ඉහළ පෙළේ ඇමතිවරයෙකුට අයත් යැයි කියන වෙබ් අඩවියක අපූරැ පුවතක් අද(12) අලුයම පළවී තිබිනි. එහි පලකර තිබුණේ, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රෙය් විධායක අධ්‍යක්ෂක පාක්‍යසෝති සරවනමුත්තු එක්වී එළබෙන පොදු රාජ්‍ය මණ්ඩල සමුලුවට පෙර, බොදු බල සේනා සංවිධානය සහ රාවණා බලය තහනම් කිරීමට සැළසුම් කරන බවය. අවශ්‍ය නම් එය කියවන්න. ( චන්ද්‍රිකා ගෑණු ගැටයක් අඹරයි… බොදු බල සේනා, රාවණ බලය තහනම් කරවීමේ සැලසුමක්) ඒත් සමගම තවත් පිරිසක් බොදුබල සංවිධානය තහනම් කිරීම සදහා අන්තර්ජාල පෙත්සමක් දියත් කරමින් සිටින බවත් පසුගිය දා වාර්තා විය.
කෙසේ නමුත් බොදු බලයන් හෝ මොන බලයන් තහනම් කිරීමට සැළසුම් කරනවා යැයි කියමින් සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට පහර ගැසීමට කරනු ලබන උත්සහයන් කෙසේ වෙතත් බොදුබල, රාවනා බල වැනි බලයන් මේ වන විට ලංකාවේ ජාතීන් අතර මෙතෙක් යම් සාධනීය දෙයක් ඉතිරි වී තිබුණද එය ද විනාශ කිරීමට වලිකන සංවිධානයක් බව දැන් ලෝකය ඉදිරියේ ඔප්පු වී හමාරය. එබැවින් පෙත්සමක් නොව ජනයා වීදියට බැස ආගමික අන්තවාදයන් අවුලුවන මෙවැනි සංවිධාන ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කිරීම කළ යුතුය.(එය කුමන අන්තවාදී ආගමික සංවිධානයකට වුවත් අදාලය) නමුත් එසේ වීමට යම් ඉඩක් තිබේ ද එයත් මේ වන විට මර්ධනයේ හස්තයන් විසින්ම යටපත් කරමින් තිබෙන බව මනාවට දිස් වූයේ, පසුගියදා බොදුබල සේනා මූලස්ථානය ඉදිරියේ පහන් දල්වමින්, සාමකාමී, නිහඩ විරෝධකරැවන්ට බොදුබලය විසින් දැමූ ‘චන්ඩිපාට්‘ සහ එම චන්ඩිපාට් බලා සිට පසුව චන්ඩීන් නොව, සාමකාමී පුරවැසියන් අත්අඩංගුවට ගත් පොලීසිය දැකීමෙනි.
පිළිතුර තහනම් කිරීමද?
දැන් මෙවැනි සැළසුම්, කුමන්ත්‍රණ ගැන කියමින් අධෝවාතයක් ගියත් ‘සරවනමුත්තු‘ එයට සම්බන්ධ කිරීමට කට ඇරන් බලා සිටින මෙවැනි ජාතිවාදී වෙබ් අඩවි වල ‘බබාලා‘ දන්න එහෙත් නොදන්නා සේ මහතැන කියනා දේ ලියන මහත්තුරැන්ට යමක් පැහැදිලි කළ යුතුය. බොදුබල සේනා යනු ‘ඵලයක්‘ මිස ‘හේතුව‘ නොවේ. හේතුව ඇත්තේ වෙනත් තැනකය. එය හදාවඩා ගන්නා ‘දෙය‘ ඇත්තේ ද වෙනත් තැනකය. එබැවින් එම ‘ඵලයන්‘ විනාශ කළ පමණින් එය හැදෙන, හදාවඩා ගන්නා ‘හේතුව‘ හෝ ‘දෙය‘ විනාශ නොවේ. මෙලෙස ‘ඵලය‘ විනාශ කළ හොත් සියල්ල හරි යැයි අපුරෑවට කියා දී ඇත්තේ වර්තමාන ලංකාවේ ජාතිවාදීන් රොත්තය. මානුෂික මෙහෙයුම යැයි කියා දෙමළ ජනයා පවුල් පිටින් ඝාතනය වීමට සළස්වා, එල්ටීටීඊ සංවිධානය සම්පූර්ණයෙන් විනාශ කලහොත් අපිට සුවසේ නිදා ගැනීමට පුලුවන් යැයි කියු අය, අද එල්ටීටීඊ ය අවසන් කර වසර 4කට පසුත් නින්දෙන් ඇහැරී දෙමළාව ‘දේශපාලනිකව‘ පොඩි පට්ටන් කිරීමට මාන බලන්නේ ඒ නිසාය. එයට ආසන්නම උදාහරණයක් ගතහොත්, වසර ගණනාවක් පළාත් සභාවල රස බැලු දකුණේ ‘බබාලා‘ දැන් උතුරට එය දෙනවාට බය වී ඇත. එල්ටීටීඊ නැතත් නින්ද නොයන්නේ ඒ බිය නිසාය. ‘අග්‍රඵලය‘ නැතත් හේතුව විසින් තවමත් ඔවුන් ඇහැරවන නිසාය. එබැවින් මෙම ගමන දිගටම ගියහොත් ඥාණසාර සාදුගේ සිට අරලියගහ දක්වා කිසිවෙකුටවත් සුවසේ නිදන්නට හැකි වන්නේ නැත.
හේතුව සහ දෙය
දැන් බොදුබල සේනා වැනි අන්තවාදී කණ්ඩායම්වලට ආණ්ඩුවේ පහස ලැබෙන බව ඇතැම් ක්‍රියාවන්ගෙන් හැගී යාම වැලැක්විය නොහැකිය. ආරක්ෂක ලේකම්වරයා බොදුබල සේනාවේ ගෙවල්(එම ගෙවල් ද පසුව නීතිවිරෝධීව ගොඩනැගූ ඒවා බව වාර්තා විය) විවෘත කිරීමට යාමත්, සෑම දෙයකටම බොදු බල සේනාව විසින් ‘ආරක්ෂක ලේකම් තුමනි මේ ගැන බලන්න‘ වැනි අදහස් වලින් එය තවත් සානාථ වෙයි. අනෙක නම් ප්‍රසිද්ධියේම පල්ලි කඩමින්, කඩ කඩමින් අධිකරණයට පවා ගොස් ‘ෂේප්වීමට‘ තරම් ‘බලයක්‘ බොදු බලයට තිබෙන බව පෙනෙන්නට තිබේ. මේවා අහසින් කඩා පාත් වූ ඒවාද? නැත. මේ සියලු දේ පිටුපස ඒ බල දේශපාලන හස්තයන් ක්‍රියාත්මක වෙයි. මක් නිසාද යත් ප්රජාතන්ත්ර විරෝධී පාලනයක් ගෙන යාමට මෙවැනි ‘දේවල්‘ අවශ්‍යය. දැන් දෙමළා එතරම් හතුරෙක් නොවන බව දන්නා ආණ්ඩුව වෙනත් හතුරෙක් හෝ හතුරැ මතවාදයක් නිශ්පාදනය කිරීමට පෙලබෙයි. එයට හොදම බලවේගය වන්නේ අන්තවාදී භික්ෂූන් බව ඉතිහාසයේ අත්දැකීම් වලින් දන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උදවිය එය දැන් බාර කර අත්තේ ඥාණසාර සාදු(?) ප්රමුඛ බොදුබල සේනාවටය. ඒ ‘සිංහල‘ කම පෙරට දමාගෙන ඉදිරියේදී පැවැත්වෙන ප්‍රධාන මැතිවරණයන්වලදී තමන්ගේ ඡන්ද ගොඩ වැඩිකර ගැනීමේ උපක්‍රමයක් ලෙසය.