කාලෙකින් මා ඇමතූ නැති මාගේ මිතුරෙක් ඊයේ රාත්‍රී හදිස්සියේම මා අමතා “ලැජ්ජ නැද්ද යකෝ දෙමලුන්ට කඩේ යන්න?, කවුද අර කවියෙක් කියලා ඇවිල්ලා ආයෙත් මේක අවුලන්න රැස්වීම් තියලා. උඹළා ඒවා ගැන වෙනත් කතා ලියනවා…..’’ ආදී වශයෙන් දෙසා බැවේය. ඔහු දෙසා බෑවේ ඔහුගේ ඒවා නොව රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙකුට අයත් යැයි කියන වෙබ් අඩවියකින් ණයට ගත් ඒවා බව ටික වේලාවක් යන විට මට අවබෝධ විය. ඔහු කතා කළේ අන් කුවුරැත් ගැන නොවේ, වසර ගණනාවකින් පසු ලංකාවට පැමිණ, මියැදුනු සිය අම්මා මිහිදන් කර ඇති සොහොනට ගොස් මියැදුනු ඇයට ගෞරව කරන්නට යන විට, වන්නිවිලන්කුලම් ප්‍රදේශයේදී පසුගිය 22 දා, ඊනියා සංහිදියාවක් ගැන දොඩවන රාජපක්ෂ ආණ්ඩුවේ කූළි හේවායන් විසින් අත්අඩංගුවට ගත් ව.අයි.ස ජෙයපාලන කවියා ගැනය. කෘතහස්ත මිනිසා ගැනය. අවියට වඩා කවිය උතුම් කොට සැලකූ ආදරණීය මිනිසා ගැනය.(මේ සටහන ලියන මොහොත වන විට ඔහු ලංකාවෙන් පිටුවහල් කොට ඇතැයි වාර්තා වෙයි.)

නමුත් මා මිතුරා සිය නන් දෙඩවීමට ණයට ගත් වචන ටික අහුලාගෙන තිබුණු වෙබ් අඩවිය ජෙයපාලන් කවියා ගැන සදහන් කර තිබුණේ, ‘‘රට අවුලන්න ආ ජයපාලන් ඇඳිවත පිටින් පිටුවහල් කෙරේ‘‘ යන ශීර්ෂයෙන් යුතු ප්‍රවෘත්තියකි.

කෙසේ නමුත්, මා මිතුරාට එය පැහැදිලි කර දීමට යෑමෙන් හැමදාමත් ම සිදු වූ වා සේ සිදු වූයේ ‘ද්‍රෝහීයා‘ ළකුණ ලැබීමත් තවත් මිතුරෙක් අහිමි වීමත්ය. ඔහුගේ ‘දේශප්‍රේමීත්වය‘ ඔද වැඩී තිබුණේ අනෙකා මර්දනය කර සතුටු වීම යන ම්ලේච්ඡ ගති ලක්ෂණය නිසාය. මට ‘‘ද්‍රෝහියා‘‘ ළකුණ ලැබී තිබෙනුයේ අනෙකා වෙනුවෙන් පෙනී සිටීමත්, සාධාරණත්වය සහ යුක්තිය පිලිබද කතා කිරීමත් නිසාය. එබැවින් උගේ ‘ප්‍රේමීත්වයට‘ වඩා ඔහු මට තැගි කළ ‘ද්‍රෝහීත්වය‘ මට ආඩම්බරයක් බව සටහන් කරන්නේ ද ආඩම්බරයෙනි. ඒ මක්නිසාද යත් මිනිසුන්ගේ ආත්මය පවා තලා දමන, අධිපතිවාදී මුග්ධ රැළකගේ අශිෂ්ඨ ක්‍රියාදාමයන් වලට එරෙහි වෙමින් එවැනි නාමයන් ලැබීමට බිය නොවන මිනිසුන් තවමත් අප අතර සිටිමින්, පවතින ව්‍යසනකාරී ත්ත්වයන්ට එරෙහිව නොබියව තවමත් කොන්ද කෙලින් තබාගෙන සිටිනා බැවිනි.

