බුද්ධගයාවට එල්ල කළ ප‍්‍රහාරය දුෂ්ට අපරාධයකි.
විවිධ ආගම්වලට අයත් බැතිමතුන් අනෙකා සමග සහජීවනයෙන් විසීම ප‍්‍රතික්ෂේප කරන්නේ නම් හෝ ආධ්‍යාත්මික සත්‍යයේ හෝ ඒ සත්‍යය පැවතිය යුතු යැයි අදහන භූගෝලීය ප‍්‍රදේශයක තනි භුක්තිය තමන් වෙත පවරා ගන්නේ නම් හෝ ලෞකික බලය සඳහා වන මාර්ගයක් වශයෙන් පාලකයා විසින් ආගම (සහ අන්ධ භක්තිකයාව) සළකන්නේ නම් හෝ, එවිට සමාජ හිංසනය බෝ වන්නේය. යුද ගිනි ඇවිළෙන්නේය. ඛේදවාචක එළැඹෙන්නේය.
ශ‍්‍රී ලංකාව, සිංහල-බෞද්ධයන්ගේ දේශයකැ යි සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදියෝ කියති. මන්ද යත්, එම දේශයේ ජීවත් වන බහුතරයක් ජනතාව සිංහල-බෞද්ධයන් වන බැවිනි. මේ බහුතරවාදී තර්කය මත පදනම් වෙමින්, ඔවුහූ සෙසු ආගම් නොරුස්සති. කිතුණු, මුස්ලිම් සහ හින්දු ආගමිකයන්ට එරෙහිව කල්ලි ගැසී, මුස්ලිම් පල්ලි, කිතුණු පල්ලි සහ හින්දු දේවාලවලට පහර දෙති. සෑම ආගමිකයෙකුටම තමන්ගේ ආගමික ස්ථාන පූජණීයයි. එවැනි ස්ථාන ප‍්‍රහාරයට ලක්වූ විට ඔවුන්ට රිදෙයි. එබැවින් ඔවුහූ කෝපයට පත්වෙති. බෞද්ධ පන්සලකට පහර දුන් විට බෞද්ධයෙකුට දැනෙන ශෝකය සහ කෝපයම, කිතුණු පල්ලියකට පහරදුන් විට කිතුණුවෙකුටත්, මුස්ලිම් පල්ලියකට පහර දුන් විට ඉස්ලාම් භක්තිකයෙකුටත්, කෝවිලකට පහර දුන් විට හින්දු භක්තිකයෙකුටත් දැනෙයි. ආගමික හිංසනයෙන් සාමයක් ජනිත වන්නේ නැත. එයින් උත්පාදනය කෙරෙන්නේ තව තවත් හිංසනයක්මයි. එවැනි මාරක විපතකට පත් රටක්, මිහිපිට අපායක් වන්නේය. ආගමික කලකෝලාහල සහ යුද්ධවලින් ඇවිලී ගිය යුරෝපා ඉතිහාසය ඊට දෙස්දෙයි. පාකිස්ථානය සහ ඉරාකය වැනි රටවල වර්තමානයත් එවැන්නකි.
වෙනත් ආගම් මන්දිරවලට ඔබ පහරදෙන විට කෙරෙන්නේ, එම ආගම්වල සිටින අන්තවාදීන්ට ඔබේ ආගම් මන්දිරවලට පෙරලා පහර දීමට අවශ්‍ය කරන අවසරය සැපයීමයි. ශ‍්‍රී ලංකාවේ පල්ලි සහ කෝවිල්වලට සිංහල-බෞද්ධ අන්තවාදීන් පහරදෙන විට, ලෝකයේ වෙනත් තැන්වල තිබෙන බෞද්ධයන්ගේ පූජණීය ස්ථානවලට වෙනත් ආගමික අන්තවාදීන් පහරදෙන්නේ නම්, එහි වරද භාරගත යුත්තේ ලංකාවේ බෞද්ධයන්මයි.
රටක සිනක්කර අයිතිය ඇත්තේ එරටේ වෙසෙන බහුතර ආගමිකයන්ට ය යන, සිංහල-බෞද්ධ අන්තවාදී සහ ආධානග‍්‍රාහී මතය මුළු ලෝකයාම විශ්වාස කළොත්, තත්වය කුමක් වේ ද? එම තර්කය අනුව, ඉන්දියාව හින්දු රටකි. (මහබෝධිය ආරක්ෂා කිරීමට වගකීමක් ඉන්දියානු රජයට නැත). ඉන්දියාවේ ‘සැබෑ හිමිකරුවන්’ වන්නේ හින්දු භක්තිකයන් නිසා, ඒ හේතුවෙන් වෙනත් ප‍්‍රජාවන්ගේ අයිතිවාසිකම් පිළිගැනීමට හෝ ප‍්‍රතික්ෂේප කිරීමට අයිතියකුත්, වෙනත් ආගමික ස්ථානවල පැවැත්මට ඉඩ දීම හෝ ඒවා විනාශ කර දැමීමට අයිතියකුත් ඔවුන්ට පැවරෙයි.
