පසුගිය වසරේදී ඒ අම්මලා, දියණිවරු සහ සිය පුතුන්ගේ, ආදරණීය ස්වාමි පුර්ෂයන්ගේ ඡායාරූප රැගෙන වව්නියාවට පැමිණියහ. මේ වසරේ ඔවුන් කොළඹට එන්නට ද ඇත. ඒ ජගත් අතුරුදහන් වූවන්ගේ දිනය වෙනුවෙනි. විරෝධතාවය හෝ සැමරුම සංවිධානය කරනු ලැබන්නේ කවුරුන් ද යන්න ඔවුන්ට අදාළ නැත. ඔවුන්ට අදාළ වන්නේ කවර ලෙසකින් හෝ තමන්ගේ දූවා දරුවන් සිටින්නේ කොතැනක ද කියා දැන ගැනීමය.
ඒ අම්මලාගේ සෑම නිවස්නයකම ඉරිගැසුනු කිලිටුවූ කාඩ් බෝඩ් කැබැල්ලක ඇලවූ ඡායාරූපයක් ඇත. ඒ ඡායාරූපය දියවී ඇත්තේ ඔවුන්ගේ කදුලුවලටය. උතුරේ සෑම බුලට් සිදුරකටම කියන්නට කථාවක් ඇති සේම මේ අම්මලාගේ දෑතේ රදවාගෙන සිටින ඡායාරූපය ඔවුන්ගේ ජීවිත කථාව කියයි.
යමෙකු අතුරුදහන් වීම තවත් අයෙකුට ඉතා සරල කාරණාවකි. බහුතර ශ්‍රී ලාංකීය සමාජය මෙපමණ පිරිසක් අතුරුදහන් වී ඇති විටෙක පවා ඒ පිළිබද ඇසක් නෑර සිටින්නේ එබැවිනි. මන්ද යමෙකු අතුරුදහන්වීමේ සදාතනික වේදනාව ඇත්තේ අදාළ පුද්ගලයාගේ සමීපතයන්ට පමණි. ඒ අඩුව පිරිමැසීමට කිසිවෙකුට නොහැකි සේම එය සුව නොවන නිරන්තරයෙන් පෑරෙන තුවාලයකි. තවත් සරලව කියන්නේනම් අතුරුදහන් කිරීම අදාළ පුද්ගලයාගේ සමීපතයන් නොමරා මැරීමකි. අතුරුදහන් වූ ඔහු හෝ ඇය සිටි සෑම අවකාශකයම හිඩසක් ඔහු හෝ ඇය වෙනුවෙන් හිඩසක් ඉතිරිවෙයි. එම හිඩස සෑම විටම ජීවත්වූවන්ට ක්ෂිතිමය තත්ත්වයක් කැදවයි. ප්‍රගීත් අතුරුදහන්වීමෙන් පසු පළමු වතාවට ඔහුගේ නිවසට ගිය විට ගේට්ටුවෙන් අතුලු වූ මොහොතේ සිට එම භූමි අවකාශ තුළ හිඩැසක් පවතිනු ආගන්තුකයෙකු වූ මට පවා දැනුනිනම්, ඔහුගේ දරුදෙදෙනා සහ බිරිදට එය කෙතරම් වේදනාකාරී අත්දැකීමක්දැයි සිතා ගත හැකිය. උතුරේදී බොහෝ නිවෙස් පමණක් නොව සමහර සම්පූර්ණ ගම්මාන පිටින්ම එම හැඩැස විසින් නිර්මාණය කරනු ලබන ක්ෂිතයමය තත්ත්වය විසින් වෙළාගෙන ඇත.
සැමියෙක්, දියණියක්, පියෙක් නැවත එවි යන කටුක වූ බලාපොරොත්තුව සිය හිතෙහි දරාගෙන උතුරේ අම්මලා දෛනිකව වගුරන කදුලු කදම්භය සුලුපටු නැත. ඒ සෑම නිවසකට බතක් ඉදෙද්දී පවා සිය ආදරණීයන්ගේ අඩුව දැනෙනු ඇත. ඔවුන් සෑම අන්ධකාරවූ රාත්‍රියේ නින්දට යන්නේ හෙට හිරු නැගෙන උදෑසන තම ආදරණීයයන් පිළිබද සුභාරංචිය ඔවුන් වෙත පැමිණේවි යැයි යන අපරිමිත බලාපොරොත්තුවෙනි. උදෑසන පැමිණියත් සුභාරංචිය තවමත් ඔවුන් කරා පැමිණි නැත. උතුරේ අම්මලාගේ කදුලු සහ කදුලු සගවන තාත්තලාගේ හැගුම්බර දෑස් යළිත් හෙට දිනයට තම කටුක වූ බලාපොරොත්තුව අලුත්කර ගනිමින් ජීවත් වෙති.
