පළමු කොටස

හැදින්වීම

ලංකාවේ සමාජ දේහය සීග්‍ර ලෙස ඇතුලට කුණු වෙමින් පිටතට ඉදිමෙමින් නවීකරණය වීමක් දැකිය හැකිය. මේ හේතුවෙන් අභ්‍යන්තරික සමාජීය වෙනසක් සඳහා දේශපාලනික වෙනසක අවශ්‍යතාවක් දරුණු ලෙස පැන නගිමින් තිබේ. මෙම දරුණු පැන නැගීම සමාජය තුල හා එහි වැසියා තුලම හිර වී ගෙවෙමින් යන දේශපාලන ජීවිතය සුවදායක නොමැති බැවින්, ඉන් නිදහස් කර ගැනීම පිණිස දේශපාලන සමාජයේ ප්‍රමුක ප්‍රගතිශීලී පිරිස් හට දිගු හා කෙටි කාලීන අත්‍යවශ්‍ය වගකීමක් ඉතිහාසය විසින් උරුම කිරීමට බලකෙරෙමින් තිබේ.

මේ සඳහා බල දේශපාලනික වේදිකාවේ දේශපාලනික කණ්ඩායම් හා පුද්ගලයන් හට වෙන් වෙන් වශයෙන් දේශපාලනික හා සාමාජීය සිනාරියෝ ඇත. ගැටලුව ඇත්තේ දේශපාලනික බලයෙන් හෝ සමාජීය බලයෙන් රට වෙනස් කිරීමට කල්පනා කරන්නන්ගේ සිනාරියෝ සතුව ඇති සක්‍රීය ධාරීතාවයෙහි ඇති ගැටලු සහගත බවය. එබැවින් ලාංකීය දේශපාලනයේ සුසමාදර්ශී වෙනස උදෙසා දේශපාලනික සිනාරියෝවන් හඳුනා ගැනීම හා නිර්මාණය කර ගැනීම වැදගත් වන අතර එය මුල් තැනක් ගන්නකි. නමුත් පුද්ගලයන්ට හා දේශපාලනික පක්ෂ කණ්ඩායම්වලට අනුව අඩු වැඩි වශයෙන් මෙකී සිනාරියෝ ගොඩනගා ගැනීම සිදු වුවත් එවා යථාර්ථවාදී ශක්‍යතා ගුණයෙන් යුක්ත වන්නේ දැයි කල්පනා කළ යුතු අතර ඒ පිලිබඳ නැවත සලකා බැලීම පිණිස සිනාරියෝ යන්න කුමක් දැයි හඳුනා ගැනීම හා සිනාරියෝ ගොඩ නැගීම පිළිබඳ න්‍යායික කතිකාවකට පිවිසුමක් මෙම ලිපිය මගින් පෙන්වා දීමට අපේක්ෂා කෙරේ. මේ සඳහා ප්‍රධාන වශයෙන් දේශපාලන සමාජය වර්ගීකරණය කරමින් සිනාරියෝ ගොඩ නැංවීම කරනු අතර ඒ සඳහා පහත සඳහන් සාධකයන් ප්‍රස්තුථ කර ගත හැකි වේ.