කෙසේ නමුත් මිතුරැකම අවසන් වූවාත් එවැනි තක්කඩීන්ගේ දැන ගැනීම සදහා බොහෝ ‘සිංහලයන්‘(පෙර කිවු නරැම මිතුරා ද ඇතුලුව) කිසියම් කැමැත්තක් දක්වනවා යැයි කියන මුස්ලිම් ජාතිකයෙක් වූ මෙන්ම, ජෙයපාලන්ගේ බොහෝ කවි ද සිංහල භාෂාවට නැගී නිලාර් එන්, කාසීම් ගේ ‘ජෙයපාලන්‘ කෘතියෙන් උපුටා දැක්වීම් කිහිපයක් සදහන් කරමි.

නිලාර් එන් කාසීම් ගේ කෘතියකින් එම උපුටා දැක්වීම් සටහන් කිරීමට හේතු දෙකක් වෙයි. එකක් අප මිතුරා වැනි තක්කඩීන් කරැණා, පිල්ලෙයාන් වැනි සිංහල කරණය වූ දෙමළ ශරීරද, ඇතැම් ඊනියා කලාකරැවන් වැනි ‘අය‘ කියනා කුමක් හෝ දෙයක් දේවත්වයෙන් පිළිගන්නට කිසියම් රැචිකත්වයක් දක්වන නිසාය.( එහි නිවැරදි, යුක්ති සහගත දෙයක් එම තක්කඩීන්ට අවශ්‍ය වන්නේ නැත. අවශ්‍ය වන්නේ තමන් ට අවශ්‍ය දේ වෙනකෙක් ලවා තමන්ට වඩා හොදට කියවා ගැනීමේ තිබෙන මුග්ධ ආශාව පමණී.)

අනෙක නම්, විශේෂයෙන් නිලාර් එන් කාසීම් ජෙයපාලන් නම් කවියා අත්අඩංගුවට ගත් අවස්ථාවේ වන්නිපෝස්ට් වෙබ් අඩවියට ඔහු ලබා දී තිබූ ප්‍රකාශය සම්බන්ධයෙන් ද එය වැදගත් වන නිසාය. එම ප්‍රකාශය නැවත උපුටා දක්වන්නේ නම් ‘‘ඇත්තටම ජෙයපාලන්ගෙ මේ සිදුවීම සම්බන්ධව මං මේ මොහොතෙ දැනුවත් නැහැ. අනෙක් අතට රාජ්‍ය සේවකයෙක් වීම නිසාම මට මේ ගැන කතා කරන්න වෙන්නෙ යම් සීමාවක ඉඳලයි. සාමාන්‍යයෙන් යම් නිර්මාණකරුවෙක් වෙත සහ කලාව වෙත එල්ල වෙන වාරණයට විරුද්ධයි කියන මතයේ මං ඉන්නවා. විශේෂයෙන් ජෙයපාලන් කියන කවියා ගැන මා තුළ ගෞරවයක් සහ ඔහුගේ භාෂාව,යෙදීම් සිංහල සමාජය පිළිබඳව පුළුල් තැනක තියෙනවා… මෙම සිදුවීම තවමත් නොදන්නා නිසා මට ඒ ගැන සංයුක්තව කතා කරන්න බැහැ.” (දිනය – 2013 නොවැම්බර් 24) මෙහිදී, නිලාර් මහතා මේ ගැන දැනුවත් නැති බව යම් විදිහකට පිළි ගත්තත්, ‘රාජ්‍ය සේවකයෙක් වීම නිසාම මට මේ ගැන කතා කරන්න වෙන්නෙ යම් සීමාවක ඉඳලයි.‘ කියන අදහස වර්තමානයේ ලංකාව තුළ තිබෙන මර්දනය මනාවට පිළිබිබු කරන අදහසක් බවට නිරායාසයෙන් පරිවර්තනය වීම වැලැක්විය නොහැකිය.

එය එසේ වන්නේ, මීට අවුරැදු 13කට පෙර එනම්, 2000-10-21 වන දින ‘දමිළ කවියෙහි ශ්‍රී ලාංකික සළකුණ, ජෙයපාලන්‘ නම් කෘතිය එළි දක්වමින්, එම කෘතියේ ‘අධ්‍යාශය‘ නම් තීරැවක ‘රාජ්‍ය සේවකයෙක් වීම නිසාම මට මේ ගැන කතා කරන්න වෙන්නෙ යම් සීමාවක ඉඳලයි.‘ කියන නිලාර් එන් කාසිම්, සිය සටහන තබන්නේ, ශ්‍රී ලංකා රෑපවාහිනි සංස්ථාව, නිදහස් චතුරස්‍රය, කොළඹ -7, 2000-10-21 යන ලිපිනය ද සහිතවය.(එදා ඔහුට රාජ්‍ය සේවය බලපෑවේ නැත.)

ඔහු එම තීරැව අවසන් කරන ඡේදයක් උපුටා දක්වන්නේ නම්, ‘ජෙයපාලන්ගේ කවිවල ආකෘතියට වඩා අන්තර්ගතය විමසමින් ඔහු සහ ඔහු ජීවත් වූ සංස්කෘතික පරිසරය හදුනා ගන්නට මෙහිලා අප වැර වැඩුවා. ඔහුගේ කවි ගැන විවේචනය කිරීමට වඩා ඔහු හදුනා ගැනීම වඩා මැනවැයි අප කල්පනා කළා. ඉතින්, ආගන්තුක අසල් වැසියෙකු හා ඔබ අතර බැදි පාලම සවිමත්දැයි තීරණය කිරීම ඔබට පවරමින් මා නිහඩ වෙනවා.නිලාර් එන්. කාසීම්, ශ්‍රී ලංකා රෑපවාහිනි සංස්ථාව, නිදහස් චතුරස්‍රය, කොළඹ -7, 2000-10-21‘‘ ප්‍රශ්නය වන්නේ 2000 දී ත් රාජ්‍ය සේවකයෙක් ව සිටියදී මෙසේ සටහන් කරන නිලාර් එන්. කාසීම් ඉන් වසර 13ක් ගිය පසු අද සිය පොතට මූළාශ්‍ර වූ කවියා සිය මව් බිමේදී අත්අඩංගුවට ගන්නා විට ඒ ගැන කතාකිරීමට තමන් ‘රජ්‍ය සේවකයෙක් වීම‘ බාධාවක් සේ දැකීමයි.

එයින් මනාවට දිස්වන කාරණය වන්නේ 2000දී ජෙයපාලන් ගැන පොත් ලිවූ කාසීම්ලාට, යුද්ධය අවසන්ව වසර 5කට ආසන්න වෙමින් තිබියදී, සාමය, නිදහස, සංහිදියාව ගැන රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව උදම් අනද්දී, අද එම ජෙයපාලන් ගැන කතා කිරීමට පවා නොහැකි වටපිටාවක් නිර්මාණය වි තිබීමය. මෙය විශේෂයෙන් රාජපක්ෂලාගේ ඊනියා සංහිදියාවේ තරම මනාවට පෙන්නුම් කරන ‘සජීවි ඊනියා සහජීවන‘ උදාහරණයකි. එබැවින් 2000 සහ 2013 හි මෙම සිදුවීමෙන් පෙන්නුම් කරන්නේ අහස උසට බිල්ඩින් තැනුවාට, බිලියන ගණනින් මුදල් වියදම් කරමින්, පොදුරාජ්‍ය මණ්ඩලයේ සභාපති ධූරය ලබා ගත්තාට, මිනිසෙකු ගැන මිනිසෙක්ට කතා කිරීමට ඇති අයිතිය පවා අද දවසේ මර්දනය කර ඇති අන්දම නොවේද?

එබැවින් 2000දී නිලාර් ඇසු ‘ඉතින්, ආගන්තුක අසල් වැසියෙකු හා ඔබ අතර බැදි පාලම සවිමත්දැයි තීරණය කිරීම ඔබට පවරමින් මා නිහඩ වෙනවා.‘ යන්න ඉන් වසර 13කට පසු, දහස් ගණනක් ඝාතනය වූ පසුත් නැවතත් ඇසිය යුතු නොවන්නේද?

නිලාර් ගේ එම කෘතියේ ඔහුගේ සටහන නැවතත් උපුටා දක්වන්නේ නම්, ‘‘…. ඒ අනුව අදට අප අතර ජීවත් වන විශිෂ්ඨම ශ්‍රී ලංකික දමිළ කවියා වන ව.අයි.ස ජෙයපාලන්ගේ කවි මග විවර කර විශ්ලේෂණය කරන්නට යන්ත දැරැවා. ඒ උත්සහයෙන් සැකසුනු උපාධි නිබන්ධනය කපා-කොටා සංක්ෂිප්ත කර හදිසියේ සැකසූ මේ කෘතිය පරිපූර්ණ යැයි මා සිතන්නේ නැහැ. අඩු ලුහුඩුතා ඇති. නමුත් දමිළ කවීන් ගැන හැදෑරීමට ආරම්භක පියවරක් හැටියට මෙබදු පොතක් වත් පළවීම වැදගත් වනු ඇතැයි මා කල්පනා කළා‘‘

