Image Credit : colombogazette
මේ දිනවල ලංකාවම මඟුල් ගෙයක සිරි උසුළයි. මහින්ද රාජපක්ෂ මනමාලයා වී ඇති මේ මඟුල කෑමට රටටම බල කර ඇත. CHOGM සමුළුවේ සභාපති වීමේ මනමාල හිනාවෙන් මුහුණ පුරවාගත් මහින්ද පමණක් නොව ශිරන්ති සහ නාමල් ද ඔහු සමග සරන්නේ හඳ පෑවූ මුහුණුවලින් යුතුවයි.
මඟුල්වලට අනවශ්‍ය ලෙස විය පැහැදම් කිරීම ලාංකිකයා සතු අපූරු ගුනාංගයකි. මෙහි දී සිංහල, දෙමළ, මුස්ලිම් කියා වෙනසක් නොමැත. බොරු පුරාජේරුව සඳහා ඔවුන් ණය තුරස් වෙමින් හට්ටි මුට්ටි පවා උකසට තබමින් මඟුල් කති. එය ඉතිං ලාංකිකයා වන අපේ සහජ ගතිය වේ.
CHOGM සමුළුවේ සභාපති වීමෙන් තමනට මහත් පිලිගැනීමක් ලෝකය තුල ඇති වේය යන ග්‍රාම්‍ය මනසින් හිස පුරවා ගත් රාජපක්ෂ මේ මඟුලට විශේෂ බරක් යොදා ඇත. රටේ ඇති සෑම තඹ දොයිතුවම ඒ සඳහා වැය කරමින් කන මඟුලේ තරම රටට දැනෙනු ඇත්තේ මඟුලෙන් පසුව ඒ සඳහා වන්දි ගෙවීමට ජනයාට සිදු වන විටයි.
එක අතකින් රාජපක්ෂලා සහ ඔහුගේ හෙංචයියන් බටහිර රටවලට බැණ අඩ ගසන්නේ සරම අතින් ඔසවා ගෙනයි. බටහිරට බනිනු ලබන්නේ ඔවුන් අපේ සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කර අපගේ ජාතික වටිනාකම් විනාශ කිරීමට කැස කවන මාර සේනාවක් ලෙස රූප මවමිනි. ඔවුන් බටහිර රටවල කොඩි පුච්චමින්, පෙළපාලි යමින්, උපවාස කරමින්, බැණ අඩ ගසන්නේ තමන් දිවි පරදුවට වුව තබා තම සිංහල බෞද්ධ රට මේ අධිරාජ්‍යවාදීන්ගෙන් බේරා ගැනීමට සටන් වැදීමට සපථ කරමිනි.
ඇත්ත නම් මේ බැණ අඩ ගැසීම් තුලින් කරනුයේ සිංහල සමාජය හොද පදමට තෙම්පරාදු කිරීමයි. මේ තෙම්පරාදුවට ලක් වූ සිංහල බෞද්ධ සමාජය තමන් ද එම වදන්ම මතුරමින්, තමන්ගේ ජාතිය ගලවා ගැනීමේ ඉටු දෙවි කෙනෙකු තමනට පහළ වී ඇති බවත්, තමනට රජෙක් ලැබී ඇති බවත් ජප කරමින් මේ පරපුරට ආවඩති. ස්තෝත්ර ගී ගයති. මේ උද්දාමයෙන් මත්වන ඔවුන් තමනට කුසගින්නක් නොව අඩුම තරමින් කුසක් පවා ඇති බව අමත කර මේ නායකයින් පසුපස ඇදෙන්නේ බැටළු හිමියා පසුපස ඇදෙන බැටළු රෑනක් මෙනි.
