දිනකට 15 ක් පමණ අතවරයන් සිදුවන බවයි. එනම් විනාඩි 90ට එකකි.
පසුගිය දෙසැම්බර් 16වන දින ඉන්දියාවේ නවදිල්ලි නුවර දී සමූහ අතවරයකට භාජනය වූ වෛද්‍ය ශිෂ්‍යාව වන විසිතුන් හැවිරිදි ජෝති සිං පාණ්ඩේ ද මිය යන්නේ ලිංගික අතවර හැරුණු කොට ඇයට හා තම පෙම්වතාට අමානුෂික හා මාරාන්තික ලෙස පහරදීම හේතුවෙනි. ඉන්දියාවේදී සිදු වන මෙවන් කාන්තා අතවර සංඛ්‍යාව විනාඩි 20ට එකක් බව කියවේ. මේ වන විට ඉන්දීය අධිකරණ පද්ධතිය තුළ විභාග වන කාන්තා අතවර නඩු විභාග සංඛ්‍යාව 95,000 පමණය. ජෝති සිං පාණ්ඩේ නම් මෙම වෛද්‍ය සිසුවියගේ මරණයෙන් පසු ඉන්දියාව පුරා පැතිරී ගිය සමස්ත විරෝධතා වලින් කියැවුණේ එම අපරාධකරුවන්ට මරණ දඬුවම දිය යුතු බවයි. නමුත් ඉන්දියාව තුළ ද ස්ත්‍රී අතවර සඳහා ප්‍රමාණවත් නීති නැතුවාම නොවේ. එම නීති ක්‍රියාත්මක කළ ද, සමස්ත අතවරවල අඩුවක්ද වාර්ථා නොවේ. මෙම පරස්පරය අප වටහා ගත යුත්තේ කෙසේද?
ඇත්තෙන්ම ලංකාව තුළ ද අසැබි වෙබ් අඩවි තහනමින් පලක් වූයේ නම් මෙම සංඛ්‍යාව අඩු විය යුතුව තිබුණි. නමුත් සිදුව ඇත්තේ එහි පරස්පරයයි. එමෙන්ම පසුගිය සමයේ රොයිටර් පුවත් සේවය, ගූගල් සමාගම සමඟ එක් වී කළ සමීක්ෂණයකින් හෙළි කරනු ලැබුනේ SEX නමැති වදන අන්තර්ජාලයේ Search කරන රටවල් අතරින් මුල් තැන ශ්‍රී ලංකාව ද සිටින බවයි.
පසුගිය වසරේ වැඩිම අසභ්‍ය වෙබ් අඩවි තහනම් කළ රටක මෙවන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ කෙසේද? වැරදී ඇත්තේ කොතැනද? සිංහල බෞද්ධ ජාතික රාජ්‍යයක් බිහි කරන බව පවසමින්, එය රැක ගැනීමට යැයි කියමින් කරනු ලබන තහනම එයටම පාරා වළ ල්ලක් වී ඇත්තේ විදේශ කුමන්ත්‍රණයක් නිසා නොව පන්සල් හා පල්ලි යන බොහෝ සැදැහැවතුන්ගේ චිත්ත සමාධියට එය හේතු වී ඇති හෙයිනි. එය ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් එසේමය.
ජාතිවාදී, ගෝත්‍රවාදී පදනම් මත පිහිටා වේවා විසඳිය හැකියැයි සිතන්නේ නම්, සෞදියේ වැනි අරාබි හෝ අප්‍රිකානු රටවල ඇති දැඩි නීති රීති වලින් එම රටවල් ඉතා විනය ගරුක රටවල් විය යුතුය. නමුත් සිදුව ඇත්තේ SEX පිළිබඳ තිබෙන සාපිපාසාව ඉතාමත් බරපතල කාමාධික රෝගී තත්වයක් බවට පත් වීමයි.
මේ අතර බටහිර රටවල් ඉතාමත් විවෘත හා නීත්‍යානුකූල ලිහිල් බවක් මත SEX පිළිබඳ කටයුතු කරන අතර, ඉදිරියේදී පාපන්දු ලෝක කුසලානය සඳහා බ්‍රසීලය යටිතල පහසුකම් දියුණු කිරීමක් ලෙස තම රටේ ගණිකාවන්ට ඉංග්‍රීසි පංති පවත්වයි. බෙල්ජියම වැනි රටවල් Red Line Street වැනි ලිංගික කලාප වෙන් කර ඇත්තේ කාලයක සිටය. එම රටවල් බොහොමයක් ගණිකා වෘත්තිය නීතිගත කර තිබේ. නමුත් එයින්ද ප්‍රශ්නයට තීරණාත්මක පිළිතුරු ලැබී නැති වුව ද, හය හතර නොතේරෙන කුඩා මල් කැකුළුවන් දරුවන් විනාශ කර මරා සැඟවීමට වඩා සිය ගුණයකින් එය හොඳය. එමෙන්ම අනියම් සබඳතාවයක් හේතුවෙන් තම බිරිඳ සමඟ දරුවන්ද මරා පුළුස්සා දැමීමට වඩා දික්කසාද වීම හොඳය. මන්ද යත් ලිංගිකත්වයට වැටකඩොළු බැඳෙන තරමට එය මනෝ විකාරයක් බවට පත් වී, කාමුක ම්ලේච්ඡත්වයට පාර කැපෙන බව එළිපිටම පෙනෙන්නට ඇති හෙයිනි.
නමුත් මේ හැමටම වඩා ඉතාමත් වැදගත් වන්නේ ගැහැණුන් මිනිසුන් ලෙස අප එකිනෙකා දෙස කාමුකව, රාගිකව බැලීමට වඩා ප්‍රේමාන්විතව බැලීමට යොමු කිරීම සඳහා වන පුළුල් සංවාදයක් රට තුළ මතු කිරීමයි. ප්‍රේමය සුරක්ෂිත බව ඇති කරයි. ප්‍රේමය සැබෑ සතුට ගෙන දෙයි. නමුත් කාමය ම්ලේච්ජත්වය ද, වේදනාව ද අපේ ජීවිතවලට ගෙන එයි. එහෙයින් ඉතා පුළුල් හා ගැඹුරට ගිය යහපත් ලිංගික ආකල්ප ඇති කිරීම සඳහා වන ලිංගික අධ්‍යාපනයක් දරුවන් තුළ ජනිත කිරීම යුගයේ මෙහෙවරකි. ගැටළුව වන්නේ පන්සල්, පල්ලි, කෝවිල් එහිදී අසමත් වී තිබීමයි. මෙය වෙනමම සංවාදයට ලක් කළ යුතුව තිබේ.
ජූඩ් ප්‍රේමන් | Jude Preman