එසේ සටහන් කරමින්, එවන් කෘතියකට නිලාර් එන් කාසීම් පාදක කොට ගත් ජෙයපාලන් නම් කවියා සිය මවු බිමේදී අත්අඩංගුවට ගැනීමට විරැද්ධවීමත්, ඔහු ගැන කතා කිරීමත්, ද්‍රෝහි කමක් වන්නේ කෙසේද? නමුත් එය එසේ වී ඇත. එසේ වෙන තරමටම රාජපක්ෂලා විසින් සමාජයේ හර පද්ධතීන් සෝදා පාලුවට ලක්කරමින් ඇත. සංහිදියාව වෙනුවට, වෙනස්කොට සැලකීමේ බෙදීම් රේඛාව සීග්‍රයෙන් පළල් කරමින් තිබේ. නමුත් අවාසනාවට මේ දූපතේ බොහෝ මිනිසුන් සිතා සිටින්නේ රාජපක්ෂ ආණ්ඩුව විසින් සිදු කරන මෙම අයුක්ති සහගත පාලනය තුළ කෙදිනක හෝ ආශ්චර්යමත් නිදහස සහ යුක්තිය හමුවේ ය කියාය. නැත. නිලාර් ට 2000 දී ජෙයපාලන් ගැන කතා කිරීමට තිබූ නිදහස ඉන් වසර 13කට පසු, නැති කර ඇති මෙම පාලනය විසින් ඉදිරියටත් දෙනු ලබන්නේ මෙවන් ගණයේ ආශ්චර්යක් බව මෙවැනි සිදුවීම් වලින් වත් ජනයා අවබෝධ කර ගත යුතුව ඇත.

ජෙයපාලන් කවියා පිළිබදව, නිලාර් එන් කාසීම්ගේ, ජෙයපාලන් කෘතියට, යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්ය සාමිනාදන් විමල් විසින් ලියන ලද ‘දමිල කවියෙහි ජෙයපාලන් සොයා යෑම‘ නම් තීරැවෙන් නැවතත් උපුටා ගැනීම්ක් සිදු කරන්නේ නම්, ‘…..ඔහු ඇතැම් විට නව කවියේ නව පරිමාණයන් විවර කරලීමට පුරෝගාමී විය. ඔහුගේ ‘‘ඊලත්තු මන්නුම් එංගල් මුහංගලුම්‘‘(ලක්බිම හා අපේ මුහුණු) නැමති අඛ්‍යාන කවි පොත ඒ සදහා නිදසුන් සපයයි.‘

සිංහලට පරිවර්තනය කෙරැණු ජෙයපාලන්ගේ කවි වරින් වර පුවත්පත් සගරාවල පළ වී ඇත. එහෙත් ග්‍රන්ථගත පරිවර්ථිත කවි දැකිය හැකි වන්නේ අවස්ථා දෙකකදීය. ඒ පරාක්‍රම කොඩිතුවක්කුගේ ‘ඉන්දු සහ ලංකා‘‘ සහ සීතා රංජනීගේ ‘‘දෝංකාරය‘‘ යන පරිවර්තිත දමිළ පද්‍ය සංග්‍රහවලය.

පරාක්‍රම(අද?) ජෙයපාලන් ගැන සිය විවරණය ඉදිරිපත්කරන්නේ මෙපරිද්දෙනි.

‘‘විප්ලවවාදී ද්‍රවිඩ කවියන් අතර ඉදිරි පෙරමුණෙහි සිටින තරැණ කවියෙකි. ලංකීය ද්‍රවිඩ කවිය රසාස්වාදයෙන් මුදවාගෙන, එය සැබෑ ඓතිහාසික ප්‍රගතිශීලි සම්ප්‍රදායෙහි පිහිටුවා, හෙළි තුඩ නව යොමුවීම් අතකට එල්ල කිරීමට ඔහු ලියයි. අතීත කාව්‍ය සම්ප්‍රදායෙන් පෝෂණය ලබා ඉන් මතු වූ නව රිකිල්ලක් මෙන් ජෙයපාලන්ගේ කවිය කලාත්මක රිද්මයෙන්ම තම සහෝදර ජනතාවගේ අද දවසේ ජීවිතය හා යා වී පවතී. කවිය වැඩකරන ජනතාවගේ ඉතිහාසයේ හා වර්තමානයේ මෙන්ම අනාගතයේදී ද විපාකදායක බලවේගයක් විය යුතු යැයි පවසන ඔහුගේ කටහඩ ඔහු ලියන කවිවලින් පැහැදිලිව ඇසිය හැකිය. ජෙයපාලන අද ද්‍රවිඩ කවිය තුළ නව ගොඩනැගීමක් සිදු කර ඇති ප්‍රධාන කවියෙකු ලෙන විචාරකයන් තීරණය කර ඇත.‘‘

පරාක්‍රම මේ කෘතියෙන් ශ්‍රී ලාංකික කවීන් නව දෙනකු සිංහලයට හදුන්වා දෙන අතර ඔහුද එහිදී ව.අයි.ස ජෙයපාලන්ට ලබා දී ඇති ස්ථානය ප්‍රමුඛය.‘‘(සාමිනාදන් විමල්-2000) සාමිනාදන් විමල් එහි වැඩිදුරටත් සටහන් කරමින් පවසන්නේ ‘ඔහු කවියෙකු කිරීමට- සටන්කාමි කවියෙකු කිරීමට අවශ්‍ය බීජ ඔහු උපන් යාපන අර්ධද්වීපයේ රෝපනය වී තිබිණි. තමා කවියෙකු වීම පිළිබදව ඔහුගේම හෘද සාක්ෂ්‍යය අවදිවූණේ මෙපරිද්දෙනි.

‘‘ආදරය හා ආරවුල් තුළත්, ඉරැණු හා ඇලුණු ජීවිතයක් තුළත් ගෙවූ මගේ දෙමාපියන්ගේ දුකසැප සපිරි ජීවිත අත්දැකීම් තුළම මගේ කවියේ ආරම්භය සනිටුහන් වෙන්න ඇති. ඔවුන් තම්ල්නාඩු සහ ඇතැම් ලාංකීය සගරාවල කවි එක්රැස් කර තිබුණා. ඉංග්‍රීසි දැනුමක් තිබූ මගේ අම්මත්, දෙමළ බසින් තර්ක ඥාණයක් ඇති ව්‍යාපාරිකයෙකු වූ මගේ තාත්තත් ගෙදරට එන අමුත්තන් එක්ක කම්බරාමායාණයේ ඉදන් මහා කවි භාරතී දක්වා ගයා අගයා රසවිදි ආකාරය මගේ ළමා දිවිය තුළ සනිටුහන් වුණේ නොමැකෙන ලෙසින්.‘‘

‘‘මම ඕමාර් ඛයියාම් කෙනෙකු වෙන්ට සියලු අවශ්‍යතා සම්පූර්ණ කර තිබුණා. පස්සේ කාලේ ඕමාර් ඛයියාම්ගේ මට කියවන්න ලැබුණා. ඛයියාම්ගේ ඉදන් ඛලීල් ජිබ්රාන් දක්වා සුෆී අරාබි කවීන්ගේ නිර්මාණ පවා. පස්සේ දේවාරම්, තිරැවාසගම්, බයිබලය, කුරාණය වගේ ආගමික පොත්පත් මට සමීප වුණා. අදත් මං ඉන්නේ භාරතීත්, සංගම් සාහිත්‍යයත් අතර කොහේදෝ තැනක.

මම ඕමාර් ඛයියාම් කෙනෙකු වෙන්නට අවශ්‍ය සියලු අවශ්‍යතා සම්පූර්ණ කර තිබුණා. ඒත් ඇයි මං ඔහුගේවත්, තාගෝර්ගේ වත් පාරේ නොගියේ.? ඊට පිළිතුරැ තියෙන්නේ 1960 ගණන්වල යාපනේ හැම තැනම පැන නැගිච්ච කුල පීඩිතයන්ගේ අරගලය ඇතුළේ. ඒ අරගලය මගේ නිර්මාණවලට ලොකු බලපෑමක් කළා. ව්‍යාපාරිකයෙකුගේ පුතකු වුනු මා තුළ ඇති වෙන්නෝන බලාපොරොත්තු තමයි පැරීසියට ගිහින් ඉගෙන ගෙන මහා කලා ශිල්පියෙකු වෙලා එන එක. ඒත්, මාව මහ පොළව උඩට ගෙනැවිත් මනුස්සයෙක් කළේ පීඩිත ජනතාවගේ අරගලය…….“

‘‘ඒත්, මාව මහ පොළව උඩට ගෙනැවිත් මනුස්සයෙක් කළේ පීඩිත ජනතාවගේ අරගලය…….“ යැයි කියු ජෙයපාලන් නම් මිනිසා ගැන ලිවීම, කවියා ගැන ලිවීම, කතා කිරීම, යුද්ධයෙන් වසර 5ක් ගෙවෙමින් පවතින ආශ්චර්යයේ ලංකාව තුළ ද්‍රෝහිකමක් වීම තරම් ඛේදවාචකයක් තවත් තිබේද?

