Image Credit: bbcworldservice
කටහඬේ සොඳුරු පියපත් බිඳුණාද
හදවතේ අඳුර විතරක් රැඳුණාද
මඳහසේ සුවඳ අරගෙන ඇදුණාද
නිදහසේ තනිව ඉන්නට හිතුණාද
–
කැවුඩියන් කරව් නඟනා පිළිරාව
යුග සවන් පෙලයි, පවසන්නද කාට
ඔය හඬින් ගලන් එනකොට අනුරාග
ඉර වුණත් දණින් වැටෙනව හඳ ගාව
–
දෑස් හීන් කර කොපුළත සුලි එක්කා
රහස් ලිහන මනුසත්කම අපි දැක්කා
රාත්රිය දිගයි, එළඹෙද උදනැක්කා
කාන්සිය ඇවිත් හීනෙට තනි රැක්කා
–
නෙතු පියන් වැසී නෑ, ඔය තවම ඇරී
යන ගමන් මඳක් බලනට හැකිද හැරී
කඳුළකින් හුස්ම ගන්නට මොකද බැරී
පෙනහලුත් බෙදා දුන් විට සහෝදරී
–
‘මරා‘ ගන්න කොට ගණඳුරු වනන්තරේ
දරා ඉන්න බැරි අතකය සඳුන් හරේ
කතා කරනකොට සටනට නිරන්තරේ
පියා විදාගෙන එනවද හෙමින් සැරේ
–
නිදන් නැති නදිය නිදි අපි ගං තීරේ
පැතුම් දරා හිටියද හදවත පෑරේ
ඉතින් කොහේ යන්නෙද දැන් නොම තේරේ
උදුම්බරා හිනැහෙන්නැති සංසාරේ
මංජුල වෙඩිවර්ධන | Manjula Wediwardhana
2013 සැප්තැම්බර් 09