මේ සටහන ලිවීමට අදහස් කළේ, වැලිවේරිය ජනයාට හමුදාව වෙඩි තැබීමට එරෙහිව, පසුගිය අගෝස්තු 14වනදා කොටුවේදී එජාප ප්‍රධනත්වයෙන් සංවිධානය කර තිබූ විරෝධතාවයට සහභාගී වීමට ගොස් පැමිණි පසුය. ඒ අන් කිසිවක් නිසා නොව විරොධතාවයත්, විරෝධතාවයේ සටන් පාඨත් මෙන්ම එහි ගී ගැයූ සාධු ජනරාවයේ ජයතිලක බණ්ඩාර නම් අව්‍යාජ කලාකරැවාත් මුල් කරගෙනය.

සාධු ජනරාවය සහ ජයතිලක බණ්ඩාර

SadhuJanarawa02

1995 හෝ ඊට ආසන්න කාලයකදී ආරම්භ වූ සාධුජනරාව එදා සිට සාධුජනරාව නම් ගී ප්‍රසංගයෙන් ජයතිලක බණ්ඩාරයන් මා හදුනාගෙන තිබිණි. ඒ හදුනා ගෙන තිබුණේ ඔහුගේ ගීත සහ ඒ ගීතවල අර්ථයෙන් මිසක් භෞතිකව ශරීරයක් ලෙස නොවේ. ඒ ඔහු වෙනස් මිනිසෙක් වෙනුවෙන්, වෙනත් සමාජයක් වෙනුවෙන් ගී ගැයූ නිසාය. ලංකාවේ බහුතරයක් දෙමළා විනාශ කිරීමට දකුණේ සොල්දාදුවන්ට මල්මාලා පළදන විට, ඔහු ඒ අයුක්ති සහගත යුද්ධයට එරෙහිව ගී ගැයූ නිසාය. ඔහුගේ භාෂාවෙන්ව කියතොත් ‘මරණයට, ඝාතනයට එරෙහිව‘ ගී ගැයූ නිසාය. ඒ කෙසේ ද යත්, ‘‘මරණයේ ලේ සුවද වෙනුවට ජීවිතයේ මල් සුවද සොයා යමු‘‘ යැයි ඔහු එක්තරා ප්‍රසංගයකදී කියනු අද මෙන් මතක නිසාය. එපමණක් ද නොවේ ඔහුට ගී ගැයීමට ‘නෙළුම් පොකුණවල්‘ අවශ්‍ය වූයේ නැත. ගමන් කිරීමට සැප වාහන අවශ්‍ය වූයේ ද නැත. කවුද ඔහුට ආරාධනා කළේ ඔහු ගියේ ය. එය කොළඹ ද, ගාල්ල ද, පදවිය ද, වන්නිය ද කියා ඔහු බැලුවේ නැත. රාත්‍රිය ද, දවාල ද කියා ඔහු බැලුවේ නැත. ඔහු ගියේ ය. ගැයුවේ ය. මිනිසුන් සමග සංවාද කළේ ය. එසේම ඔහුත් සමග හරිහරියට තබ්ලාවත්,සර්පිනාවත් (පසුව ඔර්ගනය) ඇතුලු වාද්‍ය භාණ්ඩ කිහිපයක් සමග පැමිණි අනිකුත් සහෘදයනුත් එසේය. එය සත්‍ය ලෙසම ‘මල් සුවදක්ම‘ විය. සාධු ජනයින්ගේ රාවයක්ම, චාරිකාවක් ම විය. සාධුජනරාවයේ සමහරක් ගී ප්‍රසංගවලට ඊනියා දේශප්‍රේමීන් පැන යකා නැටූ අවස්ථාවලත්, යුදවාදීන්ගේ නරැම පීඩනයන්වලටත් සාධුජන රාව, සාධු ජනරාවයෙන්ම ප්‍රතිචාර දීමට තරම් ධෛර්්‍යයක් ජයතිලක බණ්ඩාර ඇතුලු ඒ පිරිසට තිබුණි.(පසුව සාධුජනරාවය, සාධුජනවන්දනාවක් බවට පත් වූ බව ලියුම්කරට මතකය. එසේම ඉහත ඡායාරෑපයේ සිටින මහින්ද චන්ද්‍රෙස්කර පමණක්, දිව්ල්ගනේ මෙන් පීල්ල මාරැකර ‘මහරජාණෙනි‘ අසමින් සිටින බව ආරංචි විය)

කෙසේ නමුත් පසුකාලීනව යුදවාදීන්ගේ නරැම ජාතිවාදී ව්‍යපෘතිය 2009 දී ජයග්‍රහණය කළේ දහස් ගණනක් මිහිදන් කරමිනි. එදා යුද්ධයට එරෙහිව හඩ නැගු ස්වල්ප දෙනාගෙන් බොහොමයක් අදද නිශ්ශබ්දව සිටින නමුත් එදා යුද්ධයට එරෙහිව ගී ගැයූ සාධුජනරාවයේ ජයතිලක බණ්ඩාරයන්ගේ ඒ ධෛර්ය බිදක් හෝ අඩු වී නැතැයි 14 වනදා ඔහු කොටුවේ තිබූ ලොරි රථයේ නැගී ‘වංකගිරියේ විසල් අරණේ මුරගැසූ අම්මා, නදී දෙතෙරේ මළ පුතුන් දැක විකල් වූ අම්මා…‘ යැයි ගයන විට ඈත සිට බලන් සිටි මට සිතුනි. ගිනි ගහන අවුවේ එසේ ගයන විට අනේක වාරයක් මට සිතුනි.

එහෙත්,

ඒ අව්‍යාජ බව ඔලමොට්ටල දේශපාලකයන් සහ ඔවුන්ගේ අනුගාමිකයන්ගේ අවධානය ගන්නට සමත් වූයේ නැත. 14 වනදා ඔහු ‘අම්මා‘ ගැන ගයන විට, පැමිණ සිටි බොහෝ දෙනා කීවේ, ‘අපට ඕන ආණ්ඩුවක් රනිල් ඉන්න ආණ්ඩුවක්‘, කියා ය. එපමණක් ද නොවේ. වතුර ඉල්ලූ මිනිසුන්ට වෙඩි තැබීමට විරෝධය දැක්වීමට පැමිණ අය විවිද දේ කියමින් සිටියේය. එය ඇත්තටම විකාරයකි.(අවශ්‍ය නම් ඉගෙන ගන්න, වෙනත් රටවල ලිබරල් පක්ෂවල විරෝධයන්) ඒ සියලු කර්කෂ රාවයන් මැදත්, සධුජනරාවයේ ඔහු ගයන්නට ගත් උත්සහය දැක මම කම්පනයට පත් වීමු. ඒ සැබැවින්ම, කිසිවෙක් ඒ ගී අසනු මට දැක ගත නොහැකි නිසා වෙනි. ඔවුන් ආවේ ආණ්ඩුව පෙරලන්නටය.(ලියුම්කරැ ආණ්ඩු පෙරලීම පිළිබද සාකච්ඡාවේදී දෙගිඩියාවක් දක්වන්නේ නැත. ඔව්. රෙජීමය පෙරලිය යුතුය.) නමුත් ගැටලුව ඇත්තේ එතැන ‘ම‘ නොවේ. අඩුම තරමේ තමන්ගේ පාක්ෂිකයන්ව එක් සටන් පාඨයක් මතටවත් ගෙන ඒමට නොහැකි විපක්ෂය(ආවේ ජල ප්‍රශ්ණයට ය, ප්‍රකාශ උනේ ඡන්දය) කෙසේ ද රෙජීමයට අභියෝග කරන්නේ කියා නැවත නැවතත් කල්පනා නොකර දිගින් දිගටම පාඩු ලබන ව්‍යාපාර කරන්නා සේ හමුදාව උත්කර්ෂයට නංවන ලද ආණ්ඩුවකට එරෙහිව මෙවැනි පන්නයේ විරෝධය දැක්වීම එක් පසකින් රාජපක්ෂ රෙජීමය විසින් අනිකුත් පක්ෂ වෙත මුදාහැර ඇති පීඩනය සිතා ගත හැකිය.

නමුත් මගේ ගැටලුව එජාපය වත්, ඔවුන්ගේ උපාය මාර්ගවත් නොවේ. ඔවුන් ගොඩනගන වේදිකාව මත හෘද සාක්ෂියක් ඇති, ධෛර්ය සම්පන්න මිනිසුන්ට ලැබෙන ඉඩය. ලැබෙන වටිනාකම්ය. එය තේරැම් ගන්නට බැරි පක්ෂයක් ලැජ්ජා විය යුතුවා මෙන්ම නැවත සිතා බැලිය යුතුය. එදා ඔවුන්ට ගීතයෙන් වැඩක් නැති වීම කෙරෙහි මා තුළ පුදුමයක් ඇති නොවේ. මක් නිසා ද යත් මීට පෙරත් මෙවැනිම විරෝධයන් ඕනෑ තරම් දැක ඇති නිසාත්, අදහස් සහ මතවාදයන්ට වඩා, ඔලු ගෙඩි වලට වටිනාකමක් හිමිවෙන දේශපාලන පරිසරයක එවැන්නක් එසේ නොවී වෙන දෙයක් විය නොහැකි නිසාය.

SadhuJanarawa01

නමුත් එදත්, ජයතිලක බණඩාරයන් ගැයුවේය. එය එසේ විය යුතුය. එහෙත් ඒ එවන් වේදිකාවක නොවේ.(ඇසු, නොඇසූ බව ඔහුගේ වරදක් නොව.) වතුර ඉල්ලා විරෝධය දැක්වූ ජනතාව වෙනුවෙන් කොටුවට පැමිණ ඡන්දය ඉල්ලු එජාප දේශපාලකයින් සහ ඔවුන්ගේ අනුගාමිකයින්ගේ දේශපාලන විඥාණයක් නැති කමය. නමුත් ඒ අදේශපාලනික වේදිකාවක සාධුජනරාව එසේ පිළුනු විය යුතු නැත. එසේ වන්නේ, යුද්ධයේ අවසන් කාලයට පෙර, දවසකට සිය ගණනක් ඝාතනය කරන, නිරන්තරයෙන් වෙඩි හඩ ඇසෙන මානයේ සිටත්, සාධු ජනරාව ඇසු මිනිසුන්ගේ අස්වලට එදා කුදුළු ඉනු නිසාය. ඔවුන්ගේ සමීපතමයින් වෙඩි වැදී බිම ඇද වැටෙද්දී යුද්ධයට විරැද්ධය, මරණයට, ඝාතනයට එරෙහිව, ගී ගැයු සාධුජනරාවයත්, ජයතිලක බණ්ඩාරයනුත් ඔවුන් වැළද ගත් නිසාය.(දේශපාලනයට කලාව සම්බන්ධ කිරීමේ වත්මන් සංදර්භය ගැන වෙනම විවේචනයක් ලියුම්කරැ සතුව පවතී)

එපමණක්ද නොවේ එදා පැමිණ සිටි එජාප නායකයන්ටවත්, ජයතිලක බණ්ඩාරයන් එතරම් වැඩක් නැති සේයක් මට පෙනුනි. ඔහුත්, ඔහුගේ සංගීත උපාංගත් තැබූ ලොරිය මතට එජාප නායකයින් සහ ඔවුන්ගේ සහචරයින් විශාල ප්‍රමාණයක් නැග ගත්තේ ය. එවිට ජයතිලක බණ්ඩාරයන් ට හිටගෙන ඉන්නටවත් නොහැකි ලෙස සහ ඔහුගේ සංගීත ආම්පන්න වලට හානි විය හැකි ලෙස ඔවුන් ලොරිය මතට නැගසිටියේ විචාරයක් නොමැති ලෙසය. මෙසේ දේශපාලන වේදිකාවල සිල්ලර වීමට තරම් සාධුජනරාවයට කිසිදු අයිතියක් නැත. එසේ කියන්නේ, සාධුජනරාවය යනු එදවස සිට හෘදසාක්ෂිය සහිත ව්‍යාපාරයක් වූ නිසාය. එසේ කියන්නට අපට අයිතියක් ඇති නිසාය. එදවස ඔවුන් කලේ මේ රටේ එක් පසකින් කිසිදු කලාකරැවෙක් නොකරන සමාජ කාර්යයක් නිසා ය. එය එජාප නොතේරැනාට මේ රටේ ජීවිතය වෙනුවෙන්, ඝාතනයට සහ මරණයට එරෙහිව පෙනී සිටි මිනිසුන්ට වඩා හොදට තේරැණු දෙයකි. එහෙත් අද දවසේ ජයතිලක බණ්ඩාරයන්ගේ සහ සාධු ජනරාවයේ අව්‍යාජත්වය එජාප වේදිකාවේ විචාරයක් නොමැතිව පල් වීම එක් පසකින් රාජපක්ෂ රේජීමයට ද කාලකන්නි සංතෝෂයට කරැණක් විය හැකිය.

මක් නිසාද යත් රාජපක්ෂ රේජීමයට අවශ්‍ය කරන්නේ ‘එහෙයි‘ කියන, ‘මහරජාණෙනි‘ පන්නයේ ගීත කියන, රාජපාක්ෂික කලාකරැවන් බැවිනි.(මෙය ජයතිලකයන් හොදින්ම දන්නා බව සිතමි) ජයතිලකයන් රාජපාක්ෂික නොවුනත් මෙසේ අවිචාරවත් වේදිකාවල පිළුනු වීම රාජපක්ෂ රේජීමයට සතුටට කරැණක් විය හැකිය. නමුත් ජයතිලකයන් එවන් වේදිකාවලට නගින්නේ මේ රට වෙලාගෙන අධිපතිවාදයටත්, ම්ලේච්ඡත්වයටත් එරෙහිව බව අපි දනිමු.(මෙයින් යෝජනා කරනු ලබන්නෙ දේශපාලන වේදිකාවල ගීත ගැයීම ‘නරක‘ වැඩක් ලෙස නොවේ. එය අවශ්‍ය නමුත්, එහි වටිනාකමක් සහ හෘදසාක්ෂීයට එකග දේශපාලනයක් එම වේදිකාවල තිබිය යුතුය(වම හෝ දකුණ…)

එහෙත් මිතුරනි, උපායමාර්ගයක් නැති, වාස්ථවික තත්ත්වයන් හරිහැටි තෝරාගන්න බැරි(බැරිකම නිසා නොව) ඔලමොට්ටල දේශපාලකයන් ඉදිරියේ, මෙතෙක් කල් රැක ගෙන සිටි හෘද සාක්ෂියත්, හෘද සාක්ෂියට අනුව කතා කිරීමට සහ ගීත ගැයීමට ඇති ධෛර්යයත් මෙවන් වේදිකා මත පිළුනු විය හැකි නිසා ඒ පිළිබදව මා තුල ඇත්තේ බරපතල කම්පනයකි.

(මෙය විවෘත ලිපියක් වන අතර තමන්ට අවැසි කොටස් පමණක් තෝරාගෙන පළකරන්නේ නම්, සම්පූර්ණ ලිපියම පළ නොකරන ලෙස ඉල්ලා සිටිමි. ලිපිය පළකිරීමට හැකියාවක් ඇති නම් සම්පූර්ණ ලිපියම පළ කිරීම පිළිබදව සතුටු වෙමි.)

සංවාදයට විවෘතයි

වසන්ත බණ්ඩාර | Wasantha Bandara