මැතිවරණ ප‍්‍රතිඵල විශ්ලේෂකයන් (එවැනි නමකට ඔවුන් සාකල්‍යයෙන් ගැලපේ ද යන්න වෙනම කාරණයකි) තර්ක කරන්නේ තම තමන්ගේම වන පුද්ගලවාදී දෘෂ්ටි කෝණවලිනි.

ශ‍්‍රී ලංකාවේ නම ගිය ‘දේශපාලන විශ්ලේෂකයයෙකු’ වන දයාන් ජයතිලකට ඇත්තේ පහත සඳහන් අර්ථකථනයයි:

‘‘අන්තෙටම පරාජය වුණේ එක්සත් ජාතික පක්ෂය සහ එහි නායක රනිල් වික‍්‍රමසිංහයි. ජනතා විමුක්ති පෙරමුණත් ඒ ගොඩට අයත් ය. ඒ දෙපාර්ශ්වයම සම්බන්ධයෙන් ප‍්‍රශ්නය වන්නේ නායකත්වයයි. ඒ එක පක්ෂයකටවත්, අළුතෙන් ඡුන්දදායකයන් ඇද ගැනීමට තබා, අඩු වශයෙන් තමන්ගේ ඡුන්දදායන්වත් රඳවා ගැනීමේ හැකියාව ඇති ජාතික නායකයෙකු වශයෙන් ගත හැකි පුද්ගලයෙකු නැත.

ප‍්‍රශ්නය වඩාත් බරපතල වන්නේ එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙනි. මන්ද යත්, ප‍්‍රධාන ප‍්‍රජාතන්ත‍්‍රවාදී විකල්පය එය වන බැවිනි. එය, රටේ විශාලතම පක්ෂය වූ කාලයක් තිබුණි. අවුරුදු 17 ක් තිස්සේ එක්සත් ජාතික පක්ෂය රටේ බලය හෙබවීමෙන් පසු, විපක්ෂයෙන් ඉදිරිපත් කළ බරපතල ප‍්‍රතිවාදිනියක වූ චන්ද්‍රිකා කුමාරණතුංගට එදිරිව ශී‍්‍රමා දිසානායක වැනි කෙනෙකු ප‍්‍රධාන ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් කිරීමට සිදු වු අවස්ථාවේ පවා, එක්සත් ජාතික පක්ෂය සියයට 43 ක් ඡුන්ද ලබා ගත්තේය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ 19 වසරක පාලන කාලයක් ගෙවී ඇති අද එක්සත් ජාතික පක්ෂයට ලබාගත හැකිව ඇත්තේ සියයට 20 ගණනක් පමණි. එක්සත් ජාතික පක්ෂය සතුව පැවති පදනම් ඡුන්ද ප‍්‍රතිශතය වූ සියයට 40 අද වන විට ආණ්ඩුව සහ එක්සත් ජාතික පක්ෂය අතර ඇති ඡුන්ද පරතරයේ ප‍්‍රතිශතය බවට පත්ව ඇත/

එක්සත් ජාතික පක්ෂයට අයත් වර්තමාන විපක්ෂයේ සිටින මන්ත‍්‍රීන් සංඛ්‍යාව මෙන් එකහමාරකට සමාන එක්සත් ජාතික පක්ෂ හිටපු මන්ත‍්‍රීන් සංඛ්‍යාවක් අද ආණ්ඩුවේ සිටිති.

වර්තමාන නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂය අද ජනාධිපතිවරණයකට මුහුණ දුන්නොත්, පසුගිය පළාත් සභා මැතිවරණ දෙකේ දී එම පක්ෂය ලබා ගත් සියයට 26 සාමාන්‍ය ඡුන්ද ප‍්‍රතිශතයවත් ආරක්ෂා කර ගැනීමට ඊට නොහැකි වන්නේය.’’

දයාන් විශ්ලේෂණය ඉවර කරන්නේ, රනිල් වෙනුවට, කරු ජයසූරියව සහ සජිත් පේ‍්‍රමදාසව රෙකමදාරු කිරීමෙනි.

‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ තීරු ලිපියක කෙනෙකු පෙන්වා දී තිබු පරිදි, මේ සියල්ල හාන්සි පුටු විශ්ලේෂණ නොවේද? තොරතුරු දරිද්‍රතාවයෙන් පෙලීම ශ‍්‍රී ලංකාවේ අවාසනාවකි. පවතින තොරතුරු පවා ඵලදායී සහ අර්ථවත් අන්දමින් ඉදිරිපත් කරන්නේ නැත. උදාහරණයක් වශයෙන්, ඡුන්දය පාවිච්චි නොකළ ප‍්‍රතිශතය කුමක් ද? මෑතක දී අවසන් වූ පළාත් සභා මැතිවරණ සහ ඊට පෙර පැවති පළාත් සභා මැතිවරණ අතර සන්සන්දනයක් කෝ? එසේම, උදාහරණයක් වශයෙන්, ඕස්ටේ‍්‍රලියාව වැනි රටක, මැතිවරණ කාලයක දී සහ ඉන් පසුව පවා පවත්වන මත විමසුම් සංගණන ශ‍්‍රී ලංකාවේ ඇත්තේම නැත.

ඉතිං, අපට ලැබෙන්නේ දයාන් ජයතිලක වැන්නන්ගේ තුට්ටු දෙකේ දේශනා ය. ඉහත සඳහන් දෙවැනි ෙඡ්දයේ සපයා ඇති සංඛ්‍යා ලේඛන, ඇපල් සහ දොඩම් සංසන්දනය කිරීමකට වෙනස් නැතැ යි දයාන්ට නොවැටහෙයි ද? ඔහු කරන්නේ, තමාගේ තර්කය පාඨකයා ලවා විශ්වාස කැරැුවීමට වාසිදායක ස්ථානයකට පාඨකයාව තල්ලූ කිරීම සඳහා, මහ මැතිවරණ ප‍්‍රතිඵල සමග පළාත් සභා මැතිවරණ ප‍්‍රතිඵල අච්චාරු දැමීමයි. එය, ඔහුගේ තත්වයේ කෙනෙකු නොකළ යුතු, අදහාගත නොහැකි තරමේ, බාල අභ්‍යාසයකි. මෙකී මැතිවරණ දෙවර්ගයේ දී ක‍්‍රියාත්මක වන්නේ වෙනස් හේතු සාධක බව සාමාන්‍ය, පෘථග්ජන ශ‍්‍රී ලාංකිකයා පවා දනී. පළාත් සභා මැතිවරණ සමාන වන්නේ පළාත් පාලන මැතිවරණවලටයි. එහි දී හැම විටම සිදුවන්නේ පාලක පක්ෂය ඉදිරියේ විරුද්ධ පක්ෂය පරාජයට පත්වීමයි. එවැනි මැතිවරණයක දී පක්ෂ නායකයා කිසි විටෙකත්, මැතිවරණ කොට්ඨාශයේ ප‍්‍රධාන ප‍්‍රස්තුතය වන්නේ නැත. එහි දී වඩා වැදගත් වන්නේ, පෞද්ගලික සහ ප‍්‍රාදේශීය අවශ්‍යතාවන් ය. ඊටත් වඩා, පළාත් සභා මැතිවරණ වු කලී, බොහෝ දෙනෙකුට නොම්මර එකේ විහිළුවකි. තමන් තෝරා පත්කර ගන්නේ, දත් නැති කොටි විශේෂයක් නිසා, එසේ සිතීම අසාධාරණ නැත.

රනිල් වෙනුවට කරු ජයසූරිය සහ සජිත් පේ‍්‍රමදාසව නිර්දේශ කිරීම, යථාර්ථයට නොගැළපෙන, ප‍්‍රබන්ධයකට ගැළපෙන, දයාන්ගේ තවත් පෞද්ගලික අභිමතයකි. කරූ ජයසූරිය යනු එක්සත් ජාතික පක්ෂය කඩාඉහිරවූ පුද්ගලයා ය. ඒ කඩාවැටීමෙන් පක්ෂය තවම ගොඩ විත් නැත. කරූ ජයසූරිය විසින් එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට එක්කරගෙන ගිය පිරිස, අද රාජපක්ෂ ආණ්ඩුවේ ප‍්‍රබලම කණ්ඩායමයි. මේ පක්ෂ මාරුව කෙරෙන අවස්ථාවේ, කතානායකවරයෙකු පත්කර ගැනීමට බහුතරයක්වත් මහින්දට තිබුණේ නැත. රනිල් වික‍්‍රමසිංහගේම සහායෙන් කරූ නැවත එක්සත් ජාතික පක්ෂයට ආවේ, මහින්ද රාජපක්ෂ ඔහුට සැළකූ පහත් ආකාරය නිසා ය. එසේ ආපසු එන විට, පක්ෂයට විය හැකි හානිය සිදුවී හමාරයි. ඊටත් වඩා, තමන් ආණ්ඩුවට රැුගෙන ගිය පිරිසෙන් එක් කෙනෙකු හෝ ආපසු පක්ෂයට රැුගෙන ඒමට කරු ජයසූරිය අපොහොසත් විය. අඩුම වශයෙන් ඔහුගේ බෑනාව පවා එක්කරගෙන එන්නට ඔහුට නුපුළුවන් විය. එසේ ගිය සියල්ලන්ට අවශ්‍ය කළ එකම දෙය වුණේ තාන්නමාන්නයි. කරූ ජයසූරිය ඒ උගුලට හසු වුණි. ඒ සියල්ල සිදු වීමෙන් වසරක් ගිය තැන පක්ෂ නායකත්වය සඳහා පවා රනිල් සමග තරග කිරීමට කරූ ජයසූරිය ඉදිරිපත් වුණේ කෙසේද යන්න ඇත්තෙන්ම විස්මිත ය.