(විශේෂයෙන් 2014 මැතිවරණයක් තිබුනහොත්) මෙසේ උදාහරණ බොහොමයක් ලිවීමට හැකි වුවත් මේ ලියූ ‘හේතු‘ සහ ‘දේවල්‘ වලින් කාට හෝ වුවමනාවක් ඇති වුවහොත් මෙම සංවිධාන තහනම් කිරීමට, එය සිදුවන්නේ නැත. එය එසේ වන්නේ මේවාට හේතුවුනු දේවල් සහ ඒවා හදාවඩා ගන්නා පිරිස, නීතිය ඉදිරියේදී, නිතීයට ඉහලින් සිටීමට හැකියාවක් ඇති බවට හගවා ඇති බැවිනි.(එය පසුගියදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරැවරියගේ සිදුවීමේදී ඔප්පු විය) අනෙක වර්තමාන ආණ්ඩුවේ පැවැත්ම රදා පවතින්නේ ද මෙවැනි අන්තවාදීන් විසින් ගොඩනගන අලුත් සතුරන් සමග ඔවුන්ට එරෙහිව ‘මහජාතිය‘ එනම් ‘සිංහල ජාතිය‘– ‘චූන්‘ කිරීම හරහා ද වන බැවිනි.(සංඛ්‍යාෙවන් වැඩි වුවත්, අඩු වුවත් ‘මිනිස්කම‘ පදනමක් ලෙස තබා ගෙන ක්‍රියාකිරීම වැනි අදහස් බුදු බණේ තිබුණත් බොදුබල බණේ ඒවා නැති බව මතක් කිරීමට කැමැත්තෙමු. එබැවින් ඔවුන් බුද්ධ පුත්‍රයන් ද යන්න ද ගැටලුවකි.)
එම ‘චූන්වල‘ ප්‍රතිඵලයක් ලෙස දශක 3කට වඩා ලාංකීය සමාජය වේදනා වින්දත්, අදත් අර අදිමින් ඉන්නේ එවැනි ව්‍යසනයක් කරා බව පාලකයන් නොදන්නේ නොවේ. නමුත් ඔවුන්ට අවශ්‍ය ‘මිනිස් වේදනාවන්‘ මතින් හෝ තමන්ගේ බලය හිසටත් උඩින් ගොඩ ගසා, බහුතරයක් අසරණව දිවි ගෙවද්දී, රත්තරං ඇදක සුවසේ බුදියා ගන්නටය. නමුත් අන්තවාදීන් ඊනියා බණ දෙසන විට රත්තරං ඇදංවල බුදියන්ට සිහින මවන පාලකයින්ට සිදුවන්නේ ඇතැම්විට කානුවකවත් පහස නොලබා ඒ විසකුරැ සිහිනයන් සමගම අපාගත වන්නටය.
වැදගත්ම දෙය
මෙවැනි හීනවලින් පිරැණු පාලකයින් විසින්, අන්තවදීන් පෝෂණය කරමින්, ඔවුන්ගේ කරපිටින් බලය ලබා ගැනීමට මාන බලන දේශපාලකයින් සිටින රටක කළ යුත්තේ සංවිධාන තහනම් කිරීමට හෝ ඒවා තලා දැමීමට වඩා, ඒවා පෝෂණය කරන මුල්, සහ හේතුන්, හදුනාගෙන ඒවාට එරෙහිව ‘මනුෂ්‍යත්වයේ දේශපාලනය‘ කිරීමය. රාජ්‍ය නිළධාරියෙකුගේ කාර්යයට එහා යමින් දේශපාලනය පිළිබද ව්‍යවස්ථායකය මගින් කිව යුතු දේවල් ලේකම්වරයෙක් කියන විටදී ඔහුට එරෙහිව නීතිය(ඇත්නම්) ක්‍රියාත්මක කිරීමට බලකිරීමය. එසේත් නොහැකි නම් දැන් කුණු වී, ඔඩුදුවා, ගද ගසන මෙම දේශපාලන ක්‍රමය පරිවර්තනය කිරීමට නැතිනම් වෙනස් කිරීමට පුරවැසියන් බලමුලු ගැන්වීමය. එවිට බොදුබල හෝ රාවනා හෝ කවුරැ හෝ අන්තවාදීන්ගේ වියරැව ස්වාභාවිකවම ‘දියවී‘ ගොස් අරලියගස ඉදිරිපිටම ‘වාන්‘ දමන්නට පටන් ගන්නට බැරිකමක් ද නැත.
වසන්ත බණ්ඩාර | Wasantha Bandara