ඒ වූ කලී, අත්‍යන්ත ස්වයං-නිරුවත ප‍්‍රදර්ශනය කළ මොහොතයි. සුළු ජාතීන්ට එරෙහි හිංසනය අළලා, අල් ජසීරා රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙකු මතු කළ ප‍්‍රශ්නයකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දුන් පිළිතුර, විකල් මනෝ භාවයක් සහ ලෝක දැක්මක් යනු මේ යැයි කියාපෑ අවස්ථාවකි.

ඒ මෙසේය: ‘‘සමහර සිද්ධි වෙලා තියෙනවා. පහරදීම් වෙලා තියෙනවා. සමහර සිද්ධි වෙලා තියෙනවා. ඒවා පසුබිමේ මොනවද තිබුණේ? ඇයි එහෙම පහරදීම් සිද්ධ වුණේ? දැන් බලන්න, ගෑනු ළමයෙක්ව දූෂණය කළා. අවුරුදු හතක් වයස ගෑනු ළමයෙක්ව දූෂණය කළා. එහෙම වුණහම, ඒ මිනිහා මොන ජාතියේ ද, මොන ආගමේ ද කියලා බලන්නේ නැහැ. මිනිස්සු ගිහිල්ලා ගහනවා. එහෙම සිද්ධියක් ආරංචි වුණහම මිනිස්සු විස්සෝප වෙනවා. නෑදෑයෝ කුලප්පු වෙනවා. ඒ වගේ දේවල් වෙලා තියෙනවා. ඒ හැම සිදුවීමකටම පසුබිමක් තියෙනවා.’

ජනාධිපතිවරයා, නැවතත්, බොරු කියයි. ළමා දූෂණය ශ‍්‍රී ලංකාවේ බහුලයි. එහෙත්, සිංහල-බෞද්ධ දරුවෙකු, දෙමළ-මුස්ලිම්-ක‍්‍රිස්තියානි පිරිමියෙකු අතින් දූෂණයට ලක්වූ ආන්දෝලනාත්මක අවස්ථාවක් තවම වාර්තා වී නැත. මෙවැනි ගල් පැලෙන බොරුවක්, කවදත් අජාසත්ත බොරු වපුරන බොදුබල සේනාවෙන්වත් මෙතෙක් කියැවී නැත. පැපිලියානේ ‘ෆැෂන් බග්’ සාප්පුවට එරෙහිව සිංහල-බෞද්ධ අන්තවාදීන් උසිගැන්වූ ප‍්‍රහාරයේ දී මුස්ලිම්-විරෝධයක් ඇවිලවීමට ව්‍යාජ දූෂණ කතාවක් ගෙතූ මුත් එහි දී පවා අදාළ දැරිවියගේ වයස අවුරුදු හතක් විණැ යි අර සිංහල=බෞද්ධ අන්තවාදීන් පවා කීවේ නැත. එහෙත් අපේ ජනාධිපතිවරයා ඒ කෙබරයත් ඇදබෑවේ මෙලෝ විළිබියකින් තොරවයි.