මහින්ද රාජපක්ෂව මුදුන් අත්තට නැග්ගුවේ කරූ ජයසූරිය ප‍්‍රමුඛ ඒ පිරිස කළ පක්ෂ මාරුවෙනි. ඔඩොක්කුවට වැටුණු එම වාසිය රාජපක්ෂ උපරිමයෙන් ප‍්‍රයෝජනයට ගත්තේය. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් සම්මත කර ගැනීමෙන් පසු අද වන විට මහින්ද රාජපක්ෂ ශ‍්‍රී ලංකාවේ මහරජ කමටම පත්ව සිටී.

කරූ ජයසූරියව, මහත්මා ගුණයෙන් යුත්, ඉතා ප‍්‍රසන්න පුද්ගලයෙකු වශයෙන් ඉතා කිට්ටුවෙන් මම දැන සිටියෙමි. එසේ තිබියදී ඇති වු ඉහත සඳහන් සිද්ධිය මාව අන්දුන්කුන්දුන් කෙළේය. එක නිමේෂයක දී ඒ සා තකතිරු කමක් කෙනෙකු කෙසේ කරයි ද? කෙසේ වෙතත්, එයින් අනතුරුව කරූ කළ යුතුව තිබුණේ පක්ෂයෙන් සමාව ගැනීමයි. ඔහු එසේ නොකළා පමණක් නොව, හරි දෙයක් කළා සේ ද හැසිරෙයි. සාමාන්‍ය පක්ෂ සාමාජිකයාගේ සහාය ඔහු අහිමි කරගත්තේ එබැවිනි. පක්ෂ සාමාජිකත්වයෙන් සහායක් නොලබන කරූ, රටේ සමස්ත ජනතාවගේ සහායක් ලබන්නේ කෙසේද? දේශපාලන උපායමාර්ගික අර්ථයෙන් ගත් විට, ඕනෑම ජනාධිපතිවරණයක දී ඔහුට එරෙහි ලොකුම උරචක‍්‍ර මාලය වනු ඇත්තේ ඔහුගේම අතීතයයි.

පසු ගිය මහ මැතිවරණයේ දී පබා අතින් පරාජයට පත්වීමෙන් කරූ ජයසූරිය පරීක්ෂණයෙන් තවත් අසමත් විය. යෝධ පෞරුෂයක් සහිත පුද්ගලයෙකු අමන ටෙලි බබෙකුට පරාජය වීම? කරූ ගැන මම අවංකවම කණගාටු වෙමි. නැවත ඔහුගේ නැග්මක් දැකීම මට ආඩම්බරයක්ම වනු ඇත. හැබැයි, ඒ සඳහා වෙනත් සුදුසු ක‍්‍රමයක් අනුගමනය කළ යුතුව තිබේ.

දයාන්ගේ දෙවැනි තේරීම වන සජිත් පේ‍්‍රමදාස ගැන කතා නොකර ඉන්න තරමට හොඳයි. අවුරුදු ගණනකින් මොහුගේ බුද්ධි මහිමයක් අප දැක නැත. කරූට ඇති පෞරුෂ පරිචය ඔහුට නැත. තාත්තාට කිට්ටු කිරීමටවත් පුලූවන් කමක් නැත. ඔහුගේ එකම අගය වන්නේ, පේ‍්‍රමදාසගේ පුතා වීම පමණි. ඔහු කතා කළොත්, ඒ වැරදියට ය. පක්ෂ නායකත්වය එවැන්නෙකුට පැවරීම ඥානාන්විත නැත.

රාජපක්ෂ සහ ඔහුගේ සගයන්ගේ ජනතාවාදී අන්ධදේශානුරාගය ඉදිරියේ රනිල් පරදින බව සැබවි. එසේ වෙතත්, වෙනස් වන තත්වයන් විසින් නායකත්වය පිළිබඳ මැසිවිල්ලත් වෙනස් විය හැකිය. ඔහුට වඩා සුදුස්සෙකු එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය නම් කළ යුත්තේ, දෙමළ ජාතික සන්ධානය ඉතා ශූර අන්දමින් කළා සේ නායකයෙකුව පිටින් ආයාත කිරීමයි. ඇයි බැරි ද?

ෂ්‍යාමන් ජයසිංහ
##
2013 සැප්තැම්බර් 30 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Political Interpretation of PC electionsනැමති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්