[පස් වසක් පැරණි ලිපියක් | මගේ නොවැම්බරය]

‛සිහින අත් හළ මිනිස් දිවිය, හිම මිදී ගල් වූ මුඩු බිමකැ’ යි ලැන්ග්ස්ටන් හියුස් කෙටි කවක ලීවේය. ඒ අනුව බොහෝ විට ජීවන මගෙහි තෝරාගැනීම් දෙකකි. එක්කෝ උස් මිනිස් දිවියකි. නැතහොත් නිස්සාර මුඩු බිමකි. සතුරන් විසින් වටලනු ලැබ මරණයේ අගාධ ඉමෙහි සිටගත් මිනිසුන් පවා නිදහස පිළිබඳ සිහින අත් නොහරින්නේ එබැවිනි. යුක්ති ධර්මය කෙරෙහි නොසිඳෙන මිනිස් අනුරාගය ඒ සිහින මොළවාලන ගිනි සිළයි.

නොවැම්බර් මාසය, එවැනි අග්නි ජාලාවකින් ශේෂ වූ ගිනි පුළිඟු සැඟවුණු අතීත මතක සොහොනකි. ඒ මතක සොහොනෙහි අමතකව ගිය එක් ගිනි පුළිඟුවක් දහ නව අවුරුද්දකට පෙර මගේ ජීවන කුරුසිය බවට පෙරළිණ. ඒ රංජිත් රත්නායක සහෝදරයාගේ මරණයෙනි.

රංජිත් හා මා මුල් වරට මුණ ගැසුණේ අසූවේ දශකය අග භාගයේ එළඹුණු පෙබරවාරියකදී ය. ඒ උදෑසන, බණ්ඩාරවෙල ලංගම ඩිපෝව ඉදිරිපිට බස් නැවතුමේ අපේක්‍ෂා සහගතව රැඳී සිටි කිහිප දෙනෙකු අතර හුන් සම වයසැති කළු, කෙසඟ යෞවනයෙකු කුළුපග මිතුරු මදහසකින් මා හා බැඳිණ. වසරකට වැඩි කාලයක් දිග්ගැසුණු අහඹු මිතුදමක ඇරඹුම සළකුණු වූයේ පෙබරවාරියේ ඒ අනපේක්‍ෂිත උදයෙනි. ඉක්බිති එළඹි සතියක් මුළුල්ලේ ඌව පරණගම මූකලන් ගහණ කඳු මුදුනක මුළුදුන් අධ්‍යාපන කඳවුරක අපි රහසිගත දේශපාලනයේ පළමු පාඩම් කුළුඳුලේ වනපොත් කළෙමු. ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ කාලිකයෙකු වීමේ උවමනාවෙන් බණ්ඩාරවෙල මැදි මහ විදුහලේ උසස් පෙළ පන්තියෙන් පිටමංව නික්ම ආ රංජිත්, අප බොහෝවුන් මෙන් වෙනස් ලංකාවක් කෙරෙහි වූ යෞවන උද්වේගයෙන් ඇවිළිණ. උඩුහාවර මකුළ කඳු මුදුනේ රහසිගතව සංවිධානය කළ කඳවුරෙන් පිටත රාත්‍රී රැකවල් මුරයට යෙදවෙන පැය කිහිපයේදී අපි ඒ සිහින මුල් වරට එකිනෙකා හමුවේ වැමෑරීමු. පෙබරවාරි සීතල වාඩි ලා ගත් මකුළ කන්දට ඉහළින් වලා රහිත අහස් තලය අනන්තය තෙක් ඔහේ පැතිරී තිබිණ. ඒ අඳුරු මැදියම් අහසේ ගොම්මන් නිල් ආලෝකය යට වාඩි වී කවට බස් කියමින් නිදි වැරූ උද්වේගකර දවස් ප්‍රචණ්ඩ වා සුළියකින් කෙළවර වනු ඇතැයි අප කෙසේ නම් දැන සිටින්නද?

ඒ දිගු දවස් නිමවා මකුළ කන්ද බැස ආ සියල්ලෝ දිවි පරදුවට තබමින් යුක්තිගරුකභාවය පිළිබඳ සිහින හඹා ගියහ. ඒ සිහින බොහෝමයක් අප කැළඹූ නොමේරූ උද්වේගයන්ගෙන් උපන් බව ඇත්තකි. නමුත් දිවි දෙවෙනි කොට අවදානම සමග ගෙවුණු අවිවේකී දවස් කෙළවර වෙනස් ලංකාවක් හමුවනු ඇතැයි බොහෝ දෙනා කල්පනා කළහ. ඒ නිහඬ කඳුකරයේ අඳුරු පයිනස් කැළෑ තුළත්, තේ වතුයායන් අතරේත්, පාළු දුම්රිය පොළවලත් රහස් බස් මුමුණමින් අපි අපේ සිහින වැපිරීමු. මිනිස් ඝාතක හමුදා රැක සිටි මුරපොළවල් නිරුපද්‍රිතව පසුකොට, සෝදිසි මෙහෙයුම් වට වලින් ගැළවීගත් හැම වරෙකම ජයග්‍රහණය පිළිබඳ නොගැඹුරු ඒකාන්ත විශ්වාසයෙන් අපි උද්දාම වීමු. වේගයෙන් ගෙවී ගිය ඒ භීෂණකාරී දවස් පිරී තිබුණේ සංහාරයන්ගේ ආතතියෙනි.