ජනාධිපති බොරුව නරක තමයි. ඒත්, සුළු ජාතීන්ට එරෙහිව මෑතක දී ඇවිළවූ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාදාමය යුක්තිසහගත කිරීමට ජනාධිපතිවරයා ගත් සියුම් ප‍්‍රයත්නය භයානකයි. අඩු වශයෙන්, නීතියේ ආධිපත්‍යය ගැනවත් සළකා බලා, සුළු ජාතීන්ට එරෙහි හිංසනය ජනාධිපතිවරයෙකු වශයෙන් හෙළාදැකිය යුතුව තිබුණි. ඔහු එසේ කෙළේ නැත. ඒ වෙනුවට, එවැනි ක‍්‍රියා, සාධාරණ කෝපයකට ලඝු කොට, ඔහු තැත් කෙළේ ඒවාට වලංගු භාවයක් ලබා දීමටයි. ඔහු ව්‍යංගයෙන් කීවේ, සුළු ජාතීන් ගුටිකන්නේ, ඔවුන් ළමා අපචාරය වැනි සාපරාධී ක‍්‍රියාවන්හි නිරත වන නිසා බවයි. එය, මහජන ප‍්‍රචණ්ඩත්වය සහ සාමූහික සැහැසි පළිගැනීම් ව්‍යංගයෙන් අනුමත කිරීමක් නොවේද? එවැනි නිල මට්ටමේ අනුමැතියක් පවතින තත්වයක, සිංහල-බෞද්ධ (ගිහි-පැවිදි) මැරයන් නීතිය අතට ගැනීමට බිය නොවීම ඉතිං පුදුමයක් ද? (අතුරුගිරියේ ප‍්‍රචණ්ඩ කල්ලියක්, කිසි නීතියක් යටතේ නොපවතින ‘ආගම් මාරුව’ යන වරදක් ගැන චෝදනා කොට, කාන්තාවන් තිදෙනෙකුගේ දෑත් බැඳ පොලීසියට භාර දුන් අවස්ථාවක් මෑතක දී වාර්තා විය).

මේ අනුව බලන විට, ජනාධිපතිවරයාගේ දැක්ම අනුව, දෙමළ ජාතිකයෙකු කරන අපරාධයක්, දෙමළ අපරාධයකි. මුස්ලිම් ජාතිකයෙකු කරන අපරාධයක්, මුස්ලිම් අපරාධයකි. කිතුණුවෙකු කරන අපරාධයක්, කිතුණු අපරාධයකි. ඒ අනුව, දෙමළ/මුස්ලිම්/කිතුණු කෙනෙකුගේ අපරාධයක්, ඔහුගේ හෝ ඇගේ සමස්ත ප‍්‍රජාවේ අපරාධයක් වශයෙන් ගිණිය යුතුය. ඉතිං, සිංහල-බෞද්ධ අන්තවාදී මැර කල්ලිවලට, තමන් වෙත ඔවුන්ම ආරෝපණය කරගන්නා පළිගැනීමේ දේවකාරිය මත, ඉහත කී ‘අපරාධකරුවන්ට’ දඩුවම් දීමේ අයිතිය පැවරෙයි. නඩු දැමීමක් තබා, නීතියෙන් වරදකරු කිරීමක්වත් එහි දී අවශ්‍ය නොකෙරේ.

83 කළු ජුලිය ඇති වුණේ එයාකාරයෙනි.

ජරමානු සමාජය නට්සිකරණය වීම ගැන විග‍්‍රහයක යෙදෙන කාර්ල් ඩියෙටි‍්‍රෂ් බාර්ෂ එය හඳුන්වන්නේ, ‘උමතු මතිමතාන්තරවල බෝ වීමක්’ වශයෙනි. ‘සුළු ජාතීන් පහරකෑමට ලක්වන්නේ ඔවුන් ළමා අපචාරකයන් නිසා’ වැනි විකල් මතිමතාන්තර සමාජගත කොට, ජනාධිපතිවරයා විසින්ම ඒවා විසිරුවා හරින විට, ශ‍්‍රී ලංකාවේ යනු ඇත්තේ කොයිබට ද?

වින්දිතයන්ව යක්ෂයන් සේ රූපගැන්වීම

මෙය ඉපැරණි දුරාචාරයකි. ‘බි‍්‍රතාන්‍ය විශ්වකෝෂයේ‘ 1798 සංස්කරණය තුළ ‘නීග්‍රෝ’ (කළු ජාතිකයා) යන වචනය පැහැදිළි කරන්නේ මෙසේය: ‘‘අන්ත කුප‍්‍රකට දුෂ්චරිත, මේ වරිගයාගේ අංගයක් සේ පෙනේ.. කරුණාව ගැන මෙලෝ හැඟීමක් උන්ට නැත.’’ අප‍්‍රිකාවට සහ අප‍්‍රිකානුවන්ට, ‘ශිෂ්ට සම්පන්න බටහිර’ ලෝකයා කළ, ඇදහිය නොහැකි බිහිසුණු අපරාධ, මෙසේ කීමෙන් හැර, වෙන කවර අන්දමින් නම් යුක්ති සහගත කරගන්න ද? මේ ආකාරයෙන්ම, ‘කාමුක-මිනීමරු-සාපරාධී’ යුදෙව්වා, ජරමානුවන්ට සහ විශේෂයෙන් ජරමානු කාන්තාවන්ට කළ වින්නැහිය, හිට්ලර්ගේ කාලයේ නට්සි දෘෂ්ටිවාදයේ සහ ජාතිවාදී ප‍්‍රචාරණයේ ජනප‍්‍රිය තේමාවක් විය.