යම් හින්දු භක්තිකයන් පිරිසකගේ ඉල්ලීම මත, ඉන්දියාවේ තිබෙන යම් ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථානයක් කඩා ඉවත් කිරීමට හින්දුත්වවාදී ඉන්දියාව තීරණය කළොත් තත්වය කුමක් වේද? හින්දු බහුතරයක් වෙසෙන ඉන්දියාවේ සාන්චි හෝ අජන්තා බිතු සිතුවම් ආරක්ෂා කර ගැනීමට බොදුබල සේනාවට පුළුවන් ද? හින්දු බහුතරයක් වෙසෙන නේපාලයේ පිහිටි කපිලවස්තු හෝ ලූම්බිනිය රැක ගැනීමට ජාතික හෙළ උරුමයට පුළුවන් ද? මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දුනීසියාවේ පිහිටි බොරෝබුදූර් (9 වැනි සියවසේ ගොඩනැගූ බෞද්ධ විහාරය) රැක ගැනීමට රාජපක්ෂලාට පුළුවන් ද? බුද්ධාගම බහුතර ආගම නොවන ක‍්‍රිස්තියානි ඇමරිකාව, යුරෝපය සහ ඕස්ටේ‍්‍රලියාවේ සිට ඉස්ලාමීය මැලේසියාව සහ මැද පෙරදිග දක්වා තිබෙන බෞද්ධ පන්සල්වල තත්වය කුමක් වෙනු ඇත් ද? එවැනි රටවල් ද, ලංකාවේ බොදුබල සේනා/ජාතික හෙළ උරුම/සිංහල රාවණා තර්කණය අනුගමනය කළොත් සහ එම රටවල නායකයන් ද, අපේ රාජපක්ෂලාගේ භාවිතයම අභ්‍යාස කළොත්, එම රටවල පිහිටි ඓතිහාසික බෞද්ධාගමික ස්ථාන ආරක්ෂා කර ගැනීමට හැකි වන්නේද?
ජපානයේ ථෙරවාදී බෞද්ධ සිද්ධස්ථාන තිබේ. එහෙත් ජපානයේ ජනගහනයෙන් බහුතරය මහායානික ය. නිව්යෝර්ක් නුවර සිට මෙල්බර්න් නුවර දක්වාත්, තෝකියෝ නුවර සිට ක්වාලාලම්පූර් දක්වාත් වෙසෙන මහායානික බෞද්ධයන්ගේ බුද්ධාගම ලංකාවේ ප‍්‍රචලිත කිරීමට සහ ඔවුන්ගේම පන්සල් ගොඩනගා ගැනීමට ලංකාවේ ථෙරවාදී බෞද්ධ භික්ෂූන් ඔවුන්ට ඉඩ දෙන්නේද? ‘ආගන්තුකයන්/පිටස්තරයන්’ යන ලේබලය මත, කිතුණුවන්ට, ඉස්ලාම් සහ හින්දු භක්තිකයන්ට තමන්ගේ ආගමික ස්ථාන ශ‍්‍රී ලංකාවේ ගොඩනැගීමට අයිතියක් නැත්නම්, ලන්ඩන් නුවර හෝ සැන් ෆ‍්‍රැන්සිස්කෝ නුවර බෞද්ධ පන්සලක් ගොඩනැගීමට ශ‍්‍රී ලාංකිකයාට අයිතියක් ලැබෙන්නේ කොහෙන්ද?
බොදුබල සේනාවට අවශ්‍ය කරන්නේ, ඉන්දියානු හමුදාවත් සිංහල හමුදාවේ ආදර්ශය පිළිපදිනු දකින්නට නම්, ඉන්දියාව පුරාම හින්දු කෝවිල් තනමින්, හින්දු අන්තවාදීන්ට උදව් උපකාර කරමින් සිටිනවා මිස එම හමුදාව එරට පිහිටි බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂා කර දීමට ඇඟිල්ලක්වත් උස්සන එකක් නැත.
