[Image : Vikalpa File | 21 September 2013 | Peduruthuduwa, Jaffna]

ඡන්දය අවසන් වී ඇත. ප්‍රතිඵල වලින් ලංකා සමාජය ගැන පැහැදිලි රූපයක් මවාපාන අතර තේරුම් ගන්නේ නම් රටටම හොඳ පණිවිඩයක් දෙනු ලබයි. යුද්ධයෙන් බෙදූ රට, යුද්ධයෙන් පසු ද එක් වූයේ නැත. පාලකයින්ට එසේ එක් කිරීමට වැඩ පිළිවෙලක් මෙන්ම වුවමනාවක් තිබුනේ නැත. උතුරට පැහැදිලි හමුදා පාලනයක් ද දකුණට ආධිපත්‍යවාදී පාලනයක් ද පැවතුණි. ඡන්දය පාවිච්චි කිරීමේදී උතුරේ ජනතාව තමන්ගේ අයිතීන් දිවි දෙවනුකොට සලකන බවක් පෙන්නුම් කරමින් තමන්ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය වෙනුවෙන් පෙනී සිටින බව පෙන්වා ඇත. බත් පතට, අරක්කු ටිකට, සාරියකට ගැති ගොස්තරවාදී දේශපාලනයකට ඇබ්බැහි වී ඇති දකුණෙන්, දකුණේ ඡන්දදායකයන්ගෙන් ඔවුන් පැහැදිලිවම වෙනස් බව පෙන්වා ඇත.

එයින් පෙන්වන්නේ රට ධ්‍රැවීකරණය වී ඇති බවයි. ඒ එක් පැත්තකින් නොව විවිධ පැති වලිනි.

සිංහල ඡන්දදායකයා අති සිංහල ජාතිවාදයට මෙන්ම ගොස්තරවාදයකට (මුදලට, රැකියාවට ද්‍රව්‍යමය පගාවකට වැනි )ඡන්දය පාවිච්චි කරන විට දෙමළ ඡන්දදායකයා තම ප්‍රජාතාන්ත්‍රීය අයිතීන් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරමින් පැහැදිලි දේශපාලන මිනිසුන් බවට තමන් පත් වී ඇති බව පෙන්නුම් කරයි.

එමෙන්ම සිංහල ඡන්දදායකයා සිංහල ජාතිවාදයේ හික්මීයන්, නළාකරුවන්, කසකරුවන්, පසුපස නොව පැහැදිලි සිංහල ජාතිවාදී බලවේගය වන නැතිනම් ජාතිවාදයේ මුදුන් මල්කඩ ලෙස ඔවුන් සලකන මහින්ද බලවේගය සමග පෙළ ගැසී ඇත. සිංහල ජාතිවාදයෙන් මිදුන ඡන්දයක් දකුණේ නැති තරමට දකුණ සිංහල ජාතිවාදය තුල ධ්‍රැවීකරණය වී ඇත.

මෙහිදී දෙමළ ඡන්ද දායකයා දේශපාලනීකරණය වීම තුල ද සිංහල ඡන්දදායකයා සිංහල ජාතිවාදී වීම තුල ද පැහැදිලි ධ්‍රැවීකරණයක් පෙන්නුම් කරයි.

ඡන්දයෙන් පසු පෙන්නුම් කරන අනිකුත් ඛේදවාචකය වන්නේ සිංහල දේශපාලන පක්ෂ, වමේ කියා ගන්නා පක්ෂ ඇතුලත්ව ඡන්දයේ ප්‍රතිඵල වැරදියට කියවීමයි. උතුරේ ජනයාගේ දේශපාලණීකරණය වූ ඡන්දය ඔවුන් විග්‍රහ කරන මුග්ධ ආකාරය තුලින් එය පැහැදිලි වෙයි.

