Image Credit: thetimes

මෑතක දී ප‍්‍රකාශයට පත් කළ ‘හෙන්ලි ඇන්ඞ් පාට්නර්ස්’ වීසා සීමා සූචිය යටතේ, වෙනත් රටකට නිදහසේ ඇතුලූ විය හැකි නරකම විදේශ ගමන් බලපත‍්‍ර 10 අතරින් එකකට ශ‍්‍රී ලංකාවත් අයත්ව තිබේ. එම රටවල් නම්, ඇෆ්ගනිස්ථානය, ඉරාකය, සෝමාලියාව, පකිස්ථානය, පලස්තීනය, එරිටි‍්‍රයාව, නේපාලය, සුඩානය, ලෙබනනය සහ ශ‍්‍රී ලංකාවයි.

ශ‍්‍රී ලංකාව මෙවැනි තත්වයකට පත්වුණේ මන්දැ යි ඔබට ප‍්‍රශ්නයක් නම්, පහත සඳහන් කාරණය සමග එය සසඳා බලන්න: බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස්වරයාව බි‍්‍රතාන්‍යයේ විදේශීය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලයට වරක් ගෙන්වන ලදි. ඒ, කොටි සංවිධානයෙන් කැඞී ගිය ගරිල්ලා නායක කරුණා අම්මාන් ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ නිල සහයෝගයෙන් එම රටට ඇතුළත් වී තිබීමේ ප‍්‍රශ්න වැලක් සම්බන්ධයෙනි.

නව මහා මාර්ග, ක‍්‍රීඩාංගන, අළුත් වරායවල්, අළුත් ගුවන් තොටුපොළවල් සහ ශෝභමාන රඟහලක් වැනි යටිතල සංවර්ධන ව්‍යාපෘති ගැනත්, කොළඹ නගරයේ පිරිසුදු කම ගැනත් රාජපක්ෂ සහෝදරවරු දිවා රෑ කියවති. එහෙත් ඇත්ත වශයෙන්ම අපේ ‘අභ්‍යන්තර යටිතල’ ඇත්තේ ගරා වැටෙමිනි. ‘රාජපක්ෂ’ යන නාමය, ප‍්‍රසිද්ධ වැසිකිළි සඳහා හැරුණු කොට අනිත් සෑම දෙයක් නම් කිරීම සඳහාම ශී‍්‍ර ලංකාවේ හැම අස්සක් මුල්ලකම අද යොදා ගැනේ. අපේ ප‍්‍රසිද්ධ වැසිකිළි ද යම් දේශපාලඥයෙකුගේ නමින් හැඳින්වීමට කාලය පැමිණ ඇතැ යි මට සිතේ: ‘මර්වින්ගේ කට’, ‘දයාසිරිගේ දිව’ සහ ‘වීරවංශගේ මොළේ’ ආදී වශයෙනි.

1975 දී ශ‍්‍රී ලංකාව සිය සන්තකයේ තබාගෙන සිටි ධනපති කර්මාන්ත පවුල් 45 ක් ගැන ආචාර්ය එන්. එම්. පෙරේරා එදා රටට හෙළි කෙළේය. අද ඇත්තේ එක පවුලක් පමණි: ඒ, රාජපක්ෂ ය.

අතිවිපුලත්වයෙන් යුත් ඕනෑම දෙයක් කලකදී එහි කණපිටට ගසන්නේය. මෙය ‘ප‍්‍රතිවිරුද්ධ රූපතාව’ වශයෙන් හැඳින්වේ. එම සංකල්පය හඳුන්වා දුන්නේ, හෙරක්ලිටස් ය. පැරණි සෝවියට් දේශයේ මා ඉගෙන ගන්නා කාලයේ ලෙනින්ගේ රූපය එම රටේ හැම අස්සක් මුල්ලකම පැතිරී තිබුණු තරම කොතෙක් ද යත්, මගේ කාමර සගයා වන අනිත් ශ‍්‍රී ලාංකීය ශිෂ්‍යයා, එම රූපයට වැන්දේය. ලංකාවේ බෞද්ධයන් කරන්නා සේ, මල් පූජා කොට, හීල් දානයට පාන් ද පිළිගැන්නුවේය. මගේ සගයාට ලෙනින් යනු, සෝවියට් දේශයේ බුදුන් ය. එම දේශය කඩාවැටුණු අවස්ථාවේ ලෙනින්ගේ පිළිරූවලට සිදුවූ දේ අපි දනිමු.