අත් අඩංගුවට පත්වීම පිළිබඳ බොහෝවුන් තුළ දළු ලෑ අනියත සිතිවිලි මාත්‍රයන් ඇසූ – දුටු රුදුරු යථාර්ථයන් හා බැඳී තිබිණ. පුන්සිරි සොයිසාගේ එකම ගීත පටිය වාදනය කරමින් හීල්ඔය බලා යන සුපුරුදු කුලී වෑන් රියේ පිටුපස අසුනෙහි වාඩි වී ආ ගිය ඇතැම් සන්ධ්‍යාවක ‛තම අතැ’ඟිලිවල නිය පොතු, කටර් අඬුවකට හසු කරගත හැකි තරමට වැවී ඇතිදැ’යි පිරික්සා බලමින් රංජිත් කවටකම් කළේය. නමුත් එක්ව ආ ගිය ගමන්වල නිමාවේ කොහේ හෝ නිවසක රැය පහන් කරමින් බෙදා ගත් දිවිමග කෙළවරෙහි වෙනස් ඉරණම් රැඳී ඇතිදැයි ගැඹුරින් කල්පනා කරන්නට ඉඩ ලැබෙන සන්සුන් දවස් අප වෙත නොආවේය. 1989 අප්‍රේල් මාසයේ හමුදා අත් අඩංගුවට පත් වූ ගුණරත්න බණ්ඩාර සහෝදරයා නිදහස් කරගනු වස් කැඳ වූ දැවැන්ත සිසු පෙළපාලි මාවත් අවහිර කරමින් ගලා යනු සීවලී විදුහල් මං සන්ධියට වී බලා සිටි රංජිත්ගේ උද්වේගයෙන් ඉපිළ ගිය ප්‍රීතිමත් යෞවන රුව දැනුදු ශෝකී මතක සේයාවකි.

නව සිහින පුබුදුවාලූ ඒ වසන්ත වර්ෂාවෙන් තෙමී බත් වුණු අපේ යෞවන දවස්, වෙඩි දුමාරයෙන් සහ ශෝකාවේගයන්ගෙන් පිරීගත් අන්ධකාර සුළියක පත්ළෙහි ගිළී සැඟව ගියේය. පහළ ඌවේ ගොවි ගම්මානයක අනන්ත දුක් තැවුල් අනුභව කොට හැදී වැඩුණු දහ හත් වියැති කෙසඟ යෞවනයෙකුගේ අකීකරු දෑස් තුළ ඇවිළුණු යුක්ති ධර්මය පිළිබඳ නොතිත් අපේක්‍ෂාවන් වධ වේදනා ගහණ ඉතිහාස අඳුරේ අතරමග අත හැරිණ. ඒ භීම සමය කෙළවර අත් අඩංගුවට පත්වීමෙන් පසු බදුල්ලේ හාළිඇළ මෝටර්ස් යුද හමුදා වධකාගාරයේ දී ගෝනියක බහා උදළුවලින් පහර දී මරා දමන තෙක් සමාජ යුක්තිය පිළිබඳ සිහින අත් නොහළ රංජිත් රත්නායක සහෝදරයා පිළිබඳ අවසාන මතක මාත්‍රයන් දැන් නොනැසෙන සංවේගයක් වී සිතුම් ගැඹුරේ ඇමිනුණු විස ඊ තුඩකි.

ඒ වියෝග අන්ධකාරය පහව නොගිය දහනව අවුරුද්දකින් පසු දැන් යළිත් නොවම්බරයක් එළඹ තිබේ. දකුණේ රණවිරු සේනා පෙරටු කොටගෙන රැළි ගසන මහා ජාතික අභිමානයේ තේජාන්විත ධජ පතාක, බණ්ඩාරවෙල නගර ශාලාවේද, බෙරගල සමර් ෆැෂන් ඇඟලුම් කම්හලේ ද, බදුල්ලේ හාළිඇළ මෝටර්ස් ගරාජයේ ද පවත්වාගෙන යනු ලැබූ රජයේ නීත්‍යානුකූල හමුදාවන්ගේ වධකාගාර ඉදිරිපිට ඒ අතීත දවස්වල ළෙල දුන් බවක් මගේ මතකයේ නොමැත. දිවා රෑ වමාරා කන සිංහලයේ මහා වංශ කතාවේ ‛ලේ මාගලෙන්’ වසා දමන ලද දකුණේත් – උතුරේත් මිනිස් පරම්පරාවන්ගේ වීර ජීවන පුරාවෘතයන් මගේ පරපුරේ නොලියැවුණු වංශ කතාවේ උරුමයයි. විඩාබර ජීවිතයෙහි ඉඩක් ලද මොහොතක නැවතී හිඳ අතීත දවස් ගැන මිතුරු සාමිචියේ යෙදෙන්නට අහම්බෙන් හෝ යළිත් කිසි දිනක මුණ නොගැසෙන රංජිත් රත්නායක වැනි සියක් දහසක්වුන් විසින් අත් නොහළ සිහින නිධන් වී ඇත්තේ ඒ උරුමය තුළ ය.

‛‛වසත් කල ආ විට
තණපත්
හරිත පෑයෙන්
පෙරළා යළිත් පැමිණෙයි….

එද
කළණ සුමිතුර
ඔබත් එහෙමද?’’

– චීන කිවි වන්ග් වෙයි

Bashana-Abeywardaneරෝහිත භාෂණ අබේවර්ධන | Rohitha Bashana Abewardhana – ‘රාවය’ | 2008 නොවැම්බර් 09