‘උතුරු පළාතේ සෑම දිස්ත්‍රික්කයකම දෙමළ සන්ධානයට 2/3 ජනතා වරමක් දී ඇත. පසුගිය වසර 3 පුරා රජය විශාල ලෙස වියදම් දරා ගෙන ගිය සංවර්ධන වැඩපිලිවෙල ප්‍රමාණවත් වී නැත.’ – වාසුදේව නානායක්කාර

‘උතුරු වසන්තය තුලින් දැවැන්ත සංවර්ධනයක් උතුරට යොමු කර රාජපක්ෂවරුනට කළගුණ සැලකීම වෙනුවට ඔවුන්ට මුල අමතක වෙලා’ – බැසිල් රාජපක්ෂ

‘උතුරු පළාතේ ඡන්ද ප්‍රතිඵලය බරපතල තත්වයක් මතුකර තියෙනවා. එම ප්‍රතිඵලයෙන් ජාතිවාදය, බෙදුම්වාදය තහවුරු වෙලා තියෙනවා…………………………උතුරේ ඡන්දයට ඇත්තේ ජාතිවාදී පදනම තමයි. T.N.A. දිනා තිබීම බෙදුම්වාදයේ ජයග්‍රහණයකි’
– ටිල්වින් සිල්වා

මේ ඉහතින් දැක්වෙන්නේ ජ.වි.පෙ, වාසු සහ නිදහස් සන්ධානය වැනි අයගේ දැක්මයි. මෙයට අමතරව දේශපාලන විචාරයන් ලියන විචාරකයන් ඉතා ටික දෙනෙකු හැර වැඩි දෙනා මෙම ඡන්දය විග්‍රහ කර ඇත්තේ දෙමළ ජාතිවාදයට දෙමළ ජනයා ඡන්දය පාවිච්චි කර ඇති බවයි. ඔවුන් වැඩි දෙනාට නොපෙනෙන දේ වන්නේ

*දෙමළ ඡන්දය පැහැදිලිවම දේශපාලනීය වූ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් පෙනී සිටින අතර සිංහල ඡන්ද ජාතිවාදය තුල ගිලී ඇති බවයි.

*වමේ සහ රජයේ මෙන්ම සිංහල දේශපාලන ක්‍රියාවෙන් පමණක් නොව දර්ශණයෙන් ද ගොස්තරවාදී වී ඇති බව.

මේ ඉහත දේශපාලකයන් කියන්නේ වැඩිපුර ද්‍රව්‍යමය වාසි ඇති කලා නම් දෙමළ ජනයා සිංහල පක්ෂ වලට ඡන්දය දෙනු ලබනු ඇති බවයි.

මෙයින් රටේ දේශපාලනය වටහා ගත හැකි වනු ඇත. කෑමට බීමට යමක් දී පාරවල් දෙකක් තුනක් හැදුවා නම් කළගුණ සැලකිය යුතුයි. (ඇත්තෙන්ම මෙය පගාකාරී මානසික තත්වයකි)

21 වන සියවසේ දේශපාලනය යනු පාරක් හැදීම නොව මිනිසුන්ගේ නිදහස සහ අයිතීන් තහවුරු කිරීමේ දේශපාලනයක් විය යුතු බව ඔවුන් වටහා ගෙන නොමැත. කෑම බීම හෝ පාරවල් තැනීම ද මෙම අයිතීන්වල කොටසක් පමණි. (ලංකාව පුරා පාරවල් වලට කොන්ක්‍රීට් දැමීමේ ‘කොන්ක්‍රීට් වනාන්තර’ වැඩ පිළිවෙල මහින්ද රජයේ වැඩපිලිවෙලින් නොව ලෝක බැංකුවේ වැට සටහනකි)

ලංකාවේ දේශපාලන බලධරයන්ට හදුනාගැනීමට අවශ්‍ය නම් අද මේ ඡන්දයෙන් පැහැදිලිවම දෙන ප්‍රධාන පණිවිඩය වන්නේ රටේ ජාතික ප්‍රශ්ණය වසර 65 ක රවුමක් කැරකී නැවත 1948 යටත් විජිතවාදීන් අපට රට භාරදී යන විට තිබූ තැනට නැවත පැමිණ ඇති බවය.

මේ වසර 65 ක පාරාවලල්ල කැරකී නැවත තිබුණ තැනට පැමිණ ඇත්තේ කොපමණ විනාශයක්, කොපමණ ජීවිත ප්‍රමාණයක් බිලිගෙන ද යන්න මා විස්තර කළයුතු ද නැත. දෙමළ ජනයාගේ අයිතීන් සාමකාමී ලෙස ඉල්ලීමට එරෙහිව ප්‍රචන්ඩත්වය යෙදවීමේ හේතුවෙන් දෙමළ ප්‍රචන්ඩත්වය ඇතිවීම හා වසර 27 ක යුද්ධයක් විසින් රටම විනාශයට ඇද දැමීය. මිනිස් ජීවිත ලක්ෂ ගණනක් ද , මිලියන් ගණනක් අනාථයක් සහ සරණාගතයන් ද බිහි කලේය. සම්පූර්ණයෙන්ම මානසික ආබාධයකට ගොදුරු වූ ජන සමාජයක් උතුරේ මෙන්ම දකුණේ ද ඉතිරි කරනු ලැබීය. අද වන විට ලංකා සමාජය තුල අරක් ගෙන ඇති අපරාධ සහ ඒවායේ ස්වභාවය විග්‍රහ කරන්නේ නම් ඒවාට මූලික හේතුව යුද්ධයේ අතුරු ප්‍රතිඵල බව පැහැදිලි කර ගත හැකි වනු ඇත.

කෙසේ වුවත් මෙපමණ විනාශයන්ට මුහුණ දී හෝ දෙමළ සමාජය ඉතා බුද්ධිමත් සහ පැහැදිලි මනසකින් යුතුව මෙම ඡන්දයේදී තම ඡන්දය තුලින් දේශපාලන වුවමනාව පැහැදිලිව ඉදිරිපත් කර ඇත. ඒ වෙනුවට දකුණේ ඡන්දය පවුල්වාදයට ගොස්තරවාදයට සහ ජාතිවාදයට යට වී තිබේ.

1948 නිදහස ලබන විට සුදු අධිරාජ්‍යවාදීන් විසින් අපට ඉතිරි කර ගිය ලංකාව දෙසට මොහොතකට හැරෙමු.

*එකම පරිපාලනයකට යටත් කළ ලංකාවක්

*දියුණු අධ්‍යාපන ක්‍රමයක්

*නීතියේ ආධිපත්‍ය ඇති රාජ්‍ය පද්ධතියක්

*පුද්ගලයා සතු අයිතීන්ට නීතියේ රැකවරණයක්

*තමන්ගේ ඡන්දයෙන් තම නියෝජිතයා තෝරා ගැනීමට ඇති අයිතිය

*මුළු රට පුරා විහිදුන මංමාවත් සහ දුම්රිය මාර්ග පද්ධතියක්

මේ මා ඉහත ඉදිරිපත් කරන්නේ විජිතවාදීන් අපට උරුම කරන ප්‍රජාතන්ත්‍ර අයිතීන් ( මේවා පූර්ණ ඒවා නොවූවද) කොටසකි. නමුත් අධිරාජ්‍ය වාදීන් අප රට යටත් කර ගන්නා විට

*ලංකා දූපත රාජ්‍යයන් ගණනාවක් වෙන් වෙන්ව පැවැතුනු භූමියකි.

*අධ්‍යාපනය හිමිව තිබුණේ රදලයන්ට සහ හාමුදුරුවරුන්ට පමනි.

*නීතිය වූයේ ඒ ඒ රජුගේ සහ පළාත් පාලනය කළ නිලමේලා ගේ කැමැත්තය.

*පුද්ගලයා අයිති වූයේ රජුට සහ රදලයන්ටය.

*යටත් වැසියා නැත්නම් එදා අප හැඳින්වූ ආකාරයට ‘ගැත්තාව’ අයිතීන් කියා දෙයක් තිබුණේ නැත.

*නායකයන් පත් කර ගැනීමට යටත් වැසියාගේ කැමැත්ත සැලකුවේ නැත.

*මුළු රට පමණක් නොව ගම් නියම්ගම් පවා වන ලැහැබ් තුලින් වෙන් වී තිබූ අතර යාපනයේ සිට කොළඹට යා යුතු වූයේ ගොන් තවලම් වලිනි. එය ද අලි, වලස් ප්‍රහාර මැද ය. උඩරටට යාමට ද එකා පසුපස එකා යන ගිරි දුර්ග මැද පයින් ගමනකි.

‘සුද්දා ගල නොවිද්දානම් උඹලත් තාමත් ඉන්නෙ අමුඩය පිටින්’
යන කියමන ෂෙල්ටන් පයාගල කලාකරුවාගේ කියමනකි.

මේවා ලියන්නේ අප අගය කළ යුතු දෙය අගය කිරීමටත් පිටු දැකිය යුතු දෙය පිටු දකින්නටත් නොදන්නා දේශපාලනයක් තුල සිර වී සිටි බැවිනි.

කෙසේ වුව ද මම මගේ තේමාවට එමි. 1948 ඡන්දයෙන් බලයට පත් වූ පාර්ලිමේන්තුවම පුරවැසි පනත මගින් උඩරට දෙමළ ජනයාගේ පුරවැසි අයිතිය අහෝසි කරනු ලබයි. ඒ වන විට රටේ දළ ජාතික ආදායමෙන් 2/3 ලැබුනේ තේ වලිනි. එසේ මුළු රටම ඔවුන් මත යැපුණා වුනත් අපට ලැබුණු පලමු අවස්ථාවෙන්ම අපි ඔවුන් රටක් නැති මිනිසුන් බවට පත් කළෙමු.

එදා දෙමළ ජනයාට මුහුණ දීමට සිදු වූ තත්වය සැලකිල්ලට ගත් දෙමළ නායකයින් තමිල් අරිසකච්චි නැතිනම් ෆෙඩරල් පක්ෂය ගොඩ නැගූ අතර දෙමළ ජනයා ස්වයං පාලන ඒකක සහිත සංධිය ක්‍රමයක් ඉල්ලා සිටිනු ලැබීය.

මෙම ඉල්ලීම් වටහාගෙන එයට සාධාරණ විසඳුමකට ඒම වෙනුවට 1956 දී මුළු රටේම දෙමළ ජනයාට දෙවැනි තැනකට ඇද දමමින් සිංහල පමණක් රාජ්‍ය භාෂාව බවට පත් කරනු ලැබීය.

1972 දී ලංකාවේ එතෙක් තිබූ ව්‍යවස්ථාව අහෝසි කර අලුත් ව්‍යවස්ථාව තුලින් එතෙක් සුළු ජනවර්ගවලට ව්‍යවස්ථාවේ 29 වන වගන්තිය තුලින් හිමි කර තිබූ ආරක්ෂාව අහෝසි කරනු ලැබීය. එපමණක් නොව 1972 ව්‍යවස්ථාව තුලින් බුද්ධාගම රාජ්‍ය ආගම ලෙස නම් කරනු ලැබීය. එතෙක් රටට තිබූ නම ‘ලංකාව’ වෙනුවට පක්ෂයක නමක් වූ ‘ශ්‍රී ලංකා’ ලෙස නම් කරනු ලැබීය. එයින් පසු ලංකාව, ශ්‍රී ලංකාව විය.

1978 ව්‍යවස්ථාව මුළු දේශාපාලනය ඒකාධිපති ජනාධිපති ක්‍රමය සහිත ව්‍යස්ථාවකට යටත් කරනු ලැබීය. 2010 දී 18 වන ව්‍යවස්ථා සංශෝධනය තුලින් රට තුල ඉතිරිව තිබූ ප්‍රජාතන්ත්‍රික ව්‍යුහයන් ද වල පල්ලට යවනු ලැබීය.