මුළු ලෝකයාම බොදුබල සේනාවේ තර්කණය පිළිගන්නේ නම්, ථෙරවාද පන්සල්වලට පවතින්ට ඉඩ ලැබෙනු ඇත්තේ රටවල් පහක පමණි: ශී‍්‍ර ලංකාව, මියන්මාරය, කම්පුචියාව, ලා ඕසය සහ තායිලන්තය. පොදුවේ බුද්ධාගමටත්, විශේෂයෙන් ථෙරවාද බුද්ධාගමටත් ලෝකයේ විවිධ තැන්වල අදටත් පයගසාගෙන සිටීමට හැකි වී ඇත්තේ, ලෝකයේ වෙසෙන අබෞද්ධයන්ගෙන් බහුතරය ආගමික මූලධර්මවාදය පිළිකුලෙන් බැහැර කරන නිසාත්, ථේරවාද නොවන බෞද්ධයන්ගෙන් බහුතරය ථේරවාදී බෞද්ධයන්ව හතුරන් වශයෙන් නොසළකන නිසාත්, ලෝක නායකයන්ගෙන් වැඩි දෙනෙක් රාජපක්ෂලාවට වඩා බුද්ධිමත් වන නිසාත් ය.
මේ වන තෙක්, බෞද්ධ සිද්ධස්ථාන වෙනත් ආගමික අන්තවාදීන්ගේ ඉලක්ක බවට පත්වුණේ නැත. එසේ වුණේ, බුද්ධාගමේ අවිහිංසාවාදයත්, මධ්‍යස්ථ භාවයත් නිසා ය. (තලිබාන්වරු නිස්කාරණේ බාමියන් බුදු රූ විනාශ කෙළේ ඔවුන් තුළ තිබූ බෞද්ධ විරෝධයක් නිසා නොව, ඕනෑම ප‍්‍රතිමා වන්දනාවක් කෙරෙහි ඔවුන් තුළ ඇති ක්‍රෝධය නිසා ය. (උදාහරණයක් වශයෙන්, ඔවුහූ මුස්ලිම් ආගමේම ෂියා නිකායික පිළිමවලටත් පහර දෙති. එම හේතුව මතම, සෞදි අරාබිය, මුස්ලිම් ආගමික ඓතිහාසික තැන් බොහොමයක් විනාශ කරයි).
කෙසේ වෙතත්, බුරුමයේ විරතු-බෞද්ධයන් සහ ලංකාවේ බොදුබල සේනා බෞද්ධයන් තමන්ගේ වෛරී ව්‍යාපාරය දිගටම ගෙනගියහොත් සිදුවන්නේ, බෞද්ධ ආගමික සහ ඓතිහාසික සිද්ධස්ථාන, ලෝකය පුරා වෙසෙන වෙනත් ආගමික අන්තවාදීන්ගේ ඉලක්ක බවට පත්වීමයි.
බුද්ධගයාවට එල්ල කළ ප‍්‍රහාරය, කාගේත් ඇස් ඇරවන්නක් විය යුතුය: බල කාමයෙන් ඔද්දල් වූ දේශපාලඥයන් සහ වෛරයෙන් කැකෑරෙන භික්ෂු නඩයකට ඔවුන්ගේ පෞද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් බුද්ධාගම විකෘති කිරීමට සහ විනාශ කිරීමට තවදුරටත් ඉඩ දිය යුතුදැ යි ලාංකීය බෞද්ධයා තීරණය කළ යුතුව තිබේ.
බුදුන් වහන්සේගෙන් උගෙනීම
කාලාම සූත‍්‍රයට අනුව, බුදුන් වහන්සේ වරක් කේසපුත්තයට වැඩම කළ අවස්ථාවේ, කාලාමයෝ උන්වහන්සේට මෙසේ කීය: ‘‘ස්වාමීනි, භික්ෂූන් වහන්සේ සහ බ‍්‍රාහ්මණයෝ කේසපුත්තයට එති. ඔවුන් දේශනා කරන්නේ ඔවුන්ගේ ධර්ම කාරණා පමණි. වෙනත් අයගේ ධර්මතා ඔවුහු පිළිකුලෙන් බැහැර කරති. ඒවාට අපහාස කරති. පරිභව කරති…’’ බුදුන් වහන්සේගේ කාලයේ පවා බොදුබල සේනා වර්ගයේ පිරිස් සිටි බව මෙයින් පෙනී යයි. කාලාමයන්ගේ පැනයට බුදුන් වහන්සේ දුන් පිළිතුර, ආගමික වෛරය නිශ්ප‍්‍රභා කෙරෙන සැටි මනාව පෙන්නුම් කරන්නකි: ‘‘කාලාමයන් සිතන්නේ කුමක් ද? මිනිසෙකු තුළ පහළ වන ද්වේෂයෙන් ඔහුට යහපතක් වේ ද, හානියක් වේ ද?.. කාලාමයනි, කෙනෙකු ද්වේෂයට යට වූ විට, ද්වේෂයෙන් රෝගී වූ විට, ඒ පුද්ගලයා ජීවිත විනාශ කරයි. සොරකම් කරයි. කාමයෙහි වරදවා හැසිරෙයි. බොරු කියයි… වෙනත් අයවද එසේ කිරීමට පොළඹවයි..’’
ආගමික සහජීවනයේ වැදගත්කම සහ අත්‍යාවශ්‍ය භාවය පිළිබඳ ප‍්‍රථම පාඩම්වලින් එකක් අශෝක අධිරාජයා විසින්ම සපයන ලදි. බුද්ධාගමට හැරුණු ඔහු, (ආගම් මාරු කිරීම තහනම් කෙරෙන රෙගුලාසි තිබුණේ නම්, අප කවුරුත් තවමත් ගස්ගල් පවා අදහන අශිෂ්ටයන් වීමට තිබුණි), ඔහුගේ සුවිශාල අධිරාජ්‍ය තුළ සෑම ආගමකටම සහ නිකායකටම ආරක්ෂාවත් අනුග‍්‍රහයත් සැපයුවේය. අනිත් ආගමිකයන්ව ඉවසීම, යහපත් සදාචාරයක් සේම යහපත් දේශපාලනයක් ද වන්නේ කෙසේ දැ යි ඔහු විස්තර කෙළේය. ‘‘සෑම ආගමකම හර පද්ධතිවල දියුණුවක් තිබිය යුතුය. මේ මූලික හර පද්ධති ප‍්‍රවර්ධනය විවිධාකාරයෙන් කළ හැකිය. එහෙත් ඒ හැම ක‍්‍රමයක් තුළම, භාෂණයේ සංයමය, එනම් තමන්ගේ ආගම වර්ණනා නොකිරීම සහ සාධාරණ හේතුවකින් තොරව අනුන්ගේ ආගම් හෙළානොදැකීම අන්තර්ගත වෙයි. අනිකාගේ ඇදහීම විවේචනය කිරීමට ඇත්තටම හේතුවක් ඇතත් එය කළ යුත්තේ ශාන්ත සංයමයෙනි. එම හේතුව නිසාම, අනිත් ආගම්වලට ගරු කිරීම වටනේය. එසේ කිරීම, තමාගේ ආගමටත් වැඩදායක ය. අනිකාගේ ආගමටත් වැඩදායක ය. එසේ නොකිරීම තමාගේ ආගමටත් හානියකි. සෙස්සන්ගේ ආගමටත් හානියකි. අති මහත් භක්තිය නිසා තමන්ගේ ආගම වර්ණනා කරමින්, ‘‘මගේ ආගම තමයි ශ්‍රේෂ්ඨ’’ යැයි සිතා අනිකාගේ ආගමට ගරහන්නා, තමාගේ ආගමට ද කරගන්නේ හානියකි.’’
අනිත් ආගම් නොඉවසීම, දෙපැත්ත කැපෙන අසිපතකි. බොදුබල සේනා මාදිලිය ලංකාවේ ප‍්‍රමුඛත්වයට පත්වුණොත්, සෞදි අරාබිය හෝ තලිබාන් පාලනය යටතේ පැවති ඇෆ්ගනිස්ථානයේ තරමටම ලංකාවත් අතිශය පීඩාකාරී සහ ප‍්‍රගති විරෝධී රටක් බවට පත්විය හැකිය. එම ශාපයට, අන්‍යාගමිකයා පමණක් නොව, බෞද්ධයා ද බිළි වනු ඇත. එවැනි රටක නායකයන්ගේ සීමිත දැනුම, බුද්ධි හීනතාව සහ පටු දැක්ම මත පදනම්ව, රටේ ජනතාවගේ ඇඳුම පැළඳුම කෙසේ විය යුතු ද, රටේ ජනතාව ආහාරයට ගත යුත්තේ කුමන ආහාර ද, ඔවුන් සවන්දිය යුත්තේ කුමන සංගීතයට ද, කලාව, විද්‍යාව, අධ්‍යාපනය වැනි විෂයන් කෙසේ සකස් විය යුතු ද ආදී සියලූ කාරණා තීන්දු කෙරෙනු ඇත්තේ එවැනි පටු පාලකයන්ගේ සිතැඟියා මත ය. සෑම නිවසක්ම ඔවුන් ආක‍්‍රමණය කරනු ඇත. සෑම පවුලකම අභ්‍යන්තර සහ පෞද්ගලික කටයුතුවලට ඔවුන් ඇඟිලි ගසනු ඇත. බුද්ධාගම ඔලූවෙන් සිටුවා, ශ‍්‍රී ලංකාව, මෝහයේ, ආගමික ආධානග‍්‍රාහීත්වයේ සහ සාහසික වෛරයේ දේශයක් බවට පත්කෙරෙනු ඇත.
තිසරණී ගුණසේකර
_____________________________________________________________________________________________________________________
2013 ජුලි 11 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The Curse of Intolerance ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා අනුග්‍රහයෙන්