අනෙක් අතින් මේ නායකයින්ම ‘පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුව’ සහ එහි වැදගත්කම ගැන තොරක් නැතිව කතා කරන විට, ඒ සඳහා කෝටි ප්‍රකෝටි ගණනින් රාජ්‍ය මුදල් වැය කරමින් මේ බැටළුන් රෑනට රසකර හැපීමට චුයින්ගම් එකක් ලෙස දෙනු ලබන විට එය ආසාවෙන් වැළදගෙන හැපීම අරඹති. ඉතිං මේ සිංහල බෞද්ධයාම එම චුයින්ගම් හපමින් සිටින්නේ ‘සමුළුව හොදායි…’ කියමිනි. මේ සමුළුව තුලින් ලංකාවට අති විශාල පිළිගැනීමක් ලෝකය තුල ඇති වන බව, විශේෂයෙන්ම එහි සභාපතිකම තුලින් රාජපක්ෂට අමුතුම බලයක් ලෝකය තුල ඇතිවන බව ලංකාවේ සියලුම ජනමාධ්‍ය තුලින් (ඇත්තෙන්ම ලංකාවේ ඇත්තේ ජන මාධ්‍යක් නොව ජඩ මාධ්‍යකි) ප්‍රචාරය කරමින් කරනුයේ සිංහල බෞද්ධයාට රසකර හප හපා සිටීමට මොලයය චුයින්ගම් එකක් දීමය.
කෝටි ගණනින් මහජන මුදල් කාබාසිනියා කරමින් රාජපක්ෂ මනමාලයා කරන මේ මඟුල ඇත්තටම තම හීනමානය වසා ගැනීමට කරන දැගලීමකි. රාජපක්ෂලාට පමණක් නොව ලංකාවටත් අද වන විට ඔවුන්ගේ පසුගිය ක්‍රියාකලාපයන් නිසා ලෝකය තුල ඇත්තේ පහත් පිලිගැනීමකි. ඒ ලංකාව තුල මිනිස් අයිතීන් ගරු නොකරන යුක්තියක්, නීතියක් නැති, කැලෑ නීතිය රජයන තත්වයක් ඇති නිසාවෙනි. එය නැතිකර ගත හැක්කේ සමුළුවට කෝටි ගණන් මුදල් නාස්ති කිරීම තුලින් නොව මිනිසුන්ට ජීවත්වීමට සුදුසු යහපත් තැනක් බවට රට පත්කිරීම තුලින් පමණක් බව මේ රාජපක්ෂලාට නොවැටහෙන්නේ මෝඩ මහන්තත්වයකින් ඔවුන් හිස් උදුම්මාගෙන ඇති බැවිනි.
නමුත් රාජපක්ෂලා සහ ඔවුන්ගේ හෙංචයියලා සියුම් සිංහල බෞද්ධයා වෙත මොර දෙන තරමට ඔවුන් මේ අධිරාජ්‍ය විරෝධීන් නොවෙති. ඔවුන් එසේ හැබෑවටම අධිරාජ්‍ය විරෝධී නම් වචනවලින් කියන දෙයට හාත්පසින් විරුද්ධ ක්‍රියාමාර්ගයක් වන මේ පොදු රද සමුළුව ලංකාවේ පවත්වන්නේ නැත. හැබෑව නම් ඔවුන්ගේ දරුවන්, මුණුබුරන් අධ්‍යාපනයට සහ පදිංචියට යන්නේ (සමහරු තමන්ම පවා) ඇමරිකාව, ඕස්ට්‍රේලියාව නැතිනම් යුරෝපයට මිස චීනයට හෝ උතුරු කොරියාවට නොවේ. ඔවුන් මේ කරන්නේ මහා බොරුවක් ප්‍රෝඩාවක් නොවේනම් මෙය කුමක්ද? බොරු කීම ලාංකිකයාට ආවේණික ගතියකි. නමුත් තමන්ගේ බොරුව තුල තමන්ම රැවටී සිටීනම් එය මහත් ඛේදවාචකයක් නොවන්නේද?
රාජපක්ෂලා ඇතුළු කල්ලිය නම් බොරුවක ගිලී සිටින්නේ තම වාසිය සඳහායි. ඒත් රටේ අනුගාමික ජනයා මේ තුල ගිලී සිටින්නේ කුමක් සඳහාද? මෙහිදී කීමට ඇත්තේ ‘තල නම් තෙලට වේලේ. මීබෙටි ඇන්නෑවේ කුමට වේලේද?’ කියායි.
මෙහිදී මෙම CHOGM වලට එරෙහිව ජනතා විමුක්ති පෙරමුනේ ප්රචාරක ලේකම් විජිත හේරත් කියන කතාවක්ද මතක් කරමි. ‘ආණ්ඩුවේ සමහර උදවිය කැප්පෙටිපොල ලා පුරන්අප්පුලා සමරනව. අනික් පැත්තෙන් ඔවුන්ව මරා දමපු සුදු අධිරාජ්‍යවාදීන්ව සමරනව. මේ දෙකම එකවර කරන්නේ කොහොමද කියන එකයි ප්රශ්නය’ ඉතිං මේ විජිත හේරත් මහත්තයලට අමතක වෙන තරම. දැනට වසර 25ට උඩදි තමන්ගෙම සොයුරන්ගේ ඔලුවලට පරාල ඇණ ගහපු උන් එක්ක විජිත මහත්තයල එක කැබිනට් එකේ හිටියෙ කොහොමද කියල තමන්ටම ප්‍රශ්නයක් නොවීම අපිට නම් ප්‍රශ්නයක්. තමන්ගෙ නායකයව පණ පිටින් පුච්චපු, තමන්ගේ සොයුරු සොයුරියන් දස දහස් ගණනක් වද දී මරපු හමුදාවන්ට වීරෝධාර හමුදාව කියා නම් කර ‘රණවිරු’ සම්මානයෙන් පුද දී මානෙල් මල් පුදපු හැටි විජිත මහත්තයලට අමතකයිද? ඒ මදිවට ඒ මරාදාපු අයව ‘ඉල්මහ විරුවන්’ ‘අප්‍රියෙල් විරුවන්’ කියා සමරන විට ඒකෙ ප්රතිවිරෝධයක් ඔබලාට නොපෙනීම අපිටනම් ප්‍රශ්නයක්.
අනේ සහෝදර මහත්වරුනි, නුඹලාට ලැජ්ජා නැති තරමක්! නුඹලාගේ ප්‍රකාශවල ඇති වීර කැප්පෙටිපොලලා, පුරන්අප්පුලා, ගොන්ගාලේගොඩලා, බූටාවේ රටේරාළාගේ නම් වෙනුවට ප්‍රේමවතී මනම්පේරිලා, විජේවීරලා, ශ්‍රීමා විතානලා ආදී නම් ඇතුළු තවත් දස දහස් ගණනක නම් එකතු කර 1818,1848 වෙනුවට 1971 සහ 1987-90 එතැනට එක්කර බ්රවුන්ඩ්රිජ්ලාගේ නම් වෙනුවට සරත් ෆොන්සේකලා, ජගත් ඩයස්ලා, ශවේන්ද්‍රලා ආදීන්ගේ නම් එකතු කර බලන්න. එවිට ඔබේ හෙළුව ඔබට පෙනෙනු ඇත.
රංජිත් හේනායකආරච්චි | Ranjith Henayakaarchchi
පසු වදන
මීට ටික කලකට උඩදී මෙහි ජීවත්වන ලාංකිකයන් ගායනා කළ ගීතයක් මෙහි තාලය ‘මහබෝධි මුලේ විදුර‘සුනේ රැස් විහිදෙන්නා’
ලංකාව ලොවේ ධර්මදීපයයි පවසන්නා
ඊර්ෂ්‍යාව ක්රෝද මද මානෙන් පිරී තිරෙන්නා
ලංකාව ලොවේ දම් දිවයයි අපි පවසන්නා
කුල ජාතිය ආගම් භේදව මිනී මරන්නා
කන්නඕනා නම් කබර මාලු තලගොයි මාලු
කරල ගන්ව අපි ඕන වෙලාවට මගෙ යාලු
මූන ඉච්ඡාවට හිනා මුවේ පිං බේරෙනවා
අනේ දියරෙද්දෙන් හීන් සැරේ බෙල්ල කපනවා
කතාවෙදි විහිදෙයි රැස් වලල්ල ධර්ම චක්කරේ
කටේ නරිවාදන් රෙද්ද තෙමා පල්ලෙ වැක්කෙරේ
බඩේ දඩ මාංශ සිල්රෙද්දෙන් මුවා කරනවා
ගහේ වග දන්නා අයට කඩා කොල පෙන්නනවා