අම්මගෙ මළගමට
එන්නට නොහැකි වුණු පුතෙකුට
වසර හතකට පසු
ඇගෙ සොහොන්කොත අතගා
කඳුළු බිඳුවක සීතල
විඳින්නටවත් ඉඩ නැති
අම්මගේ රටක් මෙය.
පුරවැසි බවද ප්‍රශ්නය
සෙනඟ විතරක් සිටිනා
පුරවැසියකුදු නැති රටකට?
පුරවැසියන්ගෙ අත්බැඳ
හෙලුකොට්ටෙන් තබා
වෙඩි තියන රටකට
අම්මගෙ සොහොන් කොත ළඟ
කිරි සුවඳ ඇහිඳින
කවියෙකුද ප්‍රශ්නය
අම්මගෙ රටක් මෙය.
පුරවැසියන් ඇවිත්
වතුර ඉල්ලනකොට
උණ්ඩ ගිල්ලන රටකට
පුරවැසි බවද ප්‍රශ්නය?
ආඩම්බරය හැර
අන් කිසිදු හසරක් නැති
හීනෙනුත් හිනැහෙන
එක තාත්තෙකු මිස
හිනාවෙන්නට හැකි
එකදු අම්මකු නැති
අම්මගෙ රටක් මෙය.
මංජුල වෙඩිවර්ධන | Manjula Wediwardhana
2013 නොවැම්බර් 25