එක දවසක මධුවිත සන්ධ්‍යාවක මගේ සාහිත්‍ය මිත්‍රයෙකු හදිසියේම මට වෙනස් අන්දමේ යෝජනාවක් කළේය. “මචං පොතක් ලියපං. දරුවෙකු හදලා පරම්පරාවක් ගෙනියනවා වගේ තමයි,පොතක් ලියලා ඉතිහාසයක් නිර්මාණය කරනවා”. ​මම යන්තමට සිනාසුනෙමි. පසුගිය දිනෙක මගේ ඊ-මේලයේ මිත්‍රයෙකු විසින් යොමුකල ඊ-මේලයක් විය. එහි වූයේ ඉතා කෙටි පණිවුඩයකි. “සනාගේ පොත් එළියට ආවා”. සෑම දිනකම සුභාරංචි​යේ ඊ-මේල් පණිවුඩය ලැබේවියැයි කියා බලා සිටිනා මට, සැබැවින්ම එය ප්‍රීතිමත් පණිඩුයක් විය.

“මේ සොදුරු දඩබිමෙහි….” සහ “මරණයේ සෙවනැල්ල යට නිදා සිටි පූස් පැටියා” මගින් ජීවිතයේ බිහිසුණු වර්ෂ ගණකට පසු හෙතෙම සිය ජීවිතයේ එක්තරා යුගයක් අකුරුකර පිටුවහලේ සිට මව්බිම වෙතට එවා තිබේ. ගතින් තවත් භූමියක රැදෙමින් මනසින් තවත් භූමියක ජීවත්ව සිටිනා පිටුවහලෙකුට සිය මවිබිම වෙත නැවත ඇමතීමට ලැබීම එක්තරා අන්දමේ අමන්දානන්දයක් සහ සන්තාපයක් ද මිශ්‍ර හැගීමක් වනවා ඇත.

1185595_10202178785375090_907029194_n

“මේ සොදුරු දඩබිමෙහි…” පෙරවදනේ මෙලෙස වෙයි;


“මේ කතාවේ රූපරාමු එකින් එක මනසින් දකිමින් ගතකළ කාලයක් විය. ඒ මෙයින් වසර බොහෝ ගණනකට ඉහත වකවානුවකි. පසුව මම ඒ රූපරාමු පරිගණක අකුරු බවට හරවන්නට පටන් ගතිමි. එහෙත් කලින් නොදන්වා අක්‍රීය වූ පරිගණක දෘඩතැටියක ඒවා සදාකාලයට මිහිදන් විය.

එයින් අනතරුව අපේ ජීවිතවලට උදාවූයේ කලකෝලාහල බහලු සමයකි. අර රූපරාමු ඉඳහිට දකිමින් සිටියත්, ඒවා ගැන වැඩිපුර කල්පනා කරන්නට හැකි වේවේක පාඩුවක මම නොසිටියෙමි.

එදා හිගව තිබූ මේ විවේකය, පසුකලෙක හුදෙකලා පිටුවහලකට පලවා හැරීමෙන් බලහත්කාරයෙන් ම අපට ලබාදෙනු ලැබිණි. ශාරීරික විවේකය, මානසික ​විවේකයක් බවට පෙරළාගැනීමට පමණක් අපට අපේ අභ්‍යන්තරය සමග ම සටන් කරන්නට සිදුවිය

පොතක් සම්බන්ධයෙන් කථා කරන්නට හෝ ජීවිතය සම්බන්ධයෙන් කථාකරන්නට අන්තර්ජාලය කිසිදු විටක සැප පහසු ස්ථානයක් වන්නේ නෑත. අලෝක වර්ෂ ගණනක් එක මි​ටට හකුලා දුන්නද අන්තර්ජාලයේ තවමත් හැගීමට ඇති දුර අතික්‍රමණය කර නැත. බොහෝ තාක්ෂණික අපහසුතා මැද මම ඔහු ඇමතුවෙමි. මම සනත් බාලසූරිය ඇමතුවෙමි. ඉහත කී කෙටි ඊ-මේල් පණිවුඩයේ කියවුනු “පොත් එළියට ආ” පොත් ගැන දැනගනු රිසියෙනි.

බොරැල්ලලේ පෙට්ටි කඩයක් අයි​​නේ හෝ පබ් එකේ පිටුපස කැන්ටිමේ ප්ලේන්ටියක් බොමින් කරන කථාබහ තරම්ම අන්තර්ජාල කථාබහ ළග නොවුනද “අපි පොත් ගැන පාඨකයන්ට කථාකරන්න ඉඩ තියමු. මම ලිව්ව දේ ගැන මම කථාකරවාට වඩා ඒක හොදයි.” සනත්ගේ පළමු කොන්දේසියට ඉඩ තබමින්ම අපි කථාව ආරම්භ කලෙමු.

පොතක් ලියනවා කියන එක හරියට දරුවෙක් හදනවා වගේ වැඩක් . එතකොට එයම අදාළ කරලා ‘මේ සොදුරු දඩබිමෙහි’ සහ ‘මරණයේ සෙවනැල්ල යට නිදා සිටි පූස් පැටියා’ කියන එක ගත්තොත්. කොහොමද මේ කෘතිවල ආරම්භයන් සිදුවෙන්නේ? මම ඔහුගෙන් අසා සිටියෙමි.

“1998 විතර තමයි ​මගේ පළවෙනි කෙටිකථා පොත එළියට එන්නේ. ඒ කාලේ වෙනකොටත් මම ජනමාධ්‍යවේදියෙක්. ඔය සමාන්තර කාලයේදීම තමයි මම ජනමාධ්‍ය සංගම්වලටත් ක්‍රියාකාරිකව සම්බන්ධ වෙන්නේ. මම ප්‍රධාන වශයෙන් ක්‍රියාකාරී වුණේ සාමාජිකයන්ගේ ඡන්දයෙන් නිලධාරීන් පත්වීමේ යාන්ත්‍රණයක් තිබුණු සංගමයක. තරුණයන් විදියට අපි මේ සංගම්වල දුටු එක ප්‍රධාන ගැටලුවක් තමයි ඒවයේ නායකයන්, ප්‍රධානින් තමන් ගේ සියලු තීරණ තීන්දු ගත්තේ සාමාජිකයා ගේ පැත්තෙන් බලනවාට වඩා තමන් ගේ රස්සාව ආරක්ෂා කරගැනීමේ පැත්තෙන් බලාගෙන වීම. වෘත්තීය අයිතිවාසිකම් වගේ දේවල් වෙනුවෙන් පෙනී ඉන්න ගිහින් තමන්ටත් රස්සාව නැතිවෙයි, කියන බය ඔවුන් ගේ හැම තීන්දුවක් තීරණයක් පිටිපස්සේ ම තිබුණා. නමුත් අපි තරුණ පිරිසක් මේ සංගම්වලට පත්වුණාම, තමන්ගේ රස්සාව බේරගන්න ඕනෑ කියන පදනමේ සිට සංගම් වැඩ කරන්න බෑ කියන එක තමයි අපේ අදහස වුනේ. සංගම්වල ප්‍රධාන නිලතලවලට ආවා නම් තමන්ගේ රස්සාව පරදුවට තියලා හරි සාමාජිකයා වෙනුවෙන් පෙනීහිටින්න ඕනෑ කියන එකයි අපේ ස්ථාවරය වුණේ. ඒ ව​ගේම විශේෂයෙන් උතුරේ යුද්ධයට අදාළව ඒ මොහොතේ ජනමාධ්‍යවේදීන් කටයුතු කරමින් සිටි ආකාරය වැරදීයි කියන එකත් අපේ ප්‍රධාන අදහසක් වුණා. ඒ නිසා ජනමාධ්‍යයේ ප්‍රධාන ධාරාවට වෙනස් ව, දෙමළ ජාතිකයා ගේ ප්‍රශ්නයට යුද්ධය විසදුමක් නොවේ ය, ඊට සාමකාමී දේශපාලන විසදුමකින් පිළිතුරු සෙවිය යුතුය කියන ස්ථාවරයේ ඉදලා ජනමාධ්‍යවේදීන් එක්රැස් කිරීමත් ඒ පිළිබද මතවාදයක් හැදීමත් අප ඒ කාලේ නිරත වෙලා හිටපු කටයුතු යි. මෙන්න මේ හේතු හින්දා මගේ සාහිත්‍ය කටයුතු පොඩ්ඩක් පැත්තයකට දාන්න මට සිදුවුණා. නමුත් ඒ ගැන මට කණගාටුවක් තිබුණේ නෑ. මොකද ජනමාධ්‍යවේදියෙක් හැටියට මගේ ප්‍රධාන වැඩෙත් ලියන එක. ඒ අතරෙම අපේ වෘත්තිය කෙතරම් පහලට වැටිලද කියන එකත් අපි දැක්කා. වෘත්තීය අයිතිවාසිකම් නෑ, රැකියාවේ සුරක්ෂිතභාවයක් නෑ, හිරිහැටි පඩියක් නෑ, මේවා හින්දම මිනිස්සු නිවට වෙලා ඉන්නවා. එතකොට මේකත් සුද්ධ කරන්නත් ඕනේ. අනිත් පැත්තෙන් පවතින විනාශකාරී යුද්ධයක් වෙනුවෙන් අපේම ජනමාධ්‍යවේදීන් පොහොර දාමින් සිටිනවා. ඒ තත්ත්වයත් වෙනස් කරන්න ඕනේ. මේ අදහස්වල තමයි අප සමග හිටපු තරුණ පිරිස පිහිටා හිටියේ.

ඊට පස්සේ 2005 වෙනවිට අපි තරුණ ජනමාධ්‍යවේදීන් කණ්ඩායමක් ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමයේ නිලධාරී මණ්ඩලයට පත්වෙනවා. මා එහි සභාපති වෙනවා. ඊට පස්සේ රටතුළ ක්‍රියාත්මක වෙමින් පැවැති ප්‍රධාන ජනමාධ්‍ය සංගම් සියල්ල අපි 2006 වන විට එකතු කර එක පෙරමුණකට ගෙනෙනවා. මේ ක්‍රියාවලිය දිගටම ක්‍රියාත්මක වේගෙන එනකොට ර​ටේ තත්ත්වය වෙනස් වෙන්වා . යුද්දේ ආපහු පටන් ගන්නවා. ඒ එක්කම අපි දරපු ආස්ථාන එක්ක සහ අප නියැලී සිටි වැඩ කොටස් එක්ක ජීවිත තර්ජන එන්න ගන්නවා. ඒ එක්කම අපට තේරෙනවා අපේ පූර්වගාමීන්ට තිබුණු රස්සා බේරගැනීමේ ප්‍රශ්නය නෙමෙයි අපට තවදුරටත් තියෙන්නේ, ජීවිතය බේරාගැනීමේ ප්‍රශ්නය කියලා. මෙ වැනි වාතාවරණයක් මැද්දේ මගේ සාහිත්‍ය කටයුතු දැනුවත්ම පැත්තකට දාන්න මට සිදු වුණා.

මුලින්ම මගෙ අදහස වුණේ යම් කාලයක් මේ සංගම් වැඩ කරලා ඒ කටයුතු කාලයාගේ ඇවෑමෙන් අලුත් පරම්පාරවට පවරලා නැවත් මගේ සාහිත්‍ය කටයුතුවලට අවතීර්ණ වෙනවා කියන එකයි. නමුත් ඒ විදිහට නෙවෙයි දේවල් සිද්ධ වුනේ. අවසානයේ සිදුවුනේ ජීවිතේ බේරගන්න ඉතාම හදිසි පිටුහලක්ට අවතීර්ණ වෙන්නයි.

මම ඔය කියන කාලේදිම, හරියටම කිව්වොත් 2004 දි ව​ගේ පටන් විවේකයක් ලැබුනු අවස්ථාවල ලියලා එකලස් කරගත්ත කථා වගයක් තිබුණා. 2009 දී රටෙන් එළියට ආවට පස්සේ මම ඒ කථා ටික එකතු කරලා පොඩ්ඩක් නැවත පෙළගස්වලා 2009 අවසානය වනවිට ඒවා පළකරන්න පුලුවන් විදියට සූදානම් කරලයි තිබුණේ. බලහත්කාර විවේක ගැන්වීමෙන් පසු මම තීරණය කළා නැවත සාහිත්‍ය කටයුතුවලට අත ගහන්න. ඒ විදිහට තමයි නව කතාව ආරම්භ වෙන්නේ. කථාවට පාදක වෙලා තියෙන්නේ කණ්ඩලම හෝටලය සෑදීම සහ එයට ප්‍රතිපක්ෂව ඇතිවුණු අරගලය. ජනමාධ්‍යවේදියෙක් විදිහට මම ඒ අරගලය වාර්තා කලා. මම දැක්කා ව්‍යාපෘතියේ වගේ ම ඊට එරෙහි සටනේත් තිබුණු අඩුපාඩු. මට ඒ ගැන මගේ වූ විග්‍රහයක් තිබුණා. ඒ නිසාම මම ජයවර්ධනපුර විශ්වවිද්‍යා​ෙල් අධ්‍යයන පාඨමාලවක නිබන්ධනය ලෙසටත් එය ඉදිරිපත් කළා. නමුත් මෙය නිර්මාණයක් දක්වා පරිවර්තනය කරන්න පුලුවන් කියලා මගේ අදහසක් තිබුනත්, ඒක යම් පමණකට අරඹලා තිබුණත්, එවක තිබූ අවිවේකීත්වයත් එක්ක ඒක යටපත් වෙලා ගියා. නමුත් රටින් පිටවුනාට පස්සේ නැවත ඒ කථාව එක්ක වැඩකරලා ඒකත් මම ලියලා ඉවර කළා 2011 මැද වගේ වෙද්දි. එතකොට මගේ ළග අවසන් කරපු පොත් දෙකක් තිබුණා. 2009 අවසන් කළ කෙටි කථා පොත සහ 2011 දී ලියපු නවකථාව. නමුත් මේ වනකම් මේවා එකක්වත් පලකරන්න පුලුවන්කමක් තිබුණේ නෑ. ඒකට විවිධ හේතු තිබුණා. අපට පිටුවහල් වෙන්න සිදු වුණු දා ඉදලා අද වෙනතුරු අපි ගැන රජයේ මාධ්‍ය ගෙනිච්ච ප්‍රචාරය වුනේ දේශද්‍රෝහීන්, කොටි හිතවාදීන් වගේ රට ඇතුලේ භයංකර ප්‍රතිරූපයක් මවන ප්‍රචාරයන්. එ වැනි වාතාවරණයක අපේ පොතක් පලකිරීම කියන්නේ ප්‍රශ්නකාරී දෙයක් කියන එක පිළිගන්න වෙනවා. කො​හොම හරි මට එකග වෙන්න පුලුවන් ප්‍රකාශකයෙක් ලැබුණාම තමයි පොත් ටික එළියට දැම්මේ”

එක හුස්මට කියාගෙන ගිය ඒ හැදින්වීමෙන් පසුව අපට එකිනෙකා දෙස බලා නිහඩ අවකාශක් තබා දීර්ඝ හුස්මක් ගෑනීමේ අවස්ථාවක් අන්තර්ජාලය තුළ නැත. ඒ නිසාම මම මාගේ ඔහුට දෙවැනි පැනය යොමුකෙලෙමි.

කලෙකදී ජනමාධ්‍ය ක්‍රියාකරිකයෙකු වූ සහ මෙකල සාහිත්‍යකරුවෙකු ලෙස දක්වා සිදුවී ඇති පරිවර්තනයට ජනමාධ්‍යවේදයේ හිතුවක්කාර ගුණය කොහොමද නිර්මාණකරණයටදායක වෙන්නේ?

“ඉස්සෙල්ලම කියන්න ඕනේ පොදු සමාජ වැඩවලදි මම තනි තීරණ අරගෙන නෑ. නායකයෙක් විදිහට වැඩකරද්දි මගේ ස්ථිර තීරණ තිබුණා. නමුත් මම ඒ ස්ථිර තීරණයට එන්න කළින් අනිත් සෑම කෙනෙක් එක්කම කථා කරනවා. එතකොට ඒක මගේ තනි තීරණයක් නෙමෙයි. සාමූහික තීරණයක්. සාමූහික වැඩ කලාවේදී යමකට මග පෙන්නවනවා නම්, යමක නියමු කාර්්‍යභාරයක් කරනවානම් මෙය අවශ්‍ය දෙයක්. නමුත් සාහිත්‍යයේ දී මේක මේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ නෑ. මොකද සාහිත්‍යය කියන්නේ ලේඛකයා ගේ හිතුවක්කාරකම තමයි. එයා කරන්නේ එයාට ඕන දේ. කතාව හදන්නේ එයා. චරිත හදන්නේ එයා. නමුත් ඒ ක්‍රියාවලිය එළියට පෙන්නේ නෑ. මොකද ඒ සියලු හිතුවක්කාරී තීරණ ගොඩනගලා තියෙන්න ඔහු තුල නිසා. පෙනෙන්නේ අවසන් නිර්මිතය විතරයි. නමුත් මාධ්‍ය ක්‍රියාකාරකම් හරි නැතිනම් සමාජ වැඩ හරි සම්බන්ධයෙන් ගන්න තීරණ හැමෝටම පේනවා සහ හැමෝටම බලපානවා. ඒ වුනත් සාහිත්‍යකරණයේ සහ සමාජ ක්‍රියාකාරකම් වල යම් සමානවයන් තියෙනවා වගේම අසමානත්වයන්ද පවතිනවා. ඒ හිතුවක්කාරකම මෙන්න මේ වගේ වෙන්න පුලුවන්. තමන් නිවැරදී කියලා හිතන දේ ගැන තමන්ට පෙනී සිටින්න පුලුවන් වෙන්න ඕනේ, ඒ පෙනීසිටීම සාධාරණයි කියලා ඔප්පු කරන්න තර්ක ශක්තියක්, පෙන්වා දිය හැකි හේතුපල සම්බන්ධයක් තියෙන්න ඕ​නේ, ඔන්න ඔය කියන එක සාහිත්‍යයටත් අදාළයි, සමාජ ක්‍රියාකාරකම් වලටත් අදාළයි.”

සමාජ ක්‍රියාකාරීත්වයේ කාර්ය බහුලත්වය නිසා හෝ තමන් දරණ​ දේශපාලනික ආස්ථානයන් සාහිත්‍ය නිර්මාණය නිසා අර්බුදයට ලක්වේවි යන මේ කරණු දෙකම නිසා අපට අහිමිවූ අතිදක්ෂ සාහිත්‍යවේදීහු වෙති. මෙම සාධකය කෙසේ ඔබට බලපාවිද කියා කාලයක් තිස්සේ මා තුළම තෙරපෙමින් සිටි ප්‍රශ්ණයක් මම සනත්ගෙන් විමසා සිටියෙමි.

මුලිනුත් කී පරිදි 1999 වගේ කාලයක සිට 2009 වගේ කාලයක් දක්වා මම හරියටම අවුරුදු 10 ක් සාමුහික සහ දේශපාලන ක්‍රියාවලියක නිරත වෙමින් සිටියා. ඒ කාලය තුළ මම සාහිත්‍ය කටයුතු වල නිරත නොවීමට ඔබ ඉහතින් කී කරුණත් එක් හේතුවක්. ඒ අවුරුදු දහය ඇතුලේ මගේ ප්‍රකාශණය වුනේ මගේ සාමාජ ක්‍රියාකාරකම්. ඒ කාලයේ සාහිත්‍යයෙන් ඇත්වීමටත් එයත් එක හේතුවක්. උදාහරණයක් විදහට කවියෙක් සහ දේශපාලන ක්‍රියාකාරිකයෙක් යන භූමිකා දෙක හරියට වෙන්කර ගැනීමට නොහැකි වුනොත් ඔහු ​තමන්ගේ දේශපාලන ව්‍යාපාරය තුළම ප්‍රශ්ණ කිරීමට ලක්වෙන්න පුලුවන්. එහෙම අවදානමක් තිබෙනවා. අද මම ලියන්න ගත්තත් මා ඉදිරියෙත් ඔය කියනා අවදානම තිබෙනවා.

නමුත් දැන් මට සිදුවෙලා තියෙන්නේ බලෙන් පිටුවහල් වෙන්නයි. දැනුත් මම යම් දේශපාලන ක්‍රියාවලියක ඉන්නවා තමයි. ඒත් දැන් මට තවත් අතිරික්ත වෙලාවක් තිබෙනවා. අනෙක් පැත්තෙන් ම​ගේ ආත්ම ප්‍රකාශන හැටියට එළියට දාන්න තවත් දේවල් මා ඇතුලේ ඉතිරිවෙලා තිබෙනවා. එයට භූමිය, පිරිස් ඇතුලු වඩා වැඩි අහිමිවීමක් තිබෙනවා. ඒ නිසා මම හිතනවා ​දැනට මේ ගෙවන ජීවිතය ඇතුලේ මගේ ප්‍රධාන ප්‍රකාශන විදිය වෙන්නේ සාහිත්‍යය කියලා. දැනට මට මගේ රටේ මිනිසුන් සමග මට දියත් කරන්න බැරි සංවාදය සාහිත්‍ය තුළින් යම් දුරකට හරි කරන්න පුලුවන් වෙයි කියලා හිතනවා.

හදිසි​යේම මිනිසෙකුට තම භූමිය අහිමිවීම හෙවත් බලෙන් පිටුවහල් වන්නට සිදුවීම මිනිස් සංහතියේම ඛේදණීය අත්දැකීමක් සහ බිහිසුණු ක්ෂිතිමය අත්දැකීමකි. නිර්මාණය ක්‍රියාවලිය තුළ මේ රිදුම විනිවිද ඇත්තේ ​කොහොමද? මේ සොදුරු දඩබිමෙහි කතෘට මා සෘජු ප්‍රශ්ණයක් යොමු කෙලෙමි.

“මම හිතන දෙයක් තමයි ජීවිතේ ඒ මොහොතෙම ප්‍රකාශ වෙන්නත් පුලුවන්… කාලයක් ගිහින් ප්‍රකාශ වෙන්නත් පුලුවන්. උදාහරණයකට මේ එළියට ඇවිල්ල තියෙන පොත් දෙක මීට කලින් දේවල්. කාලයකදි වෙනත් වැඩ නිසා අතපසු වෙච්චි දේවල් මේ මොහොතේදී එලියට ඇවිල්ලා තියෙනවා. මම හිතුවා මේ මොහොතෙදි මේ පොත් එළියට දාන්නත් අවශ්‍යයි කියලා. මම යන ගමනේ පිය සටහන් තියෙන්න ඕනේ කියා මට හිතුණා.

නමුත් ඔබ ඉහතින් මතුකරන මානව ඛේදවාචකය, පිටුවහලන්ගේ මානව ඛේදවාචකය, අපේ ම ජීවිතවල ඊළග අදියර ගැන ආනාගතයේ එළිදකින නිර්මාණ තුළින් එළියට පැමිණේවි. මොන හේතු නිසා පිටුවහල් වුණත් මිනිස්සු ආගන්තුක සාමාජයක් ඉස්සරහා නිරාවරණය වුණාම මුහුණ දෙන පීඩනය සාංකාව වගේ දේවල් සම්බන්ධ ඇතැම් දේ මේ වන විටත් මගේ අතින් ලියවෙමින් තියෙනවා. නමුත් මේ මොහොතේ මා එළියට දමා තියෙන්නේ ඒවා නෙවෙයි. ඊට ඉහත අවදියක දේවල් ටිකක් තමයි එළියට ඇවිත් තියෙන්නේ. ඒවා විවිධ හේතු නිසා මට එළියට දමන්න මගහැරුණු දේවල් කියලා කියන්න පුළුවන්. ඊට අමතරව දැන් අවුරුදු පහක් විතර තිස්සේ පිටුවහලෙකු ලෙස මුහුණ දෙමින් ඉන්න අත්දැකීම් තිබෙනවා. මාත් ඇතුලුව පිටුවහල වෙච්ච සහෝදර සහෝදරියන්ගේ ජිවතවලට බලපාන ගැටලු ඒ මිනිස් සම්බන්ධතාවල වෙනස්කම්. ඒ වගේම සමාජ ක්‍රියාකාරිකයන් ලෙස ඒ වසර 5ට ඔබ්බෙන් ගෙවුණු කාලයක් තියෙනවා. ඊටත් අමතරව අප පිටුවහලන් බවට පත්කළ නිසා අපෙන් දුරස්ව සිදුවෙච්ච හා සිදුවෙමින් පවතින මානව ඛේදවාචකයන් බොහොමයක් අපේ මුල් තියෙන භූමියේ තියෙනවා. එතකොට මම ඒවා දිහා බලන්නේ කොහොමද? මේ වාගේ සෑම දෙයක්ම මිනිහෙක් හැටියට මගේ ඉස්සරහා තියෙනවා. එතකොට ඉදිරියේදී මම ඒ දේවල් විග්‍රහ කරගත්ත විදිහ, මම ඒවා දැක්ක විදිහ පොතක් පතක් හෝ වෙන කුමක් හෝ නිර්මාණයක් විදියට එළියට එන්න පුලුවන්.

ඒ වගේ ම අපි ලියන කියන දේවල් එක්ක ලංකාව ඇතුළේ ගනුදෙනු කරන අයට මුහුණ දෙන්න සිදුවන තත්ත්වයන් ගැනත් අපිට හිතන්න වෙනවා. තමන් ගේ අසමත්භාවයන් වහගන්න විවිධ සතුරන් හොය හොයා ඇවිදින ආණ්ඩුව තමන්ගෙ රූප පෙට්ටිවලින් අදටත් අපේ පින්තූර පෙන්වමින් අපට එරෙහිව දේශද්‍රෝහීන්, ජාත්‍යයන්තර කුමන්ත්‍රණකාරයන් ආදී බහුබූත ප්‍රචාරය කරමින් ඉන්න කොට විශේෂයෙන් අපි මේ ගැන සැලකිලිමත් විය යුතුයි. මේ තමයි අප ඉස්සරහ තියෙන එක් අභියෝගක්. ඒත් අපි අපේ ආත්ම ප්‍රකාශනය අපේ සමාජය ඉදිරියේ කරන්නත් ඕනෑ. ඒ නිසාම මේ පොත් යුගලය මගේ ඒ ගමනට පදනම දැමීමක් සහ මගේ අනාගත නිර්මාණයන් සදහා පසුබිම සදා ගැනීමක් විදියටයි මං දකින්නේ.

මොකද මගේ ඉලක්ක ගත සහෘදය ඉන්නේ ලංකා පොලොවේ. නමුත් ඒ සම්බන්ධය ගොඩ නගන්න බාහිර බාධා ටිකක් තිබෙනවා. එම නිසා එම පසුබිම සකස්කර ගන්න අපට කල්යල් බලන්න වෙනවා.”

මගේ ප්‍රශ්ණයට සනත්ගේ විස්තරාත්මක පිළිතුර අතරතුර මට පිටුහල නිර්මාණකරනය සම්බන්ධව තවත් අතුරු නැගුණු ප්‍රශ්ණය අප අතර නිහඩතාවයට ඉඩක්​ නොතබාම ඒ අතරු ප්‍රශ්ණය ඇසීම.

පිටුවහලෙකු ලෙස මනසින් ලංකාවේ ජීවතවෙමින් සිරැරෙන් තවත් දේශ දීපංකරයක ජීවිතය ගෙවමින් තිබෙන මොහොතක ජීවිත තුල වූ මේ ගැටුම ඉදිරි නිර්මාණ වලට තල්ලුවක්ද?

