Colombo, Democracy, Features, Human Rights, Human Security, Life quips, Peace and reconciliation, Politics and Governance

රතුපස්වලින් ප්‍රශ්ණයක් අසමු… | උතුරට බලය දෙනවාට එකගද?

[Image Credit: Sankha Widanagamage]

රතුපස්වල පිපාසයට දියබිදක් ඉල්ලා සිටි ජනයාට රාජ්‍යයේ මිලිටරිය යොදවා පහර දීමෙන් පසු එතෙක් පැවති දකුණේ ප්‍රධාන දේශපාලන කතිකාවේ හැඩය සම්පූර්ණයෙන්ම වෙනස් වී එයට ‘රතුපස්වල’ ආදේශය විය.

විශේෂයෙන් සමාජජාල වෙබ්අඩවි තුළ මීට පෙර තම ඈදුම් ගලවා දමමින් හමුදාව ආරක්ෂා කළ පිරිස් පවා වැලිවේරිය සංහාරයෙන් පසු හමුදාව විවේචනය කිරීමට පටන් ගෙන ඇත. අනෙක් පැත්තෙන් අපගේ විරෝධාර ආරක්ෂක හමුදාව යනුවෙන් පුනපුනා සිය පුවත්පත්වල, ලිපිතුළ, දේශණ තුළ සදහන් ජනතා විමුක්ති පෙරමුණ පවා හමුදාව විවෙචනය කිරීමට පටන් ගෙන ඇත. එපමණක් ​දහස් ගණන් දෙමළ ජනයා ඝාතනය කිරීමේදී දකුණේ කිරිබත් කෑ, රණවිරු උපහාර පැවැත්වූ ජනයා හමුදා උතුරේ කෙසේ හැසිරෙන්න ඇතිද කියා විමසති.

අප මෙය තේරුම් ගන්නේ කෙසේද ?

මෝර්ටන් රේ [Morton Rhue] ගේ ‘The Wave’ නම් කෘතියේ කථා නායික දැරිය වන ලවුරී විසින් එහි කථා නායකයා වන ගුරුවරයා වූ රෝස් මහතාගේ ඉතිහාස පාඩම අතරතුර හිට්ලර් සහ නාසිවාදය සම්බන්ධයෙන් වන චිත්‍රපටක් තම පන්තියේ පෙන්වීමෙන් අනතුරව ​ෙඑතිහාසික ප්‍රශ්ණයන් අසා සිටී. ඇයගේ ප්‍රශ්ණය නම් සිටින්නේ ජර්මනියේ නාසි 8% ක් නම් 92% වන නාසි නොවන ජනයා කුමක් කලේ ද යන්නයි.? ගුරුවරයා හෙල්ලුම් කන එම ප්‍රශ්ණයට ප්‍රයෝගිකය පිළිතුරු සැපයීමට එම විදුහල තුළ ‘රැල්ල’ නමින් කණ්ඩායමක්, නීති සහ සටන්පාඨ ගොඩනගයි. එය මිලිටරි-පැසිස්ට් මොඩලයක් වන අතර එහි නායකත්වය කිසිදු ලෙසකින් ප්‍රශ්ණ කිරීම ද්‍රෝහී ක්‍රියාවකි. එසේ ප්‍රශ්ණ කරන්නෙකු තවදුරටත් තබනවාද නැද්ද යන්න පිළිබද තීරණය කරනු ලැබන්නේද නායකත්වය විසිනි. නායකත්​වයේ අණ ක්‍රියාත්මක කරනු ලැබන්නේ ඔහුට අනුගාමික ආරක්ෂක ආකෘතියක් විසිනි. ඔවුන් සිතන්නේ තමන් විසින් සිදුකරනමින් සිටිනනේ ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් බවයි.

කථාව අවසානයේ ගුරුවරයා පෙන්වා දෙන්නේ මිලිටරි-පැසිස්ට් රාජ්‍යක් තුළ එය මෙහෙයවන්නනේ කුඩා කණ්ඩායමක් වුවද එය සමස්ථ සමාජය එයින් මෝහණයට පත්කරනු ලබන බවයි. එයට මෝහනයට පත්වන පිරිස් දෙකොට්ඨාශයක් වෙයි. පළමු කොටස රාජ්‍යයට ඇති බිය නිසාවෙන් ද දෙවැනි කොටස තමන්ගේ යටපෙළ ආශාව නැතහොත් තමන්ගේ අවිඥානික ආශාව සමග රාජ්‍යයේ ව්‍යාපෘතිය සමපාත වන නිසාවෙන් එයට කැමැත්තෙන්ම එයට මෝහනයවනවා පමණක් නොව ඔවුන් රාජ්‍යයේ ව්‍යාපෘතියට සුබපතති.

එය ශ්‍රී ලංකාවට අදාළව බැලීමේදී එය ජනතා විමුක්ති පෙරමුණ, දයාන් ජයතිලක, සුමනසිරි ලියනගේ, වික්ටර් අයිවන් වැනි අය අයත් වන්නේ ඉහත සදහන් කළ දෙවැනි කොටසටය.

ලෝකයේ වඩාත්ම හමුදාකරණය වූ රාජ්‍යන්ගේ දර්ශකයට පෙන්වා දෙන්නේ [Global Militarization Index] රාජ්‍යයන් 132 කින් ශ්‍රී ලංකාව හිමිවන්නේ 41 වැනි ස්ථානය බවයි. මෙම ස්ථානය තීරණය කිරීමට දළ දේශීය නිෂ්පාදනය, එම රටේ සෞඛ්‍ය දර්ශකය, පැරාමිලිටරි ගණන සහ රටේ ජනගහණය මෙන්ම එම රට සතුවන මහාපරිමාණ අවිද බලපානු ලබයි. මෙහිදී අපට බියවීමට සිදුවන කාරණාව වන්නේ අප වැනි කුඩා රටක මිලිටරිය මෙතරම් ශක්තිමත් වීම එම රටේ මිලිටරි නොවන අනෙක් සියලු සංස්ථාපිතයන්ට කෙසේවත් හිතකර නොවන හෙයිනි.

එක්සත් ජාතික පක්ෂයේ භීෂණයට එරෙහිව 1994 සියලු සමාජ ප්‍රජාතත්ත්‍රවාදීන් එකතුවී ගෙන ආ සමයේ දූතිකාව මාර දුතිකාවන් වී රට බරපතල ලෙස හමුදාකරණය කිරීමේ පළමු ඉතිහාසගත පියවර රාශියක්ද ගත අතර දෙමළ වර්ග සහාරයේදී යොදාගත් මල්ටි බැරල් නම් සංහාරක අවියද ඇයගේ සමයේදී හමුදාවට එකතු විය. ඉන් අනතුරුව රාජපක්ෂ පාලනය තුල හමුදාව ප්‍රමුඛ සාධකයක් බවට පත්විය. රාජපක්ෂ පාලනය පුරා එක මහා පොදු සාධකයක් වෙයි.

රාජපක්ෂක ලේකම්, ජනාධිපති, හමුදාව විචේචනය කළ නොහැකිය. විවේචනය කරන්නන් ද්‍රෝහීන්ය. මෙම සාධකයට යොදා පසුගිය කාලයේ රාජපක්ෂ රජය සිදුකළ ක්‍රියා ගණන් හදන ලෙස අප ඔබට යෝජනා කරමු.

