[ඡායාරෑපය- කොළඹ, ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ලග බොදු බල සේනා විරෝධතාවයකට පැමිණ සිටි, කුඩා භික්ෂුවක් | Image:Vikalpa File @2013]
මේ වනාහී විය නොහැකි දෙයක් ලෙස පෙනී යන දෙයකි. මන්ද යත් බුදු සමය වනාහී නිදහස් සාකච්ජාවට අනුබල දෙමින් එමෙන්ම තත්කාලීන සංස්ථාපිත ඇදහිළි ප්‍රතික්ෂේප කරමින් බිහි වූ දර්ශනයක් නිසා ය. එවැනි දර්ශනයක නාමයෙන් සමාජයක අනෙක් අදහස් මර්දනය කිරීම විකෘතියක් මිස ප්‍රකෘත්තියක් විය නොහැකි නිසා ය. නමුත් දැන් අබුද්දස්ස කාලයේ ලබුත් තිත්තයි කීවා සේ බුද දහමේ නාමයෙන් නිදහස් අදහස් මර්දනය කිරීමට පියවර දැන් සැකෙසෙමින් තිබේ.
රාජපක්ෂ ආන්ඩුවේ අලුත්ම මර්දන ආයුධය බවට බුදු දහම පත් කර ගැනීමේ සැළසුම මෙය යි: “බෞද්ධ ප්‍රකාශණ පාලනය කිරීමේ මංඩළය” නමින් පනතක් නීති ගත කිරීමටත් ඒ යටතේ “ප්‍රධාන ආගම්හි මුල් ඉගැන්වීම් සහ සම්ප්‍රධායන් අවමානයට පත් කිරීම” ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට රජයට බලය ලබා ගැනීමටත් ය.
ප්‍රශ්ණය නම් හදිසියේ මෙවැනි විවිද සම්පන්න පනතක් සම්මත කිරීමට රාජපක්ෂ පාලනයට ඇති තදියම කුමක්ද යන්න යි.
ගෞතම සිද්ධාර්ථ ඉපදී හැදී වැඩී මහණ දම් පුරා බුදු බව ලැබූ ගිය ඉන්දියාවෙහි එකළ මෙවැනි නීතියක් තිබුණේ නම් බුදු දහම බිහි වන්නේ නැත. එපමණක් නොව පවත්නා ආගමික ඇදහිළි අවමානයට පත් කරමින් නව දේශනාවක් ගෙන එන්නේ යැයි කියා ගෞතම සිද්ධාර්ථ සිර ගත කරන්නට හෝ උල තියන්නට හෝ ඉඩ තිබුණි.
ප්‍රධාන ආගම් යැයි පනතේ සදහන් වුවත් එක එල්ලේම පෙනෙන පරිදි මෙම පනත ගෙන එනු ලබන්නේ බෞද්ධාගමට එරෙහියැයි රජය හෝ රජයට යටත් අධිකාරියක් විසින් විසින් තීරණය කරන “ප්‍රකාශන” පාලනය කිරීමට ය. හින්දු හෝ ක්‍රිස්තියානි හෝ මුස්ලිම් යන ශ්‍රී ලංකාවේ පවත්නා අනෙක් ආගම් කිසිවක් තමන් වෙනුවෙන් බලය පාචිච්චි කිරීමේ අයිතිය රජයට බාර දෙනු ඇතියි සිතිය නොහැකි ය
ශ්‍රී ලංකාවේ පවත්නා අනෙක් ඒ කියන්නේ වර්ථමාන සිංහල බුද්ධාගමට විරුද්ධවයැයි රාජ්‍ය විසින් තීරණය කරන අදහස්, ලිපි, කෙටිකතා, නවකතා, සිනමා යනාදියට පමණක් නොව බුදු දහමට වෙනත් අර්ථ දැක්වීම් ඉදිරිපත් කරන බෞද්ධාගමික පිරිස් පවා මර්දනය කිරීමට රාජ්‍ය බලය ලබා ගන්නා බවයි. එපමණක් නොව පශ්චාත් යුද්ධ රාජපක්ෂ පාලනයේ සළකුණක් බවට පත්ව ඇති සුලුතර ආගම් සහ ඇදහිළි මර්දනය කිරීමට සිය උප සේනාංක යෙදවීම මෙමගින් තහවුරු කෙරෙනවා ඇත. උදාහරණයක් ලෙස ගව ඝාතනය බුදු සමයට අවමානයකි යැයි කියා එය තහනම් කිරීමට මෙම පනත යොදා ගැනීමට පවා ඉඩ තිබේ.
හදිසියේ රාජපක්ෂවරු මෙවැනි පනතක් අවශ්‍ය යැයි කල්පනා කරන්නේ මන්ද? මෙම පනතෙහි ඇත්ත අරමුණ ඇත්තේ එම කාරණය තුළ ය. අද මෙරට පාලනයේ එක් ප්‍රධාන කුළුනක් නම් යුද්ධ කාලයෙහි රණකාමී බවට පත්කරන ලද සිංහල බුද්ධාගම යි. මෙකී රණකාමී සිංහල බුද්ධාගම මුල් බුදු සමයෙන් බොහෝ වෙනස් යුදවාදී එකකි. භික්ෂුන් සිවුරු හැර යුද සෙබළුන් බවට පත්ව ප්‍රාණ ගාතය පිණිස අවි අතට ගැනීම වර්ණනා කළ රාජ්‍ය මතවාදයේ කොටසකි. මෙම යුදවාදී බුද දහමේ ආරක්ෂකයින් ලෙස පෙනී සිටින රාජපක්ෂවාදී දේශපාලනඥයින්ගෙන් බහුතරය බුදුන් දේශනා කළ ධර්මය පිළිපදින්නේ නැති බව අපි සැවොම දනිමු. අද බලයේ සිටින රාජපක්ෂවාදී දේශපාලන පංතිය නම් දරා ඇත්තේ මැර බලයට සහ දූෂන හා වංචාවන්ට මිස නිර්මල බුද දහම රැක ගැනීමට නොවේ. ඇත්ත වශයෙන්ම නම් වර්ථමාන පාලක පංතියම බුදු සමය පාවිච්චි කරන්නේ සිය දේශපාලන බලය තහවුරු කර ගැනීමේ උපාංගයක් ලෙස පමණ ය.
බුදු දහම ආරක්ෂා කිරීමට නම් වත්මන් පාලනය කළ යුත්තේ නීති ගෙන ඒම නොව සිය ක්‍රියාවෙන් බුදු දහමේ අගය රටට ද ලෝකයාට ද පෙන් වීම ය. අද සිදුවන්නේ ඊට සහමුලින්ම වෙනස් දේශපාලනයකි. එබැවින් මෙම පනත ගෙන ඒමේ අරමුණ ඇත්තටම බුදුදහම ආරක්ෂා කිරීමට නොව සිය දේශපාලන ව්‍යාපෘතියේ කොටසක් ලෙස යැයි තීරණය කිරීමට අප දෙවරක් සිතිය යුතු නැත. ඇත්ත මුහුණ ඇත්තේ වෙස් මුහුණට යටින් බව අපි නොදනිමු ද? .
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතු යැයි කියනු ලැබේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙන ආවේ දෙමළ කොටි මැඩලීමට යැයි කියා ය. නමුත් දකුණෙහි 88 – 90 සමයෙහි දස දහස් ගණනින් වළ දැමුනේ ඒ පනත යටතේ ය. මෙම පනත ද ගෙන එන්නේ රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතියේ කොටසක් ලෙස නම් එහි හොඳට වඩා තිබෙනු ඇත්තේ නරක ය.
මෙම පනතෙහි කියැවෙන්නේ එහි අරමුණ ප්‍රධාන ආගම්හි මුල් ඉගැන්වීම් සහ සම්ප්‍රධායන් රැක ගැනීමට යැයි කියා ය. එනමුත් මෙම නීතියට බුදුන් හෙළා දුටු කුළවාදය සිංහළ බුද්ධාගමෙහි මුල් බැස තිබීම ප්‍රශ්නයක් නොවනු ඇත. සිංහල බුදු දහම සමුපූර්ණයෙන්ම වාගේ සංස්ථාගතව ඇත්තේ බුදුන් හෙළා දුටු කුළවාදය මත බැවිනි. එමෙන්ම සමහර විට ශ්‍රමණ වේශධාරියකු විසින් ( තමා එසේ කළැයි බොදු බල සේනා නායකයා උසාවිය හමූයේ පිළිගත් පරිදි) රහමෙර පානය කර මත්වී තමන්ව පාලනය කර ගත නොහැකිව අනවසරයෙන් ලොරියක් පදවා ගෙන ගොස් මිනිසකු යට කිරීම මෙම නීතිය යටතේ බුදු දහමේ මුල් ඉගැන්වීම් අවමානයට පත් කිරීමක් ලෙස නොසැළකෙනු ඇත.
බුදුන් දවස මළ සිරුරු එතූ රෙදි කඩ එක් කොට සිවුරු මසා ගත යුතු වුවත් මෙම පනත යටතේ ලක්ෂ ගණනින් වටිනා සළුවෙන් කළ සිවුරු පැළදීම වරදක් නොවනු ඇත. එමෙන්ම එකළ තැනින් තැන යමින් අල්පේච්ච ජීවිතයක් ගත කරමින් දහම දේශනා කිරීම සිය දිවි පෙවෙත කර ගත් යුතු වුවත් මාලිගා වැනි සුඛ විවරණයෙන් යුතු මහා මන්දිර ගතව සියළු කායික සැප වැළදීමත් මෙම පනත විසින් ආරක්ෂා කරනු විනා වරදක් කොට නොසළකනු ඇත. මන්ද යත් එවැනි ශ්‍රමණ වේශධාරී පිරිස් වත්මන් පාලනයේ බලකනු වන නිසා ය.
එසේ නම් මෙම පනත විසින් වරදක් යැයි හංවඩු ගසා දඩුවම් ලබා දෙනු ඇත්තේ කුමන ක්‍රියාවන්ට ද?
මෙම පනත ගෙන එනු ලබන දේශපාලන පසුබිම දෙස බැලීමෙන් අපට ඒ සඳහා ඉඟියක් ලබා ගත හැකි ය. පසුගිය කාලය පුරා මුස්ලිම් සහ ක්‍රිස්තියානි ආගමික ආයතනයන්ට විවිධ බල සේනා සහ බලකායන් විසින් දිගින් දිගටම පහර දීම් එල්ල කරන ලද අතර එම ප්‍රහාරයන් සඳහා සඳහා නිල අනුග්‍රාහකත්වය රාජපක්ෂවරුන් විසින් ලබා දෙන ලද බව කිසිවකුට රහසක් නොවේ. එපමණක් නොව ජාතික ආරක්ෂාවේ හෝ වෙන නම් ආරක්ෂාවක නාමයෙන් පවත්වා ගෙන යන කලා වාරණයක් ද අද ශ්‍රී ලංකාවේ තිබේ. එමෙන්ම රටෙහි විපාක්ෂික සහ විසංවාදී දේශපාලන ක්‍රියාකාරකම් මැඩලීමට ද රට, ජාතිය, ආගම යන වචන යළි යළි පාවිච්චි කැරේ.
එනයින් සහ කෙටියෙන් මෙම පනත යෙදවෙනු ඇත්තේ සුළුතර ආගමික නිදහස කප්පාදු කරමින් රාජපක්ෂවාදී සහ යුදවාදී සිංහල බුදු දහම දේශපාලන වශයෙන් ආරක්ෂා කරමින් තවදුරටත් පාලනයේ රුකුළක් ලෙස පවත්වා ගනු පිණිස ය.
එමෙන්ම මතවාදීව වැදගත් ප්‍රශ්ණය වන්නේ මුල් බුදු දහම සහ එහි සම්ප්‍රධායයන් මොනවාදැයි තීරණය කරන්නේ කව්ද යනුය. මුල් බුදුදහම අද තියෙන්නේ කුමන රටක ද? චීනයේ බුදු දහම, තායිලන්තයේ බුදු දහම, ජපානයේ බුදු දහම, ටිබැටයේ බුදු දහම සිංහල බුදු දහමට වඩා වෙනස් ය. ඒ ඒ රටවල් බුදුනුවන්ගෙන් ඇසුව හොත් ඔවුන් කියනු ඇත්තේ ස්වකීය ඇදහිල්ල නියම බුදු දහම බවයි. එම අදහස් මෙරට විවාදයට ගැනීමට කවරකු හෝ උත්සාහ කළ හොත් මෙම පනත යටතේ ඔහු හෝ ඇය සිර ගත කරන්නට හැකිවනවා ඇත.
කෙටියෙන් මෙම පනත බුදු සමය පිළිබඳ අලුත් අදහස්, විවාදයන් සහ දේශනාවන් මර්දනය කරනු ඇති අතර රාජපක්ෂවාදී සිංහල යුදවාදී බුදු දහම පමණක් නියම මුල් බුද්ධාගම ලෙස සළකනු ඇත.
මේ වනාහී ඇදහිය නොහැකි වුවත් අද ශ්‍රී ලංකාවේ දේශපාලන යථාර්තය යි
සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya