පසුගිය සැප්තැම්බර් 3 වැනි දා යාපනේ දී එළිදක්වන ලද, දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප‍්‍රකාශනයට ආණ්ඩුවත්, දැඩි මතධාරී පාර්ශ්වකරුවනුත් දක්වන ලද විරෝධය හේතුවෙන් උතුරු පළාත් සභා මැතිවරණ ව්‍යාපාරය නව මාවතකට හැරුණි. එම ප‍්‍රවණතාව පටන් ගැනුණේ, දෙමළ ජාතික සන්ධානය තමන්ගේ මහ ඇමති අපේක්ෂකයා වශයෙන් විග්නේෂ්වරන් මහතා තෝරා ගැනීමට ආණ්ඩුව විරෝධය පෑමත් සමග ය. වෙනත් දේශපාලන පක්ෂවල තේරීම් සහ තීරණ අනුමත කිරීමේ හෝ හෙළාදැකීමේ අයිතියක් ආණ්ඩුව තමන් වෙත පවරාගෙන තිබීම හරි අපූරු ය. රටේ තිබෙන වෙනත් දේශපාලන පක්ෂවලට ඇති අයිතිය පවා දෙමළ ජාතික සන්ධානයට නැති බවක් එයින් පෙනී යයි. ආණ්ඩුව තමන්ගේ පක්ෂය හරහා ඇතැම් සාපරාධී කොටස් දෙමළ කතා කරන ජනතාව අතරට හොරෙන් රිංගවීමට කටයුතු කරනවා පමණක් නොව, උතුරු පළාත් සභා මැතිවරණය සඳහා වැදගත්, උගත්, බුද්ධිමත්, අවංක පුද්ගලයන් නම් කිරීමට දෙමළ ජාතික සන්ධානයට ඇති පරම අයිතියත් නිර්ලජ්ජී ලෙස උදුරා ගැනීමට බලයි.

දෙමළ ජනතාවගේ විශ්වසනීය නියෝජිතයා වන දෙමළ ජාතික සන්ධානයෙන් නිකුත් වන මැතිවරණ ප‍්‍රකාශනයකට, ආණ්ඩුව හෝ ආණ්ඩුවට හිතවත් පිරිස්වල අනුමැතිය ලබා ගැනීමේ අවශ්‍යතාවක් නැත. සංඛ්‍යාත්මක බහුතරයක සිතැඟියාවන්ට දෙමළ ජාතිය වහල් කොට තබා ගැනීමේ ආණ්ඩුවේ අභිලාෂයට මොන තරම් රිදුම් දෙතත්, දෙමළ ජාතික සන්ධානය යනු ආණ්ඩුවේ අණ භාර ගැනීමට සිටින සුළුතර සභාග පක්ෂයක් නොවන බව කිව යුතුය. අපේ මැතිවරණ ප‍්‍රකාශනයට මඩ ගැසීමේ චේතනාවෙන් මඩනා ලදුව, දෙමළ ජාතික සන්ධානය මගින් රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරති යි ආණ්ඩුව චෝදනා කරයි. එය මොන ලෙසකින්වත් සත්‍යයක් නොවේ.

අපේ මැතිවරණ ප‍්‍රකාශනය තුළ අළුත් යමක් නැත. දෙමළ ජාතික සන්ධානයට දෙමළ ජනතාව දෙන ලද පැහැදිළි වරමට ඇතුළත්, 2010 පක්ෂ ප‍්‍රකාශනයේ ද ඇතුළත් දේශපාලන ස්ථාවරයම මෙහි ද අන්තර්ගතය වන්නේය. මේවා, ගත වු 60 වසරක කාලයක් තිස්සේ, ‘ඉලන්කෙයි තමිල් අරසු කච්චි’ (අයි.ටී.ඒ.කේ* පක්ෂය විසින් සංගෘහිත කරන ලද අදහස් ය. දෙමළ ජනතාව ෆෙඩරල් ආණ්ඩු ක‍්‍රමයක් ඉල්ලා සිටින්නේ සහ එය ‘ඉලන්කෙයි තමිල් අරසු කච්චි’ ව්‍යාපාරය විසින් ඉස්මත්තට ගැනෙන්නේ 1950 ගණන්වල සිටයි. ඊට සියවස් කාලකට කලින්, එනම් 1926 දී, ලංකාවට වඩාත් ගැළපෙන ආණ්ඩු ක‍්‍රමය වශයෙන් මේ මතය ඉදිරිපත් කරන්නේ, එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක මහතා විසිනි. ඒ, යාපනේ දී ඔහු පවත්වන දේශන මාලාවක් සහ ‘සිලෝන් මෝනිං ලීඩර්’ පුවත්පතට ඔහු සම්පාදනය කරන ලද ලිපි හයක් හරහා ය.

