පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්
මෙරට යහ පාලනය තහවුරු කිරීම පිණිස නීත්‍යානූකූලව පිහිටුවන ලද එනමුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් අක්‍රීය කරන ලද ආයතන ගණනාවක් තිබේ. එය සිදුව ඇත්තේ අප කවරුත් දන්නා ව්‍යවස්ථාවෙහි 17 වන සංශෝධනය ක්‍රියාත්මක නොකර සිටීම මගිනි. එම ආයතන මෙසේ ය.
1. ස්වාධීන මානව හිමිකම් කොමිසම
2. ස්වාධීන පොලිස් කොමිසම
3. ස්වාධීන අධිකරණ කොමිසම
4. ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම
5. ස්වාධීන අල්ලස් සහ දූෂණ කොමිසම
මෙම ආයතන සමූහය අක්‍රීය කිරීමෙන් වාසි අත්වන්නේ කවර ක්‍රියා පිළිවෙතකට ද යන්න අලුතෙන් කීමට අවශ්‍ය නැත. එය බැලූ බැල්මටම පැහැදිළි ය. තමන් 17වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක නොකරන්නේ මන්දැයි ආණ්ඩුව දැන් තෙවතාවක දී කරුණූ තුනක් ගෙනහැර පා තිබේ.
1.යුද්ධය පැවැති කාලයෙහි ආණ්ඩුවේ ක්ෂමාලාපකයෝ අපට කීවේ යුද්ධය කරගෙන යාමට ජනාධිපතිවරයාට අවශ්‍ය බලය පවත්වා ගැනීම පිණිස මෙම කොමිෂන් සභා පත් නොකරන බව යි.
2.2008 නොවැම්බර් 26 දින ජනාධිපති මැදුරට කැඳවූ පුවත්පත් කතුවරුන්ට ජනාධිපතිවරයා කියා සිටියේ 17 වන සංශෝධනය යටතේ දේශපාලන පක්ෂ විසින් යෝජනා කරන ව්‍යවස්ථා සභාවක් මගින් ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමට මඟක් තිබිය නොහැකි බැවින් තමන් එය ක්‍රියාත්මක නොකරන බව යි.
3.මෑත දී යුරෝපා සංගමයෙන් වරණිය බදු සහනය ලබා ගැනීම පිනිස ඉදිරිපත් කරන ලද වාර්තාවෙහි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කියන්නේ 17 වන සංශෝධනය මගින් පාර්ලිමේන්තුවෙහි බලය සිවිල් පුද්ගලයින්ට පැවැරෙන බැවින් ස්වාධීන කොමිෂන් සභා පත් කිරීමට අදහසක් නැති බව යි. එනම් එය ව්‍යවස්ථානුකූල නොවන බව ය. (ආණ්ඩුවේ පිළිතුරු වාර්තාව ඇමුණූමෙහි 17 පිටුව)
එනමුත් ජනාධිපති රාජපක්ෂ මහතාගේ 2005 මැතිවරණ පොරොන්දු පත්‍රය වූ මහින්ද චින්තනය අඩුම වශයෙන් මෙම එක් කොමිසමක් ගැන සඳහන් කරන්නේ එය වඩා සවිබල ගන්වන බව ශපථ කරමිනි: “පොලිස් කොමිසමේ ඇති අඩුපාඩු මග හරවා බඳවා ගැනිම්, උසස්වීම් හා ස්ථාන මාරුවීම් සාධාරණව හා කඩිනමින් ඉටු කිරීම සඳහා විධිවිධාන සලසන්නෙමි.” 17 වන සංසෝධනය අහෝසි කරන බව මහින්ද චින්තනයේ කිසිම තැනක කියා නැත.
17වන සංසෝධනය පාර්ලිමේන්තුවෙහි සම්මත වූයේ ඒකජන්දයෙනි. එදා එම පනත ගෙන ඒමට මූලිකත්වය ගත් ශ්‍රීලනිප දේශපාලඥයෝ අද නිදිවැද සිටිති. මෙම සංසෝධනය අවශ්‍ය වූයේ අන් කිසි කරුණකට වඩා විධායක ජනාධිපති ධූරය සතු අසීමිත බලතල පාලනය කැරෙන තුලන සහ සංවරණයන් ලෙස ය. එය ව්‍යවස්ථාවට අනූකූළ බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීරණය කළේ ය. ජනාධිපතිවරයාගේ හිතුමතයට අනුව රට පාලනය කිරීම වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ සියළු පක්ෂ සහභාගිත්වයෙන් ව්‍යවස්ථා සභාවක් පත් කිරීම මෙම සංසෝධනයේ අරමුණ විය. 2002 දී පාර්ලිමේන්තුවෙහි සුළුතරයක් බවට පත් චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුවට ජවිපෙ සහාය දීමේ මූලික කොන්දේසියක් වූයේ මෙම සංසෝධනය යි. එය සම්මත කරන ලද්දේ හදිසියේ ය. විමසා බැලීමට අවශ්‍ය තරම් කාලයක් තිබුණේ නැත. මන්ද යත් ජනතා විමුක්ති පෙරමුණ එය සම්මත කිරීම පිණිස කාල වකවානුවක් දී තිබු නිසා ය. එබැවින් මෙම නීති සංසෝධනයේ දුබලතා ඇති බව නීති ශ්‍රාස්ත්‍රඥයින් විසින් පෙන්වා දී තිබේ.
එම දුබලතා තිබියදීත් මෙම සංසෝධනය යටතේ පිහිටුවන ලද කොමිෂන් සභා හතර දේශපාලන සහ අනෙක් ඇගිලි ගැසීම් වලින් අවම කොට නීතියේ පාලනය පිහිටුවීම පිනිස 2002 සිට 2005 දක්වා ශ්‍රී ලංකාවේ දේශපාලනයට සක්‍රීය දායකත්වයක් ලබා දුන්නේ ය. ඉතාම වැදගත් කොමිෂන් සභාවක් වූ මැතිවරණ කොමිසම පිහිටුවීම ජනාධිපතිනි කුමාරතුංග දෙවරක්ම ප්‍රතික්ෂේප කළේ ය. ඊට හේතුව වුයේ එහි සභාපති වශයෙන් ව්‍යවස්ථා සභාව යෝජනා කරන ලද හිටපු ශ්රේ්ෂ්ඨාධිකරණ විනිසුරුවරයා 2000 මහා මැතිවරණයේ දී නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දියත් කළ රාජ්‍ය දේපල අනිසි පරිහරණය වාර්තා කිරිමේ කොමිෂන් සභාවෙහි සභාපති ලෙස ස්වෙච්ඡාවෙන් කටයුතු කර තිබීම ය.
17 වන සංසෝධනය ක්‍රියත්මක නොකර සිටීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දක්වන කරුණූ තුනෙන් දෙකක් අවලංගු වූ ඒවා ය. එකක් නම් යුද්ධය යි. එය අවසන් ය. අනෙක එය ව්‍යවස්ථානුකූල නොවන බව යි. නමුත් එය ව්‍යවස්ථානුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයක් තිබේ. ඉතිරි හේතුව දේශපාලන පක්ෂ විසින් යෝජනා කරන පුද්ගලයින්ගෙන් සැදුම් ලත් ව්‍යවස්ථා සභාව ස්වාධීන නොවන බව යි. මේ වනාහී 17 වන ව්‍යවස්ථා සංසෝධනය පිළිබඳ කැරෙන සහමුලින්ම වැරදි අර්ථ කථනයකි. එහි ක්‍රියාකාරීත්වය පදනම් වන්නේ සහජීවී දේශපාලන සංස්කෘතියක් මත ය. අගමැතිවරයා ද විපක්ෂ නායකවරයා ද ව්‍යවස්ථා සභාවේ මූලික වෙති. එයට සාමාජිකයින් 05දෙනෙකුම පත් කැරෙන්නේ එම දෙපළගේ එකඟතාවයෙනි. සියළුම නිර්දේශයන් සඳහා සාමුහික එකඟතාවය ලබා ගැනීමට උපරිම උත්සාහය දරණ ලෙස කියා සිටින සංසෝධනය එසේ නොවන්නේ නම් අවම වශයෙන් සාමාජිකයින් 05දෙනෙකුගේ එකඟතාවය අත්‍යවශ්‍ය බව නිර්දේශ කරයි.
17වන ව්‍යවස්ථා සංසෝධනයේ වගන්ති ගණනාවකින්ම කියැවෙන්නේ ජනාධිපති විසින් තනි කැමැත්තට පත් කිරීම් නොකළ යුතු බව යි. ජනාධිපති බලතල සීමා කළ යුතු බව මහින්ද රාජපක්ෂ සිය චින්තනයෙන් ද කියා සිටියේ මෙසේ ය. “විධායක ජනාධිපති ධූරය අහෝසි කෙරෙන්නා වූ හා රටේ සෙසු ප්‍රශ්න වලට ද විසඳුම් ලබා දෙන්නා වු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සියල්ලන්ගේ සම්මුතියෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. එතෙක් ජනාධිපතිවරයා නිල මට්ටමින්
පාර්ලිමේන්තුවට වගකියන ලෙසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කරන්නෙමි.
පාර්ලිමේන්තුව කෙරෙහි ජනාධිපතිවරයා ගේ ඇති වගකීම සහතික කිරීම සඳහා මසකට වරක් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වන්නෙමි.” මේ ශපථ කිරීම් ප්‍රයෝගික කිරීමට ආරම්භක උත්සාහයක්වත් පසුගිය සිව් වසර පුරා දක්නට ලැබුනේ නැත.
එපමණක් නොව යහ පාලනය උදෙසා වූ ස්වකීය ශපථ කිරීම් ද ව්‍යවස්ථානුකූල නියමයන්ද පුරවැසි ඉල්ලීම් ද නොතකා පාර්ලිමේන්තුවෙහි ඒකජන්දයෙන් සම්මත වූ 17වන සංසෝධනය ජනාධිපති රාජපක්ෂ විසින් ප්‍රයෝගික වශයෙන් අහෝසි කර දමන ලදී. අප මතක තබා ගත යුතු කරුණ වන්නේ මෙම ස්වාධීන කොමිෂන් සභා ඒවායින් වැඩක් නොවනු ඇතැයි විනාශ කර දැමූ ජනාධිපති රාජපක්ෂ එම කාර්ය භාරය සපුරනු පිනිස වෙනත් අන් කිසිදු යාන්ත්‍රණයක් හෝ ක්‍රියාත්මක නොකළ බව ය. එහි ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකාව නීතියේ පාලනය නැති රටක් බවට පත් වීම ය,
උදාහරණයක් ගමු. 2005 වසරේ දී මානව හිමිකම් කොමිසමට කොමසාරිස්වරු ලෙස පත් කරනු ලැබුණේ ජනාධිපති රාජපක්ෂ මහතාගේ හිතවතුන් ය. එම කොමසාරිස්වරුන්ගේ කාලය අවසන් වූ 2009 මාර්තු මාසයේ සිට මේතාක් නව කොමසාරිස්වරු පත් කොට ද නැත. 2007 මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම අන්තර් ජාතික වශයෙන් ස්වාධීන කොමිසමක් ලෙස සැළකෙන්නේ නැත. එපමණක් නොව අද මානව හිමිකම් කොමිසම යනු සුදු අලියෙකි. එයින් රැකෙන මානව හිමිකමක් අද නැත.