ලංකාවේ සෑම දේශපාලඥයෙක්ම තමන්ගේ නෑසියන්ව දේශපාලනයට ගෙන ඒමට තතනමින් රාජපක්ෂලාව අනුකරණය කිරීමට බලති. හේතුව, නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට වඩා දේශපාලනය කිරීම ලංකාවේ දී සශ‍්‍රීක රැකියාවක් බැවිනි. මේ තත්වය යටතේ, ශ‍්‍රී ලංකාවේ ගණිකා වෘත්තිය පූජණීයත්වයට පත්කළ යුතුව තිබේ. මන්ද යත්, ගණිකාව සිය නිරාහාර දරුවන් පෝෂණය සඳහා විකුණන්නේ ඇගේ ඇඟ පමණි. අනිත් අතට, ලංකාවේ සමහර දේශපාලඥයන්ට ඇත්තේ එක ආරම්මණයක් පමණි: ඒ, ප‍්‍රකෝටිපතියන් වීමට මුළු රටම විකිණීමයි. ඒ අනුව, වංචාව සහ මැරකම සමග ලංකාවේ දේශපාලනය යන වචනය පර්යාය නාමයක් වී තිබේ.

ඥාති සංග‍්‍රහය, හිතුමතේ පාලනය, කුවේර තන්ත‍්‍රය, අධිකාරී තන්ත‍්‍රය, වැඩවසම්වාදය යන මේ සියලූ හැඳින්වීම් එය විස්තර කිරීමේ බාහිර අලංකාරික පමණි. එහෙත් මේ සියල්ල එක් කරගත් අරුතක් සපයන තනි වචනයක් සොයා ගැනීමට මා අපොහොසත් ය. ඒ සඳහා වන එවැනි තනි නාමයක් ඇත්නම් කරුණාකර මට දන්වන්න.

තමන් විසින් ශ‍්‍රී ලංකාව පත්කර ඇත්තේ කුමන තත්වයකට දැ යි වැඩි කල් නොගොස් මහින්ද රාජපක්ෂට දැනගන්ට ලැබෙනවා ඇත. ඔහු නිර්මාණය කොට ඇත්තේ ‘වෘෂභ මානවක’ මාදිලියේ රකුසෙකි. ඔහුගේ දේශපාලන සන්ධානය-එක්සත් ජනතා නිදහස් සන්ධානය-ඔහුට පාලනය කළ නොහැකි, එවැනි රකුසෙකි. බලයට පැමිණීමට පෙර විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බවට මහින්ද රාජපක්ෂ දුන් පොරොන්දුව සළකා බලන්න.

ග‍්‍රීක දේවකතා සාහිත්‍යයේ එන මිනෝස් නැමැත්තා, හිම සුදු පාට ගවයාට කළ දේට එය සමාන ය. තමාට කරන අනුග‍්‍රහයක් වශයෙන් හිම සුදු පාට ගවයෙකු තමන් වෙත එවන්නැ යි පොසෙයිඩන් දෙවියාට, මිනෝස් බැගෑපත් විය. එහි දී, පොසෙයිඩන්ට ඇති තමන්ගේ භක්තිය පළ කිරීමක් වශයෙන් ඒ හිම සුදු පාට ගවයාව බිළි දිය යුතු බව, මේ වරයේ එක කොන්දේසියක් විය.

එහෙත් ගවයාගේ ඇති තේජස දුටු මිනෝස් ඌව ඝාතනය නොකොට රැක ගැනීමට තීරණය කෙළේය. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට පොරොන්දු වූ මහින්ද රාජපක්ෂ, එය සතු අතිවිශාල බලය නිසා, අහෝසි කරනවා වෙනුවට, එය රැකගත්තේය.