උතුර සහ දකුණ

උතුරේ සෑම වැසියන් 5 දෙනෙකුටම එක හමුදා භටයෙකු වන හමුදා ගණත්වයක් ඉන්දියාවේ ජම්මු කාෂ්මීර ප්‍රදේශයට පමණක් ​දෙවැනි හමුදාකරණයක් උතුරේ පවතින බවට විවිධ වාර්තා මගින් ද ලිපි මගින්ද පෙන්වා දුන්නද දකුණේ මාධ්‍ය සහ බහුතර ජනයා පවසා සිටියේ එය ආරක්ෂක ලේකම්ට, ජනාධිපතිට සහ හමුදාවට එරෙහි කුමන්ත්‍රණයක් බවයි.

70,000 – 10,000 අතර දෙමළ ජනයා යුද්ධයේ අවසාන අදිය​රේදී ඝාතනය වී ඇති බව එක්සත් ජාතීන්ගේ වාර්තා මගින් පෙන්වා දෙනවිට දකුණේ මාධ්‍ය සහ බහුතර ජනයා පවසා සිටියේ එය ආරක්ෂක ලේකම්ට, ජනාධිපතිට සහ හමුදාවට එරෙහි කුමන්ත්‍රණයක් බවයි.

පුදුකුඩිඉරිපුපු රෝහලට හමුදාව විසින් ෂෙල්වෙඩි ප්‍රහාර එල්ල කළ බව අල්-ජසීරා රෑපවාහිනියේ විසින් පෙන්වා දෙන විට දකුණේ මාධ්‍ය සහ බහුතර ජනයා පවසා සිටියේ එය ආරක්ෂක ලේකම්ට, ජනාධිපතිට සහ හමුදාවට එරෙහි කුමන්ත්‍රණයක් බවයි.

ආරක්ෂක හමුදාවන් විසින් අත්අඩංගුවට ගන්නා සහ රදවාතබා ගන්නා දෙමළ පිරිස් විවිධ ලිංගික හිංසාවන්ට සහ දූෂණයන්ට ලක්වන විට දකුණේ මාධ්‍ය සහ බහුතර ජනයා පවසා සිටියේ එය ආරක්ෂක ලේකම්ට, ජනාධිපතිට සහ හමුදාවට එරෙහි කුමන්ත්‍රණයක් බවයි.

වලිකාමන් උතුර ඉඩම් අක්කර 6380 පර්චස් 91 ක් හමුදා අධිආරක්ෂිත කලාප ලෙස පවරා ගැනීමට එරෙහිව එම ජනයා විරෝධතා​වයේ යෙදෙන විට දකුණේ මාධ්‍ය සහ බහුතර ජනයා පවසා සිටියේ එය ආරක්ෂක ලේකම්ට, ජනාධිපතිට සහ හමුදාවට එරෙහි කුමන්ත්‍රණයක් බවයි.

පහන් පත්තුකරනු ලැබූ යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍යන් හට පහර දීම හෙළාදැකින විට දකුණේ මාධ්‍ය සහ බහුතර ජනයා පවසා සිටියේ එය ආරක්ෂක ලේකම්ට, ජනාධිපතිට සහ හමුදාවට එරෙහි කුමන්ත්‍රණයක් බවයි.

ඉසිප්‍රියා ඇතුලු තවත් දහස් ගණනක් කාන්තාවන් හමුදාව විසින් දුෂණය කිරීම සහ යටත් වූ දෙමළ විමුක්ති සටන් කාමීන් හමුදාව විසින් ඝාතනය කරනු ලැබූ බව චැනල් ෆෝ විසින් හෙළිදරව් කරන විට දකුණේ මාධ්‍ය සහ බහුතර ජනයා පවසා සිටියේ එය ආරක්ෂක ලේකම්ට, ජනාධිපතිට සහ හමුදාවට එරෙහි කුමන්ත්‍රණයක් බවයි.

දකුණේ ජනයා තේරුම් ගත යුතු මූලධාර්මික ප්‍රශ්ණය වන්නේ හමුදාව යනු කුමක්ද යන්නයි. හමුදාවක් යනු රාජ්‍ය අණ කිසිදු ප්‍රශ්ණ කිරීමකින් ​තොරව ක්‍රියාත්මක කිරීමට බැදී සිටින මුරබල්ලන්ය. හමුදා නීතියට අනුව ප්‍රශ්ණ කිරීමට ද්‍රෝහී ක්‍රියාවකි. එවැනි වූ මුර බල්ලන් පිරිසක් සමාජ උත්කර්ෂයට නැංවීමේ ඉතිහාසගත වරද අද වනවිට දකුණේ ජනයාට තිළිණ කර ඇත්තේ හමුදා රාජ්‍යයකි.

එවැනි රාජ්‍යයකින් එක්සත් ජාතික පක්ෂය අසන වෙඩි තියන්න අණ දුන්නේ අයියා ද මල්ලී ද වැනි ගොන් ප්‍රශ්ණ අසා වැඩක් නැත. නැතහොත් වෙඩි​ නෙතබා විරෝධතා මර්ධනය කරන්න තිබුණාය වැනි බටලන්ද න්‍යායන් ඉදිරිපත් කර මේ රටට අත්වන සෙතක් නැත. දකුණේ ජනයාට දැන් පවතින හමුදා රාජ්‍යයෙන් ගැලවී විමුක්තිය උදාකරගත හැකි එකම මාර්ගය වන්නේ ද පවතින තත්ත්වයන් සංඝටකයන් පිළිබද සැබෑ ලෙස තේරුම් ගැනීම සහ සැබෑ දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම සහ එය වටා එකතුවීමෙන් පමණි.

වැලිවේරිය සිදුවීම පුර්ව සහ පශ්චාත් සන්දර්භයන් තුළ විධාරණය කර ගැනිම බොහෝ දෑ තේරුම් කර ගැනීමට අවස්ථාව සලසා දෙනු ලබයි.

සමස්ථ සිදුවීම දෙස නැවත හැරී බැලූවිට මෙහි නිතර පැමිණෙන නමක් වෙයි. ගෝඨාභය රාජපක්ෂ. මොහු කවුද? ආරක්ෂක අමාතංශයේ ලේකම් බව සැවොම දන්නා කරුණකි. නමුත් වතුර ඉල්ලන ජනයාට සහ පරිසරයට හිතකර නොවන කාර්මාන්ත ශාලාවක් අතර ප්‍රශ්ණයට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා අදාළ වන්නේ කෙසේද ? ඔහු සමග සංකච්ඡා පවත්වන්නේ කෙසේද? මන්ද මෙරට ජනයාගේ බදු මුදල්වලින් මුදලින් යැපෙන පරිසර අමාත්‍යවරයෙකු සිටී. මහජන සම්බන්ධතා අමාත්‍යවරයෙකු සිටී. මෙම ප්‍රශ්ණයේදී අප පරිසර ඇමතිවරයාගේ කිසිදු ප්‍රකාශයක් දුටුවේ නැත. අනෙක් පැත්තේ මහජන සම්බන්ධතා ඇමතිවරයා වාචලයෙකු පමණක් වූවද එම අමාතං්‍යශයේ විෂයට අදාළ රාජ්‍ය නිළධාරියා වන අමාත්‍යංශයේ ස්ථීර ලේකම් මේ ප්‍රශ්ණයට මැදිහත් වනු අප නොදුටුවෙමු.

නමුත් අප දකිමින් සිටින්නේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ප්‍රශ්ණයේ කේන්ද්‍රය බවට පත්වී තිබීමයි. අවසානයේ තිදෙනෙකු ඝාතනය කරමින් විරෝධතා මැඩලීමට අණ නිකුත්වූයේද ඔහුගෙනි. එය බියකරු සංඥාවකි. කටුනායකදී ද හලාවතදී ද මීගමුවේදී ද දුටු වක්‍ර සඥාවන්ට වඩා ශ්‍රී ලංකාවේ පාලනයේ කේන්ද්‍රීය ලක්ෂය බවට හමුදාව හෙවත් මිලටරිය පත්වී ඇති බවට ඉතා බිහිසුණු වැලිවේරිය සිදුවීමෙන් ලබා දී ඇත.

මීට පෙර ශ්‍රී ලංකාව ඉතිහාසයේ කවදාකවත් වඩා හමුදා පාලනයක් වෙත යන බවට බිහිසුණු පණිවුඩය ලැබුණේ උතුරෙනි. නමුත් එම අවස්ථාවේදී ඒ පණිවුඩය දකුණේ මාධ්‍ය සහ බහුතර ජනයා කියවා ගත්තේ එය ආරක්ෂක ලේකම්ට, ජනාධිපතිට සහ හමුදාවට එරෙහි කුමන්ත්‍රණයක් ලෙසිනි. එහි ප්‍රතිපළ දැන් අත්විදිමින් සිටිමු.

වැලිවේරිය පශ්චාත් මරණ පරීක්ෂණය

වැලිවේරිය සිදුවීමේ තවත් විදාරණය කිරීමේදී හමුවන ​අනෙක් කරුණ වන්නේ රට හමුදා පාලනයකට නතුවීමෙන් පසු එහි පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට පැමිණ තිබෙන්නේ ද මේ හමුදාකරණයේ නිර්මාපකයන් විසින් බවයි. මේ දිනවල ප්‍රමුඛ ලියන්නෙකු බවට පත්වී සිටින දයාන් ජයතිලක නැවත අපට හමුවන්නේ ඒ හේතුවෙනි. නන්දිකඩාල් කලපුව සහ වැලිවේරිය සමපාත කරන ජනතා විමුක්ති​​ පෙරමුණ වැනි සිය විප්ලවීය ආත්මය ධනපති පාලකයන්ට මිනීමරු හමුදාවන්ට පාවාදුන් පක්ෂය. අ​නෙක් පිරිස වන්නේ සෑමවිටම එක් තක්කඩියෙකු වෙනුවට තවත් තක්කඩියෙකු පාලනයට ගෙනවිත් තමන්ගේ කොටස අහිමිවූවිට කෑමොර දෙන සුමනසිරි ලියනගේ, වික්ටර් අයිවන් වැනි ශරීරයන් ය. මේ පිරිස් උත්සහා කරනුයේ තත්ත්වයන් කළමනාකරණය කිරීමට මිස සමාජය මෙම ඛෙදවාචකයෙන් පෙළාපැන්වීමට නොවේ. දකුණේ ජනයා තවත් තේරෙණු භාෂාවෙන් කියන්නේනම්, මේ පිරිස් වඩා කැමති නේරංජනාවෙන් එතෙරට වීමට නොව නේරංජනාවේ දිය නැමටය.

වැලිවේරිය සිදුවීමෙන් ප්‍රමුඛව මතුවන කාරණාව දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාවය ය. ව්‍යාපාර නායකත්වයක් නොමැති විරෝධාතාවයකට යන්න පුලුවන් දුර ඉන් අපට පෙන්වා දුනි. එසේම තිබෙන දේශපාලන පක්ෂයන්ගේ අලසකම ද එයින් උවමානවටත් වඩා පෙනුනි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි පක්ෂ තමන්ගේ කාමර තුළ සංවාද කරමින් සිටියදී බොහෝ දෑ සිදුවී හමාරය. මහජන නැගිටීමකට දේශපාලන ව්‍යාපාරයක් නායකත්වය නොදීම තුළ වියහැකි වැඩිම හානිය විය හැක්කේ දේශපාලන අර්ථයෙනි.

එය තේරුම් ගැනීමට හෙට දිනයේ දී රතුපස්වල වැසියෙකුගේ අප මෙලෙස අසමු “උතුරේ දෙමළ ජනයාට පොලිස් බලතල සහ ඉඩම් බලතල දෙනවාට ඔබලා එකගද?…”


පසන් ජයතිලක
| Pasan Jayathilaka