සුචරිත් ගම්ලත් ශූරීන් විසින් රචිත සිංහල – ඉංග්‍රිසි ශබ්ද කෝෂය ගැන මගේ මුහුණූ පොතේ දැමූ ලිපියකට සටහනක් ලියූ අයකු මෙසේ කියා තිබුණි: ‘මිලදී ගන්න ආසයි, එත් රුපියල් 10,000ක් නෙ?’ මේ සටහන ලිවීමට හේතු වුයේ එම සටහනය.
මහාචාර්ය සුචරිත ගම්ලත් මෙරට පහළ වූ පඩිවරයෙකි. ඔහුගේ දේශපාලන සහ සමාජ මතවාද පිළිගත්ත ද නොගත්ත ද ඔහු කළකට සමාජයක පහළ වන බහුශ්‍රැත විද්වතකු බව නොපිලිගන්නා අයකු සිටිය නොහැක. සිංහලයාගේ බස පිළිබඳ දැනුම සම්බන්ධයෙන් ඔහු හා සැසැදිය හැකි පඩිවරයන් නූතනයෙහි බිහිව ඇත්තේ අතලොස්සකි.
රැස සතු වටිනාම වස්තුව හෝ ඉන් එකක් නම් බස ය. රැසක අයිතීන් රැකෙන අදහස් ප්රකාශනයේ අවිය ද බස ය. බසෙහි දියුණුව රැසෙහි සිතීම නූනනත්වය කරා ගෙන යයි.
සුචරිත ගම්ලත් විසින් සිංහලයාගේ බසට කරන ලද මහඟුතම දායාදය මගේ දැනුමට අනුව සිංහල – ඉංග්‍රීසි මහා ශබ්ද කෝෂය යි. මේ තාක් මුද්‍රණය වී ඇති අනර්ඝතම සිංහල – ඉංග්‍රීසි ශබ්ද කෝෂය එය බව ද එය චිරාත් කාලයක් පවතිනු ඇති බව නිසැක ය.
මෙම ශබ්ද කෝෂයෙහි වැඩ අවසන්ව කලක් යන තුරු එය මුද්‍රණය නොවූයේ ඒ සඳහා දැරිය යුතු බර පැන දරන්නට ව්‍යාපාරිකයකු නොසිටි නිසා ය. එය මුද්‍රණය වූයේ කෙළෙසකදැයි යන්නත් මුද්‍රණයෙන් පසු ඊට අත් වී ඇති ඉරණමත් පසුදාක අන්තර් ජාල වෙබ් අඩවියක කියවූ කළ අනේ අපොයි නොකියවුනා පමණය. මන්ද යත් මේ වනාහී අපේ බස මුහුණ දී සිටින ඛේදවාචකයේ සංකේතයක් නිසා ය.
එය මුද්‍රණය කල අර්ථපතියා උපුල් ශාන්ත සන්නස්ගල ය. මුද්‍රණය කරන ලද්දේ ඉන්දියාවෙහි දී ය. ඒ සඳහා බරපැන ලක්ෂ 500යි නොහොත් මිලියන 50යි. ලබා ගන්නා ලද්දේ “ඩික්ෂනරි ලෝන්” නමින් පුද්ගලික බැංකුවකිනි. එහි පළමු මුද්‍රණය 2009 දී පිටවිය. 2013 සැප්තැම්බරය දක්වා එහි පිටපත් අලෙවි වී ඇත්තේ 435ක් පමණි. අව්රුද්දතට පොත් 150ක් පමණය. සැප්තැම්බර් මාසයේ පැවැති මහා පොත් ප්‍රදර්ශනයට පැමිණි දශ ලක්ෂයක් පාඨකයින් අතුරින් සුචරිත ශබ්ද කෝෂය මිල දී ගත්තේ තිදෙනෙක් පමණකි. මේ වනාහී අපේ සිංහල සමාජයේ සමාජ සංස්කෘතික පරිහානියේ ළකුණක් නොවේ ද ?