රටක එදිනෙදා ජීවිතයේ සාමය සහ නීතිය රැකීම බාරව තිබෙන්නේ පොලිස් සේවාවට ය. නීතිය සහ සාමය රැකීම පිණිස පොලිස් සේවාවට ස්වාධිනත්වය සහ අදීනත්වය අත්‍යවශ්‍ය ය. නමුත් පසුගිය වසරයන්හි සිදුකළ ජනමත විචාරණ ගණනාවකටම අනුව මෙරට අංක එකට දූෂිත ආයතනය පොලීසි යි. එය හිතු මතයේ මිනී මරයි. පොලිස් සේවාව තරම් බලයේ සිටින දේශපාලනඥයින් අනිසි ලෙස යොදා ගන්නා සහ බලපෑම් වලට යටත් කරන්නා වූ වෙනත් රාජ්‍ය ආයතනයක් නැති තරම් ය. ස්වාධීන පොලිස් කොමිසම දිගටම පැවැතියේ නම් පොලිස් සේවය නිර්දේශපාලනීය කිරීම නොනවත්වා කර ගෙන යාමට තිබුණි.
නාමල් රාජපක්ෂ ජනාධිපතිගේ වැඩිමහල් පුත්‍රයා ය. ඔහු නීති විද්‍යාලයේ දෙවන වසර විභාගයට ගිය අවස්ථාවෙහි නීති විද්‍යාලයේ විදුහල්පති විසින් බුලත් හුරුල්ලක් දී පිළිගෙන වෙනම කාමරයක් ලබා දී විදුහල්පතිවරයාම විසින් පිළිතුරු ලිවීම අධීක්ෂනය කළ බව පුවත්පත් වාර්තා කළේය. එය වැරදි පුවතෙකැයි නීති විදුහලේ විදුහල්පති කීවේ නැත. නීති විදුහල්පතිගේ අවනීතික ක්‍රියාව වත්මන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය පිළිබඳ සංකේතයක් වැන්න. ප්‍රාදේශිය ලේකම්වරු මංත්‍රීවරු ඉදිරියෙහි දෙකට නැමෙති. දිසා ලේකම්වරු ඇමැතිවරු ඉදිරියෙහි දෙකට නැමෙති. කලකට පෙර අභිමානවත් සේවයක් වූ රාජ්‍ය පරිපාලන සේවය අද දේශපාලන ගැති සේවයක තත්ත්වයට පත්කර තිබේ. ස්වාධීන රාජ්‍ය පරිපාලන කොමිසමක් අවශ්‍ය වුයේ මෙම කණගාටුදායක තත්ත්වයෙන් රාජ්‍ය සේවය මුදා ගනු පිනිස ය.
අද ශ්‍රී ලංකාවෙහි දේශපාලනඥයෝ සෑම දෙයකටම ඇගිලි ගසති. ඔව්න් නොකරන එකම දෙය නම් ඔවුනට පැවැරී ඇති ව්‍යවස්තා, නීති සහ පිළිවෙත් සම්පාදයේ භාරදුර ලෙස යෙදීම ය. මෙම තත්ත්වය වෙනස් කොට නීති ගරුක යහ පාලනයක් ඇති ශ්‍රී ලංකාවක් ගොඩ නැගීම අද අප සියළු දෙනාගේ අපේක්ෂාව මෙන්ම අප සියළු දෙනාගේ අභියෝගය ද වේ. ජනාධිපති අපේක්ෂක පොන්සේකා ව්‍යවස්ථාවේ 17වන සංසෝධනය ක්‍රියාවට නැගීමට පොරොන්දු දෙයි. ජනාධිපති අපේක්ෂක රාජපක්ෂ 17 වන සංසෝධනය පිළිගන්නේ නැත. එසේ නම් ඔහු යහ පාලනය ඇති කිරීමට ගනු ලබන බවට ශපථ කරන වෙනත් ක්‍රියා පිළිවෙතක් වෙත් ද?
සුනන්ද දේශප්‍රිය