Colombo, Democracy, Features, Governance, Politics and Governance

නින්දනීය නියෝජ්‍ය පොලිස්පති වාස්, ප‍්‍රශ්නයේ මතුපිට පොත්තක් පමණි

ආරක්ෂක අංශවල බලගතු තැන්වලට විශේෂ සම්බන්ධයක් තිබූ, කලක් අපරාධ මැඩලීමේ තරුවක් වූ, නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ හදිසි ඇද වැටීම සිත්ගන්නා සුළු ය. ඒ, ඔහු ගෑවී ඇතැ යි කියන ඝාතන සහ කප්පම් කන්දරාවේ තරම නිසාම නොව, විශේෂයෙන්, ආරක්ෂක අංශයේ එතෙක් ඔහුට සිටි දේශපාලන හාම්පුතුන් සහ සදිසි ලොක්කන් විසින් ඔහුව මෙසේ අතහැර දමන ලද්දේ මන්ද යන්න නිසා ය. කෙසේ වෙතත්, නියෝජ්‍ය පොලිස්පතිවරයා ගැන විභාග කිරීම, නැති ප‍්‍රශ්න ඇති කර ගැනීම හරහා තමන් වෙතටම එන පාරාවළල්ලක් විය හැකි බවත් ආරක්ෂක අංශයේ බලධාරීන් දන්නවා විය යුතුය.

Photo Credit: http://www.adaderana.lk
Photo Credit: http://www.adaderana.lk

මේ විභාග භාරව සිටින නිලධාරීන්ට නිදහසේ පරීක්ෂණ මෙහෙයවීමට දෙතොත්, දේශපාලන බලධාරීන්ව විස්මිත කරවන තවත් බොහෝ තොරතුරු හෙළි විය හැකි බවත් ඔවුන් දැන සිටිය යුතුය. කෙසේ වෙතත්, නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධ වී යැයි කියන අවසාන මිනිමැරුමට(පාලක පක්ෂයට අතමිට දිග හැර වියදම් කළ අයෙකුගේ සහෝදරයෙකු වන මොහොමඞ් ෂියාම්ගේ ඝාතනයට) පමණක් එම පරීක්ෂණය සීමා විය යුතු යැයි අදාළ බලධාරීන් නිගමනය කොට ඇති නිසා, අර කී තර්ජනය(නැති ප‍්‍රශ්න ඇති කර ගැනීම) වැළැක්වීමේ පිළියම් ගැනත් ඔවුන් සැළකිල්ල යොමු කොට ඇති.

පාතාලය මැඩලීම

පාතාලයට එරෙහිව ආණ්ඩුව ගෙන ගිය සම්මත-විරෝධී සහ බෙහෙවින් ප‍්‍රශ්නකාරී අපරාධ මර්දන මාදිලිය දියත් කිරීමේ ප‍්‍රධාන චරිතයක් වුණේ, අද ගර්හාවට පත්ව සිටින මේ වාස් ගුණවර්ධනයි. ඒ මෙහෙයුම්වල දී, පාතාලයේ සැකකාර ප‍්‍රධානීන් අතුරුදහන් වුණි. නැත්නම්, සැක සහිත තත්වයන් යටතේ, වෙඩි වැදී ඝාතනය වුණි.

පාතාලයේ ක‍්‍රමයටම පාතාලය ඉවරයක් කර දැමීමේ විශේෂ පොලිස් බලකායක් වාස් ගුණවර්ධන යටතේ ක‍්‍රියාත්මක විය. එවැනි ක‍්‍රියාන්විතයන්ට නිල අවසරය ලැබී තිබුණි. එහෙත්, ඔවුන් ගෙන ගිය ඇතැම් මෙහෙයුම්, පාතාලයක් මර්දනය කිරීමට සම්බන්ධ දේවල් නොවේ. නුගේගොඩ දී පැහැරගෙන ගොස් වධ හිංසාවට ලක්කළ මාධ්‍යවේදී සහ මාධ්‍ය කි‍්‍රයාකාරික පෝද්දල ජයන්තගේ සිද්ධියට වාස් ගුණවර්ධනගේ ප‍්‍රභූ පොලිස් කණ්ඩායම කෙලින්ම සම්බන්ධ බවට එදා චෝදනා නැගුණි. ගිය වසරේ කහවත්ත ප‍්‍රදේශයේ පැතිරෙමින් තිබූ ඝාතන මාලාව ගැන ජනතාව බියෙන් ඇළලී සිටියදී එම තත්වය පාලනය කිරීම සඳහා එම ප‍්‍රදේශයට යවන ලද්දේ වාස් ගුණවර්ධන සහ ඔහුගේ පොලිස් කණ්ඩායමයි. මේ ඇතැම් ඝාතන අරභයා අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කර හරින ලද සැකකරුවන් තිදෙනෙකු නන්නාඳුනන තුවක්කුකරුවන් විසින් පැහැරගෙන යන ලදි. එසේ වෙතත්, ඝාතක රැල්ල සමාප්තියට පත්කිරීම ගැන වාස් ගුණවර්ධනට පළාතේ ගැමියෝ ප‍්‍රශංසා කළෝය.

චෝදනා

ගිය සතියේ වාස් ගුණවර්ධනව අත්අඩංගුවට පත්වීමෙන් පසුව විශේෂ උනන්දුවකින් පරීක්ෂණ මෙහෙයවන පොලිස් නිලධාරීන්, හිතවත් මාධ්‍යකරුවන්ගෙන් සහ මාධ්‍ය ක්ෂේත‍්‍රයේ ඇතැම් රහස් තොරතුරුවලින් පිටුබලය ලැබ, අද පවසන පරිදි, වාස් සහ ඔහුගේ සගයන් මිනිමැරුම් සහ කප්පම් සිදුවීම් ගණනාවකට හවුල්ව ඇත. එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සම්බන්ධකම් ඇතැ යි යන අභූත චෝදනා මත අත්අඩංගුවට ගැනීමේ තර්ජනය පාමින්, දෙමළ ව්‍යාපාරිකයන්ගෙන් රුපියල් මිලියන ගණනින් කප්පම් ඉල්ලා සිටීමට වාස් සහ ඔහුගේ කණ්ඩායම පියවර ගෙන තිබේ.

කෙසේ වෙතත්, තර්ජන පාමින් මෙසේ මුදල් පැහැර ගන්නා ආරක්ෂක අංශ සහ පොලිස් කල්ලි පිළිබඳ චෝදනා එල්ල වුණු ප‍්‍රථම වතාව මෙය නොවේ. එහෙත් ආණ්ඩුවත්, ආණ්ඩුවේ හිතවාදීනුත් එම චෝදනා, හුදෙක් ‘කුමන්ත‍්‍රණ සහ මඩ ප‍්‍රචාර’ වශයෙන් එක දිගටම බැහැර කරන ලදි. තමා මිනිමරුවෙකු බවටත්, නිදහස් වූ පසු තමා ගැන අද පරීක්ෂණ පවත්වන නිලධාරීන්ට හොඳ පාඩමක් උගන්වන බවටත්, අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට වාස් ගුණවර්ධන කළා යැයි දැනට ප‍්‍රසිද්ධියට පත්ව ඇති තර්ජන පසෙකින් තිබ්බත්, එම නිලධාරීන් යම් තාක් පරිස්සම් වීම ඇඟට ගුණ ය.

මීට වසර කිහිපයකට පෙර, මාධ්‍යවේදිනී පරමේශ්වරී මුනුසාමිව පැහැරගෙන ගොස්, පසුව ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවාගෙන සිටියදී යහපත් පොලිස් නිලධාරියාගේ භූමිකාවට උරදීමට ගිය එවක නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දරව එක රැයකින් නුවරඑළියට මාරු කර හැරිය බව මෙහි දී මතකයට නැගේ.

කෙසේ වෙතත්, වර්තමාන සිද්ධියේ සැබෑව වන්නේ, වාස් ගුණවර්ධන මේ දේවල් තනියෙන් නොකළ බවයි. ඔහු ආණ්ඩුවේ විශ්වාසවන්ත නිලධාරියෙකු විය. ඔහුගේ මෙහෙයුම්වලට ආණ්ඩුවේ අනුමැතිය තිබුණු අතර, යම් හෙයකින් ඔහු සීමාව ඉක්මවා ගියේ නම් ආණ්ඩුව කෙළේ, අහක බලාගැනීම ය. මෙවර සමහර විට වාස් ගුණවර්ධන තවත් දුර ගියා විය හැකිය. ඒ, දේශපාලනික සම්බන්ධතා සහිත පවුලක සාමාජිකයෙකු වන ෂියාම්ව පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට නියෝග කිරීම ය.

මේ රටේ, ෂියාම් වැනි ඇතැමුන්, වෙනත් අයට වඩා සමානයෝ ය.

මුලික අයිතිවාසිකම් පෙත්සම

එතරම් වාසනාවක් නැති තවත් බොහෝ දෙනා, කිසි හෝඩුවාවක් නොතබා නොපෙනී ගියෝය. හතළිස් දෙහැවිරිදි මැජස්ටික් ප‍්‍රභා හෙවත් රාමසාමි ප‍්‍රභාකරන් නැමැති ව්‍යපාරිකයාව මාස 28 ක් තිස්සේ ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා තබා ගනිමින් වධ බන්ධනයට පත්කෙළේ යැයි ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඔහු පෙත්සමක් ඉදිරිපත් කිරීමෙන් පසු, සන්නද්ධ පිරිසක් විසින් ඔහුව පැහැරගෙන යන ලදි. එම පෙත්සමේ එක් වගඋත්තරකරුවෙකු වුණේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන ය. ඊට අමතරව, නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, පොලිස් අධිකාරී මොහින් ඩෝල් සහ තවත් පස් දෙනෙකු වගඋත්තරකරුවන් කොට තිබුණි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වාස් ගුණවර්ධන තමාට වධ හිංසා කළ බවත්, ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවා තබාගෙන සිටියදී රුපියල් මිලියන 100 ක කප්පමක් තමාගෙන් ඉල්ලා සිටී බවත්, මෙසේ පැහැරගෙන යාමට දින කිහිපයකට පෙර මානව හිමිකම් ක‍්‍රියාධරයන් පිරිසක් සමග පැවති සාකච්ඡාවක දී ප‍්‍රභා කියා සිටියේය. ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවාගෙන සිටි මාස 28 තුළ තමාව වධ බන්ධනයට පත්කිරීමට සහ තමාට අයථා අන්දමින් සැළකීමට වන්දි වශයෙන් සිය පෙත්සම මගින් ඔහු රුපියල් මිලියන 90 ක් ඉල්ලා තිබුණි.

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ඔහුගේ පෙත්සම විභාගයට ගැනීමට දින තුනකට පෙර, 2012 පෙබරවාරි 11 වැනි දා, හත් දෙනෙකුගෙන් යුත් සන්නද්ධ කණ්ඩායමක් වැල්ලවත්තේ ඔහුගේ නිවස අසළදී, ඔහුගේ බිරිඳ සහ දියණිය ද ඉදිරියේ, ඔහුව පැහැරගෙන ගියහ. ඉන් පසු, කැඩුණු දෙමළෙන් ඔහුගේ බිරිඳට දුරකථනයෙන් ඇමතූ කෙනෙක් සැමියා නිදහස් කිරීම සඳහා රුපියල් මිලියන 100 ක් ඉල්ලා සිටියේය. ඉන් දින දෙකකට පසු, එවැනි දුරකථන ඇමතුම් ද නැවතුණි.

පැහැරගෙන ගොස් අතුරුදහන් වූවන්ගේ දීර්ඝ ලැයිස්තුවට එදා පටන් ප‍්‍රභා ද ඇතුළත් විය.

දණ්ඩමුක්තියේ වාතාවරණය

වාස් ගුණවර්ධන යනු, වර්තමාන ආණ්ඩුව සහ එහි ප‍්‍රධානීන් විසින් මේ රටේ බිහි කරන ලද දණ්ඩමුක්ති(අපරාධ ඉදිරියේ නීතිය අහක බලාගෙන සිටීමේ) වාතාවරණයේ නිෂ්පාදනයකි. විය යුතු පරිද්දෙන්ම දැන් අපවාදයට පත්ව ඇති වාස් ගුණවර්ධන සේවය කෙළේ ඔහුගේ දේශපාලන හාම්පුතුන්ට ය. වාස් ගුණවර්ධන පිළිබඳ පරීක්ෂණ මෙහෙයවන නිලධාරීන් මේ පිළිබඳ තව තවත් තොරතුරු සොයාගන්නා විට, එම තොරතුරුවලින් හාම්පුතුන් ද මෙම සිදුවීම්වලට ගෑවෙන විට, කෙරීගෙන යන පරීක්ෂණ සම්බන්ධයෙන් ඔවුන් නිහඩව සිටිති යි සිතීම බොළඳ ය.