1980 වැඩ වර්ජනයේ දී සෝමපාල නම් කම්කරැ නායකයෙකු, ආරක්ෂක අංශ විසින් එල්ල කරන ලද වෙඩි පහරකින් මිය යද්දී දකුණේ කම්කරැවන් වෙත එල්ලවන මර්දනයට එරෙහිව එදා උතුරේ සිට කවි ලියු ජෙයපාලන් සිය කවි සිත මුදා හලේ මෙසේ ය.
‘‘බඩට ගහන්ඩ එපා කියූ
සෝමපාලගේ
පමණක් නොව අඹු දරැවන්ගේත්
බඩට මරණීය පහර
මෙයයි කලියුගයේ ධර්මිෂ්ඨ බව
මෙයයි සාතන් බණ දෙසන කල….‘‘
(නාමක්කෙන්රොරැ පුල්වෙලි කාව්‍ය සංග්‍රහයෙන්). දකුණේ කම්කරැවන් ගැන මෙසේ ලියූ ජෙයපාලන් කවියා ට සිය රටට පැමිණ මවගේ සොහොන ඉදිරිපිට දී අත් අඩංගුවට පත් වන්නට සිදු වූයේ කලකට පෙර කම්කරැ ඇමතිවරයෙක්, වර්තමානයේ ජනාධිපතිවරයා ව සිටින රටක වීම තවත් සරදමක් නොවන්නේ ද?

එවන් කවියෙක්, කලාකරැවෙක්, සාහිත්‍යධරයෙක්…ඒ සියලු දේටම වඩා ඝාතනයට එරෙහි වූ උදාර මිනිසෙක් අත් අඩංගුවට ගෙන, මානසික වද බන්ධනයට ලක් කරමින්, පිටුවහල් කරන්නට තරම් අද දවසේ ලාංකීය පාලනය බිහිසුනු වී හමාරය.

1988 දී නොර්වේ රටට පිටුවහල්ව දේශපාලන රැකවරණ යටතේ ජීවත්වන ජෙයපාලන් සිය පවුල ගැන ‘ජෙයපාලන්‘ කෘතියේ මෙසේ කියයි.

‘‘මගේ අම්මා ඉරාමනාදර් රාසම්මා. තාත්තා අයයම්පිල්ලේ ෂන්මුගම්පිල්ලේ. ඒ දෙන්නම දැන් ඉන්නේ වන්නියේ. අවු.76ක් තරම් වයස ඔවුන්ට යුද්ධය කොයිතරම් පීඩනයක් කරලා ඇද්ද කියලා හිතා ගන්න බෑ. බේත් හේත් නැතිව, මුදල් නැතිව පිළිසරණක් වන්නට යුද්ධය ඉඩ දෙන්නේ නැහැ. යුද්ධය විසින් අපව ඈත් කරවලා..‘‘
(2000, දමිළ කවියෙහි ශ්‍රී ලාංකික සළකුණ – ජෙයපාලන් කෘතියෙන්)

යුද්ධය විසින් ඈත් කරපු, සිය අම්මා මිහිදන් කර ඇති සොහොන මත ඇයට ගෞරව දක්වන්න පැමිණි ජෙයපාලන්ට, යුද්ධාවසානයෙන් වසර 5කට ආසන්න වෙමින් තිබියදී ද, අත්විදීමට සිදු වූයේ යුදමය කාලයේදී බොහෝ මිනිසුන් අත්විදි ඛේදවාචකයට සමාන දෙයක්ම නොවේද?

ඉදින්, අප දේශප්‍රේමී(?)මිතුර…මිනිසුනේ…. මෙයට කියන්නේ ‘සංහිදියාව‘ කියාද?

Sampath TTසම්පත් සමරකෝන් | Sampath Samarakoon

*(Image Credit : Vannipost.com)