අඟලක්වත් එහා මෙහා වී නැත

ෆෙඩරල් ආණ්ඩු ක‍්‍රමයක් සඳහා වන ස්වකීය නිර්දේශ වශයෙන් මෙම මතයම, යටත්විජිත කොමිෂන් සභා වෙත ‘උඩරට ලීගය’ මගින් ඉදිරිපත් කරන ලදි. ඉතා මෑතක, 2005 දෙසැම්බර් 5 වැනි දා, වර්තමාන විදේශ කටයුතු ඇමති ජී. ඇල්. පීරිස් ශ‍්‍ර‍්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ එදා ප‍්‍රධානියා වශයෙන් ඔස්ලෝ නුවර දී මෙසේ කීවේය: ‘‘එක්සත් ශ‍්‍රී ලංකාවක් තුළ ඇති කෙරෙන ෆෙඩරල් ව්‍යුහයක පදනම මත, දෙමළ කතා කරන ජනයාගේ ඓතිහාසික වාසස්ථාන ප‍්‍රදේශයන්හි අභ්‍යන්තර ස්වයං=නිර්ණයේ පදනම මත පිහිටමින් විසඳුමක් සෙවීමට එකඟ වීමු.’’

මෙවර උතුරු පළාත් සභා මැතිවරණ ප‍්‍රකාශනය තුළට අන්තර්ග‍්‍රහණය කරගෙන තිබෙන 2010 දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රකාශනය, මීට බොහෝ වසර ගණනකට පෙර බණ්ඩාරනායක මහතා සහ ‘උඩරට ලීගය’ ඉදිරිපත් කළ අදහසින් හෝ, ඊට වඩා බොහෝ මෑතක දී ශ‍්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටි ජී. ඇල්. පීරිස් ඇමතිවරයා එකඟ වූ අදහසින් හෝ එක අඟලක්වත් වෙනස් වී නැත.

වඩාත් නිවැරදිව නම් ‘අරුම පුදුම’ යන විශේෂණයෙන් හැඳින්විය යුතු වෙතත්, සැර බාල කොට කියන්නේ නම්, ‘අපූරු’ යන වචනයෙන් හැඳින්විය හැකි විශේෂයක් මෙහි තිබේ. එනම්, එස්.ඩබ්.ආර්.ඞී බණ්ඩාරනායක සහ ජී. ඇල්. පීරිස් විසින් මීට කලින් කියන ලද දෙයක් මෙන්ම, 1993 සිට 2008 දක්වා රටේ පාලනය හෙබැවූ වෙනත් ආණ්ඩු විසින් වරින් වර සිය විවිධ යෝජනා හරහා ගෙනා ස්ථාවරයම, දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කරන විට එය, ‘ජාතිවාදී’, ‘බෙදුම්වාදී’ සහ ‘අන්තවාදී’ යන විශේෂණවලින් හැඳින්වීමයි. සිංහලයන්ට ඇති අයිතිය දෙමළ ජනතාවට හෝ ඔවුන්ගේ නියෝජිතයන්ට නැති බව පෙන්නුම් කිරීමට මෙය තවත් සාක්ෂියකි. දෙමළ ජනතාව දෙවන පුරවැසියන් සේ සළකන බවක් එයින් පෙනී යයි.

ෆෙඩරල් ක‍්‍රමයක අවශ්‍යතාව ගැන දෙමළ ජාතික සන්ධානය දරණ ස්ථාවරය බෙදුම්වාදයකැ යි කීම ගොබෙල්ස් වර්ගයේ පට්ටපල් බොරුවකි. ‘‘එක්සත් ශ‍්‍රී ලංකාවක් තුළ, දෙමළ වහරන උතුරු නැගෙනහිර සඳහා වන ස්වයං=පාලනයක් වෙනුවෙන් වඩාත් උචිත වන්නේ කුමක් දැ යි නිර්ණය කිරීමට අපට ඇති අයිතිය..’’ යැයි අපේ මැතිවරණ ප‍්‍රකාශනය තුළ කියැවෙන විට අප එයින් අදහස් කරන්නේ, එම වචනවලින් කියැවෙන දෙයම මිස වෙන කිසිවක් නොවේ. එහෙත් මේ අධිකාරී පාලන තන්ත‍්‍රය සහ එහි හෙංචයියන්ගේ දැක්ම අනුව, ‘එක්සත්’ යන්නෙහි අදහස ‘බෙදුම්වාදයකි’. මීට අදාළ ඕර්වෙල්ලියානු සාදෘෂ්‍යයන් කලින් ද දක්වා තිබේ. එහි පුදුමයක් නැත. මන්ද යත්, මේ ආණ්ඩුවේ ශබ්ද කෝෂය තුළ, යුද්ධය යනු සාමයයි. නිදහස යනු වහල් භාවයයි. මෝහය/මුළාව යනු ශක්තියයි. එබැවින් ජාතීන් අතර සංහිඳියාවක් සඳහා මේ කියන ‘අනෙකා’ පිළිබඳ රුදුරු බොරුව= වඳ භාවය ඇති කෙරෙන ලොසින්ජර වර්ග මුස්ලිම් කඩසාප්පුවල බෙදා හැරෙති යි කීම වේවා, ෆෙඩරල්වාදී දෙමළ ජාතිකයන් බෙදුම්වාදීන් වශයෙන් හංවඩු ගැසීම වේවා= ඉවතලිය යුතුය. එය ඉක්මණින් කළ යුතුය. මෙවැනි ද්වේෂ සහගත නර්මාලාපකයන්ට, විවිධ ජාතීන් වෙසෙන බහුත්වවාදී සමාජයක ඉඩක් නොදිය යුතුය.


ශ‍්‍රී ලංකාවේ රාජ්‍යයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාව

දෙමළ ජාතික සන්ධානයෙන් ගන්නා ලද විශේෂ ස්ථාවරයන් ගැන සළකා බැලීමේ දී, ශ‍්‍රී ලංකා රාජ්‍යයෙන් දෙන ලද පොරොන්දු සහ ඉදිරිපත් කරන ලද යෝජනා සළකා බැලීම ද වැදගත් ය. 1993 පාර්ලිමේන්තු තේරීම් කාරක සභා (මංගල මුණසිංහ කමිටුව නමින් ද හැඳින්වෙන* යෝජනා මගින්, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලගැන්වීම සඳහා, ඊට අදාළ සමගාමී ලැයිස්තුව අවලංගු කිරීම හෝ එහි සඳහන් බලතල සමහරක් පළාත් සභා ලැයිස්තුවට ඇතුළත් කිරීම හරහා සමගාමී ලැයිස්තුව කුඩා කිරීමට, නිර්දේශ කෙරුණි. එක පළාතක් තවත් පළාතක් සමග ඒකාබද්ධ කිරීම සඳහා ප‍්‍රතිපාදන තිබිය යුතු නැතැ යි ඒ මගින් යෝජනා කෙරුණ ද, උතුරු සහ නැගෙනහිර පළාත් සඳහා පමණක්, විශේෂ අවස්ථාවක් වශයෙන් සළකා, ‘උත්තර සභාවක්’ තිබිය යුතු යැයි එය යෝජනා කෙළේය.

චන්ද්‍රිකා කුමාරණතුංග බණ්ඩාරනායකගේ ආණ්ඩුවේ 1995, 1997 සහ 2000 අගෝස්තු යෝජනාවලීන් තුළ, ‘ඒකීය රාජ්‍ය’ මාදිලිය බැහැර කරන ලදි. එම යෝජනාවලීන් තුළ රාජ්‍යය ෆෙඩරල් විය යුතු යැයි විශේෂයෙන් නාමකරණය නොකෙරුණත්, ඒවායේ අන්තර්ගතය තුළ තිබුණේ, ෆෙඩරල් මාදිලියකි. තවද, සමගාමී ලැයිස්තුවක් එහි නොතිබුණු අතර, උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීම, දෙමළ සහ මුස්ලිම් පක්ෂ සමග සාකච්ඡුාවෙන් තීරණය කළ යුතු බව කීවේය. ඉහත සඳහන් ආණ්ඩු යෝජනා තුන ඉදිරිපත් කෙරෙන අවස්ථාවේත්, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් ඇමති මණ්ඩලයේ අනුමැතිය සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේත්, මහින්ද රාජපක්ෂ එම ඇමති මණ්ඩලයේ සාමාජිකයෙකු විය.

පසුව, ජනාධිපති මහින්ද රාජපක්ෂත්, ‘සර්ව පාක්ෂික නියෝජිත කමිටුවක්’ පත්කෙළේය. ඊට අමතරව, ‘විද්වත් කමිටුවක්’ ද ඔහු පත්කෙළේය. 2006 ජුලි මාසයේ දී මේ සභා දෙක ආමන්ත‍්‍රණය කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ කීවේ මෙසේය:

‘‘බණ්ඩාරනායක=චෙල්වනායගම් ගිවිසුමේ සිටම ගන්නා ලද ප‍්‍රයත්නයන් අප විමර්ෂණය කළ යුතුය. වෙනත් රටවල අත්දැකීම් තුළින් අප නිසි පාඩම් උගත යුතුය. මම මේ රටට බලහත්කාරයෙන් විසඳුමක් නොපටවමි. එහෙත් ඔබ හැම, සාකච්ඡුා මාර්ගයෙන් ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් සෙවිය යුතුය..

‘‘ඒ ඒ පළාත්වල ජනතාව තමන්ගේ ඉරණම තමන්ගේ අතට ගත යුතුය. ඒ පළාත්වල දේශපාලන=ආර්ථික පරිසරය ඔවුන් මෙහෙයවිය යුතුය. පළාත් වෙත අසමානුපාතික ලෙස සම්පත් බෙදා හැරීම සිදු කරන මධ්‍යගත තීරක ක‍්‍රියාවලිය බොහෝ කලක සිට ගැටළුකාරී වී තිබේ. ඊට අමතරව, මධ්‍යම ආණ්ඩුව වෙත ඕනෑවට වඩා පරායත්ත නොවී, පළාතේ සමාජාර්ථික ප‍්‍රවර්ධනයට අදාළ ප‍්‍රශ්නවලට ආමන්ත‍්‍රණය කිරීමට හැකි වීමත්, බලය බෙදාහැරීමක් තුළ තිබිය යුතු බව අමුතුවෙන් නොකිවමනාය. ඒ අර්ථයෙන් ගත් විට, ප‍්‍රාදේශීය සුළු ජාතීන්ගේ ගැටළුවට ආමන්ත‍්‍රණය කිරීම වැදගත් ය..

‘‘කොටින් කිව්වොත්, ජනතාවට තමන්ගේ ඉරණම අතට ගත හැකි වන පරිද්දෙන් බලය බෙදාහැරීමේ අවශ්‍යතාව, හදිසි කටයුත්තක් සේ සළකා, ඕනෑම විසඳුමක් තුළ අන්තර්ගත විය යුත්තකි. ලෝකයේ බොහෝ තැන්වල මෙය සාර්ථකව අත්හදාබලා තිබේ. සැබෑ ශ‍්‍රී ලාංකීය ව්‍යවස්ථා රාමුවක් ගොඩනගා ගැනීමේ දී අප අධ්‍යයනය කළ යුතු බොහෝ උදාහරණ ලෝකය පුරා තිබේ. ඉන්දියාවත් ඊට ඇතුළත් ය.

‘‘ගැටුමේ පසුබිම සැළකිල්ලට ගනිමින්, රටේ ස්වෛරීත්වය කැප නොකෙරෙන සේ, උපරිම බලය බෙදාහැරීමක් ඕනෑම විසඳුමක හරය විය යුතුය.’’

ආණ්ඩුවෙන් දෙන ලද සහතික කිරීම්

පුළුල් බලය බෙදාහැරීමක් ‘විද්වත් කමිටුවෙන්’ යෝජනා කෙරුණු අතර, උතුරු සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට අදාළව වෙනස් විකල්ප තුනක් ඒ මගින් යෝජනා කෙරුණි.

යුද්ධය අවසන් වීමෙන් පසුව, ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ශ‍්‍රී ලංකා ආණ්ඩුව, එක්සත් ජාතීන්ගේ සංවිධානයටත්, ඉන්දියාවටත්, ජාත්‍යන්තර ප‍්‍රජාවටත් සහතික වීම් කිහිපයක්ම දුනි. ඒ සියල්ලේම අන්තර්ගත අර්ථය වුණේ, ‘‘13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පරිපූර්ණ වශයෙන් ක‍්‍රියාත්මක කිරීම සහ එම ශක්තිය මත අර්ථවත් බලය බෙදාහැරීමක් වෙත ගමන් කිරීම’’ ජාතික සංහිඳියාවේ ප‍්‍රාථමික පියවර වන බවයි.

මේ පොරොන්දුවේ අංග දෙකක් තිබේ. පළමුවැන්න, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක‍්‍රියාත්මක කිරීමයි. එය දැනටමත් අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ අඩංගු අංගයකි. පොලිස් සහ ඉඩම් බලතල ප‍්‍රාදේශීය වශයෙන් බෙදා හැරීම ඊට අඩංගුයි. යාබද පළාත් දෙකක් හෝ තුනක් ඒකාබද්ධ වීම සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන ද ඊට අඩංගුයි. ඒ කාරණයට අදාළ තීරණ ගන්නෝ එම පළාත්වලම අයවළුන් මිස පිටස්තර පළාත්වල වෙසෙන්නන් නොවේ.

මේ නිසා, 13 ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක‍්‍රියාත්මක කළ යුතු යැයි දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටින විට ඔවුන් අතින් කෙරෙන්නේ, රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ඉහළින්ම භාරගෙන ආරක්ෂා කිරීමයි. එසේම එය, ජනාධිපතිවරයා දී තිබෙන පොරොන්දු ඉෂ්ට කිරීමට අපේ පැත්තෙන් ඔහුට සහාය වීමක් ද වන්නේය.

ජනාධිපතිවරයාගේ පොරොන්දුවේ ඊළඟ අංගය වන්නේ, වඩාත් අර්ථවත් බලය බෙදාහැරීමක් සඳහා 13 වැනි සංශෝධනයෙනුත් එහාට යාමයි. ‘එහා යාමක්’ යන්නෙහි එකම අර්ථය විය හැක්කේ, වඩාත් ෆෙඩරල් ව්‍යුහයක් කරා ගමන් කිරීමයි. එබැවින්, ෆෙඩරල් ව්‍යුහයක් තුළ අර්ථවත් බලය බෙදාහැරීමක් දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටින විට එය වටහාගත යුත්තේ, ජනාධිපතිවරයා හා ශ‍්‍රී ලංකා ආණ්ඩුව දෙන ලද පොරොන්දු ඉෂ්ට කිරීමට ඔවුන්ට සහාය වීමට ඉදිරිපත් වීමක් වශයෙනි. එම සහාය, ‘‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්’’, ‘‘එල්.ටී.ටී.ඊ. න්‍යාය පත‍්‍රයක්’’ හෝ ‘‘බෙදුම්වාදයක්’’ වශයෙන් අර්ථ ගැන්වීම, කොටින්ම කිව්වොත්, අපභ‍්‍රංශයකි.

පැහැදිළිව කිව යුතු එක දෙයක් තිබේ. ආතක්පාතක් නැති ප‍්‍රතික‍්‍රියාවන්ට, දෙමළ ජාතික සන්ධානය යටත් වන්නේ නැත. අපේ ස්ථාවරය ගැන සහතික විශ්වාසයක අපි සිටිමු. ඒ මත පදනම්ව අප විසින් නිකුත් කරන ලද ප‍්‍රකාශනයන්ගෙන් බිය ගන්වා අපව ඈත් කිරීමට නොහැක. ඒ නිසා, දෙමළ ජනතාවගෙන් පත්වූ නියෝජිතයන් වශයෙන්, එක්සත් ශ‍්‍රී ලංකාවක් තුළ ෆෙඩරල් ව්‍යුහයක් හරහා ස්වයං=නිර්ණය අභ්‍යාස කිරීමට අපේ ජනතාවට ඇති අයිතිය අපි අවධාරණය කොට නැවත කියා සිටිමු. ඒ හෙයින්, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක‍්‍රියාත්මක කරන ලෙසත්, ජාතික ප‍්‍රශ්නය විසඳීමට ප‍්‍රමාණවත් නොවෙතත්, අත්‍යාවශ්‍ය වන, 13 න් එහාට යන ලෙසත්, අපි උදක්ම ඉල්ලා සිටිමු.


එම්. ඒ. සුමන්දිරන්
| M. A. Sumanthiran

##

2013 සැප්තැම්බර් 15 වැනි දා ‘සිලෝන් ටුඬේ’ පුවත්පතේ පළවූ ,ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්