රාජ්‍යයේ බලපෑම මත කරුණු වසං කොට සිද්ධි යට ගැසීම, මේ ක‍්‍රීඩාවේ එක් අංගයකි. ප‍්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන් වීම පිළිබඳ සොයා බැලූ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීන්ට, එක්නැලිගොඩට අවසාන වරට දුරකථනයෙන් කතා කළ පුද්ගලයාගේ අංකය ලැබී තිබුණි. අතුරුදහන් වූ දවසේ එක්නැලිගොඩ ගියේ මේ පුද්ගලයා හමුවීමට යැයි සැක කෙරේ. මේ වැදගත් තොරතුර අනාවරණය කර ගැනීමත් සමගම, ‘ඉහළින් ලැබුණු උපදෙස් මත’ හිටිහැටියේම එම පරීක්ෂණ නතර කෙරුණි.

වාස් ගුණවර්ධන සහ එවැනි වර්ගයා පෝෂණය වුණේ, අවසර ලත් එවැනි මිනිමැරීම්, පැහැරගෙන යාම් සහ යට ගැසීම් සහිත වසංගත සංස්කෘතියක් තුළ ය. වාස් ගුණවර්ධන සම්බන්ධයෙන් දැනට සොයාගෙන ඇති කරුණු ඇසුරින්, පොලීසියේ සහ ආරක්ෂක අංශවල මදාවියන් එලවා දමා ඔවුන්ගෙන් විපතට පත් අයවළුන්ට දැන්වත් සාධාරණයක් ඉෂ්ට කෙරෙනු ඇතැ යි කෙනෙකු අවංකවම බලාපොරොත්තු වෙනවා විය හැකිය. මම එසේ නොසිතමි. ඊට හේතු ගණනාවකි. මුලින්ම, පරීක්ෂණ නිලධාරීන්ගේ ප‍්‍රකාශ, මාධ්‍ය හරහා ප‍්‍රසිද්ධියට පත්වීම සහමුලින් වාරණය කෙරෙනු ඇත. දෙවැනුව, අදාළ පරීක්ෂණය, මේ ව්‍යපාරිකයාගේ ඝාතනයට පමණක් සීමා කෙරෙනු ඇත. අනතුරුව, ඉන් එහා සියල්ල ‘තහනම් ප‍්‍රදේශයක්’ වනු ඇත.

වාස් ගුණවර්ධනගේ වාසනාව සහමුලින් අවසන්ව ඇතැ යි සිතිය නොහේ. ඔහුට එරෙහිව ඇති සියලූ චෝදනා ඉවත් කරගෙන, ඒ සම්බන්ධයෙන් දෙන ලද සියළු ප‍්‍රකාශ ඉල්ලා අස්කරගෙන, වාස් ගුණවර්ධන සීරීම් තුවාලයක්වත් නැතිව එළියට එන්නට බැරි කමක් නැත. එහෙත් ඒ, එක කොන්දේසියක් ඔහු පිළිපදින්නේ නම් ය: මොන තරම් සාපරාධී වුවත්, හාම්පුතුන්ගේ නම් ගම් මොන තත්වයක් යටතේවත් නොකෙළෙසිය යුත්තේය. ඉන් වෙනස්ව කටයුතු කොට අනිත් සියල්ලනුත් තමන් සමගම ඇදගෙන යාමට ඔහු උත්සාහ කළහොත්, වෙනත් අපරාධකරුවන් බොහොමයක් මුහුණදුන් ඉරණම, එනම් පොලිස් ආරක්ෂාව යටතේම මරණයට පත්වීම, ඔහුගේ ද ඉරණම වනු ඇත. ඒ ගැන වාස් ගුණවර්ධන වැන්නෙකුට උපදෙස් දීම අවශ්‍ය නැත.

Ranga-J1-145x150රංග ජයසූරිය | Ranga Jayasooriya

_____________________________________________________________________________________________________________________

*2013 ජුනි 17 වැනි දා ‘සිලෝන් ටුඬේ’ පුවත්පතේ පළවූ Disgraced DIG Vaas is only the tip of the iceberg ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි.