බරපතල මානව හිමිකම් උල්ලංඝන චෝදනා සම්බන්ධයෙන් ලබන මාර්තු මාසය වන විට විශ්වසනීය පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් දීමට ශ්‍රී ලංකා ආණ්ඩුව අපොහොසත් වන්නේ නම්, එවැනි පරීක්ෂණයක් පැවැත්වීම ජාත්‍යන්තර ප්‍රජාවේ වගකීම බව මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය අනතුරු අඟවයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ විසින් සකස් කෙරුණු ශ්‍රී ලංකාව පිළිබඳ යාවත් කාලීන වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ 24 වැනි සැසි වාරයේ දී ඉදිරිපත් කෙරුණේ නියෝජ්‍ය මහ කොමසාරිස් ෆ්ලාවියා පන්සියෙරි විසිණුයි.
පසුගිය අගෝස්තු මාසයේ කෙරුණු ශ්‍රී ලංකා සංචාරයේ දී ඇය විසින් කරන ලද නිරීක්ෂණ ද මෙම වාර්තාවට පදනම් වී තිබේ.
සිය සංචාරය සැලසුම් කිරීමේ සිට රටින් පිටවී යන තෙක් දැක්වූ ඉමහත් සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකා රජය වෙත ස්තුතිය පළ කරන මහා කොමසාරිස්වරිය ජාත්‍යන්තර ප්‍රජාව ගේ සහයෝගය ද ඇති ව යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශ නැවත ගොඩ නැංවීමේ හා ජනයා නැවත පදිංචි කිරීමේ දී ලබා ඇති ප්‍රගතිය ඉහල ඇගයීමකට ලක් කර තිබේ.
2008-2009 කාලයට පෙර අතුරුදහන් වූ දහස් ගණනක් පිලිබඳව තවමත් තොරතුරු නැති නමුත් යුද්ධයෙන් උන් හිටි තැන් අහිමි වූවන්ගෙන් වැඩි ප්‍රමාණයක් නැවත පදිංචි කර ඇති බව සඳහන් කරන ඇය, තමන්ට මුණගැසුණු, එලෙස නැවත පදිංචි වූවන් ගෙන් ඔවුන් මුහුණ දෙන විවිධ දුෂ්කරතා පිලිබඳ අසන්නට ලැබුණු බවද සඳහන් කර තිබිණ.
මැතිවරණය ‘සුභ ලකුණක්’
උතුරේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම ඇගයීමට ලක් කරන පිල්ලේ මහත්මිය එය බලය විමධ්‍යගත කිරීමේ මුලික අවස්ථාවක් ලෙස හඳුන්වා දී තිබේ. කෙසේ නමුත් යුද්ධය නිමා වී වසර හතරකට පසුවත් සැලකිය යුතු ප්‍රමාණයක හමුදා කණ්ඩායම් උතුරේ රඳවා තිබීම නැවත පදිංචි වුවන්, පුනරුත්ථාපනය වුවන් සහ රැඳවියන් අපහසුතාවට පත් කිරීමක් බව වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.
නැවත පදිංචි කළ ප්‍රදේශ වල ගෘහස්ත කාන්තාවන් ගේ සහ තරුණියන්ගේ අසරණ භාවය පිලිබඳ සඳහන් කරන වාර්තාව විශේෂයෙන්ම හමුදා සාමාජිකයන් අතින් ස්ත්‍රීන් අතවරයන්ට ලක්වීම පිළිබඳවද දැඩි අවධානයක් යොමු කරයි.
යාපනය, මුලතිව්, කිලිනොච්චි සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක වල හමුදා කඳවුරු පිහිටුවීමේ දී පෞද්ගලික ඉඩම් අත් කර ගැනීම පිලිබඳ තොරතුරු ලැබුණු බව පවසන මහ කොමසාරිස් වරිය සිය වාර්තාව මගින් හමුදා අධිකාරිත්වය එම ප්‍රදේශ වල අධ්‍යාපනය, කෘෂිකර්මය සහ සංචාරක ව්‍යාපාරයටද, සමස්තයක් වශයෙන් ආර්ථිකයට ද බලපෑ ඇති බව පෙන්වා දී තිබේ.
සාමාන්‍ය පුරවැසියන් සම්බන්ධ කටයුතු වලින් හමුදාව වෙන්කොට තැබීමේ අවශ්‍යතාව අවධාරණය කරන වාර්තාව, රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධ කටයුතු ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවතීම දැඩි අවධානයකට ලක්කරයි.
රාජ්‍ය නොවන සංවිධාන සඳහා වූ කාර්යාලය ආරක්ෂක අමාත්‍යංශ පාලනයෙන් ඉවත්කොට වෙනත් අමාත්‍යාංශයකට අනුයුක්ත කිරීම කඩිනමින් කළ යුත්තක් බවයි නවී පිල්ලේ එහිදි පවසා ඇති බවත් එහි සදහන් වෙයි.
පොලිසිය
තමන් දිවයිනට පැමිණි දින දී ම පොලිසිය ආරක්ෂක අමාත්‍යංශයෙන් පරිබාහිර ආයතනයක් ලෙස වෙන්කිරීමට ගත් පියවර අගය කරන මහ කොමසාරිස්වරිය එය ජාතික පොලිස් කොමිසම සහ මානව හිමිකම් කොමිසම අතර සබඳතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස සඳහන් කරයි.
සිය ශ්‍රී ලංකා සංචාරය සමයේදීම රජය විසින් අතුරුදහන් වුවන් පිලිබඳ නව කොමිසමක් පත්කිරීම පිලිබඳ සඳහන් කරන නවී පිල්ලේ අවාසනාවකට එම කොමිසම 1990 සිට 2009 දක්වා උතුරු නැගෙනහිර පළාත්වල සිදුවු අතුරුදහන් වීම වලට පමණක් සීමා වී ඇතැයි සඳහන් කරයි.
රඳවාගෙන සිටින එල්ටීටීඊ සාමාජිකයන්ට සාක්ෂි ඇත්නම් නීති මගින් කටයුතු කිරීම, නිදහස් කිරීම හෝ පුනරුත්ථාපනය කිරීම කඩිනම් කිරීමේ අවශ්‍යතාවය මහකොමසාරිස්වරිය අවධාරණය කරන්නීය.
මෑත කාලීනව ලංකාවෙන් වාර්තා වූ අන්තර් ආගමික ගැටුම් පිලිබඳ අනතුරු හඟවන නවී පිල්ලේ ක්‍රිස්තියානි හා හින්දු ආගමික ස්ථාන වලට අමතරව, මුස්ලිම් පල්ලි වලට පමණක් පහරදීම් සහ බියවැද්දීම් 227 ක් පිලිබඳ තමාට වාර්තා වී ඇති බව සඳහන් කරයි.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ විදේශ කටයුතු භාර ඇමතිවරයා සමග මේ පිලිබඳ සාකච්ඡා කළ බව සඳහන් කරන ඇය එවැනි සිදුවීම් පිළිබඳව ඉදිරියටත් මානව හිමිකම් මණ්ඩලයට වාර්තා කරන බව අවධාරණය කරයි.
උපුටා ගැනීම – BBC