මිනෝස් කළ ද්‍රෝහී ක‍්‍රියාවට සාපයක් වශයෙන් පොසෙයිඩන් දෙවියා කෙළේ, මිනෝස්ගේ බිරිඳව, එනම් පැසිෆියාව-ගවයා කෙරෙහි ආලයෙන් වෙළීමට සැලැස්විමයි. එළදෙනක් සේ වෙස්වළාගෙන තුෂාර ගවයා සමග එක්වූ පැසිෆියා වැදුවේ, වෘෂභ මානවක රකුසෙකි. ශ‍්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක‍්‍රමය යනු, අර හිම සුදු වෘෂභයා වැන්න. මහින්ද නිර්මාණය කළ ලංකාවේ දේශපාලන ක‍්‍රමය, අර වෘෂභ මානවක රකුසා ය. එවැනි වෘෂභයෙකු සැඟවිය හැකි වංගගිරියක් ලංකාවේ ඇත්තේ නැත. මේ රකුසා සමස්ත ශ‍්‍රී ලංකාවම අවුල් ජාලයක් කොට තිබේ. මෙසේ බිහි කර ගත් වෘෂභ මානවක රකුසාට බිළි දීමට අවුරුදු පතා ඇතන්ස් නුවර විසූ තරුණයන් හත් දෙනෙකු සහ රූමත් තරුණියන් හත් දෙනෙකු යැවිය යුතු විය.

මහින්දට තමන්ගේ වෘෂභ මානවක රකුසාව පෝෂණය කිරීම සඳහා තමන්ගේ කැරලිකාරී දේශපාලඥයන්ව පාලනය කිරීමටත්, ඔවුන්ව පෝෂණය කොට පවත්වා ගැනීමටත්, ඇමති පට්ටම් දිය යුතුව තිබේ. මේ මානවක ගවයාව ඝාතනය කරන්නේ කවුද?

වර්තමාන ශ‍්‍රී ලාංකීය දේශපාලකයෙකු පිළිබඳ මගේ අර්ථකථනය මෙසේය: මැරවරයෙකු, ස්ත‍්‍රී දූෂකයෙකු හෝ මිනීමරුවෙකු ගන්න. අත් දිග සුදු කමිසයක් ඔහුට අන්දවන්න. රතු හෝ නිල් සාටකයක් කරට දාන්න. එවිට ඔබට ශ‍්‍රී ලාංකීය දේශපාලඥයා ලැබෙනු ඇත.

ජේ. ආර්. ජයවර්ධන සහ එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක මහත්මා දේශපාලඥයන් යැයි කිව නොහැක. නූගත් ජනයාව මුලින්ම ගොනාට ඇන්දවූ දේශපාලඥයා බණ්ඩාරනායක ය. ඔහු ඔවුන්ව ‘පංච මහා බලවේගයකට’ බෙදුවේය: සඟ, වෙඳ, ගුරු, ගොවි, කම්කරු යනුවෙනි. එයින් පළමු තැනට සංඝයා ගැනීමෙන් ඔහු කෙළේ, ඉතිරි බලවේගත් නිතැතින්ම සිංහල-බෞද්ධ කිරීමයි. සඟ වෙනුවට ඔහු ‘පූජ්‍ය’ යන වචනය පාවිච්චි කෙළේ නම්, පූජකවරුන් සහ ඉමාම්වරුන් ද ඇතුළත් කරගත හැකිව තිබුණි. උත්ප‍්‍රාසය වන්නේ, එවැනි සඟරුවනකින්ම එම බණ්ඩාරනායක ඝාතනය වීමයි.

ගෞරවනීය විනිසුරුවරුන්, විනීත දේශපාලඥයන්, නීතිගරුක ගැහැනුන් සහ මිනිසුන් බිය වැද්දීමට සහ අපහාසයට පත්කිරීමට, මැරයන්ව සහ පොලිස්කාරයන්ව පාවිච්චි කළ ලංකාවේ ප‍්‍රථම උගත් රාජ්‍ය නායකයා ජේ. ආර්. ජයවර්ධන ය. ශ‍්‍රී ලංකාවේ නූගත් ජනතාවට, ජනකාන්ත නායකයෙකු යනු ආර්. පේ‍්‍රමදාස හෝ මහින්ද රාජපක්ෂ වැන්නෙකි. දෙන්නාටම ඇත්තේ සිංහ වෙස් ගත්, නරි ඉවකි. පේ‍්‍රමදාස කලහකාරීත්වයේ දී රුදුරු ය. ඔහු ඉන්දිරා ගාන්ධිට ප‍්‍රසිද්ධියේ අපහාස කෙළේය. අභියෝග කෙළේය. ඉංග‍්‍රීසි කතා කරන ප‍්‍රභූ පංතියත්, කොළඹ කේන්ද්‍රීය විද්වත් දේශපාලඥයනුත් අවඥාවට ලක්කිරීමට නූගත් මහජනතාව තුළ ඇති ගැඹුරු අභිරුචිය, පේ‍්‍රමදාස සහ මහින්ද යන මේ කියන දේශපාලඥයන් දෙන්නාම තමන්ගේ තරුණ කාලයේදීම උගත් අගනා පාඩමකි.

අනිත් අතට, ජනතාව මහින්ද රාජපක්ෂ කෙරෙහි එක දිගටම සහාය පාන්නේ ඇයි දැ යි මට වැටහේ. විකල්පය කුමක් ද? නොදන්න යකාට වැඩිය දන්න යකා හොඳ ය. බලයේ සිටි සෑම යකෙකු තුළම දැකිය හැකි පොදු බවක් තිබුණි. එනම්, ඒ හැම යකෙකුම ඊට කලින් සිටි යකාට වඩා රුදුරු වන බවයි. සජිත් පේ‍්‍රමදාස විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරති යි ඔබ සිතන්නේ නම් එය වෙනම මායාවකි. සැමියන්ව, බිරියන්ව, සහෝදර සහෝදරියන්ව, දූ පුතුන්ව, මාමලා බෑනලාව, බලයට පත්කර ගැනීම වැඩවසම් ක‍්‍රමයේ නෂ්ටාවශේෂයකි. බුදුන් වහන්සේ පිරිනිවන් පෑ පසු, තමා බුදු වන්නේ යැයි රාහුල කුමරු කීවේ ද? යේසුස් වහන්සේට දරුවන් සිටියේ නැත. එහෙත් සහෝදර සහෝදරියෝ සිටියහ. ඒ කිසිවෙක්, යේසුස් වහන්සේ කුරුසයේ තබා ඇණ ගැසූ පසු, ‘ඊළඟ ගැලවුම්කරු තමන්’ යැයි නොකීහ.

ඕනෑම බලයක් පමණට වඩා ඉක්ම යාමෙන් එහි ප‍්‍රතිවිරෝධය බිහි කෙරෙන නිසා, අනාගතය ගැන මා බලන්නේ ශුභවාදීව ය. මා දන්නා හොඳම උදාහරණය අශෝක අධිරාජයා ය. ජයග‍්‍රහණයෙන් පසු අශෝක වීදි සංචාරයේ ගිය බව ජනකතාවේ කියැවේ. එහිදී ඔහුට දැක ගැනීමට හැකි වුණේ, මිහි පිට නරකාදියකි. තැන තැන මළ මිනී දුටු ඔහුට තමා කළ වැරැද්ද අවබෝධ විය. පළිගැනීමට සහ බලයට තිබූ තමාගේ නොමැඩිය හැකි ආශාව හේතුවෙන්, කෙනෙකුට සැමියන් අහිමි වී ඇති බව, කෙනෙකුට පියවරුන් අහිමිව ඇති බව, කෙනෙකුට දරුවන් අහිමිව ඇති බව, කෙනෙකුට නූපන් දරුවන් අහිමිව ඇති බව ඔහු දුටුවේය. ඒ ගැඹුරු අනුතාපය නිසා ඔහු බුද්ධාගම වැළඳ ගත්තේය.

ශ‍්‍රී ලාංකිකයන්ට විනීත කම ඇතොත්, නුදුරේදීම ඔවුන් දූෂණයට, මැර බලයට සහ අනීතිකත්වයට එරෙහිව කැරලි ගසනු නොඅනුමානයි.

Dr. Jagath Ashokaආචාර්ය ජගත් අශෝක | Dr. Jagath Asoka

##

2013 ඔක්තෝබර් 17 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවු Mahinda, Minotaur, Lenin & Premadasa ලිපියේ (ලූහුඩු) සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්