පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන්
වත්මන් ජනාධිපතිවරණ සටනේ තහනම් වචනය “බලය බෙදීමය” ය. විශේෂයෙන්ම ජනාධිපතිවරණ සටනේ තීරණාත්මක භූමිකාවක් රඟපාන ජවිපෙ සම්බන්ධයෙන් ඕනෑවටත් වඩා ඇත්ත ය. එසේ නමුත් වචනය තහනම් කිරීමෙන් මෙරට දෙමළ ජනයාගේ ජාතිකත්වය මත පදනම් වූ ප්‍රශ්ණ තහනම් වන්නේ නැත. නිදහසින් පසු ශ්‍රී ලංකාව ඉගෙන නොගත් අමිල දේශපාලන පාඩමක් වී ද ඒ මෙරට දෙමළ ජනයා මුහුණ දෙන වාර්ගික පීඩනයට දේශපාලන විසඳුමක අවශ්‍යතාවය යි. මෙම තවදුරටත් හුදෙක් දේශපාලඥයින්ගේ සටන් පාඨයක් නොවේ. අඩ සිය වසක් ඉක්ම වූ විෂම පාලනය විසින් දැන් එය මෙරට දෙමළ ජනයාගේ සාමූහික විඥානය බවට පත් කොට තිබේ. රාජපක්ෂ කඳවුරට සහාය දෙන ඩග්ලස් දේවානන්දාගේ සිට සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් දක්වා ද ෆොන්සේකා පෙරමුණට සහාය දෙන මනෝ ගනේෂන් ගේ සිට රවුෆ් හකීම් දක්වා ද දැකිය හැකි පොදු සාධකයක ද එය යි. එනම් මෙරට සුළුතර ප්‍රජාවන්ට විශේෂයෙන්ම උතුරු නැගෙනහිර දෙමළ ප්‍රජාව සඳහා එක්සත් ශ්‍රී ලංකාවක් තුළ ස්වයං පාලන දේශපාලන ව්‍යුහයක අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටීම යි.
එනමුත් අප රටක් වශයෙන් මෙම අතිශය තීරණාත්මක ප්‍රශ්ණය දිනෙන් දින පසු පසට දමමින් සිටිමු. නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි මාධ්‍ය නිදහස පිළිබඳ අන්තර් ජාතික දූත කණ්ඩායමෙහි වාර්තාව ලොවට කියන්නේ පශ්චාත් යුද්ධ දේශපාලන සාකච්ජාව තුළ ශ්‍රී ලංකාව සුළුතර ප්‍රජාවන්ගේ සාධාරණ දුක්ගැණවිලි සහමුළින්ම වාගේ අමතක කර දමා ඇති බවයි. ඒ මෙසේ ය:
“අන්තර් ජාතික දූත කණ්ඩායම හමු වූ මාධ්‍ය නිරීක්ෂකයින් කියා සිටියේ මැයි 19 දා යුද්ධය අවසන් බව නිල වශයෙන් ප්‍රකාශ කිරීමෙන් පසුව දෙමළ සහ මුස්ලිම් සුළුතර ප්‍රජාවන්ට සාධාරණ විසඳුමක් සහතික කරනු ඇති දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ කතාබවක් කිසිසේත් ම නොකෙරෙන බව යි. යුද්ධයෙන් පසු ඇති වූ ප්‍රසිද්ධ සංවාදයන් තුළ මෙම කාරණය ඊට හිමි නිසි වැදගත්කමින් යුතුව සාකච්ජා නොවූ බව බොහෝ ජනමාධ්‍යවේදීහු ද නිරීක්ෂකයෝ ද විශ්වාස කරති. දේශපාලනඥයින් මේ තාක් දක්වා ඇත්තේ එම සාකච්ජාව න්‍යාය පත්‍රයෙන් පිටමං කිරීමට ඇති අභිලාෂය යි. අන්තර් ජාතික දූත කණ්ඩායම මුණ ගැසුනු දේශපාලන ප්‍රධානීන් සුළුතර ප්‍රජාවන්ගේ හදිසි අවශ්‍යතා පිළිබඳ සාකච්ජා කිරීමට මැලිකමක් දැක් වු අතර ඒවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට වඩා අඩු වැදගත් කමක් ඇති කරුණූ සේ සැළකූහ.”
රාජපක්ෂ දිනූව ද ෆොන්සේකා දිනූව ද අප ප්‍රජාතන්ත්‍රවාදී මාවතේ ගමන් කරන්නේ නම් 2010 වර්ෂය තුළ ශ්‍රී ලංකාවේ සිදුවිය යුතු තීරණාත්මක ම දේශපාලන වර්ධනය බලය බෙදීම ය. වෙනත් වචනයෙන් කියන්නේ නම් දෙමළ ජනයාට දේශපාලන විසඳුමක් සැපයීම යි. වැළැක්විය නොහැකි තරමේ ප්‍රවේගයක් අත්පත් කර ගන්නා ඇති ඒ අරමුණ කරා වූ අභ්‍යන්තර මෙන්ම බාහිර දේශපාලන ගතිකත්වයන් විසින් 2010 වසර තුළ ශ්‍රී ලංකාව බලය බෙදීමේ දේශපාලන සංස්කෘතියක් කරා තල්ලු කරනු ඇත. එමගින් ශ්‍රී ලංකාවේ දේශපාලනය මධ්‍යයේ සහ පරිවාරයේ වශයෙන් නව හැඩයක් ලබා ගැනීම ද ඇරඹෙනවා ඇත. දැනටමත් තහවුරු වී ඇති සන්ධාන දේශපාලනය පරිවාරයෙහි ද දීර්ඝකාලීන දේශපාලනය බවට පත්වනු ඇත.
අවශ්‍ය දේශපාලන වෙනස්කම් ඇති කර නොගතහොත් මෙම වර්ධනය විසින් ප්‍රධාන දේශපාලන ධාරා අතුරින් ගැඹුරු අර්බූදයකට යවනු ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ යි. මන්ද යත් එය තවමත් ගමන් කරන්නේ කිසිදු බලය බෙදීමකට එරෙහිව ඒකීය ලංකාවක් තුළ සෑම පුරවැසියකුට ම සමානාත්මතාවය ලබා දීම මගින් දෙමළ ජනයාගේ ප්‍රශ්ණ විසඳිය හැකිය යන පොතේගුරුවාදී මාවතෙහි නිසා ය. එනමුත් පසුගිය කාලය පුරා ජවිපෙ දෙමළ ජනතාවගේ විශේෂයෙන් ම කඳවුරු ගත කරන ලද වන්නි ජනයාගේ අයිතීන් උදෙසා කැපී පෙනෙන උද්ඝෝෂනයක නිරත විය. අත් අඩංගුවට ගන්නා ලද දෙමළ සරසවි ශිෂ්‍යාවක නිදහස් කරන සේ ඉල්ලා පෝස්ටර් ව්‍යාපාරයක් ද දියත් කළා ය. ජවිපෙ පා.ම. චන්ද්‍රසේකරන් පසුගිය සතියේ යාපනයට දේශපාලන චාරිකාවක ගොස් එහි පුවත්පත් කාර්‍යාලයන්ට ද ගොඩ වූවා ය. මේ සියල්ල සාධනීය ලකුණු ය.
මෑත දී ග්‍රවුන්ඩ්විව්ස් වෙබ් අඩවියට ලියමින් ජවිපෙ හිටපු ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාගේ ප්‍රශ්ණ පිළිබඳ විවාදය වසර 30ක් තරම් ජවිපෙ ඉතිහාසයට ගමන් කරන බව යි. 1980 ගණන් මුල දී යාපනයේ ප්‍රදේශ ගණනාවකම ජවිපෙ ශාඛා ගොඩනැගෙමින් පැවැති බවත් දෙමළ ජනයාගේ ස්වයං තීරණ අයිතිය පක්ෂය එකළ පිළිගත් බවත් ඔහු සදහන් කරයි. එසේ නමුත් 1982 ජනාධිපතිවරණයේ දී දකුණෙන් මෙන්ම උතුරෙන් ද විජේවීර අපේක්ෂා කළ ජන්ද ලැබුණේ නැත. ඊටත් වඩා නැගී එමින් තිබූ දෙමළ බෙදුම්වාදී රණකාමී ව්‍යාපාරය කරා දෙමළ තරුණ පිරිස් වේගයෙන් ඇදී යමින් තිබුණී. ඊට විකල්පයක් වීමට ජනතා විමුක්ති පෙරමුණට ඉතිහාසීය සාධක විසින් ඉඩ දුන්නේ නැත.
1983 කලු ජූලියට ජවිපෙ කිසිදු සම්බන්ධයක් තිබුණේ නැත. නමුත් එය තහනමට ලක් වූ අතර පක්ෂයට රහසිගත වීමට බල කෙරුණි. උතුරෙහි තරුණ පිරිස් බෙදුම්වාදී ව්‍යාපාර කරා ඇදී යාම විසින් දෙමළ ජනයා අතර ජවිපෙ ක්‍රියාකාරිත්වය ඇණ හිට තිබුණී. දකුණේ දෙමළ විරෝධය උච්චස්ථානයට පත් වීම 1983 විසින් සටහන් කළේ ය. ජවිපෙ යළි ඉන්දියනු ව්‍යාප්තවාදය සිය ගාමක දේශපාලනය බවට පත් කර ගත්තා ය. ඉන් පසු සිදු වූ සියල්ල ශ්‍රී ලංකා ඉතිහාසයේ ලෙයින් යකඩින් ලියැවුණූ තවත් පරිච්ජේදයක් බවට පත් විය.