“පුද්ගලිකව මම ජීවිතේට අත්විදින්න සිදුවන විවිධ තත්ත්වයන් සම්බන්ධව කම්පාවන අයෙක් නෙමෙයි. මම සමාජ වැඩ වලට එනකොටම දැනගෙන සිටියා බොහෝ අලාභ මගේ ජීවිතයට සිදුවෙයි කියලා. හැබැයි ජීවිතේ බේරගන්න මේ වගේ රටින් පලායන්න වෙයි කියලා නම් අපි කවුරුවත් හිතුවේ නෑ. නමුත් ඒ ගැන පවා මගේ කණස්සල්ක් නෑ. මොකද ඒක මගේ ප්‍රශ්ණයක් නෙවෙයි. එක් මගේ ර​ටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ ප්‍රශ්ණයක්. එ වැනි රටක විකල්ප සමාජ දේශපාලන වැඩ කරනවා නම් ඇතිවිය හැකි අනතුරු ගැනත් දැනගෙන ඉන්න ඕනෑ. එහෙම නැතිව හොටු පෙරාගෙන අඩලා වැඩක් නෑ. පිටුවහල කියන්නේ මට අභියෝගයක් තමයි. එතකොට මගේ සාහිත්‍ය එක් අතකින් ඒ අභියෝගයට මගේ ප්‍රතිචාරය වෙන්නත් පුළුවන්.

ඒ අතරෙම ලංකාව ඇතුළෙම හිටියා නම් පෙනෙන්නේ නැති දේවල් පවා දැන් අපට පේනවා වෙන්න පුළුවන්. උදාහරණයකට අපේ නිම්වළලු මේ පිටුවහල් ජීවිතයත් එක්ක එදාට වඩා යම් තරමක් පුළුල් වෙලා වෙන්න පුළුවන්. ඒ නිසා ම අපට පේන වපසරිය වැඩි වෙන්න පුළුවන්. අපට දැන් පේනවා විශ්ව මිනිහාගේ හුදකලාව. දකින්න පුළුවන් වපසරිය පුලුල් වෙන්න වෙන්න තේරුම් යන දෙයක් තමයි මා විතරක් නොවෙයි හැම මිනිහෙක් ම ජීවත් වන්නේ දරැණු හුදකලාවක කියන එක. ලංකාවම ගත්තත් ඒක කොතරම් හුදකලා තැනද්ද කියලත් දැන් එදාට වඩා පේනවා. එකේ ජීවත්වන මනුස්සයා කොයිතරම් හුදකලා මනුස්සයෙක්ද කියලත් ​පේනවා. ඒ නිසා මට දැන් අවස්ථාවක් ලැබිලා තියෙනවා, මං පහුකරන් ආපු, අපේ සහොදර සහෝදරයින් පහුකරන් ආපු ජීවිත දිහා නිවීහැනහිල්ලේ ආපසු හැරිලා බලන්න. ඒ නිසා එය මට අභියෝගයක් මිසක් කනස්සලු වන්න කාරණයක් නෙවෙයි.”

ඒ පිළිතුර නිමාවේදී මා ඔහුගෙන් විමසා සිටියේ පොත ගැන ටිකක් කථාකරමුද කියා. පිළිතුරු ලෙස ඔහු මුලු කොන්දේසි නැවත වරක් මා හට මතක් කරවීය. “පොත් ගැන පාඨකයන්ට කථා කරන්න ඉඩ තියමු.”

එහෙයින්ම යක්කු ගස්නගින වෙලාවට ආරම්භ වී අලුයම දක්වාත් දිගුවී තිබු අපේ කථාබහට සමුදුන්නෙමු. අලුයම අවදී වී රැකියාවට යාම සූදානම් වන මගේ මිතුරා කාමරයට එබෙමින් ඇසුවේ “උඹ තාම නිදි නැද්ද?”

“නෑ… යාලුවෙක් පොත් දෙකක් එළියට දාලා… ඒක ගැන කතාකලා”. පිලිතුරු දුන් මා තවත් දුම්වරටික් දල්වාගෙන වේලාව බැලීම. වෙලාව පාන්දර 4.30 යි.

සටහන – නිර්මාල් ඒකනායක

1235137_10151925019098573_1536827714_n