වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍ය ගාමිණී විජිත් විජිතමුණි සොයිසා මහතා ගේ අනුදැනුම යටතේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සහකාර අධ්යක්ෂ ඩබ්ලිව්.එස්. වේරගම මහතා ගේ මගපෙන්වීමට අනුව තන්තිරිමලේ වනජීවී අඩවි කාර්යාලයේ අඩවි ආරක්ෂක සාලිය බණ්ඩාර මහතා ගේ අධීක්ෂණයට යටත්ව මේ නීති විරෝධී මහ පරිමාණ බොරලූ කැපීමේ ජාවාරම සිදු කෙරෙමින් පවතින බව පරිසර සංරක්ෂණ භාරය වාර්තාවක් නිකුත් කරමින් කියා සිටියී. එම වාර්තාව වැඩිදුරටත් සදහන් කරන්නේ, ජුනි 13 වන දින සිට මේ දක්වා කාලය තුළ දී මාග ඉංජිනේරු පුද්ගලික සමාගම මගින් මෙම ස්ථානයේ වැවක් තනන බවට ව්‍යාජ ලෙස සඳහන් කරමින් ටිපර් රථ 50 ක් හා බැකෝ යන්ත්‍ර 3 ක් උපයෝගී කරගෙන ජාතික වනෝද්‍යානයේ අක්කර 100 කට වැඩි වනාන්තර ප්‍රදේශයක් එළි කර අඩි 20 ක් පමණ ගැඹුර වලවල් සකසමින් මේ මහ පරිමාණ බොරලූ කැපීමේ ව්‍යාපෘතිය සිදු කර තිබේ. මේ බොරලූ කැපීම සිදු කරනු ලබන ප්‍රදේශයේ උස් ස්ථානයක් වන අතර ඒ ආශ්‍රිතව කිසිදු ජල මූලාශ්‍රයක් නොපවතී. එවන් ස්ථානයක කිසිදු ආකාරයකින් වැවක් ඉදිකළ නොහැකි අතර ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් දේශපාලන රැකවරණය මධ්‍යයේ මේ මහා පරිමාණ නීති විරෝධී බොරලූ කැපීම සිදු කර තිබෙන බවයි.
පහත පළවන්නේ එම සම්පූර්ණ වාර්තාවයි
මොල්ලිකුලම් – සිලාවතුර මාර්ගය ඉදිකිරීම සඳහා අවශ්‍ය බොරලූ ලබාගැනීමට මාග ඉංජිනේරු පුද්ගලික සමාගම මගින් විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ මහ පරිමාණයෙන් වනාන්තර එළි පෙහෙළි කරමින් නීති විරෝධී ලෙස බොරලූ කැපීමේ කටයුතු සිදු කෙරෙමින් පවතී. කිලෝමීටර 30 කින් යුත් මේ මාර්ගය ඉදිකිරීම සඳහා විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ කලාප අංක 4 ට අයත් බොරලූවල ප්‍රදේශයේ මේ මහ පරිමාණ බොරලූ කැපීම සිදු කරනු ලැබේ.
වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍ය ගාමිණී විජිත් විජිතමුණි සොයිසා මහතා ගේ අනුදැනුම යටතේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සහකාර අධ්යක්ෂ ඩබ්ලිව්.එස්. වේරගම මහතා ගේ මගපෙන්වීමට අනුව තන්තිරිමලේ වනජීවී අඩවි කාර්යාලයේ අඩවි ආරක්ෂක සාලිය බණ්ඩාර මහතා ගේ අධීක්ෂණයට යටත්ව මේ නීති විරෝධී මහ පරිමාණ බොරලූ කැපීමේ ජාවාරම සිදු කෙරෙමින් පවතී. ජුනි 13 වන දින සිට මේ දක්වා කාලය තුළ දී මාග ඉංජිනේරු පුද්ගලික සමාගම මගින් මෙම ස්ථානයේ වැවක් තනන බවට ව්‍යාජ ලෙස සඳහන් කරමින් ටිපර් රථ 50 ක් හා බැකෝ යන්ත්‍ර 3 ක් උපයෝගී කරගෙන ජාතික වනෝද්‍යානයේ අක්කර 100 කට වැඩි වනාන්තර ප්‍රදේශයක් එළි කර අඩි 20 ක් පමණ ගැඹුර වලවල් සකසමින් මේ මහ පරිමාණ බොරලූ කැපීමේ ව්‍යාපෘතිය සිදු කර තිබේ. මේ බොරලූ කැපීම සිදු කරනු ලබන ප්‍රදේශයේ උස් ස්ථානයක් වන අතර ඒ ආශ්‍රිතව කිසිදු ජල මූලාශ්‍රයක් නොපවතී. එවන් ස්ථානයක කිසිදු ආකාරයකින් වැවක් ඉදිකළ නොහැකි අතර ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් දේශපාලන රැකවරණය මධ්‍යයේ මේ මහා පරිමාණ නීති විරෝධී බොරලූ කැපීම සිදු කර තිබේ.
2009 අංක 22 දරණ පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 02 දරණ වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 3, 5, 6 යන වගන්ති සියල්ල උල්ලංඝනය කරමින් ජාතික වනෝද්‍යානය තුළට අනවසරින් ඇතුළුවීම, බැකෝ යන්ත්‍ර ආධාරයෙන් බොරලූ කැපීම, වනාන්තරය එළි පෙහෙළි කිරීම, මාර්ග සකස් කර ටිපර් රථ මගින් බොරලූ ප්‍රවාහනය කිරීම ඇතුළු නීති විරෝධී ක්‍රියා සිදු කර තිබේ. මේ නීති විරෝධී ක්‍රියාවල නිරත වීමට අවශ්‍ය නිර්දේශ ලබාදීමට හෝ අනුමැතීන් ලබාදීමට වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පතනට අනුව කිසිදු හැකියාවක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හෝ අදාළ අමාත්‍යවරයාට නොමැත. එවන් තත්ත්වයක් තුළ මාග ඉංජිනේරු පුද්ගලික සමාගම සඳහා මේ නිර්දේශ හා අනුමැතීන් ලබාදී ඇත්තේ මේ ආඥා පනතේ බලය අතික්‍රමණය කරමිනි.
මීට එරෙහිව වහාම ක්‍රියාමාර්ග ගත යුතු අතර ඊට සම්බන්ධ වූ නිලධාරීන් පමණක් නොව ඒ සඳහා නිර්දේශ ලබාදුන් අදාළ අමාත්‍යවරයා ද මේ සඳහා සම්පූර්ණයෙන්ම වගකිව යුතුව ඇත.
විල්පත්තුව ජාතික වනෝද්‍යානය යනු ලංකාවේ ඉතාම සුවිශේෂී වනෝද්‍යාන සංකීර්ණයකි. කොටස් පහකින් යුක්ත විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පළමු කොටස ප්‍රකාශයට පත් කළේ 1938 පෙබරවාරි 25 වන දා ය. අනුරාධපුරය හා පුත්තලම දිස්ත්‍රික්ක දෙකට අයත් එහි භූමි ප්‍රමාණය හෙක්ටයාර 54953.2 කි. ඉන්පසුව 1967.04.28 වන දින හෙක්ටයාර 7021.4 ක් ද, 1969.08.27 වන දින හෙක්ටයාර 22981.4 ක් ද, 1969.12.05 වන දින හෙක්ටයාර 25252.9 ක් හා 1973.12.07 වන දින හෙක්ටයාර 21484.8 ක් වශයෙන් කොටස් 5 ක් ලෙස විල්පත්තුව ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් කර තිබේ. අද වන විට ඊට අයත් සම්පූර්ණ වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 131693.7 කි. මීට අමතරව විල්පත්තුව ජාතික වනෝද්‍යානය හා සම්බන්ධව තවත් වනාන්තර ගණනාවක් සම්බන්ධ වෙමින් විශාල වනජීවී වාසස්ථානයක් ගොඩ නැගී ඇත.
එනම් විල්පත්තුව උතුරු අභය භූමිය, තම්බෝව අභය භූමිය හා වීරක්කුලිචෝලේ – එලූවන්කුලම යෝජිත රක්ෂිතය වැනි වනාන්තරය. මෙසේ විල්පත්තුව හා ඒ හා සම්බන්ධව ගොඩ නැගී ඇති අනෙක් වනාන්තර පරිසර පද්ධති හේතුවෙන් වනජීවීන් අති බහුතරයකට ලැබුණු රැකවරණය හා කලා ඔය, මෝදරගංආරු වැනි ගංඟාවන්ගේ ජල පෝෂක ප්‍රදේශ වලට ලැබුණු රැකවරණය මෙම වනාන්තර එළි පෙහෙළි කිරීම හා මහ පරිමාණ බොරලූ කැපීම හේතුවෙන් අහිමි වී ඇත.
IUCN Sri Lanka, (2006), Resource Inventory of Wilpattu National Park, IUCN Sri Lanka වාර්තාවට අනුව විල්පත්තුව යනු විවිධ පරිසර පද්ධති අති බහුතරයකින් සැදුම්ලත් ජාතික වනෝද්‍යානයකි. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, කටු පඳුරු සහිත ලඳු කැළෑ, ගංඟාශ්‍රිත වනාන්තර, තෙත් විල්ලූ තෘණ භූමි, වියළිපතන තෘණ භූමි, පිටාර තැනි, වගුරු බිම්, වැව්, කඩොලාන, ලවණ වගුරු, වැලි කඳු හා වෙරළබඩ පරිසර මෙහි දැක ගත හැකිය. මෙම විවිධ වූ පරිසර පද්ධති වලින් කුල 123 කට අයත් මල් පිපෙන ශාක විශේෂ 623 ක් පමණ වාර්තා වී ඇත. ඉන් විශේෂ 27 ක් ලංකාවට ආවේණික වේ.
සමනළුන්, මත්ස්‍යයින්, උභයජීවීන්, උරගයින්, පක්ෂීන් හා ක්ෂීරපායීන් යන සත්ත්ව කාණ්ඩ හයට අයත් විශේෂ 328 ක් පමණ වාර්තා වන අතර ඉන් විශේෂ 21 ක් ලංකාවට ආවේණික වේ.
විල්පත්තුව යනු වනජීවී වාසස්ථාන හා ගංඟාවන්ගේ ජල පෝෂක ප්‍රදේශයක් පමණක් නොව අති දැවැන්ත පුරා වස්තු සම්භාරයක් සඟවා ගත් අප ජාතියේ ඉතිහාසය ගැබ්ව පවතින ධන නිධානයකි. ඉන්දියාවෙන් පැමිණි විජය රජු ගොඩබට තම්බපන්නිය පිහිටා ඇත්තේ ද විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ ය. විජය රජුගේ ආගමනයට පෙර කුවේණිය තුළින් ඉස්මතු වූ ලාංකේය සංස්කෘතියේ අක් මුල් රැදී ඇත්තේ ද විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ ය.
W.L.D.P.T.S. de A Goonatilake, (2006), Archaeologically important sites in Wilpattu National Park. Present status and new finding සෙබාසබට වාර්තාවට අනුව විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත ප්‍රදේශ 68 ක් පමණ දැනට හඳුනාගෙන ඇත. ඒ අතර ප්රාග් ඓතිහාසික පොසිල හමුවන ප්‍රදේශ, ප්රාග් ඓතිහාසික න්‍යෂ්ඨාවශේෂ සහිත භූමි, ඉපැරණි සොහොන් බිම්, මෙසෝලිතික යුගයේ ගල් ආයුධ සහිත ස්ථාන මෙම ජාතික වනෝද්‍යානය තුළින් හමු වී තිබේ. මෙවන් සුවිශේෂී ජාතික වනෝද්‍යානයක නීති විරෝධී ලෙස කටයුතු කිරීමට සමාගම් වෙත අවස්ථාව ලබාදීමට වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා හා අදාළ නිලධාරීන් කටයුතු කළේ කුමන හේතුවක් නිසා ද යන්න ගැටළුවකි. අප අදාළ අංශ වෙතින් ඉල්ලා සිටින්නේ මේ ක්‍රියාවලිය වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, අදාළ සමාගම විසින් දැනට සිදු කර ඇති දැවැන්ත හානිය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්ය. එසේ නොවුනහොත් අලි – ඇතුන් ඇතුළුව බොහෝ සත්ත්ව විශේෂ මේ නීති විරෝධී හා අක්‍රමවත් බොරලූ කැපීමේ ව්‍යාපෘතියේ ගොදුරක් බවට පත් වී ජාතික වනෝද්‍යානය තුළම විනාශයට ලක්වනු ඇත.
මේ එම විනාශයේ ඡායාරෑප පෙළයි
සජීව චාමිකර | Sajeewa Chamikara
පරිසර සංරක්ෂණ භාරය