මෙවැනි ශබ්ද කෝෂයක් පරිහරණය කිරීමට රිසි හෝ සිය පුස්තකාලය වර්ණවත් කිරීමට එය මිලට ගැනීමට කැමැති එක් දහසක්වත් අපේ සිංහල සමාජයේ නැතැයි අප විශ්වාස කරන්නේ කෙළෙස ද? අඩුම වශයෙන් සංස්කෘතික ඇමැතිවරයාවත් දුසිම් ගනණක් වන අධ්‍යාපන ඇමැතිවරුන්වත් මෙම ශබ්ද කෝෂය මිලදී ගෙන ඇත් ද?
සිංහල ජනමාධ්‍ය කතුවරුන් අතර හෝ මෙම ශබ්ද කෝෂය මිලදී ගත් අය විරල බව කීවේ තවත් කතුවරයෙකි. සිංහල බස උගන්වන විශ්ව විද්‍යාල ගුරුවරුන් අතර පවා තත්ත්වය එවැනි විය හැකි ය. අඩු මිලට ලබා ගත හැකි ශබ්ද කෝෂ තිබිය දී රුපියල් 10,000ක් ගෙවා සුචරිත ශබ්ද කෝෂය මිලට ගනු ඇත්තේ සිංහල බසට ඇල්මක් අතමිට සරු අයකු පමණකි. ඒ බව සැබෑ ය.
සුචරිත ගම්ලත් මහා ශබ්ද කෝෂයට පමණක් නොව ඒ හා සමාන වටිනාකමකින් යුත් අනෙක් සිංහල සහ දෙමළ කෘතීන්ට අත හිත නොදෙන ආණ්ඩුවක් යනු සංස්කෘතික සෝදාපාලුවක සංකේතය ය. වෙනත් බොහෝ රටවල මෙවැනි මා හැඟි කෘතින් එක්කෝ සහනාධාර මතින් මුද්‍රණය කැරේ. නැත්නම් පුස්තකාල යනාදී ආයතන හරහා එම දැනුම සමාජ ගත් කරනු වස් ඒවා ආණ්ඩුවේ වියදමින් බෙදා හැරෙයි. නමුත් ආසියාවේ ආශ්චර්ය ලෙසට වැණෙන සිරි ලංකාවේ ආන්ඩුව අත දෙන්නේ කාලය විසින් කුරැටු ගා දමනු ඇති පිට පොතු වලට ය.
මෙවැනි කෘතියක් අගය කිරීමට වත්මන් පාලන කණ්ඩායමට නොහැකි බව රහසක් නොවේ. රාජපක්ෂවරුන්ගේ ආසාවන් වන්නේ සිය නමින් හැදින්වෙන් දැවැන්ත ගොඩ නැගීම් ඉදිකිරීමටත් මහ රැයෙහි අධිවේගී සතුරු පැදි ධාවන තරඟ සහ විදුලි ආලෝකයෙන් රගර් සෙලල්ම් කිරීම වැනි දේ ය. මෙම මහා ශබ්ද කෝෂයට මහින්ද රාජපක්ෂ ශබ්ද කෝශය කියා නම් තැබුවා නම් කුමක් වන්නට තිබුණි ද? ලක්ෂ 500ක් නොව කෝටි පන් සීයක් රජයෙන් වියදම් කොට චීනයේ මුද්‍රණය කරවා චීන බසින් මුල් පිට සරසා සෑම සිංහල භාෂා පන්තියකටම නොමිලේ ලබා දෙන්නට තිබුනි. අද වැදගත්කම ඇත්තේ හරයට නොවේ. පොත්තට ය.