නමුත් අද තත්ත්වය වෙනස් ය. රණකාමී දෙමළ බෙදුම්වාදී ව්‍යාපාරය යුද්ධමය පරාජයක් ලැබ පසුබැස ගොස් තිබේ. දෙමළ දේශපාලනය නව ඉසව් සොයමින් අන්තර්කාලීන අවදියක් හරහා ගමන් කරයි. ප්‍රචණ්ඩත්ව දේශපාලනය වෙනුවට පවත්නා ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ දෙමළ සිවිල් සමාජය සහ දේශපාලන සමාජය විසින් උරගා බලනු ඇති කාලයක් අප ඉදිරියේ දිග හැරෙයි. සිංහල ජනයාට ද මරු කැඳ වූ බෙදුම්වාදී සන්නද්ධ දේශපාලනය අහෝසිවීම විසින් සිංහල ජාතිකවාදය මත පදනම් වූ දේශපාලන ව්‍යාපාර ක්‍රමයෙන් දුර්වල වීම ද ඇරඹෙනු ඇත.
ජනාධිපතිවරණයෙන් පසු තව දුරටත් එජාපය හෝ ශ්‍රිලනිපය සමඟ එකට ගමන් කිරීම ජනතා විමුක්ති පෙරමුණට බොහෝ දුරටම දුෂ්කර වනවා ඇත. ඉන් පසු විවෘත වනු ඇත්තේ මහා මැතිවරණ සටන් භූමිය යි. නව දේශපාලන සන්ධානයන් පිළිබඳ සිතා බැලීමට බල කැරෙන දේශපාලන වර්ධනයන් ඒ විසින් ඇති කරනු ඇත. වාමාංශික දේශපාලන බලවේගයන්ගේ ස්වභාවික මිතුරු බලවේගයන් වන්නේ එක අතෙකට සමාජ සාධාරණත්වය සහ මානව සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් සඳහා සටන් කරන සිවිල් ව්‍යාපාර සහ අනෙක් අතට සමාජ දේශපාලන විශමතාවයන්ට ලක්වන වාර්ගික හෝ වේවා අන් අනන්‍යතාවයක හෝ වේවා සුළුතර ප්‍රජාවන් ය.
දෙමළ ජනයාගේ අයිතීන් සඳහා සටන් කරන ඊ.පී.ආර්.එල්.එප්. සහ ප්ලොට් වැනි සංවිධාන පැන නැගුණේ වාම මූලයන්ගෙනි. විදේශ ගත දෙමළ ප්‍රජාව තුළ ද වාම දෘෂ්ඨිකෝණයක් සහිත ක්‍රියාකාරී පිරිස් සිටිති. වතුකරයේ කඳුරට ජනතා පෙරමුණෙහි ද එවැනි ක්‍රියාකාරීහු සිටිය හ. එමෙන්ම රටපුරා විසිරී සිටින මානව හිමිකම් සහ සමාජ සාධාරණත්ව සිවිල් සමාජීය ක්‍රියාකාරීන් අතරද බහුතරය වාමංශික අදහස්වලට බරය.
ශ්‍රී ලංකාවේ සෑබෑ වාම දේශපාලන ව්‍යාපාරයක් තිබේ නම් එය සිය ළඟම සහ දීර්ඝ කාලීන මිතුරු බලවේග ලෙස සළකනු ඇත්තේ ධනවාදී දේශපාලන පක්ෂ නොව පිඩීත ජන ප්‍රජාවන් නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරයන් ය. එමෙන්ම හුදෙක් සිවිල් සමාජ ව්‍යාපාරයන් ය. ජනාධිපතිවරණය විසින් මුදාහැර ඇති එක් ගතිකත්වයක් වන දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ සමඟ සන්ධාන ගතවීම ඉදිරියට ගෙන යමින් සංවාදයකට එළඹ බලය බෙදීම කෙරෙහි සාධනීය පිළිවෙතකට ගමන් කිරීමට ජවිපෙ සමත් වනු ඇත් ද යන්න එහි අනාගතයට තීරණාත්මක ය. මන්ද යත් ඉදිරියට යාමේ වාමාංශික මඟ ඇත්තේ ඒ හරහා නිසා ය. අනෙක් අතට උතුරු නැගෙනහිර දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදී කිරීම ශ්‍රී ලංකාවෙහි ප්‍රජාතන්ත්‍රකරණ ක්‍රියාවලියේ තීරණාත්මක මධ්‍ය ලක්ෂයක් ද වන නිසා ය.
පශ්චාත් යුද්ධ ශ්‍රී ලංකාව දැන් එළඹෙමින් සිටින්නේ මහත් දේශපාලන චලනයන්ගේ අවධියකට ය. බලය බෙදීම කරා වූ චලනය ඒ අතර ප්‍රධානය. ජවිපෙ එහිදී සිටිනු ඇත්තේ කොයි පැත්තේ ද යන්න සමස්ත ශ්‍රී ලංකාවට ද ඊටත් වඩා ජනතා විමුක්ති පෙරමුණට ම තීරණාත්මක ය. අලුත් දේශපාලන තත්ත්වයන් විසින් නව සිතාබැලීම් ඉල්ලා සිටී. ජවිපෙ දැන් මුහුණ දෙන අභියෝගය එය යි.