කොමිසම් මායාව
මෑතකදී රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් උතුරු නැගෙණහිර සිදුවූ අතුරුදහන් වීම සම්බන්ධ සොයා බැලීමට කමිටුවක් පත්කල ද එය සද්භාවයෙන් ගනු ලැබූ ක්‍රියාවක් බවට සිතීමට ඉතිහාසය අපට සාක්ෂි සපයන්නේ නැත. එය බොහෝ විට අන්තර්ජාතික බලපෑම කළමනාකරණය කර ගැනීමට විනා උතුරු- නැගෙණහිර දෙමාපියන්ට සාධාරණය ඉටුකරාවි යැයි සිතීමට අපහසුය. මන්ද ඉතිහාසයේ අවස්ථා පහකදී අතුරුදහන් කිරීම් ගැන සොයා බැලීමට මේ ආකාරයේම කොමිසම් පත්කළ ද ඒවායින් ඉටුවූ සාධාරණයක් නොමැත.
– 2005 බරපතළ මානව හිමිකම් කඩවීම් (විශේෂ සිද්ධි 16 ක් ) සම්බන්ධයෙන විමසා බැලීමෙ සහ විමර්ෂණ පැවැත්වීම සදහා වන කොමිසම (උදලාගම කොමිසම). එම කොමිසම සිය අවසන් වාර්තාව 2009 වර්ෂයේදී ජනාධිපතිවරයාවෙත භාර දෙන ලදී.
– 2006 අතුරුදහන් පිළිබද විමසා බැලීම සදහා වන ජනාධිපති කොමිසම (මහානාම තිලකරත්න කොමිසම) එම කොමිසමේ වාර්තාව 2007 වර්ෂයේදී ජනාධිපතිවරයා වෙත භාර දෙන ලදී
– 2007 පැහැර ගැනීම සහ අතුරුදහන්කිරීම නිරීක්ෂණය කිරීමේ කමිටුව. අද දක්වා මෙම කමිටුවට සිදුවූ දෙයක් හෝ ඔවුන් විසින් සිදුකළ දෙයක් පිළිබද කිසිදු සදහනක් නොමැත.
– 2007 අගෝස්තු, පැහැර ගැනීම් සහ ළමුන් ආයුධ සන්නද්ධ අරගලවලට සම්බන්ධ කර ගැනීම සම්බන්ධව විමසා බැලීමේ විශේෂ කමිටුව. අද දක්වා මෙම කමිටුවට සිදුවූ දෙයක් හෝ ඔවුන් විසින් සිදුකළ දෙයක් පිළිබද කිසිදු සදහනක් නොමැත.
– 2010 මැයි උගත් පාඩම් හා ප්රතිසංධාන කොමිසම. මෙම කොමිසමේ අවසන් වාර්තා 2011 වර්ෂයේ නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරයා වෙත බාරදෙන ලදී.
ඉහතින් සදහන් කළ ලෙස අලුතෙන් ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කමිටුව ද මෙම ලැයිස්තුවට එකතු වනවා මිස වෙනස් කිසිවක් සිදුවීමේ විභවයක් නොපෙන්වයි.
එහි ආසන්තම උදාහරණය වන්නේ 2010 වර්ෂයේ පත්කරන ලද උගත් පාඩම් හා ප්රතිසංධාන කොමිසමේ වාර්තාව ය. එම කොමිසම පත්කිරීමේ ප්රමුඛ අරමුණ අන්තර්ජාතික බලපෑම කලමනාකරණය කිරීම මිසක සැබෑ ලෙසම ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගැනීම නොවේ. එය රාජපක්ෂ ආණ්ඩුව විසින්ම ඔප්පු කර හමාරය. ඔවුන් විසින්ම පත්කරන ලද කොමිසමේ වාර්තාවේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම පිළිබදව, දැන් විරෝධය පළකරන ප්‍රධාන පිරිස බවට පත්වී සිටින්නේ ද රාජපක්ෂ ආණ්ඩුවම වීම එයට නිදසුන් සපයයි.
හමුදාවට බාරවී දැන් අතුරුදහන් වී සිටින සිය සැමියා සොයා වසර හතරක් පුරා අරගල කරන ආනන්දි සෂීධරන් ඉලක්ක කරමින් රාජපක්ෂ ආණ්ඩුව වපුරමින් සිටින ඉතා වෛරී සහගත ප්‍රචාරයන් දෙස බලද්දී අලුතෙන් ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කොමිසමට අත්වීමට නියමිත ඉරණම පිළිබද පූර්ව නිගමනයකට පැමිණිය හැකිය.
සමාජ – සංස්කෘතික ක්ෂිතිය
එපමණක් නොව පසුගිය දා යාපනයේදී පැවතී අතුරුදහන්වූ දෙමාපියන් විසින් සිය ආදරණීයන්ට සිදුවූයේ කුමක්ද යන්න සොයන ලෙසට ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියට බලකිරීම උදෙසා පැවැත්වූ විරෝධතාවය රජයේ මාධ්‍ය විසින් වාර්තාකරන ලද්දේ කොටි බිරින්දෑවරුන් පිල්ලේට කේලම් කියන්න ගන්නා උත්සහයක් ලෙසිනි. සිය ආදරණීයන් අහිමි වීමේ විලාපයට කොළඹ රාජයේ මාධ්‍ය ප්‍රතිචාර දක්වා තිබුණේ එලෙසිනි.
එසේම පත්කළ කොමිසම් මගින් යම් විමසීම් සහ විමර්ෂණයක් සිදුකළ ද එම කොමිසම් කිසිවක් අතුරුදහන් කිරීම තුළ ඇතිවන සංස්කෘතික සන්ධර්භය වෙත ආමන්ත්‍රණය කිරීමට සමත්වූයේ ද නැත.
එයට හොදම උදාහරණය වන්නේ 1988 -1998 දක්වා දකුණේ සිදුවූ අතුරැදහන් කිරීම් සම්බන්ධව විවිධ කොමිසම් මගින් විමර්ෂන පැවැත්වූව ද එම කොමිසම් විසින් දත්ත රාශියක් ඉදිරිපත් කළා විනා වෙනත් කිසිදු සමාජ සහ සංස්කෘතික ආමන්ත්‍රණයක් සිදුකිරීමට අසමත් විය. කලාපීය කමිටු තුනක් එකතුව විමර්ෂණය කරන ලද 1988 සිටි 1998 දක්වා වන අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 27,000 ලැබී ඇති අතර ඉන් 15,000 ක්ම බලහත්කාරයෙන් අතුරුදහන් කලවුන් බවට පැහැදිලිව විමර්ෂණ කටයුතු වලදී ඔප්පු විය. නමුත් ලංකාවේ සමාජ සංස්කෘතික වෙනසක් ලංකාව තුල සිදුවී ඇති ද? ලැබී ඈත්තේ දත්තට ටිකක් පමණකි. සැබෑ ලෙස සමාජ-සංස්කෘතික සන්දර්භවය අමාන්ත්රණය කරමින් පුද්ගලයෙකු අතුරුදහන් කිරීමක් යනු කෙතරම් මිලේච්චත්වයක් ද යන්න සහ එතැනින් පසු එළබෙන සමයේ, එම අදාළ පුද්ගලයාගේ සමීපතමයන්ට කෙතරම් කටුක වූ අත්දැකීමක් ද යන්න යම් පමණකට හෝ සංස්කෘතික සංවාදයට ගෙන ආවේනම්, නැතිනම් ශිෂ්ඨ වූ සමාජය නොවිය යුතු දෙයක් ලෙස සමාජයට එත්තු ගැන්වූයෙනම් අවම වශයෙන් උතුරේ සිය ආදරණීයන් සමග ඒකාත්මික වන්නට වඩා පිරිසක් දකුණේ සිටිනු ඇත.
දෙමළ ජනයා ඉලක්ක කරගිමින් සිදුවූ අතුරුහන් කිරීම් කොළඹ රාජ්‍ය මූලික කර ගනිමින් ක්‍රියාත්මක වන දේශපාලන අරමුණක් කෙරෙහි සෘජුව බද්ධ වෙයි. ශ්‍රී ලංකාවේ සිදුවන අතුරුදහන් කිරීම් වර්ග සංහාරක ක්රියාවලියේම ඈදුනු ව්‍යාපෘතියක් බවට පත්වන්නේ එහෙයිනි. එම නිසාම කොළඹ රජය විසින් ගෙනෙන කොමිසම් දෙමළ ජනයාට සාධාරණයක් යුක්තියක් රැගෙන එනු ඇතැයි සිතීම විහිලුවකි. නමුත් තමන්ගේ මතවාදයේ නොවන පුද්ගයන් අතුරුදහන් කිරීමේ අනතුරුට මුහුණ දී සිටින්නේ දෙමළ ජනයා පමණක් නොවේ. එම අනතුර මේ නිශ්චිත නිමේෂයේදී සමස්ථා ලාංකීය සමාජයම වෙළාගෙන පවතී.
මන්ද ශ්‍රී ලංකා රාජ්‍ය මේ වන විට උග්‍ර හමුදාකරණයකට යටත්කර තිබෙන අතර ලෝකයේ විවිධ වාර්තා මගින් පෙන්වා දුන්නේ පැහැර ගැනීම් සහ අතුරුදහන් කිරීම් බහුතරයකට ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සහ ඔවුන්ගේ සහය ලබන අතුරු හමුදා පිරිස් වගකිවයුතු බවයි. එම නිසා මානව සංහතියටම අවමානයක් වන අතුරුදහන් කිරීම් වලට විරැද්ධව සමාජයක් ලෙස පෙලගැසීමට සහ එම ගැටලුවට සමාජ – සංස්කෘතික විසදුම් සෙවීමේ මාර්ගය වෙත පිවිසීමට අපට බලකර සිටී.
එසේ නොකරන තාක්කල් සිදුවීමට නියමිතව ඇත්තේ සිය ආදරණීයන් සොයන අම්මලාගේ ගොඩට තවත් අම්මාලා එකතු වීම පමණකි.
මාලන් රාමසාමි | Malan Ramasami | 2013-08-30