1. රාජපක්ෂ සිනාරියෝව

2. විපක්ෂ සිනාරියෝව

3. විකල්ප සිනාරියෝව

4. වමේ සිනාරියෝව

සිනාරියෝවක් යනු කුමක්ද

සිනාරීයෝවක් යනු අනාගතය පිළිබඳව විය හැකි විස්තාරිත දැක්මන් හෝ අනාගතයේ වියහැකි පැතිකඩයන් හෝ මානයන් පිළිබඳ කතාන්තරයකි. එය බොහෝවිට ආදර්ශමය දැක්මක් හෝ අනාගතය පිළිබඳ අධ්‍යයන ක්‍රමවේදයකි. සිනාරියෝවක් යනු අනාගතය පිළිබඳ අනාවැකි කියවීමක් නොවන අතර එය තරමක් සමාන වන්නේ අනාගතය පිළිබඳ යම් (simulation) ආභාසනයකටය. නැතිනම් සමාකරණයකටය. එසේත් නැතිනම් ව්‍යාජ වේශයකටය. ඒ අනුව සිනාරියෝ යන්න පැහැදිලිකර ගැනීමේ ක්‍රමයක් හෝ තීරණ ගැනීමේ උපකරණයන් යන දෙයාකාරයම භාවිතයට ගැනීම සිදු වේ. ප්‍රධාන වශයෙන් වර්තමානයේ ඇති (discontinuities)අසන්තතීන් පැහැදිලිව හඳුනා ගැනීමට හා ඒවායේ පවතින තෝරාගැනීම් සහ එහි ශක්‍යතාවන්වන්ගේ විපාකයන් හෙලිදරව් කරගැනීම සිනාරියෝවක් මගින් සිදු වේ. සාමාන්‍යෙයන් සිනාරියෝ ගොඩනැංවීම පිළිබඳ න්‍යාය හා ක්‍රමවේදයන් පදනම් වනුයේ ආයතන හා ව්‍යාපාරයන් පිළිබඳ අනාගතය සැලසුම් කර ගැනීමට හා එය සාර්ථකකර ගැනීම පිණිසය. මෙම සංකල්පය දේශපාලන ව්‍යාපාර හෝ සංවිධාන හෝ පුද්ගලයන් සම්බන්ධකර ආදේශකර යම් කිසි කතාන්තර ගොඩ නැගුවහෝත් එය ද අනාගතය ගැන යම් චිත්‍රයක් ඇති කර ගැනීම තුලින් සමාජයේ ඇති විය හැකි චලිතය හඳුනාගතහැකි වනු ඇත.

සිනාරියෝ අධ්‍යයනය ලාංකීය දේශපාලන සන්දර්භයට ගලපා තේරුම් ගැනීමේ දී වර්තමානයේ ඇති අසන්තතීන් මොනවාද යන්න හා මෙම වාස්තවිකයන් හරහා අනාගතයට පිවිසීමට ඇති තෝරා ගැනීම් කුමක් දැයි යන අදහසින් සිනාරියෝ ගොඩ නැගීම කරනු ලැබිය යුතුය. මෙයට කාලය හා අවකාශය පදම්කර ගනිමින් අනාගතයේ විය හැකි යැයි සිතිය හැකි ශක්‍යතාවයන් සැලකිල්ලට ගත හැකි අතර සාමාන්‍යෙයන් ලාංකීය දේශපාලනයේ සිදු වන්නාවූ ගොඩනැංවිම කරනු ලබන්නේ මැතිවරණ ක්‍රමය පදනම් කරගෙනය. ආණ්ඩු බලය වෙනස් විම පිළිබඳ සිනාරියො ගොඩනගා ගනිමින් ඊට සම්බ්න්ධ ක්‍රියාකාරී සැලසුම් කිරීමය.මෙතෙක් පැවැති පශ්චාත් යටත් විජිත දේශපාලනයේ ප්‍රධාන දේශපාලනික ප්‍රවාහයන්ගේ ඉලක්ක කේනද්‍රගතවූයේ මෙකී බල කේන්ද්‍රයන් අරමුණු කරගෙනය. ආණ්ඩු මාරු වී ඇති කාලයන් හා අවකෘශයන් අධ්‍යයනය කිරීමේ දී බලය මාරු කිරීම සඳහා ක්‍රියා කර ඇති ආකාරය ද, බලය වෙනත් ආකාරයකින් අල්ලා ගැනීම පිණිස විප්ලවීය අර්ථයෙන් ක්‍රියා කොට අසාර්ථක වූ සිනාරියෝ අපට ඉතිහාසය පුරා දැකිය හැකිය.අතීතයේ සිදු වූ සිනාරියෝ පසෙක තබමින් අනාගතය පිළිබඳව දේශපාලනික වශයෙන් සිනාරියෝ වර්ග දෙකක් යටතේ තේරුම් ගත හැකිය.

1. විය හැකි සිනාරියෝ

2. විය යුතු සිනාරියෝ


විය හැකි සිනාරියෝ

පවත්නා බල දේශපාලනික ස්වභාවයට අනුව සන්තතිය හා අසන්තතිය පදනම් වී ඇත්තේ රාජපක්ෂ බල කේන්ද්‍රය මූලික කර ගත් සමස්ථයක් තුල බැවින් අනාගතය සඳහා විය හැකි ශක්‍යතාවන්ගේ ස්වභාවය නිර්ණය වී ඇත්තේ පවත්නා ආණ්ඩු බලය තුලමය. ඉන් ගම්‍ය වන්නේ රාජපක්ෂ නොවන අනෙකුත් පාර්ශවයන් සතු සිනාරියෝ තුල ඇති තෝරා ගැනීම් හා ශඛ්‍යතාවන් සක්‍රීය බවින් අර්ථ විරහිත වීම තුලය. මේ නිසා අනාගතය තවදුරටත් රාජපක්ෂ අනසක තුල විවිධාකාරයෙන් නිර්මාණය වීමට අවශ්‍ය පරිසරය සැපයෙනු ඇත. ඒ අනුව සන්තතිය තුලම අසන්තතීන් නිර්මාණය උවත් එයම සන්තතීන්ගේ දිගුවක් වනු ඇත. එය තව දුරටත් පැහැදිලි කළ හොත් කිව හැකි වන්නේ රාජ පක්ෂ බල කේන්ද්‍රයම අනාගතය සඳහා ලාංකීය දේශපාලනික සිනාරියෝ ගොඩ නැගෙනු ඇත. එය විය හැකි සිනාරියෝවක් වනු ඇති අතර එය විවිධ හැඩයන් මෙන්ම චලනයේ වෙනස් කම්වලට භාජනය වීමට නියමිත විය හැකිය. මෙම වෙනස් වීම්වල ඇති අසන්තතීන් පරීක්ෂා කළහොත් රාජපක්ෂ බල ව්‍යුහය පදනම් කර ගත් සිනාරියෝ පහත පරිදි න්‍යයගත කළ හැකිය.

සිනාරියෝ ගොඩ නැංවීම- Scenario Building No 1

රාජපක්ෂ සිනාරියෝව-Rajapaksha Scenario

කාලය 2013- 2020

පියවර 1

කේන්ද්‍රීය කාරණා හඳුනාගැනීම (සිනාරියෝ සඳහා පසුතලය සැකසීම)

ලංකා දේශපාලනයේ අනාගතය සඳහා වන පසුතලය ගොඩනැංවීමේ දී ප්‍රශ්නාවලියකින් ප්‍රවිෂ්ටව ප්‍රධාන කාරණාවලට අවතීර්නය විය හැකිය.

ප්‍රශ්න

1. ඊලඟ වසර දහයක් සඳහා රටේ නායකයා විහ හැක්කේ කවරෙක් ද

2. ආණ්ඩු බලය කුමන ස්වරූපයක් ගනු ඇත් ද

3. ඇති විය හැකි ප්‍රතිවිරෝදතා කෙබඳු වේද

4. සමාජයක් ලෙස කුමන ප්‍රතිපල අත්කර ගනී ද

පියවර 2- ප්‍රධාන කාරණා හඳුනාගැනීම හා විෂ්ලේෂණය

ඉහත ප්‍රශ්නවලට පිළිතුරු රාජපක්ෂ බල කේද්‍රය තුල ස්ථානගත කළ හොත් මේ සඳහා ප්‍රධාන සහ උප ප්‍රධාන සිනාරියෝ ගොඩ නැගිය හැකිය.

ඊලඟ වසර දහයක් සඳහා රටේ නායකයා විය හැක්කේ කවරෙක් ද?

ඒ අනුව පළමු ප්‍රශ්නයේ ප්‍රධාන පිළිතුර වන්නේ ඉදිරි කාලය සඳහා මහින්ද රාජපක්ෂ නම් වන වර්තමාන ජනාධිපතිවරයාම රටෙහි නායකයා වනු ඇති බවය.ඔහු ජනාධිපතිවරයා බවට පත්වීමට අවශ්‍ය පසුලතය සැකසෙන විට අභ්‍යන්තරිකව උප සිනාරියෝ ගණනාවක් නිර්මාණය වීම නොවැලැක්විය හැකි වුව ද එම සිනාරියෝ නැවත තමා සතු කර ගැනීමේ ගුරුත්ව කේන්ද්‍රය රාජපක්ෂ වටාම ගොඩ නැගෙනුයේ ඒ සඳහා විකල්ප බලවත් ශක්‍යතාවයකින් වෙනත් දිශාවකට ගමන් කිරීමට නොහැකි කම නිසාය.

ආණ්ඩු බලය කුමන ස්වරූපයක් ගනු ඇත් ද?

ඒ අනුව ආණ්ඩු ක්‍රමයේ ස්වරූපය වනු ඇත්තේ ෆ්‍රට් සැලට් කැඳ හැලියකි. එහි ඇති ගුණය වන්නේ ෆ්‍රට් සැලට් අඩංගු වීමය. නමුත් එය කැඳ හැලියකි. ආණ්ඩුවේ සංයුතිය තවත් ප්‍රසාරණය වීමෙන් යම් කේවල් කිරීමේ හෝ බලපෑමක් කිරීමේ හැකියාවක් ඇති කොටස්වල බලය තව තවත් තනුක කරනු ඇත.එය සිදු වන්නේ පිටත සිටින, එනම් විපක්ෂයේ ඊනියා විකල්ප පිරිස් හා විපක්ෂයේ ඇතැම් පුද්ගලයන් අවසානයේ රාජපක්ෂ හා එකතු වීමෙනි. සජිත් ප්‍රෙමදාස හා ඔහුගේ අනුගාමික කොටස් වන ශිරාල් ලක්තිලක වැනි ඊනියා ලිබරල් වාදීන් මෙම අවසාන නිමේෂයේ රාජපක්ෂට සහයෝලය දෙනු ඇත. කොමියුනිස්ට් හා සම සමාජ පක්ෂයේ තත් කාලීන භූමිකාව ද විමල් වීර වංශ, චම්පික රණවක වැන්නන්ගේ කට හඬට හෙම්බිරිස්සාව වැළදෙනු ඇතත්, දෘෂිටිවාදයෙන් ශක්කි සම්පන්න චම්පික වැන්නෙක් කුමන්ත්‍රණකාරී ලෙස හැසීරීමෙන් ඔහුගේ ජීවිතය පවා අහිමි වීමට ඉඩ ඇත.

ඇතිවිය හැකි ප්‍රතිවිරෝධතා

ගණන් කළ නොහැකි තරමේ ප්‍රතිවිරෝදතාවන් ගොඩ නැගිය හැකි අතර ඉන් ප්‍රධාන තැනක් ගනු ඇත්තේ රාජපක්ෂ පවුලේ පිරිස් අතරය. ඉන් ප්‍රමුක වන්නේ රාජපක්ෂ ජනාධිපතිවරයාගේ විශ්‍රාමයෙන් අනතුරුව සිහසුන තම පුත්‍රයාට උරුම කිරීමට කරන ප්‍රායෝගික දේශපාලනික හා සමාජීය ක්‍රියාවලිය තුලය. පළමු ප්‍රතිවිරෝධය එල්ල වන්නේ ගෝඨාභය රාජපක්ෂ වටා ගොඩ නංවන සුපිරි සිංහල බෞද්ධ බලවේගය ප්‍රමුක කර ගත් පිරිස්ය. මේ සඳහා චම්පික රණවක උපක්‍රමිකව විශාල කාරයයක් කරනු ඇත්තේ, ජාත්‍යන්තරව වර්ධනය වන මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබඳ පීඩනය හා තින්දු තීරණ උපකාර කරගනිමින් සිංහල ජාතියේ නියම ගැලවුම් කරු ගෝඨාභය රාජපක්ෂ බවට සුජාතකරණය කරමිනි. විමල් වීරවංශ ද එම පිලට පැනීමට බොහෝ ශඛ්‍යතාවක් ඇති නමුත් ඔහුගේ දූෂණ හා ක්ෂය වන ජනප්‍රියත්වය විසින් කිසිවකුට අත්‍යවශ්‍ය නොවනු ඇත. එ බැවින් ඔහු රාජපක්ෂ පරපුර පවත්වාගෙන යෑමට දිවිහිමියෙන් කටයුතු කරනු ඇත.

