[Image Credit : Sudath Silva/ sinhala.adaderana]
උතුරු පළාත් සභාවේ මහ ඇමතිවරයා ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී.වී. විග්නේෂ්වරන් අද (07) පෙරවරුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරැම් දුන්නේ ය. මේ පිළිබදව අද දෙරණ වෙබ් අඩවිය ‘දැන් සතුටුයි නේ…‘ යන ශීර්ෂයෙන් යුතුව එහි විස්තරයක් සහ ඡායාරෑප පෙළක්ම පළ කර සිටියේ පහත අයුරිනි.
“උතුරු පළාත් සභාවේ මහ ඇමතිවරයා ලෙස හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සී.වී. විග්නේෂ්වරන් මහතා අද (07) පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙන ලදී. අරලිය ගහමන්දිරයේදී පෙරවරු 9.30ට දිවුරුම්දීම සිදුවිය. එම අවස්ථාවට මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. මේ එහි දසුන් පෙළකි.
මහා සංඝරත්නය, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග, අගමැති දි.මු. ජයරත්න, මෛත්‍රිපාල සිරිසේන, ඩග්ලසේ දේවානන්ද, ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ, රවුෆ් හකීම්, වාසුදේව නානායක්කාර, ආර් සම්බන්ධන්, එම්.ඒ. සුමන්තිරන්, පී. දිගම්බරන්, ප්‍රභා ගනේෂන්, ඒ විනයාගමූර්ති, එජාප මන්ත්‍රී ජෝන් අමරතුංග, උතුරේ ආණ්ඩුකාර මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගි වී සිටියහ. [ඡායා රූ – සුදත් සිල්වා ]”
“දැන් සතුටුයි නේ……!” | කාටද?]
අප ඇසිය යුතු පැනය වන්නේ “දැන් සතුටුයි නේ……!” යන්න, කාටද? යනුවෙනි. එය එසේ වන්නේ, උතුරේ දෙමළ ජනයා විග්නේෂ්වරන් ඇතුළු දෙමළ ජාතික සංධානය වඩා ඉහළින් ඔසවා තැබුවේ, මානුෂික මෙහෙයුම යැයි කියමින්, සිය සමීපතමයින් දහස් ගණනක් තමන්ගෙන් උදුරා ගනිමින්, 2009 මැයි මාසයෙන් අවසන් වූ යුද්ධයෙන් පසුව රාජපක්ෂ පාලනය විසින් උතුරේ සිදු කළ සංවර්ධනය යැයි කියනා සියලු දේවල් ප්‍රතික්ෂේප කරමිනි. එයින් ඉගි කරමින් ඔවුන් ඉල්ලා සිටියේ අහිමි කරන ලද සිය ආත්මයන්ට යුක්තියයි. ගල්, වැලි, කොන්ක්‍රීට්, තාර, කාපට් වලින් සහ සිය හමුදා බලයෙන් යටපත් කරමින් සිටින උතුරේ මිනිසාගේ නිදහසයි. උතුරේ මිනිසාගේ හෘද සාක්ෂිය යි.
එබැවින් අදින් ඇරඹෙන විග්නේෂ්වරවන් සහ දෙමළ සංධානයේ දේශාපාලනය, එම දෙමළ ජනයා ඉල්ලා සිටින ‘යුක්තිය‘ සහ ‘නිදහස‘ සමග ඉදිරියේදී සම්මුඛ වීමට නියමිතය. එසේ සම්මුඛ වූ විට විග්නේෂ්වරන් සහ දෙමළ සංධානය දක්වන ප්‍රතිචාරය කුමක් ද? එයට ‘ඒකීය ශ්‍රී ලංකාවේ‘ රාජපක්ෂ ආණ්ඩුව දක්වන සහයෝගය කෙසේ ද? එවන් සියලු දෑ සමග මහ ඇමතිදූරයේ සතුට සහ දෙමළ මිනිසා ඉල්ලා සිටින යුක්තිය සහ නිදහස එකට ගමන් කළ හැකි, එකට සංවාද කළ හැකි බිමක් සකස් කර ගත යුතුව ඇත. එය වර්තමාන රාජ්‍ය යේ හැඩයන් සහ සිතීම් අනුව දෙජාස ට අභියෝගයකි. නමුත් එය සකස් කරගැනීමට උතුරේ නව දේශපාලනයේ ආරම්භයට සුභ පතමු.
ඒ උතුරේ මිනිසාගේ නිදහස සහ යුක්තියේ අර්ථයෙනි.
එසේම ‘දැන් සතුටුයි නේ‘ යන්න දකුණෙන්, උතුරට දුන් තෑග්ගක් ලෙස නොකියවා ගැනීමට දකුණේ මාධ්‍ය ද, දේශපාලන සමාජය ද පරෙස්සම් විය යුතුය. එබැවින් ‘දෙරණේ‘ කියූ ‘දැන් සතුටුයි නේ‘ යන්න දයාසිරි පන්නයේ හෝ සරත් පන්නයේ කියවීමක් ලෙස නොගැනීමට දකුණ පරෙස්සම් විය යුතුය. මක් නිසා යත් ‘සතුට‘ රැදී පවතින්නේ, ‘දකුණේ මිනිසා උතුර ගැන‘ මවාගෙන සිටින සිහිනය මත නොව, ‘උතුරේ මිනිසා උතුරැ ගැන‘ සිතමින් සිටින සිහිනය මතය. උතුරේ මිනිසා උතුර ගැන කල්පනා කරන, වැඩකරන දේශපාලනය මතය.