මේ මා ඉතා කෙටියෙන් සටහන් කලේ යටත් විජිතවාදීන් මේ රටේ ජනතාවට තහවුරු කර තිබූ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මේ රට ස්වදේශීය පාලකයින් විසින් එකින් එක කප්පාදු කර දැමූ අයුරුය. පහත ප්‍රස්ථාරයෙන් එය පැහැදිලිව පෙනේ. (මෙසේ ස්වදේශීය පාලකයන් ප්‍රජාතන්ත්‍ර අයිතීන් කප්පාදු කර දැමූ සහ ජනතාව එයට ඉහට උඩින් කැමැත්ත දීම වෙනම ලිපියකින් විග්‍රහ කළ යුතු මනෝභාවයකි.)

ඉතින් නැවත වසර 65 ක පරාවලල්ල කැරකී ජාතික ප්‍රශ්නය 1948 සිටි තැනට පැමිණ ඇත. පණිවිඩය හදුනා ගන්නේ නම් පමා වී වැඩි වූවා වුවත් තවමත් විසඳුම් ඇත.

දෙමළ ජනයා තම දෑත දිගුකර සහයෝගයෙන් දේශපාලන විසඳුමකට ඒමට ඇති කැමැත්ත මෙම ඡන්දයෙන් පැහැදිලි පෙන්නුම් කර ඇත.

දෙමළ ජනයාට පමණක් නොව මුළු ලංකාවේම ජනයා ප්‍රජාතන්ත්‍රවාදයේ හිඟයකින් පෙලේ. දෙමළ ජනයාගේ නැතිනම් සුළු කණ්ඩායම්වල අයිතීන් තහවුරු වන දේශපාලන බල බෙදීමකින් අරභා රට තුල ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍ය නැවත තහවුරු කිරීමක දේශපාලනයකට රට තුල අඩිතාලම නොදමන්නේ නම් රට තව තවත් ධ්‍රැවීකරණය වී යනු ඇත. අඩුම තරමින් එක්සත් බවත් රැක ගැනීමට නොහැකි මට්ටමක රට පත් වීම වැලැක්විය නොහැකි වනු ඇත.

ඉතිහාසයේ සරදමක් මෙන් සුදු අධිරාජ්‍යවාදීන් අපට පවරණවිට දකුණේ සිට කන්කසන්තුරේ දක්වා දුම්රිය මාර්ගයක් තිබුණි. අද එය ඇත්තේ කිලිනොච්චිය දක්වා පමනි. ජාතික ප්‍රශ්ණය ද එසේමය. එදා යම් ප්‍රජාතන්ත්‍රවාදයක් සුළු ජාතීන්ට හිමිව තිබිණ. අද ඔවුන් සතු ඒ එදා තිබූ අයිතීන් ද අහිමි කර ඇත. හරියටම කන්කසන්තුරේ දක්වා තිබූ දුම්රිය අද කිලිනොච්චිය දක්වා පමණක් තිබෙන්නාක් මෙනි.

නමුත් ලංකා දේශපාලන බල අධිකාරිය වටහා ගත යුතු වැදගත්ම දෙය 1948 ලංකාවේ ජන අයිතින් ගැන ජාත්‍යන්තර ප්‍රජාව දැක් වූ විමසිල්ල මෙන් සිය ගුණයකට එහා ගිය විමසිල්ලක් ජාත්‍යන්තර ප්‍රජාව අද ලංකාවේ සුළු ජන ජන කණ්ඩායම් වල අයිතීන් ගැන දක්වන බවයි. අනෙක් අතින් 1948 මිනිසුන්ගේ ජ්‍රජාතන්ත්‍ර අයිතීන් ගැන ලෝකය තිබූ තැනින් විශාල ඉදිරියකට අද ලෝකය ගමන් කර ඇති බවයි.

එනිසා පැරණි ප්‍රස්ථා පිරුළක් වන ‘දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ’ යන කියමනෙන් මේ කෙටි සටහන අවසන් කරමි.

ranjith_hennayake
රන්ජිත් හේනායක ආරච්චි
| Ranjith Hennayakaarchchi