බැසිල් රාජපක්ෂ රටේ නායකයා වීමේ සිහින සිනාරියෝවක් ගොඩ නගනු ඇතත් එහි ශඛ්‍යතාව අල්ප වනු ඇත්තේ ඕනෑම විටෙක ඔහුව පාලනය කළ හැකි පරිදි තබා ගැනීමට උපදෙස් සැපයීම තමා තුලම සිටින ධම්ම දිසානායක වැන්නන් නාමල් රාජපක්ෂට සහයෝගය දැක්වීමෙනි. මතු වීමට තැත්කරන ඕනෑම අවස්ථාවක ඔහුව අදෘශ්‍ය ලෙස මෙහෙය වීම සඳහා ඩලස් වැනි මාධ්‍ය චැනලයන් යොදාගනු ඇත. කෙසේ වෙතත් පවුල තුල ගොඩ නැගෙන ප්‍රතිවිරෝදතාව තීව්‍ර වනු ඇත්තේ රාජ පක්ෂටම වාසි ගෙනදෙන අයුරින් නිසා, ඇති වන කුමණ්ත්‍රණවලින් මැක්බත් නාටකයේ සවරුපයක් අත්කර නොගනු ඇත. මන්ද රාජපක්ෂ ලේ ඥාතිත්වය රාජ්‍ය හා ජනතාවට වඩා ඝණකම් බැවිනි.

ඉතිරි උප සිනාරියෝ විපක්ෂය හා ගොඩ නැගෙන්නට නියමිත සන්ධාන හා ගැට ගැසුනද පලක් අත්නොවනු ඇත. ( මේ සියල්ල පවත්නා තත්තවය අනුව විපක්ෂයේ හා සෙසු කොටස් (විචල්‍ය ) වෙනස් නොවන ලෙස සලකමින් හා ජනතාව වෙනස් වුවද ඔවුන්ව සුසමාදර්ශී වෙනසකට සූදානම් නොවන බැවින් මෙම මෙසේ සිදු විය හැකිය)

සමාජයක් ලෙස කුමන ප්‍රතිපල අත්කර ගනී ද?

දෙමාපියන්ට අනුව දරුවන් හැඩ ගැසෙන්නාක් මෙන් රටේ නායකයාට හා ඔහුගේ භාවිතාවට අනුව සමාජය නිර්මාණය වීම මේ වන විටත් සිදුවනු ඇති බැවින් පීඩනය යන්න මහගමසේකරගේ කවියක් වනු ඇත. එනම් “දුක ඇතුලේ තියෙන සතුට දුක් විඳලම ඉගෙන ගන්න”යන්න තුල ජනතාව එහි යථාර්ථයක් වනු ඇත. වංචාවට දූෂණයට අනුවර්තනය වූ ජනයා ද අඩු වැඩි වශයෙන් එහි ශුද්‍ර කොටස් කරුවන් බවට පත් වී, ඒ පිළිබඳ පාර්ලීමේන්තුවේ රූපවාහිනියේ බණ කියන අනුර දිසානායක වැන්නන්ට සිනාසෙනු ඇත. එය නාට්‍යාකාරව නරඹනු ඇත. සමාජය අපූරු පන්නයේ සිහිනය වෙනුවට බොරුව කරපින්නාගත් ක්‍රමයකට හැඩ ගැසෙන විට සිහිනයක් සහිත දේශපාලන න්‍යායන්ට හා කැපවීම්වලට මෙම දෙයාකාර අසන්තතින් හඳුනා ගත්ත ද ජනයා මුදා ගැනීම නැමැති මෙහෙයුම්වලින් හෙම්බත්වනු ඇත. අධ්‍යාපනයේ සිටම බොරුව ක්‍රමයක්(System) බවට පත්වීම නිසා අගයයන් (Values)හා ධර්මතා (Norms0ද, බෞද්ධාගම ද යොහෝවාගේ ආගමක් හෝ එසේත් නැතිනම්, සිංලයා බේරා ගැනීම යන මිථ්‍යා අභිමතාර්ථයෙන් සිංහල ජනයා තව තවත් ප්‍රපාතයටම හෙලීමට ලක් වන ජන වර්ගයක් වීම නොවැල්විය හැකි ආරම්භයක් වනු ඇත.

විපක්ෂයේ විය හැකි සිනාරියෝව ඊලඟ කොටසට….

udayaඋදය ආර්.තෙන්නකෝන් | Udaya R Tennakoon