ජාත්‍යන්තර රූපවාහිනී ප‍්‍රවෘත්ති නාලිකාවක් සමග, ජාත්‍යන්තර පේ‍්‍රක්ෂක ජනතාවක් ඉදිරියේ අපේ ජනාධිපතිවරයා විසින් මෙවැනි ළමා දූෂණ චෝදනාවක් ඇදබෑම තවත් අපූරු ය. ළමා දූෂණ චෝදනාව අසීමිත සාහසික කාරණාවක් සේ සළකනවා වෙනුවට, එය, තාර්කිකව විය හැකි සහ ඕනැම කෙනෙකුට පහසුවෙන් විශ්වාස කළ හැකි සත්‍යයක් සේ ජනාධිපතිවරයා සැළකූ බවට සැක නැත. හිට්ලර්ගේ කාලයේ ජර්මනියේ විසූ ජුලියස් ස්ටෙරිෂර් හෝ ජාතිවාදය වැපිරූ ඔහුගේ පුවත්පත ගැන (පසු කලෙක නියුරෙම්බර්ග් යුද අපරාධ අධිකරණයෙන් ඔහුව මරණීය දණ්ඩනයට පමුණුවන ලදි) මහින්ද රාජපක්ෂ එකත් එකටම අසා නැතුව ඇති. එහෙත් වින්දිතයාවම බිල්ලට ගන්නා ඒ කුලකයට ඔහු සාකල්‍යයෙන් ගැළපෙන බවක් නම් පෙනේ.

තියඩෝර් ඇඩොර්නෝට අනුව, ‘ෆැසිස්ට් ස්වභාවයේ දක්නට ලැබෙන වඩාත් රුදුරු ලක්ෂණයක් වන්නේ, කෙනෙකු තමාගේම සාහසික ආක‍්‍රමණිකත්වය සෙස්සන් මත පටවා, ඒ ආරෝපණය මත පදනම් වෙමින් සෙස්සන්ව බිල්ලන් සේ වෙන් ගැන්වීමට දක්වන පීඩනෝන්මාදී ස්වභාවයයි.’ වින්දිතයාව යක්ෂයෙකු කිරීමේ ඇබ්බැහිය, රාජපක්ෂ පාලනයට ආවේනික වන්නකි. කොළඹ පදිංචිව සිටි උතුරු-නැගෙනහිර දෙමළ ජාතිකයන්ව කොළඹ නවාතැන්වලින් පළවා හැරීමට 2007 දී ගෝඨාභය රාජපක්ෂ ගත් ප‍්‍රයත්නය යුක්තිසහගත කරගත්තේ, ත‍්‍රස්තවාදී චෝදනාව දමා ගැසීමෙනි. කොළඹ විසූ දිළිඳු පවුල් ඔවුන්ගේ නිවාසවලින් බලහත්කාරයෙන් ඉවත් කිරීම, තත්වාකාර අගවිනිසුරු මොහාන් පීරිස් විසින් මෑතක දී නිකුත් කරන ලද ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක් හරහා යුක්තිසහගත කළ බව කියැවෙන්නේ, එම ජනතාවට සාපරාධී ගතියක් ආරෝපණය කිරීමෙනි. ඒ මෙසේය: ‘‘කොළඹ නගරයේ ඉන්න අඩු ආදායම්ලාභියෝ නොයෙකුත් දුෂ්චරිතවලට පෙළෙඹෙනවා. මොකද, ඒගොල්ලන්ට හරිහමන් නිවහනක් නැති නිසා. මත්ද්‍රව්‍ය ජාවාරම් වගේ නීති විරෝධී දේවල් ඒ පරිසරයේ සිද්ධ වෙනවා.’’ (නාගරික දිළිඳු ජනයාට මේ අධිකරණයෙන් නම් කිසි දවසක යුක්තියක් අපේක්ෂා කළ නොහැකි බව පැහැදිළියි). වෙනත් ඕනෑම සාමාන්‍ය රටක අධිකරණයේ ඉහළම විනිසුරුවරයා මෙවැනි පංතිවාදී ප‍්‍රකාශයක් කෙළේ නම්, එය මහත් ආන්දෝලනයකට තුඩුදෙනු ඇත. එහෙත් ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය සංස්ථාවත් (විපක්ෂය ද ඇතුළත්ව), සමාජයත් යන දෙකම ඒ ගැන වගේ වගක් ඇති බවක් පෙන්නුවේ නැත.

මොහාන් පීරිස්ගේ මෙම ප‍්‍රකාශය, මීට කලින් ආරක්ෂක අමාත්‍යාංශයේ තවත් වලිග කටකින් නිකුත් වූ ප‍්‍රකාශනයක අපූරු ප‍්‍රතිරාවයකි. ඒ මෙසේය: ‘‘රටේ සිදුවෙන අපරාධ රැල්ල, මාලිගාවත්ත ප‍්‍රදේශයේ ඇපල් වත්තේ සිට මෙහෙයවෙන බවට බුද්ධි අංශ හෙළිදරව් කරගෙන තිබේ. පොලීසියට අනුව, කොළඹ මත්ද්‍රව්‍ය ජාවාරමේ ප‍්‍රධාන මධ්‍යස්ථානයක් වශයෙන් ඇපල් වත්ත හඳුනාගෙන තිබේ. පොලීසියේ පරිසර අංශය කියන පරිදි, මේ ප‍්‍රදේශයේ ගෙවල් පිහිටා ඇති ස්වභාවය අනුව, අපරාධකරුවන්ට පහසුවෙන් නීතියෙන් ගැලවී යා හැකි බව, පුවත්පත තවදුරටත් වාර්තා කෙළේය’’.

වැලිවේරියේ ජනතාව, දෙමළ ඩයස්පෝරාවේ සහ එන්.ජී. ඕ. බළල් අත් වශයෙන් හඳුන්වන ලදි. රාජපක්ෂලාගේ දේශපාලනික සහ ව්‍යාපාරික අවශ්‍යතාවන්ට ප‍්‍රයෝජනයක් වෙත් නම්, තමන්ගේම එවුන්ව වුවත් යක්ෂයන් වශයෙන් රූප ගැන්වීමට රාජපක්ෂලා කිසි විටෙකත් පසුබට නොවෙති.

සුළු ජාතීන්ට විරුද්ධව නැගුණු ප‍්‍රචණ්ඩත්වයෙන් බැටකෑ වින්දිතයන්ගේ කරේ ‘ළමා දූෂක’ අඩයාලම එල්ලූ සැණින් අනිත් අතට හැරී රාජපක්ෂ කෙළේ, සුළු ජාතීන්ටත් ජීවත් විය හැකි ප‍්‍රීතිමත් ක්ෂේම ස්ථානයක් වශයෙන් ශ‍්‍රී ලංකාව වර්ණනාවට ලක්කිරීමයි: ‘‘මොකද, ශී‍්‍ර ලංකාව තමයි එකම රට මං හිතන්නේ, මුස්ලිම්, හින්දු, කතෝලික, ක‍්‍රිස්තියානි-මේ හැමෝටම, කිසිම කිසිම කිසිම ප‍්‍රශ්නයක් නැතුව ආගම අදහන්න පුළුවන් රට.’’ මෙයින් ඔහු අදහස් කරන බව පෙනෙන්නේ, සිංහල-බෞද්ධයා ‘හොඳ’ සුළු ජාතිකයාට කිසි විටෙක පහර නොදෙන බවයි. ඒ අනුව, යම් සිංහල-බෞද්ධ ප‍්‍රචණ්ඩත්වයකට ගොදුරු වෙන සුළු ජාතිකයෙකු වෙතොත්, ඔහු හෝ ඇය අනිවාර්යෙන්ම ‘නරක’ කෙනෙකු විය යුතුය. එබැවින් එවැනි දඩුවමකට හෙතෙම සුදුස්සෙකු වන්නේය.

හතරවැනි ඊලාම් යුද්ධයේ දී මියගිය දෙමළ ජාතික සකල සිවිල් වින්දිතයන්, රාජපක්ෂලාගේ ‘ශූන්‍ය සිවිල් අනතුරු’ න්‍යායෙන් ‘කොටි’ බවට පරිවර්තනය කෙරුණි. නිවාසවලින් එළියට වැටෙන නාගරික දිළින්දා ‘අපරාධකරුවන්’ කෙරුණි. හමුදාවේ හෝ පොලීසියේ ප‍්‍රහාරයට ලක්වෙන ඕනෑම සාමකාමී විරෝධතාකරුවෙකු ‘ද්‍රෝහියෙකු’ කෙරුණි.

අතුරුදහන් වූ සියල්ලන්, එක්කෝ පිටරට ගොසිනි. නැත්නම් (පෙම්වතුන්/පෙම්වතියන් සමග) රහසින් පැන ගොසිනි.

මිනිසුන් අතර පවතින වෙනස්කම් අපරාධයක් වශයෙන් සැළකෙන බහුජාතික/බහුවාර්ගික රටක, මහජන සාමයක් පැවතිය නොහැක. කෙනෙකු අනිකාගේ ජීවන ශෛලියට ආශා කළ යුතු බවක් හෝ අනිකාගේ ආගමික විශ්වාස තමන්ද විශ්වාස කළ යුතු බවක් හෝ මෙයින් අදහස් නොවේ. අවශ්‍ය කරන්නේ, අනිකාව ඉවසීම ප‍්‍රගුණ කිරීමයි. තමන් ජීවත් වන අතරේ අනිකාට ද ජීවත් වීමට ඉඩ හැරීමේ ආකල්පය ප‍්‍රගුණ කිරීමයි. එවැනි දයාන්විත ආකල්ප දැරීම, ආර්ථික දුෂ්කරතා පවතින කාලයක, විශේෂයෙන් දුෂ්කර ය. ජීවන තත්වයන් පහළ වැටෙන විට සහ සමාජ සැකැස්ම තුළ තමන්ගේ තත්වය ගරාවැටෙන විට, තමන්ගේ ආදිකල්පික (ගෝත‍්‍රික) අනන්‍යතා තදින් ඇදහීමට මිනිස්සු පෙළඹෙති. එවැනි කාලවල, මිනිස්සු වඩාත් අන්ධ විශ්වාසවල ගැලෙති. ආදිකල්පික (ගෝත‍්‍රික) මිථ්‍යාවන්හි ගැලෙති. තමන් මෙන්ම තවත් වර්ගයක වෙනත් මිථ්‍යාවන් අදහන තමන්ගේ සහකාර පුරවැසියන්ව නොඉවසති.

එවැනි උපද්‍රවකාරී රටක් පාලනය කරනු ලබන්නේ, ‘වාර්ගික-ආගමික අනෙකා’ පිළිබඳ උන්මාද කතා පතුරුවන, සුළු ජාතීන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය යුක්ති සහගත කරන, අවසිහියෙන් යුත් මිනිසුන් විසින් නම්, අවාසනාවන්ත අනාගතයකින් එවැනි රටකට ගැලවීමක් තිබේ ද?

තිසරණී ගුණසේකර | Thissarane Gunasekara

###

2013 ඔක්තෝබර් 3 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ President, Non Compos Mentis? නැමති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්