රාජපක්ෂවරු රට පාලනය කරන්නේ සිංහලකම පදනම් කර ගෙනය. සිංහල ජනයාගේ එකම ආරක්ෂකයා ලෙස පෙනී සිටිමිනි. එනමුත් ජනවර්ගයක සාඩම්බර අනන්‍යතාවයක් වන බස සම්බන්ධයෙන් එයට ඇත්තේ අල්ප දැනුමක් සහ ලැදියාවකි. එසේ නොවුනි නම් සිය නමින් එනම් මහින් ලංකා යන ගුවන් සේවාව පවත්වා ගෙන යෑමට බිලියන ගණනින් මහාජන මුදල් බිලි දෙන ආණ්ඩුවක් බස පිළිබද පර්යේෂයින්ට, බස පොහොසත් කරන විද්වතුන්ට පිලිකන්න පෙන්වන්නේ නැත. මෙම ගුවන් සේවාවේ නම මිහින් නොවී බන්ඩා වුයේ නම් දැන් පාඩු ලබන්නේ යැයි පහර දී එය වැළලූ තැන ගසුත් පැළ වී හමාර ය.
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මේලනය ආණ්ඩුවට ගෙවිය යුතු රුපියල් බිලියන 3.2ක් කපා හැරීමට සූදානම් බවට පුවතක් පසුගිය සතියේ වාර්තා විය. ඒ සමඟම වාර්තා වූයේ හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරියගෙන් ලක්ෂ 400ක් වන්දියක් ඉල්ලා ඔහුගේ දෙවන බිරිඳ නඩු මඟට බැස ඇති බවයි.
ඒ සමඟම වාර්තා වන්නේ පොදු රාජ්‍ය මන්ඩලීය නායක සමුළුව වෙනුවෙන් රාජපක්ෂ ආණ්ඩුව විසින් නිර්මාණය කරන ලද වෙබ් අඩවිය සඳහා රුපියල් මිලියන 15ක් වැය කර ඇති බවයි. පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව සඳහා ගෙන්වන අධි සුඛොපභෝගී බෙන්ස් කාර් 54 ක් සඳහා ආණ්ඩුව රුපියල් මිලියන 700ක් පාඩු විදින බව ද තවත් වාර්තාවක දැක්වුනි. ශතකය සම්පූර්ණ කර සිටින රාජපක්ෂ ඇමැතිවරැ සිය කාර්යාල හැඩ ගැන්වීමට වැය කරනුයේ දශ ලක්ෂ ගණනිනි. මහා රජතුමාගේ නිව්යෝක් සංචාර සියක් තරම් පරිවාර වන්දි භට්ටයින්ගෙන් පිරී මහා ජනයාගේ මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් දොර ගලා යයි. රාජ්‍ය අරමුදල් වැය වන්නේ ඉතිහාසයේ නොවූ පරිදි නාස්තිකාර අන්දමට ය.
මේ අතර අප මතක් කර ගත යුතු වන්නේ සුචරිත ගම්ලත්ගේ රටක් වටිනා ශබ්ද කෝෂය අඩු මිලට සැපයීම සඳහා වැය කළ යුතු වූයේ රුපියල් දශ ලක්ෂයක තරම් මුදලක් බවයි. අද මුද්‍රිත එම ශබ්ද කෝෂයට අත්ව ඇති ඉරණම සිංහල බස මුහුණ දෙන ශෝඛනීය තත්ත්වය සංකේතාත්මකව කියා පායි.
දේශප්‍රේමය වනාහී කපටියාගේ නවාතැනක් වැනි යැයි සැමුවෙල් ජෙන්සන් කීවේ නිකමට නොවේ. දේශප්‍රේමය පිළිබඳ කතා අද යෙදවෙන්නේ අනෙකාට පහර දීමට සහ තමාගේ බඩ වඩා ගැනීමට පමණය. දෙස බස රැස යනු දේශපාලනයේ දී අලෙවි වන භාණ්ඩ මිස වත්මන් සරැව පිත්තල සංවර්ධනයේ වටිනාකම් නොවේ.
අහෝ! අපේ දේශයේ මූලිකත්වයන් හි තරම!
සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya