[Image : Vikalpa File | අතුරැදහන් කරවනු ලැබූ තම දරැවාගේ ඡායාරෑපය ඉදිරියේ හඩා වැටෙන මවක් | රද්දොලුව අතුරැදහන්වූවන්ගේ ස්මාරකය අභියස | October 2013]
ලංකාවේ දකුණු කොණේ සිට උතුරු කොණටත්, බටහිර කොණේ සිට නැගෙණහිර කොණටත් අඩු වැඩි නැතිව තම දරුවන්, සහෝදර සහෝදරියන් හෝ මාපියන් අතුරුදහන් වීමේ වේදනාවට ජනයාට මුහුණ දීමට සිදු වී තිබේ.
එම අතුරුදහන් වූ පුද්ගලයන් අතුරුදහන් කිරීමට බලපා ඇත්තේ ද එකම එක හේතුවකි. ඒ ඔවුන් කුමන හෝ දේශපාලන මතයක සිට යම් කිසි දේශපාලන පක්ෂයක හෝ සංවිධානයක ක්‍රියාකාරිකයෙකු හෝ උදව්කරුවෙකු වීමයි. රැඩිකල් දේශපාලනයක කොටස් කරුවෙකු මෙන්ම වෘත්තීය දේශපාලන පක්ෂයක, වෘත්තීය සමිතියක හෝ මිනිස් අයිතීන් පිළිබඳ ක්රියාකාරකයෙකු වීම ද ලංකා සමාජයේ අතුරුදහන් කර දැමීමට හේතු වී ඇත. අතුරුදහන් කිරීමේ දේශපාලනය කොතෙක් දුරට ලංකා සමාජයට අනුගත කර ඇත්ද වටහා ගැනීමට අප මතක් කළ යුත්තේ ‘සුදු වෑන් එකක්ෙ’ යන්න පමණි. ලංකා සමාජයේ වයසකම පුද්ගලයාගේ සිට කුඩා දරුවා දක්වා එහි අරුත ‘පැහැර ගෙන යාම’ බව දනී. මෙයින් තහවුරු වන්නේ භීෂණය ලංකා සමාජය තුල නිදන් ගත රෝගයක් වී ඇති බවයි.
අතුරුදහන් කර වීම ගැන ලංකාවට ඉතිහාසයක් ඇත. මගේ මතකය තුල ඉතිහාසයේ මුලින්ම මේ අතුරුදහන් කරවීම ඇරඹෙන්නේ 1971 සිටයි. එක උදාහරණයක් නම් කෙහෙල්ඇල්ලේ ගාන්ධි සහෝදරයා අතුරුදහන් කර වීමයි. ගාන්ධි සහෝදරයා 71 මැයි මුල දී අත්අඩංගුවට ගැනෙන්නේ මාකඳුරේදීය. දින ගණනාවක්ම දිවයිනේ ප්‍රධාන පුවත්පත්වල ප්‍රධාන සිරස්තලය වූයේ ගාන්ධි සොයුරා අත්අඩංගුවට පත් වීමයි.
එවකට මා සිරකර සිටියේ ‘හැමන් හිල්’ දූපත් බන්ධනාගාරයේය. මගේ පියා මා බැලීමට ජුනි මස යාපනයට පැමිණ කළ විස්තරය අනුව ගුවන් හමුදාව සහ පොලීසිය මැයි මස 06 වන දින ගාන්ධි සොයුරාව අපගේ ගෙදරට ගෙනවිත් තිබේ. ඔහුට කොතරම් වද දී තිබුණා ද යත් එක ඇසක් එළියට පැන තිබූ අතර මුළු ශරීරයට එකම තුවාලයක් බවට පත්කර තිබිණ. එදා ගුවන් හමුදාව සහ පොලීසිය ගාන්ධිට පහර දෙමින් විමසා තිබුනේ මා කොහි සිටීද යන්න ගැනයි. අප්‍රියෙල් 06 වන දින යාපන කොටුවේදී හමුදාවන්ට යටත් වන මා ඒ වන විට රඳවා සිටියේ ‘හැමන් හිල්’ දූපත් බන්ධනාගාරයේය. කෙසේ වුවද ගාන්ධි සොයුරා කිසිත් පවසා නොමැත. එදින ගුවන් හමුදාව සහ පොලීසිය මගේ පියාගේ නිවස ගිනිබත් කර බෝම්බ ගසා බිත්ති ද පෙරළා දමා ඇත්තේ මා අත්අඩංගුවට ගැනීමේ චේතනාවෙනි. අත්අඩංගුවට පත් ගාන්ධි ගැන ඇසින් දුටු අවසාන සාක්ෂිය වන්නේ මගේ පියාය. එයින් පසු ගාන්ධි අතුරුදහන් වේ. ගාන්ධිට සිදු වූ දෙයක් මේ වන තුරු කිසිවෙකු නොදනී. ඔහුගේ බිරිඳට හෝ දරුවනට අඩුම තරමින් ඔහුගේ මිනිය වත් දකින්නට නොලැබිණි. මේ එදා 71 සිදු කළ අතුරුදහන් කිරීම්වලින් එකක් පමණි.
එදා සිට අද දක්වා වසර 42 ක් ගතවී ඇත. අසූ ගණන්වල උතුරේ තරුණ තරුණියන් අතුරුදහන් කරවනු ලැබීය. අතුරුදහන් කරවීම සඳහාම විවිධ හමුදා සහ පොලිස් ඒකක ගොඩ නගනු ලැබීය. ඒවා විශේෂ ඒකක ලෙස ලස්සන නම්වලින් හැඳින්වූවත් ඔවුන්ගේ කාර්යය වී ඇත්තේ රජයට එරෙහි දේශපාලන මත දරණ ඔවුනට අභියෝගයක් විය හැකි වූ පුද්ගලයන් පැහැර ගෙන ගොස් ඔවුගේ ගහලයන් ලෙස ක්‍රියාත්මක වීමයි. බොහෝ විට මෙම පැහැරගෙන යාම්වලට අණදුන් විකෘති දේශපාලඥයන් එසේ පැහැර ගෙන ආ විරුද්ධවාදීන්ව තමා පුද්ගලිකවම වදයට පමුණුවා ඇති අතර සමහර අවස්ථාවන්හිදී තමා විසින්ම තම ප්‍රතිවාදියා මරා දැමීම කරනු ලැබීය.
සන්නද්ධ දේශපාලන කණ්ඩායම් ද තම බල ආධිපත්‍ය පවත්වා ගැනීමට යොදා ගනු ලැබුවේ මෙම පැහැරගෙන ගොස් මරා දැමීමේ භීෂණ කලාවමය. අසූ ගණන්වල විශේෂයෙන්ම 87- 90 දක්වා භීෂණ කාලයේ ජනතා විමුක්ති පෙරමුණ තම විරුද්ධවාදී මත දරන්නන් පැහැර ගෙන යාම සහ ඝාතනය තම භීෂණ ආධිපත්‍යයේ කලාව බවට පත්කර ගනු ලැබීය.
අසූ ගණන්වල මැද සිට LTTE, ටෙලෝ, ප්ලොට්, EPRLF වැනි දෙමළ සන්නද්ධ කණ්ඩායම් විසින් ද මෙම පැහැර ගෙන යෑම අතුරුදහන් කරවීම හෝ ඝාතනය තම බලය පැතිරවීමට අනුගමනය කළ කලාවයි.
ප්‍රගීත් එක්ණැලිගොඩලා, කුගන් හෝ ලලිත් ලා මෙන්ම තව කී දහසක් නම් අතුරුදහන් කරවා ඇත්ද? ලංකා සමාජයට මෙම අතුරුදහන් කරවීමේ කලාව අලුත් දෙයක් නොවේ.
87-90 දක්වා අතුරුදහන් කළ වූවන්ගේ සංඛ්‍යාව, ජනාධිපති කොමසමට අනුවම තිස් තුන් දහසක් ඉක්මවයි. එයින් අදහස් වන්නේ 33000 කගේ පවුල්වලට තම සහෘදයාට වූ දෙය දැන ගැනීමට ඇති අයිතිය පවා අහිමි කිරීමයි. උතුරේ මේ ප්‍රමාණය මීට වඩා විශාලය. එපමණක් නොව ඔවුන්ට ඒ ගැන කතා කිරීමේ අයිතිය පවා ඔවුන්ගෙන් උදුරා ගෙන ඇත. තම අතුරුදහන් වුණ ඥාතියා හෝ සහෘදයා ගැන කතා කිරීමම අතුරුදහන් වීමට හේතුවක් වී ඇත.
මෙම අතුරුදහන් කරවීම්වලට වගකිවයුතු පුද්ගලයින් ලංකා සමාජයේ සෑම ගමක් පාසා වාසය කරති. ඔවුන් තම දූ දරුවන්, තම දෙමාපියන් සමග එකට ජීවත් වන්නේ කරවටක් ලේ තවරා ගත් දෑත් වලින් යුතුවයි. ඒත් ඔවුන් ගැන වගේ වගක් අප සමාජයට නැතුවා පමණක් නොව බොහෝවිට ඔවුනට ගරු බුහුමන් සහ ගරු නම්බු නාම ද ප්‍රධානය කරති. මෙයට හොඳම උදාහරණයක් නම් තම අසහාය නායක විජේවීරගේ සිට තම පක්ෂයේ පහළම සාමාජිකයා දක්වා අමු අමුවේ මරා දැමූ, පණ පිටින් ගිනි සෑයවලට පුද කළ ගහල හමුදාවලට පසු කලක දී ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් අපේ රට රකින රණ විරුවන් ලෙසින් විරුදාවලි දෙමින් මනෙල් මාල් මාල වලින් පුදනු ලැබීමයි.
සියළුම පැසිස්ට් හා ඒකාධිපති රාජ්‍යයන් හි බල අධිකාරය භීෂණය තම යටපත් කිරීමේ කලාව බවට පත් කර ගනු ලැබීය. එය මුසොලීනීගේ වේවා, හිට්ලර්ලාගේ හෝ ෆැන්කෝලාගේ වේවා, ස්ටාලින් හෝ පොල්පොට්ලාගේ වේවා, පිනෝචෙට් හෝ මාකෝස්ලාගේ වේවා, සුකර්නෝ හෝ මොබුටුලාගේ හෝ වේවා මෙකී නොකී සෑම පැසිස්ට් හෝ ඒකාධිපති රාජ්‍යයන්හි බලඅධිකාරය තම අණසකට ජනයා යටත් කර ගැනීම භීෂණය කලාවක් කර ගනු ලැබීය. භීෂණය විවිධ ස්වරූප වලින් ජනතාව වෙත ගෙන එනු ලබයි. කෙලින්ම ගෙදරටම එන පොලිස් හා හමුදා මගින් අත්අඩංගුවට ගැනීම, මරා දැමීම, රාත්‍රියේ ගෙවලට එන නිල නොලත් පැරා මිලිටරි කණ්ඩායම් එවීම, මහ දවාලේ ගෙවල්වලට පැන පහර දෙන තගරි කණ්ඩායම් එවීම, මහ මඟ මළමිණී බගෙට පිච්චෙන්නට හැර වැළලීම තහනම් කර බලු කපුටනට බුදීමට සැලැස්විම, අතුරුදහන් කිරීම හෝ තර්ජනය කිරීම ආදී නොයෙක් ආකාරයෙන් භීෂණය, භීෂකයා විසින් සමාජ ගත කරනු ලබයි.
බලය රජවරුන් අත පැවති සමයේ ඔවුන් ජ්නයා භීෂණයට පත් කලේ ප්‍රසිද්ධියේ උල තැබීම, කැබලිවලට කපා මං මංවාවත්වල එල්ලීම, පණ පිටින් හම ගැසීම, දරුවන් වංගෙඩිවල දමා කෙටවීම, ගල් ගස්වා මරා දැමීම, මිය යන තුරු කස පහර දීම ආදී දණ්ඩනයට පත් කිරීමෙනි. ලෝකයේ රජවරුන් වෙනුවට නවීන රාජ්‍යයන් බවට පෙරලෙද්දී එදා භීෂණයම වෙනත් ස්වරූපයක් ගනී. යම් රටක රාජ්‍ය කොතරම් දුරට ප්රජාතන්ත්රවාදී නොවේද, කොතරම් දුරට ඒකාධිපති හෝ පැසිස්ට්වාදී වේද, එතරම් දුරට එම රාජ්‍ය භීෂණයේ ආධිපත්‍යයට නතු කරනු ලබයි. එදා රාජ වධ බන්ධනයන්ගේම දිගුවක් වන භීෂණය අද වන විට එහි සියුම්ම කලාව වන අතුරුදහන් කිරීමේ කලාව බවට පත්කර තිබේ. අතුරුදහන් කිරීම තුල ඔහු හෝ ඇයගේ ඥාතීන්ට, හිතවතුන්ට ඔහු හෝ ඇය වෙනුවෙන් අවසාන බුහුමන් පැවැත්වීමේ අයිතිය පවා උදුරාගනු ඇත.
කිසියම් බල අධිකාරයකට, කිසියම්ම රාජ්‍යකට මිනිසෙකු අතුරුදහන් කරවීමේ අයිතියක් නොමැත. එය කිසිම ශීලාචාර සමාජයක් අනුමත නොකරන ක්‍රියාවකි. වැරදිවලට දඬුවම් පැමිණවීම නීති ක්‍රමයක් යටතේ සිදුවිය යුතු දෙයකි. අතුරුදහන් කරවීම කිසියම්ම නීතියකට වලංගු නැති නීති විරෝධී ක්‍රියාවකි. හමුදාව, පොලීසිය, රාජ්‍ය හෝ මොනයම්ම කෙනෙකුන් එය ක්‍රියාවට නගන්නේ නම් ඔවුන් ක්‍රියාකරන්නේ නීති විරෝධීවයි. මනුෂ්‍යත්වයේ නීතිය සහ න්යාමයන්ටද එරෙහිවයි. එනිසා එයට එරෙහිවීමට සෑම මිනිසෙකුටම අයිතියක් ඇතිවා මෙන්ම එයට එරෙහිවීම සෑම මිනිසෙකුගේම යුතුකමක් ද වන්නේය.
යම් සමාජයක් මිනිසුන් අතුරුදහන් කරවීමේ ‘භීෂණයේ කලාව’ තම සමාජයෙන් අතුරුදහන් නොකරන්නේ නම් එම සමාජයට කිසි දිනක සැනසීමක් හිමි නොවනු ඇත. භීතිය හා අනාරක්ෂිතභාවය එම සමාජයේ මධ්‍ය ලක්ෂය බවට පත්වනු ඇත.
මහින්ද රාජපක්ෂ ලඟදී ‘අල්ජසීරා’ නාලිකාවට දෙන ලද සම්මුඛ සාකච්ඡාවකදී සුදු වෑන්වලින් පැහැර ගැනීම යනු අමූලික බොරුවක් බව පවසන්නේ පෙම්වතුන් පෙම්වතියන් රහසේ පැන යාම මෙම කතා ඇතිවීමට මූලික හේතුව ලෙස දක්වමිනි. ඔහුම මානව හිමිකම් ගැන කතා කළ 87 -90 අවධියේදී ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරියේ මෙවැනි පැහැර ගැනීම් ගැන තමා කළ කතා අද ජනාධිපති ඔහුට අමතකව ඇත.
ලංකාවේ ජනවහරක එන ‘ලැජ්ජා නැතිකම මහ මුදලිකමටත් වඩා ලොකුයි’ යන්න මෙහිදී මතක් කරමින් ජනාධිපති රාජපක්ෂට අපට කිව යුතුව ඇත්තේ ‘ලැජ්ජා නැති කම ජනාධිපතිකමටත් වඩා ලොකුයි’ කියාය.
රංජිත් හේනායකආරච්චි | Ranjith Henayakaarchchi