[Image Credit:adaderana]
අවසානයේදී දිය බිදක් ඉල්ලා විථි බට මිනිසුන්ට සිදු වූයේ තමන්ගේ දරැවන්ගේ මෘත දේහයන් වලට කර ගසන්නටය. නිවසේ සිට ඇදිවත පිටින් පාරට පැමිණි බොහෝ දෙනෙකුට සිදු වූයේ තමන් බෝධිපුජා පවත්වමින් ශක්තිය දුන් හමුදා භටයන් විසින් වැටවල් වලින් ගලවා ගත් පොලු වලින් පහර කා දුවන්නට ය. වතුර වෙනුවට තම සමීපතමයින්ගේ වියෝව උහුලා ගත නොහැකිව හඩා වැලපෙන්නට වතුර ඉල්ලා විථි බට නිරායුද ජනයාට අවසානයේ සිදු වූයේ ය. මේ සියලු දේවල් සිදු වූයේ කොළඹ ආසන්නයේ දකුණේ දී ය. නමුත් මෙතරමි ව්‍යසනයක් සිදු කළ පසුත් පාලක රේජීමය සුව සේ නිදනු බව පෙනේ. මෙය එක් ලෙසකට අරැමයක් ද නොවේ. ලංකාවේ එක් කොණක පොළව නුහුළනා මිනිස් වේදනාවන් ගලා යද්දී ඒවා අපේ නිදහස වෙනුවෙන් යැයි පවසමින් ගී ගයිමින් නැටූ මිනිසුන් එවකට දකුණේ අඩු නොවීය. ඒ ගී සෑම විටම අධිපතිවාදී පාලකයින්ගේ නින්ද සුව නින්දක් බවට පත් කරන්නට සමත් විය. නමුත් ලෝක ඉතිහාසයෙන්ද, සොබාදහමින්ද කිසිදු පාඩමක් උගත්තේ නැති දකුණේ බොහෝ ජනයා තව තවත් සහෝදර ජනයාගේ මළ කදන් ගනිමින් සිටියේ අපිට දැන් නිදහසේ පාරේ යන්න පුලුවන් යැයි කියමින් ය. නමුත් අනෙකා මරා දැමීමෙන් තමන්ට ජීවිතය හමුවෙතැයි යන සිතිවිල්ල පෝෂණය කරිමින් සිටි පාලක රෙජීමයත්, ජාතිවාදී නුත් දැන් එම ජනයාට ළගා කර දෙමින් ඇත්තේ ජීවිතයද? නැත. දැන් ඔවුන් වැලිවේරියේ දී ද නැවත වරක් දකුණේ ජනයාට ළගා කර දී ඇත්තේ උතුරේ දී දෙමළ මිනිසාට ළගා කර දුන් ඒ මරණයේම කිසියම් වෙනස් ස්වරෑපයකින් ‘මරණය‘මය. නමුත් අරැමය නම් යුද්ධය නිම වී වසර 4කට වඩා ගොස් තිබියදීත් පාලක රෙජීමය පුන පුනා පවසන අපි දැන් නිදහස් ජාතියක් ය කියන වදන් බොහෝ දෙනෙක් අදද ප්‍රතික්ෂේප නොකිරීමය. ඒදා කියු ලෙස ‘අද නිදහසේ පාරේ යන්න පුලුවන් ද‘ කියා තමන්ගෙන්ම ප්‍රශ්න නොකිරීමය.
කෙසේ නමුත් දැන් මෙම ජනයා මහපාරට පැමිණ සිය විරෝධතාවය දැක්වූයේ අරලියගහ මැදුරෙන් කාමරයක් ඉල්ලා නොවේ. එසේත් නැතිනම් රාජපක්ෂ ආණ්ඩුවට විරැද්ධව, ආණ්ඩුව වහාම ඉල්ලා අස්විය යුතු යැයි කියා නොවේ. රොෂේන්, ඇන්ටනී, නිමළරෑබන් මරා දැමූවන්ට දඩුවම් දෙනු කියා නොවේ. මාධ්‍ය වේදී ලසන්ත, සිවරාම් ඇතුලු මාධ්‍ය වේදීන් ඝාතනය කළේ කවුද? ප්‍රගීත් අතුරැදහන් කලේ කවුද? පෝද්දලට පහරදුන්නේ කවුද? කියා අසමින් නොවේ. එපමණක් ද නොවේ ලලිත්, කූගන් අතුරැදහන් කළේ කවුද, අන්තරේ සිසුන් මරා දැම්මේ කවුද? යන කී නොකී කිසිවක් අසා නොවේ.
ඔවුන් ඉල්ලා සිටියේ බොන්න පුලුවන්, වස නැති වතුර බිදක්ය. නමුත් ලැබුණේ බැටන්පොලු පහරවල්, ඇමෝනියා මිශ්‍රවතුර පහරවල් සමග කදුලු ගෑස්ය. එපමණක්ද නොවේ වෙඩි උණ්ඩද වතුර වෙනුවට ඔවුන්ට ලැබුණේය. ඒ ආඩම්බරකාර තාත්තාගෙන් ලැබුණු ප්‍රතිචාරය. දැන් ඒ ආඩම්බරකම පෝෂණය කළ ඇතැම් පක්ෂත්, වමේ යැයි කියා ගන්නා පුද්ගලයනුත් පක්ෂත් වැළිවේරියෙන් පසු තක්බීරී වී ඇති බවත් පෙනෙන්නට තිබේ. ඒ තක්බීරිවීම කෙසේ ද යත් ඒ, එදා තමන් හදා වඩා ගත් ‘ආඩම්බරකාරකම්‘ වලට ‘තක්කඩිකම්‘ කියන්නට තරම් ජව සම්පන්න වී ඇත. එය එසේ සිදුව ඇත්තේ අනි කිසිවක් නිසා නොව තමන් තමන්ටම සත්‍ය වශයෙන්ම මුණගැසී ඇති බැවිනි. දැන් ඒ සියලු දෙනාට තමන් අනෙකාට සිදු කල ව්‍යසනය තමන් ඉදිරියේ හමු වී ඇත. දැන් අපට තක්කඩීන්, විසින් තක්කඩීන් හදුන්වා දෙමින් තිබේ.
ජවිපෙ ප්‍රකාශයේ විහිඑව
වැලිවේරියේ සිදුවීම, (නැත. මෙය සිදු කිරීමකි) පිළිබදව ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා මෙසේ පවසයි. ‘‘ආණ්‌ඩුව කල්පනා කරනවා ජනතාව භීතියට පත්කරලා, මර්දනය කරලා තම පාලනය ඉදිරියට ගෙන යා හැකියි කියලා. ඒ නිසා තමයි රට තුළ පැනනගින කුඩා ඕනෑම හෝ උද්ඝෝෂණයක් පාලනය කිරීමේ ව්‍යාධියකින් පෙළෙන්නේ. පාලකයන් උඩින් පොරවාගෙන සිටින සළුපිළි සෑම අවස්‌ථාවකදීම ගැලවී නිරුවත හෙළිවුණා. වෙහෙර විහාර කරා ගමන් කරමින් කරන රංගනය පිටුපස ඉන්නේ සැබෑම තක්‌කඩියන් බව මේ සිද්ධිවලින් පෙන්වනවා. මෙම උද්ඝෝෂණය දේශපාලන උද්ඝෝෂණයක් නොවේ. ඉතා අහිංසක ඉල්ලීමක් ජනතාව කළේ. පානය කරන ජලය ප්‍රමිතියෙන් තොරවීම හේතු කරගෙනයි ජනතාව මේ උද්ඝෝෂණය කළේ. පානයට පිරිසිදු ජලය ඉල්ලා කළ උද්ඝෝෂණයක්. එවන් උද්ඝෝෂණවලටත් ආණ්‌ඩුව ප්‍රතිචාර දක්‌වන්නේ වෙඩි උණ්‌ඩයෙන් නම්… මිනිසුන් ඝාතනය කරමින් නම්… මේ ආණ්‌ඩුව කටමැන දොඩවන ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්නේ කොහේද…. මේ වෙඩි තැබීම මානසික වියරුවේ ප්‍රකාශනයක්…‘‘(theindependent.lk – 07 August 2013) මේ ප්‍රකාශය බැලූ බැල්මට නිර්භීතය. ලස්සනය. රාජපක්ෂ විරෝධීය. ප්‍රජාතන්ත්‍රවාදීය. නමුත් ඔහු කියන පරිදි ‘ත්ක්කඩියන්‘ නිර්මාණය කළේ කවුද? ඒ ඔබලාය. ඒ උතුරේ දෙමලාට විරැද්ධවය. ‘‘උද්ඝෝෂණවලටත් ආණ්‌ඩුව ප්‍රතිචාර දක්‌වන්නේ වෙඩි උණ්‌ඩයෙන් නම්… මිනිසුන් ඝාතනය කරමින් නම්…‘‘ ඔබලා කියයි නම් එදා එයට ආශිර්වාද කළේ ඔබලාය. ඒ දෙමලාට විරැද්ධවය. තම සහෝදර ජාතියේ දේශපාලන ප්‍රශ්නයට උණ්ඩයෙන් පිළිතුරැ දිය යුතු යැයි දකුණේ ආණ්ඩුව පවසන විට එයට මල් මාලා පළදවා ආශිර්වාද කරමින් රෙජීමය පෝෂණය කළේ ඔබලාය. දැන් එය තමන් දෙසට එල්ල වුනු විට ඔවුන් තක්කඩීන්ය. ඇත්ත ඔවුන් තක්කඩීන්ය. නමුත් තක්කඩීන් බිහි කිරීමට දරදිය ඇදි ඔබලාත් ඔවුන් තරමටම තක්කඩීන්ය. එබැවින් නිරායුද ජනයා වෙත මේ සහසිකත්වය මුදා හල, මුදාහිරීමට මල්පහන් පුදකල සියලු දෙනා තක්කඩීන්ය. නිකන් තක්කඩීන් නොව දේශපාලන තක්කඩීන්ය. නමුත් ඒ තක්කඩිකං වලට තම ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදු ඇත්තේ අහිංසක නිරායුද මිනිසුන්ටය.
ඊනියා මාවිල්ආරැ දියබස්නා මෙහෙයුම
මෙළෙස වතුර ඉල්ලු දකුණේ මිනිසුන්ට පහර දී වෙඩි තැබුවේ හමුදාවේ සන්නද්ධ පිරිස් හෙවත් ‘දැන්‘ දකුණේ බොහෝ අය කියන්නා සේ රණවිරැවන්ය. මේ රණ විරැවන්ම නැගෙණහිරදී වතුර ඉල්ලා අමුණක් වසා දැමූවන්ට එරෙහිව දකුණේ ආශීර්වාදයෙන් බැටන් පොලුවලින් නොව, ලොව තිබෙන නවීන අවිආයුධවිලින් පහර දුන්නේ ය. එම පහර දීමට නම් තබන ලද්දේ දියබස්නා මෙහෙයුම හෙවත් ‘Operation Watershed’ කියා ය. නමුත් ඒ පිළිබදව එක ලද විවිධ දේ පැතීරි ගිය අතර ප්‍රකටව පැතිර ගියේ එල්ටීටීඊ සංවිධානය විසින් එම මාවිල්ආරැ අමුණ වසා දමා එය ඔවුන්ගේ බාරයට ගත් බවය. එය සත්‍ය ය. එය නැවත වරක් මතක් කරමින්, විකල්ප වෙබ් අඩවියේ පළ කර තිබූ දයාන් ජයතිකල මහතාගේ ලිපියකින් ඔහු මෙසේ කියයි. ‘‘මාවිල්ආරු සොරොව්වෙන් සිංහල ජනයාට ජලය බෙදා හැරීම කොටි ත‍්‍රස්තවාදීන් විසින් වළක්වනු ලැබීමත් සමග අවසාන යුද්ධය ඇරැඹිණ. ඒ මාවිල්ආරුව නිදහස් කරගත් හමුදාවම, සිය දෛනික පරිභෝජනය සඳහා වතුර ඉල්ලා සිටි නිරායුධ සිංහල විරෝධතාකරුවන්ට එරෙහිව තිරිසන් සහ තකතිරු අන්දමින් පාලකයන් විසින් යොදාගනු ලැබීමත් සමග, දකුණටත් ආවේය. ‘‘ නමුත් දකුණට එදා පටන් අද දක්වා බොහෝ මාධ්‍යද යුද ඔස්තාර්ලා ද වසන් කළ කොටසක් ද එහි විය. එය නම් දයාන් ජයතිකල මහතා කියනා මෙන් ‘‘මාවිල්ආරු සොරොව්වෙන් සිංහල ජනයාට ජලය බෙදා හැරීම කොටි ත‍්‍රස්තවාදීන් විසින් වළක්වනු ලැබ ඇත‘‘(vikalpa – 05 August 2013) එය සත්‍ය ය.
නමුත් ඒ සත්‍ය තුළ ඇති තවත් සැගවුනු(එවකට දකුණට නොකී) සත්‍යක් දැන හෝ නොදැන දයාන් ජයතිලක මහතා විසින් වසන් කරනු ලබයි. එනම් මහවැලිය විසින් එවකට සැලසුම් කරන ලද්දේ එම සොරොව්වෙන් ජලය දෙනු ලබන්නේ ‘සිංහල ජනයා ජීවත් වන‘ මහවැලි කලාපයට පමණක් යන්නය. එම නිසා එයින් දෙමළ ජනයා ජීවත් වන ප්‍රදේශ වලට ජලය නොලැබීම නිසා එයට විරෝධයක් ලෙස එවකට එම ප්‍රදේශයේ පාලනය ගෙන ගිය එල්ටීටීඊ සංවිධානය එම සොරොව්ව සම්පූර්ණයෙන් ඔවුන් යටතට ගෙන එහි ක්‍රියාකාරීත්වය අඩපණ කළේ ය.
එකම අමුණෙන් සිංහලයාට පමණක් ජලය දී, දෙමළ ජනයාට ජලය නොදීමේ පිළිවෙත කෙතරම් සාධාරණද? එය එල්ටීටීඊ ය එවේලෙහි නොතිබුනත් එම ජනයා සිය විරෝධය පළකරන බවට කිසිදු සැකයක් නොවන්නේ පිපාසයට ජාතියක්, වර්ණයක්, කුලයක් හෝ වෙනත් කිසිවක් නැති බැවිනි. නමුත් මාවිල්ආරැවේ සත්‍ය නොදන්නා දකුණේ බොහෝ ජනයා මාවිල් ආරැ නිදහස් කර ගැනීම වෙනුවෙන් සිය ලේ බිංදුවෙන් පවා එම යුද්ධයට උදව් කළෝය. අවසානයේ මාණුෂීය මෙහෙයුම යැයි කියමින් 2006 අගෝස්තු 11 හමුදාව විසින් මාවිල්අරැව අත්පත්කර ගැනීමෙන් ඇරඹි යුද්ධය අවසන් කරන ලද්දේ දහස් ගණනකගේ රැධිරය උතුරේ තල් ගස් පාමුල දිය වී යන්නට සළස්වමිනි. ඒ දකුණේ බොහෝ දෙනාගේ පිරිත් නූලේ සිට ලේ බිංදුව දක්වා වූ අධිෂ්ඨානයන් ගේ ශක්තියෙනි..!
දැන් එම අධිෂ්ඨානයන් විසින් පෝෂණය කරන ලද රාජපක්ෂ රෙජීමයේ තුවක්කු දකුණට හැරී තිබේ. එ හැරීම ආරම්භ වූයේ අද නොවේ. නිදහස් වෙළද කලාපයෙන්, හලාවත වෙරල තීරයෙන් මෙන්ම ලලිත් කූගන් සහ අන්තරේ සිසුන් ද බිලි ගනිමින් වැලිකඩ සිරගෙදර හිරකරැවන් මෙන්ම වව්නියාවේ සිරකරැවන් ද බිලි ගනිමින් දින, මාස ගණනාවක් ගොස් තිබේ. එය දැන් පැමිණ ඇත්තේ වැලිවේරියටය. දැන්වත් මාවිල්ආරැ මිනිසුන් ඉල්ලූ වතුරත්, වැළිවේරිය මිනිසුන් ඉල්ලෟ සිටි වතුරත් එකම වතුරක් නොවේ දැයි තමන්ගෙන්ම ප්‍රශ්ණ කර ගත යුතුව තිබේ. එසේ නොවුනහොත් තව තවත් අහිංසකයින් මහ පාරේ ආඩම්බරකාර තුවක්කුවලට බිලි වීමට ඉඩ තිබෙනු ඇත. එය වලක්වාගත හැක්කේ දැන්වත් අනෙකා වෙනුවෙන් අනෙකාගේ නිදහස වෙනවුවෙන් පෙනී සිටීමෙන් පමනි. මක් නිසාදයත් අනෙකාගේ නිදහස වැළලීමට උත්සහ කරන කිසිදු ජාතියකට කිසිදු දිනක නිදහස අත්පත් කර ගත නොහැකි නිසාය.
[Image Credit: twitter.com – dharisha @tingilye]