මාධ්‍යවේදී මයිල්වාගනම් නිමලරාජන් ඝාතනය කර පසුගිය ඔක්තෝබර් 19 වනදාට වසර 13ක් ඉක්ම ගියේ ය. 2000 ඔක්තෝබර් 19 වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට බීබීසී සිංහල සහ දෙමළ සේවයට මෙන්ම වීරකේසරී පුවත්පතට සහ රාවය පුවත්පතට විශේෂයෙන් උතුරේ සිදුකරන ව්‍යසනයන් වාර්තා කරමින් සිටිය හ. අමාණුෂික ලෙස ඝාතනය කරන ලද නිමලරාජන් මාධ්‍යවේදියා පිළිබදව ඔහු ලිපි සැපයූ බොහොමයක් මාධ්‍ය මෙන්ම අනිකුත් මාධ්‍ය ද, ඔහුව ඝාතනය කර වසර 13කට පසුව ද සුපුරැදු පරිදි වචනයක් හෝ නොලියා සිටීමට ප්‍රවේසම් වන බවක් දැකිය හැකිය. ඒ කුමක් හෝ විකිණිය හැකි නම් විකුණාගෙන ඒ මත යැපෙමින් අධම පාලකයන්ගේ කුණු හෝදමින් සිටින සහ අනෙක් පසින් සිය අධිපතිවාදී ලක්ෂණයන් පෙන්නුම් කරමින් සිටින ලංකාවේ බහුතරයක් ජනමාධ්‍යයේ හැටි නිසාවෙනි.
2000 වර්ෂයේදී චන්ද්‍රිකා බණ්ඩාරණායක ජනාධිපතිවරිය සිය පාලනය ගෙන ගිය සමයේ, අනුරැද්ධ රත්වත්තේ නියෝජ්‍ය ආරක්ෂක ඇමතිධූරය දැරෑ කාලයේ නිමලරාජන් මාධ්‍යවේදීයා ඝාතනය කරනු ලබන්නේ ඇදිරිනීතිය පනවා තිබූ රැයක, අධිආරක්ෂක කලාපයක් ලෙස නම් කර තිබූ ප්‍රදේශයක, සන්නද්ධව පැමිණි කණ්ඩායමක් විසින් ඔහුගේ නිවස තුළදීම ය. ඔහුව ඉතා අමානුෂික ලෙස ඝාතනය කිරීමට හේතුව වූයේ දිගින් දිගටම නිමලරාජන් මාධ්‍යවේදියා විසින් යාපනයේ සිදුවන සිදුවීම්, සිය මාධ්‍ය ක්‍රියාවලිය ඔස්සේ ලෝකය හමුවේ හෙළි කරමින් සිටිමයි. එය ඉවසාගත නොහැකි වූ ඝාතකයින් නිමලරාජන්ව ඝාතනය කර පළා යාමට තරම් ශක්තිමත් වූයේ, එවකට ආරක්ෂක අංශවල මෙන්ම ඇතැම් දේශපාලකයින්ගේ ආශිර්වාදයත්, එම ඝාතනය පිටුපස තිබුණු බවට අදටත් රහසක් නොවේ.
කෙසේ නමුත් නිමලරාජන් මාධ්‍යවේදියා ඝාතනය කොට හමාරය. පසුගිය කාලයේ ලංකාවේ සිදුවූ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, පහරදීම්, පැහැරගැනීම් සහ අතුරැදහන් කිරීම් වල පරීක්ෂණයන් මෙන්, මෙම ඝාතනය පිළිබදව ද වසර 13ක් ගත වුව ද කිසිදු හෙළිදරව්වක් නිළ වශයෙන් අනාවරණය කිරීමට බලධාරීන්ට නොහැකි වී ඇත. මේ කෙටි සටහන එම ඝාතනයේ පරීක්ෂණ පිළිබදව සොයා බැලිමක්වත් එහි ගවේෂණයක්වත් නොවේ. එය එසේ වන්නේ ලංකාවේ සිදු වූ මෙවන් අමාණුෂික ක්රියාවළීන්, ‘මර්ධනය‘රාජ්‍ය පාලනයේ එකම උපකරණය කර ගත් මෙවන් රාජ්‍යක, එවන් පරීක්ෂණයක සාධාරණ සහ යුක්තිගරැක ප්‍රතිඵල බලාපොරොත්තු විය නොහැකි නිසාවෙනි.
නිමලරාජන් මාධ්‍යවේදීයා පිළීබදව ඔහුගේ සමීපතම මිතුරෙකු වූ යාපනයේ මාධ්‍යවේදියෙකු වන තයාබරන්, පසුගිය වසරේ අගෝස්තු 11දා අපට මුණ ගැසුණේ බන්ධනාගාරයක් තුලදී මරා දැමුණූ යාපනයේ මරියදාස් ඩෙල්රැක්ෂාන්ගේ අවසන් කටයුතු සිදු කරමින් තිබූ යාපනයේ සුසාන භූමියක දීය. නිමලරාජන්ගේ දේහය ද මිහිදන් කර තිබුනේ එම සුසාන භූමියේ වුවත්, දැන් එම සුසාන භූමියේ ඇති නිමලරාජන්ගේ සිහිවටනයට කිසියම් පිරිසක් හානිකර ඇත්තේ වසර 13කට පසුත් ‘මර්ධනය‘ එසේ ම පවතිනවා යන්න සිහි කරගැනීමට මෙනි.
මේ මාධ්‍යවේදී නිමලරාජන් සහ නිමලරාජන් ඝාතනය පිළිබදව, මාධ්‍යවේදී තයාබරන් සමග පැවත්වූ සාකච්ඡාවේ සටහන නැවත මෙසේ පළකරමු.
‘‘මගේ මිත්‍රයෙක් වන නිමලරාජන් තමයි මාව මාධ්‍ය කේෂත්රයට හඳුන්වලා දුන්නෙ. නිමලරාජන් සමග මම අවුරුදු 4ක් 5ක් විතර වැඩ කරලා තියෙනවා. එයාගෙ මරණෙට පෙර අන්තිමටට දුරකථනයෙන් කතාකරපු අයගෙන් මමත් එක්කෙනක්. එයාගෙ ආරක්ෂාවට තිබුණු තර්ජන ගැන අන්තිම කාලෙදි මට කියලා තියෙනවා. රජය සමග සිටින ඊ.පී.ඞී.පී නායක ඩග්ලස් දේවානන්ද එයාගෙ මරණය පිටුපස ඉන්නවා කියන එක කවුරුත් දන්න තොරතුරක්. නිමලරාජනුත් ඒ පිරිසගෙන් තමාට මරණ තර්ජන තිබූ බව අපට කිව්වා. ඩග්ලස් දේවානන්දගේ නියෝගය මත එතුමාගේ යටතේ සේවය කළ නැපෝලියන් (දැන් ඔහු ලන්ඩනයේ දේශපාලන රැකවරණ ලබා සිටිනවා) නිමලරාජන් ඝාතනය කළේ කියලා හැමෝම දන්නවා. සුපුරුදු ලෙසම ශ්‍රී ලංකා රජය නිමලරාජන්ගේ නඩුවත් අතහැරලා තියෙනවා. නීතිපතිගේ නියෝගය තවම ලැබිලා නැහැ කියලා අවුරුදු 8ට වැඩි කාලයක් තවමත් ෆයිල් එක ඔහේ දාලා තියෙනවා.
නිමලරාජන් ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට ආදර්ශයක්. නිමලරාජන් කියන්නෙ ප්‍රවීණ ජනමාධ්‍යවේදී සිවරාම්ගෙ පරපුරේ කෙනෙක්. එයාට දෙමළ, සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා තුනම හොඳින් භාවිතා කරන්න පුළුවන්. රාවය, බීබීසී සංදේශය වැනි ප්‍රධාන මාධ්‍ය වල එයා වැඩ කරලා තියෙනවා. යාපනයට නිමලරාජන්ගෙ අඩුව පුරවන්න වෙන කෙනෙක් නැහැ. නිමලරාජන්ගෙ පවුලෙ අයව අපි ආරක්ෂිතව විදේශකට යවලා තියෙනවා.
අපි දැන් නිමලරාජන් නමින් සංවිධානයක් පිහිටුවලා තියෙනවා. එම සංවිධානය ජනමාධ්‍යවේදීන්, ඒ අයගෙ පවුලෙ අය, ජනමාධ්‍ය කේෂත්රය සම්බන්ධ අය පිළිබඳව හඬ නගන වගේම උදව් උපකාරද ලබා දෙනවා. ඒ සමග වන්නි යුද්ධයේ හානියට පත් ජනමාධ්‍යවේදීන් සහ එම පවුල් වලටද අපි උදව් ලබා දෙනවා, ජනමාධ්‍යවේදීන් සිහි කරමින් පොත් එලි දක්වනවා. මේ අකාරයට හැම අවුරුද්දදෙම නිමලරාජන් සංවිධානය විසින් කටයුතු කරනවා. ඒ වගේම මේ කටයුතු අපි දිගින් දිගටම කරගෙන යනවා.
නිමලරාජන්, සිවරාම් ඝාතනය වූ පරිසරයම තමයි දැනටත් තියෙන්නෙ. ජනමාධ්‍ය නිදහස නැහැ. මෙහි මාධ්‍ය නිදහසක් කියලා දෙයක් නැහැ. දැනුත් අපි සාමාන්‍ය කැමරාවක්, සාමාන්‍ය රෙකෝඩරයක් ගෙනාවේ. ඒකත් ගෙනාවේ කාටවත් නොපෙනෙන විදිහට. අපිට සිදුවීමක් වෙන තැනකට වෘත්තීමය කැමරාවක් රැගෙන යන්න බැහැ. අපිව ලූහුබඳිනවා. අපේ රාජකාරිය අවසන් වෙලා ගෙදර යනකන් අපේ ආරක්ෂාව ප්‍රශ්නාර්ථයක්. ශ්‍රී ලංකා රජය දෙමළ ප්‍රදේශය වල තිබෙන ජනමාධ්‍ය මර්ධනය කිරීමෙන් ජනතාවට ඇත්ත තොරතුරු දැනගැනීමට තිබෙන අවස්ථාව වලක්වනවා.‘‘
– මාධ්‍යවේදී දයාබරන් (සාකච්ඡාවක් ඇසුරෙනි)
පහත දැක්වෙන්නේ මාධ්‍යවේදී දයාබරන් සමග කළ සාකච්ඡාවේ වීඩියෝ සහයනයි