පසුගිය දිනක අපි පදවියට ගියා. මිතුරන් කිහිප දෙනකු මුණ ගැහෙන්න. මාර්ග සියල්ල අබලංවෙලා. අර වගේ ඒවා මේවගේ පොඩි පාරවල්වල ගියාහම මේවා ඉතුරු වෙයිද..? මගේ මිතුරෙක් විශාල හමුදා වාහන පෙන්වමින් කියයි. මේ පාරවල්, ඒ වගේ බරවාහන යන්න හදපු පාරවල් නෙමේ. සාමාන්‍ය වාහන යන්න හදපුවා. ඒත් අද ඒවායේ වැඩිපුරම යන්නේ හමුදා වාහන.
පදවිය කියන්නේ ඉතාමත් දුෂ්කර ප්‍රදේශයක්. එක් පැත්තකින් යුද්ධය මේ දුෂ්කර කම සිය දහස් ගනනකින් වැඩි කරලා. ඒවායේ ජීවත්වෙනවාට ඒ මිනිසුන්ට තෑගි දෙන්න ඕන. ඒ තරමටම ඒ ජීවිතේ දුෂ්කරයි. ඒත් තවම ඒ මිනිසුන්ගේ හදවතේ මනුස්සකම පිරිලා තියනවා. ඒ සොබාදහමට ඒ මිනිසුන් තවමත් ආදරේ හිංදා වෙන්න ඇති. සොබාදහමින් බොහොමයක් ඔවුන් ඉගෙන ගන්නා හිංද වෙන්න ඇති.
පදවියේ ඈත ගමක තණ බිස්සේ අපි අපේ මිතුරන් සමග කතාකර කර ඉන්නකොට ඒ ගෙදර දරුවෙක් ඇවිල්ලා මගේ ලගින් වාඩි උනා.
එයාගේ බෙල්ලේ යන්තරයක් දාලා.
ඇයි පුතේ යන්තරයක් දාලා තියෙන්නේ…… මම ඒ පොඩි දරුවගෙන් අහුවා.
අකුරු මතක හිටින්න. ඒ දරුවා කිව්ව.
ඒක ඇහුන මානෙල් සහෘදයා කතාවක් කියනවා.
ඊයේ පොඩි ළමයෙක්ගෙන් මංඇහුවා
මොකටද පුතේ ඔය බෙල්ලෙ යන්තරයක් දාලා තියෙන්නෙ?
මම රෑට හීනෙන් බය වෙන හිංදා… කියලා පොඩි එකා කියනවා.
මම ඇහුවා වැඩියෙන්ම බයවෙන්නේ මොනවගෙ වෙලාවටද? කියලා
අපෙ අම්මයි තාත්තයි රන්ඩු වුන දවසට……?
මානෙල් සහෘදයා මේ කතාව අපිට කියනකොට මට හිතුනෙ…..
දෙමාපියන්ගෙන් කුඩා දරුවන්ට කොච්චර ආදරයක්, සෙනෙහසක් ඕනද කියලා.
ඇත්තටම ඒ ගෙදර අම්මයි තාත්තයි රණ්ඩුවෙන්නේ මොකටද….කන්න නැතුවද…? සල්ලි කියක්වත් නැතුවද..? මේ සියලු දේම එක්ක යුද්ධය විසින් ඔවුන්ගේ ජීවන වෘත්තීන් සෑහෙන දුරට අහිමිකර දමපු නිසාද….?මේ සියලු දේට උත්තර පදවියේ එක් රැයක් ගතකලොත් අපිට තේරේවී. මේ සියලු දේම අත්විදින දුෂ්කර ප්‍රදේශයක් පදවිය. වගාවක් කළත් අස්වැන්න නිසිමිලට විකුණා ගන්න බැහැ. රාත්‍රියට හරියට නිදාගන්න බැහැ.
මේවා ඔක්කොම මේ සමාජ ක්‍රමයේ ප්‍රතිපල… එයිටත් වඩා ඒ සමාජය බිහිකරපු අයුක්ති සහගත යුද්ධයේ ප්‍රතිපල
මානෙල් කියන්නේ ඒ ප්‍රදේශයේ ඉන්න සොදුරු කවියෙක්. ඔහු මීට වසර ගනනාවකට පෙර ගීතයක් ලියනවා.
වාරකන් ඇවිත් මෝය කට කඩන් තෙන්නමරන් කලපුව පිරිලා,
ඇහැට කදුලු වගේ තෙන්නමරන් කලපුව පිරිලා…….
ඇවිත් බලාපන් දේවී, ඇවිත් බලාපන්, තෙන්නමරන් කලපුව පිරිලා…….
මුලතිවු වනන්තරේ හැංගුන දේවී,
වැලිඔය සටන්බිමේ මියැදුන දේවී,
උපන්බිමේ වැලි සුළගට පෙම් බැදී දේවී,
තෙන්නමරන් එන්න වරන් නැති උන දේවී…..
ආදී ලෙස,
ගීය ගයන්නේ ජයතිලක බංඩාරයන්. ඒ ගීයේ දමිළ මිනිසුන්ගේ වේදනාව වගේම දකුණේ දේශපාලකයින්ගේ අධම ක්‍රියාවන් නිසා වැලිකන්ද, පදවිය වැනි ප්‍රදේශවලින් දමිළ මිනිසුන් පන්නා දමා සිංහල ජනපද ඇති කරපු හැටි, එහි වේදනාවන්ගේ අමිහිරි මතකයන් මැවී පේනවා. ඒ ගීතය දමිළ මිනිසුන්ගේ වේදනාව අනෙක් ජනයාට අපුරුවට පසක් කරනවා. සටන්වල තිබෙන වේදනාව, නොමිනිස්කම අයුක්ති සහගත බව පිළිබදව අලුත් පාඩමක් කියා දෙනවා. ඔහු දමිළ ජනයාට ආදරය කරන, යුද්ධය එපා කියන සිංහල මනුස්සයෙක්. ඒ නිසයි ඔහු සොදුරු කවියෙක් වන්නේ.
සම්පත් බණ්ඩාර සමරකෝන්